Friday, March 6, 2009

වියරුවෙන් දඟලන කැපුණු පණු රැළක රඟ

එන් ජී ඕ සහ පණ අදින කොටි

“හියුමන් රයිට්ස් වොච්” නමැති ජාත්‍යන්තර එන්.ජී.ඕ.ව නැවත වතාවක් කොටින්ට කඩේ යාම අරඹා ඇත. නො එසේ නම් ඔවුන් මහ දවාලේ ම නිරුවතින් නටන්නට පටන් ගෙන තිබේ. මානව හිමිකම් ලේබලය ද ඉදිරියට දමාගෙන ඔවුහු නැවත කොටි ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නට පිට පොට ගසමින් සිටිති.

මේ බව හෙළිදරව් වන්නට පටන් ගත්තේ ඇමෙරිකාවේ විදේශ සබඳතා කමිටුව වෙත මේ ‘හියුමන් රයිට්ස්’ කල්ලිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශයන් කිහිපය ද සමග ය. කොටින්ට එරෙහි ගුවන් ප්‍රහාර සහ මල්ටි බැරල් රොකට් ප්‍රහාර එල්ල කිරීම වහාම නතර කිරීම මෙන් ම ජාත්‍යන්තර සංවිධානවලට යළි වන්නියට යාමට ඉඩ දීම හා වව්නියාවේ ද්‍රවිඩ අවතැන් කඳවුරු ඉවත් කිරීම ඇතුළු කරුණු හයක් ඉටු කරන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කරන ලෙස දන්වමින් මේ ‘හියුමන් රයිට්ස්’ මාෆියාව ඇමෙරිකානු රජය ඉදිරියේ වැඳ වැටී ඇත.

ඔවුන්ගේ නිර්දේශ මගින් වන්නියේ සිට පැමිණෙන අය විමර්ශනයට ලක් කිරීම සඳහා ආරක්ෂක හමුදාව ගන්නා ක්‍රමවේදයට මැදිහත් වීමට අන්තර්ජාතික කණ්ඩායමකට ද ඉඩ දෙන ලෙස ද ඉල්ලා තිබේ.

මේ අතර ඇමෙරිකානු විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාවේ ගැටලුව ගැන කියා ඇත්තේ දේශපාලන විසඳුමක් සඳහා යුද්ධයකට සම්බන්ධ දෙපාර්ශ්වය ම අවධානය යොමු කළ යුතු බවයි. මෙම කමිටුව වනාහී ඇමෙරිකානු සෙනෙට් සභාවේ ස්ථාවර කණ්ඩායමකි. විදේශ ප්‍රතිපත්ති සම්පාදනය සහ ඒ ගැන වන විවාද පිළිබඳව කටයුතු කිරීම ඊට පැවරී ඇති කාර්ය භාරයයි. ඊට අමතරව එම කමිටුවේ සාමාන්‍ය වගකීම වී ඇත්තේ විදේශාධාර ව්‍යාපෘතීන් පිළිබඳව සොයා බැලීමයි. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසා තිබුණේ ද ශ්‍රී ලංකාව හා කොටි සංවිධානය යුද ගැටුම් නවතා දේශපාලන විසඳුමක් කෙරෙහි උනන්දු විය යුතු බවයි.

කවර කමිටු, කල්ලි හා සංවිධාන නමින් ආවත් මේ සියලු දෙනා ම ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතු බවට නිරන්තරයෙන් ම උඩු බුරලන්නෝ වෙති. මේ පිළිබඳව විශ්ලේෂණාත්මකව බලන විට පෙනී යන්නේ මෙම කාරණය පිළිබඳව මේ කාගෙ කාගේත් කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන බව ය.

ලෝකයේ භයානකම ත්‍රස්ත කල්ලිය බවට ජාත්‍යන්තරයේ අවධානයට ලක් වූ ම්ලේච්ඡ කොටි සංවිධානය හතර ගාතයෙන් ම ඇද වැටී පණ අදිමින් සිටියි. මෙවන් වූ තීරණාත්මක සන්ධිස්ථානයකදී ජාත්‍යන්තරය සිය කාර්යභාරය නිසියාකාරව ඉටු කරනවා ද යන්න ඉදිරියේ මේ වන විට ඇත්තේ බරපතළ ප්‍රශ්නාර්ථයකි. අපට නම් පෙනෙන්නේ ජාත්‍යන්තරය හසුරු වන මහ බලවතුන් ද අයාලේ යන්නට පටන් ගෙන ඇති බව ය. මේ නටන්නට පටන් ගෙන ඇති නෙයියාඩගම් ඔස්සේ එය මනාව තහවුරු වන්නට පටන් ගෙන තිබේ.

