Thursday, April 24, 2014

බොදු බල සේනාව විදෙස් කුළී සේනාංකයක් ද?

ජාතිකවාදීන් සහ ඒ හා සමාන අදහස් දරන්නන් පවසන පරිදි බොදුබල සේනාව විදෙස් කුලී සේනාංකයකි. බටහිර එකම අරමුණ මහින්ද බලයෙන් පහකිරීමය. ඒ සඳහා ඔවුන් මෙතෙක් පිටත සිට සිදු කළ සියලු කුමන්ත්‍රණ අසාර්ථක වී තිබේ. එහෙයින් මෙවර අලුත් උපක්‍රමයක් තෝරා ඇත. 

ඔවුන්ගේ නව උපක්‍රමය පිටතින් නොව ඇතුළතින් පිපිරීමක් ආරම්භ කිරීමය. සිංහල මුස්ලිම් කෝලාහලයක් නිර්මාණය කර ඒ ඔස්සේ බටහිර විරෝධි මුස්ලිම්වරු මහින්දගෙන් ඈත්කිරීමය. මුස්ලිම් රටවල සහාය නැති කොට මහින්ද ලෝකයේ හුදෙකලා කිරීමය. සිංහලයින් අතර ගැටුම් ඇති කර ඔවුන් ද මහින්දගෙන් ඈත් කරවීමය. ඔහු බලයෙන් පහකර නැවත මේ රටට ඇඟිලි ගැසිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමය. නැවත ඊළම වෙත යෑමය. 

ඒ සඳහා මේ විදෙස් බලවේග රට තුළ කුළී සේනාංකයක් නිර්මාණය කර තිබේ. ඒ බොදුබලසේනා සංවිධානයයි. මේ සංවිධානය පිටුපස ඇත්තේ නෝර්වේ ඇතුළු බටහිර රටවල්ය. ඒ සඳහා අවශ්‍ය සියලු මුදල් බටහිර NGO හරහා ලැබේ. එක් අතකින් රට රටවල ඉස්ලාම් වහාබ්වාදය ස්ථාපිත කරන බටහිරයෝ අනිත් අතින් ඊට එරෙහිව ගැටුම් ඇති කර රටවල් අස්ථාවර කරන බව මේ තර්කයේ හරයයි. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, සිරියාව වැනි රටවල මෙය සිදුවූ අතර දැනටත් සිදු කෙරෙමින් පවතී. 

මුස්ලිම් නොවන රටවල මේ කුමන්ත්‍රණය මගින් සාම්ප්‍රදායික මුස්ලිම්වරු වහාබ්වාදයේ ගොදුරු බවට පත් කර සෙසු ජාතීන් සමඟ ගැටුම් ඇති කරනු ලැබේ. බුරුමයේ 969 සහ ලංකාවේ බොදුබල සේනාව මේ ගැටුම් උග්‍ර කරනු පිණිස බටහිරයින් බිහි කළ කුළී සේනාංකය.   

මේ කතාව අපට එකවර බැහැර කරලිය නොහැකිය. ලෝකය පුරා තමන්ට රුචි නොවන මහජන ඡන්දයෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පෙරලීමට ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් අනුගමනය කරන නිර්ලජ්ජී පහත් ක්‍රමවේද පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුට එය කිසිසේත් සුළුකොට තැකිය හැකි තර්කයක් නොවේ. 

අපේ විචාරකයින් නඟන මේ තර්කය සත්‍ය නම් දේශමාමක ජනතාව වහා බොදු බලසේනාවට එරෙහිව සන්නද්ධ විය යුතුය. එදා කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු පිණිස එක්වූවා සේ ජාතිය නැවත සටනට අවතීර්ණ විය යුතුය. ඒ සඳහා ජනතාව අවදි කිරීමට අපි සුදානම්ය. මන්ද අපට අවසානයේ වැදගත් වන්නේ සංවිධාන හෝ පුද්ගලයින් නොව රට නිසාය. විවිධ සංවිධාන යනු එහි ආරක්ෂාව පිණිස විවිධ ක්‍රියාමාර්ග ගැනීම සඳහා භාවිත කරන පහුරු පමණි.