කොටි ත්‍රස්තවාදයේ මළගම ආසන්නයේ දී වඩාත් තර්කානුකූලව, විශ්ලේෂණාත්මකව කටයුතු කරනවා වෙනුවට ජාත්‍යන්තරයට ද මංමුළාවැල් පෑගී ඇත. මෙවන් අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක දී අපට අත්දකින්නට සිදුව ඇති ඛේදවාචකය එයයි.

කාගේත් පොදු අරමුණ ලෝක ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නම් ඔවුන් කළ යුත්තේ ඒ සඳහා මුළුමනින් ම කැප වූ ශ්‍රී ලංකාවේ කකුලෙන් ඇදීම ද? කකුලෙන් අදින්නට දරන උත්සාහය තුළ එහි වාසිය ලැබෙන්නේ ත්‍රස්ත මර්දනයට නොව ත්‍රස්ත වර්ධනයට ය. ජාත්‍යන්තරයේ මේ ක්‍රියා කලාපය අනුව පෙනෙන්නේ ඔවුන් කොටි ත්‍රස්තවාදීන්ව “උක්කුං බබාලාගේ” ගාණට ගෙන ඇති බව ය. හැමෝම පාට් එක දමන්නට පටන් ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට ය.

වන්නියේ සිවිල් වැසියන්ව කොටු කරගෙන, සිර කරගෙන සිටින්නේ අපගේ ආරක්ෂක හමුදාවන් නොවේ. ත්‍රස්තවාදයේ රැකවරණය වෙනුවෙන් බලහත්කාරයෙන් ම කොටි අඩවියේ සිරගතව සිටින්නට මේ අහිංසකයන්ට සිදුව තිබේ. එසේ නම් මේ මොහොතේ දී ජාත්‍යන්තරය සිදු කළ යුත්තේ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයට උපරිම පීඩනයක් එල්ල කරමින් අහිංසක සිවිල් වැසියන්ව මුදා ගැනීමට උත්සාහ කිරීම ය. නමුත් සිදු වන්නේ එය නොවේ. එම සිවිල් ජනතාවට විමුක්තිය ලබා දීම වෙනුවෙන් කැපව සිටින මේ රටේ ආණ්ඩුවට බලපෑම් එල්ල කිරීම ය. එයින් පැහැදිලි වන්නේ මේ ඊනියා ජාත්‍යන්තරය පෙනී සිටිනුයේ කොටින්ගේ ගැලවිජ්ජාව උදෙසා බව ය.

හැමදාමත් මොවුන් කළේ පොට වරද්දා ගැනීමයි. යා යුතු මග හොඳට පෙනෙදදී අයාලේ යාමයි. ඒ නිනදිත ක්‍රියාදාමය හේතු කොටගෙන හැමදාමත් සිදු වූයේ ත්‍රස්තවාදය වරින් වර අඩපණ වී යළිත් ජීවය ලැබීමයි. නමුත් මේ වතාවේ නම් කිසිදු ආකාරයකින් එවැන්නකට සුළු හෝ ඉඩක් තැබිය යුතු නැත. මහ රෑ වැටුණු වළේ අප නැවත වතාවක් ගිනි දවාලේ ද වැටිය යුතු නොවේ.

ලෝකයේ භයානකම ත්‍රස්ත කල්ලිය විනාශ කළහොත් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝක ජනතාවගේ ම ජයග්‍රහණයක් වනු ඇත. එසේ නම් ජාත්‍යන්තරය එවන් ජයග්‍රහණයකට වැට බදින්නට හදන්නේ ඇයි?
උතුරේ ප්‍රශ්නයට අවසානයේ දී දේශපාලන විසඳුමක් ලැබිය යුතු බව සැබෑවකි. නමුත් ඊට පෙරාතුව මේ ත්‍රස්තවාදය සුනු විසුනු කළ යුතු ය. එයින් මෙපිට දේශපාලන විසඳුම් දෙන්නට ගියහොත් සිදුවනුයේ යළිත් වතාවක් ඇදගෙන ම නා ගන්නට ය. උතුරට දෙන අවසන් විසඳුම කවරේ දැයි යන්න නැගෙනහිරට දුන් විසඳුමෙන් මනාව පැහැදිලි වී තිබේ. එවන් පූර්වාදර්ශයක් තිබියදීත් ජාත්‍යන්තරයේ මේ දෙබිඩි හැසිරීම බලවත් ප්‍රහේළිකාවකි.

මේ මොහොතේ දී පණ අදිමින් සිටින ප්‍රභාකරන් නම් මස් වැද්දාගේ ත්‍රස්ත කල්ලිය බලා සිටිනුයේ ජාත්‍යන්තරයෙන් පැමිණ ඔවුන් ගලවා ගන්නා තුරු ය. ‘හියුමන් රයිට්ස් වොච්’ යනු ඒ අරමුණ වෙනුවෙන් පෙරහරේ යන එක් කසකාරයකු පමණකි. කොටි ත්‍රස්තවාදයේ විනාශය මේ කසකාරයන්ගේ බලවත් සිත් තැවුලට හේතු වී ඇති බව කැපුණු පණුවන් ගණනට ඔවුන් දඟලන දැඟලිල්ලෙන් ම පැහැදිලි ය. මේ පණු කල්ලියට හිස ඔසවන්නට නොදී මෙතෙක් ආ ගමන මඳකුදු වෙනස් නො කර කොටි ත්‍රස්තවාදයටත්, ඔවුන්ට ආ වඩන මේ මාෆියාවටත් අමතක නො වන පාඩමක් ඉගැන්වීමට අප වග බලා ගත යුතු ය. එසේ නොමැතිව මේ ගැඩවිලුන් ඉදිරියේ අප නිවටයන් වුවහොත් ප්‍රභාකරන්ගේ විනාශය අපට දැක ගත හැකි වනු ඇත්තේ ඒ මස් වැද්දා වයස්ගතව මිය ගිය දාකම මිස ඉන් මෙපිට නම් නොවේ. එබැවින් මේ මස් වැද්දාගේ පණ නසාලන්නට හිමිව ඇති අවසාන අවස්ථාව කිසිදු අයුරකින් අප අත් හළ යුතු නැති බව සියලු වගකිව යුත්තන් වෙත දැඩිව අවධාරණය කරමු.

(රිවිර ඉරිදා සංග්‍රහය_09/03/01)

පසුවදන_ත්‍රස්තවාදය ලංකාවෙන් කොන්වන විට කැපුණු පණුවන් සේ නළියන මේ පණු කල්ලියේ අවතාර කැබලි දැන් හැමතැන ම විසිරී පැතිරී ඇත. උන් වියරුවෙන් උඩු බුරති. තප්පුලති. ඉන් අපට කිම. ඒ අන් කිසිවක් නොව හංස ගීතය බව අප පමණක් නොව උන් ද දන්නා කල.

වසර 30ක් ඇදුණු යුද්ධය අවසානයක් දකිනවාට අකමැති, දිගින් දිගට ම යුද්ධය හිඟන්නාගේ තුවාලය සේ ඕජස් ගලමින් කුණු වනු දකිනු රිසි, ඒ අමු රුධිරයෙන් සහ මිනී මසින් සන්තර්පනය වන මේ කුම්භාණ්ඩ රැළ ද ත්‍රස්තවාදය සමඟ ම මෙරටින් තුරන් වීම සමගියෙන් මෙරට ජීවත්වීමට කැමති සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ම යහපත පිණිස ම හේතු වනු ඇත.

3 comments:

Anonymous said...

නාමල් අන්න කසාපබ්බතට එක බත්බැලයෙක් උඩු බුරලනවා

දේශපාලුවා said...