කෙසේ වුවද ඊට පෙර බොදුබල සේනාව බටහිර කුළී සේනාවක් බව සාධක සහිතව සනාථ කිරීම මේ විද්වතුන්ගේ යුතුකමය. ඔවුන් සිය මතය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක දෙකකි. පළමුවැන්න බොදුබලසේනාවේ නායකහිමිවරු නෝර්වේ රටේ සංචාරයක නිරත වීමෙන් පසුව මෙලෙස සංවිධානයක් පිහිටුවා ගැනීමය. දෙවැන්න ඩිලන්ත විතානගේ නම් බලසේනාවේ නිලධාරියා හිටපු NGOකාරයෙකු වීමය.

එදා අනගාරික ධර්මපාලතුමා ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවල සංචාරය කළේය. ඕල්කට්තුමා නම් සුද්දාගේ භාෂා පරිවර්තක ලෙස රටපුරා සංචාරය කළේය. මේ සාධක පදනම් කරගෙන කිසිවෙකු ධර්මපාලතුමා බටහිර කුමන්ත්‍රණකාරයෙකැයි එදා කීවේදැයි මම නොදනිමි. එසේ කීවා නම් පුදුම නොවෙමි. කොටි ත්‍රස්තයින් පරාජය යුද්ධය සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ගෝඨාභය රාජපක්ෂ දශකයක් පමණ ඇමරිකාවේ වාසය කර පැමිණියෙකි. එහෙත් ඔහු ඇමරිකානු සහ යුරෝපීය අවශ්‍යතා අනුව ඊළම දීමට කුමන්ත්‍රණය කළ බවක් මා අසා නැත. එසේ නම් බොදුබල සේනාවවේ හිමිවරු නෝර්වේ ගිය පමණින් ඔවුන්ට කුමන්ත්‍රණකාරයින් යැයි කිව හැකි ද?

බුදුන් දවස මිනී මරමින් විසූ අංගුලිමාල බුදු බණ අසා මහණ වී රහත් විය. අංගුලිමාල මහා රහතන් වහන්සේ නමින් ප්‍රසිද්ධ විය. එදා ඉංග්‍රීසි කුළී හමුදාවට නායකත්වය දෙමින් සිංහල විමුක්ති හමුදාව විනාශ කරනට පැමිණි කැප්පෙටිපොළ සිංහලයින් සමඟ එක්වී සිංහලයාට නායකත්වය දුන්නේය. කතෝලික සම්භවයක් සහිත පුරන් අප්පු සිංහල බෞද්ධයින් සමඟ එක්ව සුද්දාට එරෙහිව සටන් කළේය. ළමා සොල්දාදුවෙකු වූ කරුණා අම්මාන්, පසුව කොටි පරාජය කිරීමට සහාය වී විනයාගමූර්ති මුරලිදරන් නමින් ශ්‍රීලනීපයේ උපසභාපතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු බවට පත්ව සිටී. 

එසේ නම් ඩිලන්ත විතානගේගේට NGOකාරයෙකු වී සිට බොදුබලසේනාවට පැමිණිය නොහැකි මන්ද? මගේ තර්කය ඔවුන් බටහිර කුමන්ත්‍රණකාරයින් නම් එය සංගතව පෙන්වා දිය යුතු බවය. මොවුන්ට බටහිර සමඟ ඇති සබඳතා හෙළි කිරීම මේ බුද්ධිමතුන්ගේ වගකීමයි. ඉහත දක්වා ඇති කාරණා නම් ඒ සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. පිළිගත හැකි කරුණු කාරණා ඉදිරිපත් කළහොත් ඒවා ඉතා නිහතමානීව පිළිගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට තරම් මම නිහතමානී වෙමි.

එසේ නොමැතිව ලෝකය පෙරළෙනවා යැයි කී විට නිදා සිට ඇහැරුණු හාවා මෙන් මොවුන් පෙන්වන බටහිර බිල්ලා දැක අපට නොහැකිය. බටහිර බලවේග පිළිබඳ කතාව විහිළුවක් බවට පත් නොකිරීම මේ විද්වතුන්ගේ වගකීමයි. බොරුවට බොරුවට කොටියා එනවා යැයි කෑ ගැසූ කොලුවට ඇත්තට ම කොටියා ආ දිනයේ සිදුවූ සන්තෑසිය සිහිපත් කර ගැනීම මැනවී.

ඔබලා බටහිර බිල්ලෙකු පෙන්වමින් වහාබ්වාදයට අනියමින් උදව් කරන ප්‍රවාද නිර්මාණය කරන්නේ මුස්ලිම් පල්ලියේ සල්ලිවලට යැයි කෙනෙකු තර්ක කළහොත් එය සාධාරණද? මට අනුව නම් එය සාධාරණ නැත. 

මේ විද්වතුන් බටහිර විසින් නිර්මාණය කළ පැවසෙන 969 සහ බොදුබල සේනා සංවිධාන දැන් බටහිර විසින් ත්‍රස්ත ලැයිස්තුවට එක්කර තිබීම උත්ප්‍රාසජනකය. අනිත් අතට රජය පෙරළීම සඳහා බටහිර විසින් නිර්මාණය කළ මේ සංවිධාවලට රාජ්‍ය අනුග්‍රහය ද ලැබේ. එය ද අපූරු දීගයකි.  

සැබවින් ම මේ සංවිධාන බිහිවූයේ වහාබ්වාදයට විරුද්ධවය. එහෙයින් වහාබ්වාදය සහ ඊට එරෙහි සංවිධාන ද බටහිර නම්, දිනෙන් දින මේ රටේ පිළිකාවක් සේ වහාබ්වාදය ව්‍යාප්ත වේ නම් අප කළ යුත්තේ කුමක් ද? වහාබ්වාදයට මේ රට ගිලගැනීමට ඉඩදිය යුතුද? ජාතික චින්කයින්ගේ පිළිතුර එයද?

සැබවින් ම මේ තර්කය ඔස්සේ බෞද්ධයින් ගෙදර ගියත් තෝ නසී, මග සිටියත් තෝ නසී තත්ත්වයට පත්කර තිබේ. ලොව ඕනෑම රටක ඇති වන දේශපාලන උපනතීන් ලෝක බලවතුන් සිය වාසියට භාවිත කිරීම විය හැක්කකි. එය සර්වකාලීන තත්ත්වයකි. එය බටහිරට පමණක් නොව ඉස්ලාම් ලෝකයට ද එක සේ අදාළය. 

එහෙත් ඊනියා බටහිර භීතිකාවක් මවා වහාබ්වාදයට එරෙහි බලවේග යටපත් කිරීමට දරන උත්සාහයට මම එරෙහි වෙමි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සහ දැනුමට විකල්පයක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ඊට අනුගත දැනුම පිහිටුවන මේ බුද්ධිමතුන්, සිංහල බෞද්ධ සංස්කෘතිය සුන්නත් කර තොප්පියක් පළන්දන තුරු වැදි බණ දෙසීම අවාසනාවකි.    

Wednesday, April 23, 2014

වටරැක හිමි බුදු සසුනින් නෙරපා හරිනු!!!

වටරැක විජිත හිමි මුස්ලිම් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකි. මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හිමිනමකි. එහිමියන් නිතර මුස්ලිම් පල්ලිවල දේශන පවත්වයි. සිංහල බෞද්ධයින්ට වඩා මුස්ලිම්වරු ශ්‍රේෂ්ඨ ජාතියක් බව එහිමියන්ගේ අදහසයි. මුස්ලිම්වරු හලාල් කළ තෝරා ගත් මස් වර්ග කිහිපයක් අනුභව කරන මුත්‍රා කොට ශික්ෂ්ණය හෝදන වැදගත් මිනිස්සුය. සිංහල බෞද්ධයින් වනාහි ඌරා ද හරකා ද එළුවා ද මුවා ද මීමින්නා ද තලගොයා ද ගිරවාද මයිනා ද මරාන කන ම්ලේච්ඡයෝය. ගඳ ගහන උරුලෑවන් පවා මරාගෙන කයි. උන් කබරා මරාගෙන නොකන්නේ කබර මස් විෂ නිසාය.ෙ  