ඇමරිකාවෙ සිනෙට් ස්භාවෙ ඉන්නේ හරිම ඇම්බිෂස් පොරවල්, කතාවක් තියෙනවා හැමදාම උදේට හැම සිනෙට් සභිකයෙක්ම කන්නාඩියෙන් අනාගත ජනාධිපතිවරයෙක් දකිනවලු. මීට අමතරව, ලෝකයේ අයිතිවාසිකම් අහිමිවූ ජනකොටස්වලට පිහිටවූවෙක් ලෙස ඉතිහාසගතවෙන්නත් මොවුන්ගේ ලොකු ඇම්මක් තියෙනවා, විශේෂයෙන් විදේශ සබඳතා කමිටුවෙ අය. හැමෝටම ඕනෙ තමන් මාටින් ලූතර් කිං කෙනෙක් කියල කියවගන්න.
මෙක ලිබර්ල් වාදීන්ගෙ අදහස, ඔය එන්ජීඕ කාරයොත් අන්ත ලිබරල්වාදියො.

උන්ට ඕනෙ නීතිමගින් ආර්ථික සම්බාධක මගින් මුලු ලෝකයම ලිබරල් වාදීන් කරන්න. දක්ශිනාංෂිකයන්ට ඕනෙ මිලිටරි බලයේන් "මිස්දිටු" රටවල් "ශිෂ්ඨ" වෙනතුරු පාලනය කරන්න. අඩුවැඩිවශයෙන් ඕක තමයි ලෝකෙබල අරගලය මම දකින හැටි, මේදෙගොල්ලොම එකම කාසියෙ දෙපැත්ත.
ඒවුනාට අපි මුන් සේරම පරද්දනවා, මහින්ද රාජපක්ෂ යකාට බය නැහැ.

නාමල් උඩලමත්ත said...

ආ ඒක මම දැක්කා දිසා, ඒ මනුස්සයා මීට කලිනුත් මම වෙනුවෙන් පිටුවක් වෙන් කරලා බැනලා තිබුණා. කවුද අනේ ඕවා ගණන් ගන්නේ මුකවෙටි තුමා කීවේ

'දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ-සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ' කියලා.

අපේ ගමේ උන්දැලා නම් කියන්නේ

'බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙයි ද?' කියලා.

ඒ මඩ ගැන මට කියපු මිත්‍රයෝ ඇහුවා මොකද උත්තර නොදෙන්නේ කියලා. මම කීවා ඒක පෞද්ගලිකව මාව විවේචනය කළ එකක් නිසා කියලා. අනෙක එහි අදාළ කාරණාව පිළිබඳ අවබෝධයේ යම් ගැටළුවක් තිබුණා. ඒ අයට තේරුණා ද මන්දා? කොහොමත් මම මේ අයගේ මඩ කඩිතිවලට යාම අතෑරලා තිබුණේ කාලෙකට ඉස්සර. දිසා, අපි අපට රට වෙනුවෙන් කළ හැකි දේ කරමු. අපි හරි ද වැරදි ද කියලා තීන්දු කරාවි ඉතිහාසය.

මේ වේලාවේ ඔය මඩ කඩිති ගැන ලියන්න කාලය වෙන් කිරීම අපරාදයක්. ඊට වඩා ලිවිය යුතු දේ එමටයි. මේ වෙලාවේ රටේ ජනතාව එක පෙළට ජාතික කොඩිය වටා ගොනු කිරීම තමා අපේ වෑයම. එතනදී ඕනෑ ම මඩ ප්‍රහාරයක්, චරිත ඝාතනයක් ඉවසන්න අපට ශක්තිය තියෙන්න ඕන. මතකයිනේ අපේ මහින්ද හාමුදුරුවෝ කීව දේ.

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
නුඹයි මගේ පුතා සමත්

සමස්තයක් විදිහට මේ රටේ සම්ප්‍රදායෙන් ඉදිරි ගිය මේ රැහේ වැඩ ගැන මගේ මා තුළ ඇත්තේ දැඩි කනගාටුවක්. ඔවුන් එක්ක අපට එකඟවෙන්න පුළුවන් තැන් ඉතා ම අඩුයි. එහෙම පුළුවන් තැනදී අපි වැරදි නම් වහා නිවැරදි විය යුතුයි. අපි නිහතමානී විය යුතුයි.