ඉතින් එවන් අශිෂ්ට ම්ලේච්ඡයින්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන එක වටරැක හිමියන්ට තරම් නොවේ. එහිමියන් අශ්රොෆ් සමඟ එකම රථයෙන් ගමන් බිමන් ගිය බව එහිමියන් පවසයි. (අශ්රොෆ් සමඟ ගුවන් යානයේ වැඩියේ නැත.) මුස්ලිම් ජනතාව ද එහිමියන්ට මහත් භක්තියක් දක්වන වන නිතර නිතර මුස්ලිම්වරුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කැඳවීමෙන් පෙනේ. 

වටරැක හිමියන්ගෙන් බුදු දහම උගත් බුද්ධිමත් ගෝල නමක් වන තවුහීක් ජමාල් පවසන පරිදි තෙරුවන යනු මැණික් ගල් තුනකි. මැණික් වුවත් ගල් ගල්මය. එහෙයින් මැණික්වලට වඳින්නේ මෝඩයෝය. බුදුන් ද මස් කා තිබේ. හරක් මස් පමණක් නොව මිනී මස් ද කා තිබේ. 



එසේ නම් එහිමියන් කළ යුත්තේ අශිෂ්ට සිංහල බෞද්ධයින්ගේ සිව්පසය අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා බුද්ධ චීවරය ද පසෙකලා මුස්ලිම් පල්ලියක නතර වීමය. තවත් බුද්ධ චීවරය දරාගෙන සිටීම නම් වටරැක හිමිට තරම් නොවේ.  එහිමියන් කරන මුස්ලිම් ආගමික කටයුතු එවිට තවත් හොඳින් කළ හැකිය. භක්තිමත් මුසල්මානුවෙකු ලෙස ජීවත් විය හැකිය. එවිට බෞද්ධ භික්ෂූන් සහ ගිහියන් ඒ මහතා ලුහුබඳින්නට ද නොපැමිණෙනු ඇත. 

ඒ සඳහා වටරැක හිමියන් එකඟ නොවන්නේ නම් පෙර රජ දවස සේ භික්ෂූන් එක්ව සංඝාධිකරණයක් පිහිටුවා එහිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම මැනවි. එයින් ද ප්‍රතිඵලයක් නැත්නම් බලෙන් සිවුරු හරවා ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතුය. 

වටරැක හිමියන්ගේ ක්‍රියා කළාපය බෞද්ධයින්ගේ විවේචනයට ලක්වූයේ අද ඊයේ නොවේ. ඒ ගැන ගංගොඩවිල සෝම හිමි ද විවිධ අවස්ථාවල සඳහන් කර තිබේ. 

කෙසේ වුව ද එහිමියන්ට එරෙහිව මේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බොදුබල සේනාව නොව තෛයිනිකායික මහා සංඝ රත්නය පෙරමුණ ගත යුතුය. මෙවැනි අවස්ථාවල අතීත මහ සඟරුවන කටයුතු කළ ලෙස වර්තමාන මහ සඟරුවන කටයුතු කළ යුතුය. මෙය දැනටමත් ප්‍රමාද වී ඇති බව මගේ අදහසයි. එසේ නොකළ හොත් නොබෝ කලකින් ම බුදු සසුනට වටරැක නිකායක් ද බිහිවනු ඇත.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳබිඳ දුක් සසර
අහෝ! වටරැක නොදිටි මොක්පුර

Sunday, April 6, 2014

තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!!

ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. 

තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය තරඟය සජීවි ලෙස විකාශනය කිරීමට සුදානම් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන් සිංහ දජ පතාක රැගෙන ජයඝෝෂ නඟමින් ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර ක්‍රීඩාගාරය අතුරුසිදුරු නැතිව පිරී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි. 