කසාපබ්බතේ කතුවැකියක එන පකිස්ථානයට විදෙස් හමුදා යැවීම ගැන ප්‍රකාශයක් තමා මෙවර ඔවුන්ගේ ඉලක්කය වෙලා තිබුණේ. ඒක ගැන මම ප්‍රතිචාරයක මෙහෙම ලීවා.

"පකිස්ථානය මේ ත්‍රස්තවාදීන්ගේ කෙම්බිමකි. එය මර්දනය කිරීමට කළ යුත්තේ පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා පකිස්ථානයට උදව්කිරීම කළාපයේ සෙසු රටවල වගකීම ය. එරට ත්‍රස්තවාදය අවසන් කිරීමට යුදමය විසඳුම් වෙනුවට විකල්ප ක්‍රියා මාර්ග ඇත්නම් ප්‍රමුඛතාව දිය යුත්තේ ඊට ය. ඒ ගැන විවාදයක් නැත. යුද්ධය හැම විට ම විනාශකාරී හෙයින් ඊට යා යුත්තේ අන්කිසි විකල්පයක් නැති විට ය."

සැබවින් ම අප කළ යුත්තේ එයයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. ඊට උදව් කිරීමයි. එවිට ඒ රටේ බිහි වන ශක්තිමත් රජය රටේ හමුදාව යළි ශක්තිමත් කරනු ඇත. ඔවුන් කළාපයේ න්‍යෂ්ටික බලවතෙකු බව අප අමතක කළ යුතු නැහැ.එරට ගැටළුවට නියම නායකත්වයක් නැති වීම ප්‍රධාන සාධකයක් වි ඇත. එයට ලංකාව කදිම උදාහරණයකි. එදා 2001 බැරැක්කවල සිර කළ හමුදාව අද කොටි ව.කි.45ට කොටි සිරගත කර ඇත. වෙනස් වූයේ නායකත්වයයි. නිවට නායකයෙකු වෙනුවට අදීන නායකයෙක් රටට ලැබිණි. ත්‍රිවිධ හමුදාවට ඍජු නායකත්වයක් ලැබිණි. පකිස්ථානයේ සිදු විය යුත්තේ ද එයයි.

අප එය ඉස්මතු කළේ කිසිදු සෛරී රටකට කුමන හෝ විදෙස් හමුදා මැදිහත්වීමක් අනුමත කළ නොහැකි හෙයිනි. ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකාව ප්‍රමුඛ විදෙස් හමුදා කළ මහා විනාශය අපි දුටුවෙමු. සැබවින් ම ඔවුන් කළේ ත්‍රස්තවාදයක් නොතිබුණු ඉරාකයේ ද ත්‍රස්තවාදය බෝ කිරීම පමණි. කසාපබ්බත විවේචනය කළ පිරිස සිටින්නේ ද ඒ මතයේ නම් අපට ඔවුන් හා එකඟවීමට කවර බාධාවක් ද? අප විවේචනය කළ ද ප්‍රතිවිරුද්ධ මතධාරීන් කසාපබ්බතට පැමිණෙන බව ද ඔවුන් කිසියම් කරුණක් ආයුධයක් කරගෙන අප විවේචනය කිරීමට නිතර සැදී පැහැදී සිටින බව ද නිතර දැනගන්නට ලැබීම අපට මහත් සතුටකි.

දේසපාලුවෝ, අපේ රටෙත් ලී බැරල්කාරයෝ පිරිලා. ඒත් දැන් ලී බැරල්වාදයේ තිඹිරි ගෙයි එහි පැවැත්ම ප්‍රශ්න කරන්න අරගෙන. වර්තමාන ලෝක ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු ධනවත් රටවල් අනුගමනය කළ ප්‍රතිපත්ති දැන් ඔවුන් නැවත විමර්ශනය කරනවා.. (විශේෂයෙන් ම ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති.) 'ගන්න අපේ දේ' කීව ම අපට හිනාවුණු අය ඔබාමා buy american කීවා ම මොකද කියන්නේ. අපේ ලී බැරල්කාරයොත් තම තමන්ගේ ප්‍රතිපත්ති ගැන නැවත සිතනවා නම් හොඳයි.

 
සිය රට දේ සිරි සැප දේ !