කාසියේ වාසිය මාලිංග සතු කර ගනිත්ම ජය ඝෝෂාවෙන් මුළු ක්‍රීඩාංගණය ම ගිගුම් දෙන්නට විය. ලංකාවේ ජය පතා වයන මෝලම් හඬ දෙගුණ තෙගුණ විය. ඉන්දීය ජාතික ගීය ගයන විට සියලු ජය ඝෝෂා නතර කොට නිහඬවීමට තරම් බොහෝ ලාංකිකයින් වගකීම් සහගත වුව ද සුළු පිරිසක් කෑ කෝ ගසමින් සිය අසංස්කෘතිකත්වය ප්‍රදර්ශනය කිරීමට අමතක නොකළේය. ඒ මොහොතේ සිය අසුන්වලින් නැගිට නිහඬව සිය ගෞරවය ඉන්දීය ජාතික ගීයට පළ කළ සියලු දෙනා මගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. කෙසේ වුව මාලිංග ප්‍රමුඛ ලංකා කණ්ඩාවම අපේ ජාතික ගීය ගයන විට සියලු දෙනා නැඟිට මහත් අභිමාණයෙන් ජාතික ගීය ගැයූ බව ද කිව යුතුමය.

දස අත ගිගුම් දෙන ජයඝෝෂා මැද තරඟය ඇරඹිණි. අපේ සිංහ පැටව් වෙනුවෙන් මුළු ක්‍රීඩාගාරය ම ජය ඝෝෂා නැඟු අතර ඉන්දී ජාතිකයින් පිරිසක් සිය රටේ ජය පතා ඝෝෂා නඟනු දක්නට ලැබිණි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මා අවට සිටි මුස්ලිම් පිරිස ලංකාවේ ජය පතා හඬ නැඟු බවය. ඔවුන් මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් නොවූ සැබෑ දේශප්‍රේමි ලාංකිකයින්ය. 

මුල් පන්දු වාර කිහිපය අවසානයේ මම මගේ නවාතැන අසල ශ්‍රී විහාර් හෝටලය වෙත පැමිණියෙමි. (එය මීට පෙර ශාන්ති විහාර් නම් විය.) රාත්‍රී ආහාරය ගෙන එහි සේවක පිරිස සමඟ හෝටලයේ රූපවාහිනිය ඔස්සේ තරඟය නැරඹුවෙමි. ශ්‍රී විහාර් දෙමළ හින්දු වෙජිටේරියන් හෝටලයකි. එහි සේවක බහුතරය ශ්‍රී ලංකා දෙමළ වන අතර සූපවේදීන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයෝය. එම සිව් දෙනා අතරින් තරඟය නරඹමින් සිටි දෙදෙනා හැර අපි සියලු දෙනා ලංකාවේ ජය පැතූ අයවීමු. ඉන්දිය විකට් බිඳෙන විට, ලකුණු වළක්වන විට අපි ප්‍රමුදිත වූ අතර චිරාත් කෝලි පිටිය සිසාර සිය අණසක පතුරු වන මුකුලිත වීමු. එවන් අවස්ථාවල ඉන්දියානුවෝ බෙහෙවින් සතුටු විය.

තරඟය කෙළවරවත්ම මට මගේ කොළඹ හින්දු මිතුරියගෙන් ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ "අපි දිනුවා! කොහොමද සංගාගේ වැඩ!" යනුවෙනි. මගේ යාපනේ මිතුරියක සිය නිවසේ සිට මට එවූ කෙටි පණිවිඩයක් මෙසේය.

"Ys Iya, It's a new year gift 4 all Sri Lankans. wow amazing. Gud luck Sanga. He is a hero. Thnk God." 

මේ සියල්ල මා කීවේ මා බොහෝ කලක සිට කියන කතාවක් නැවත කීම සඳහා පසුබිම සකසා ගැනීම පිණිසය. විවිධ හේතු නිසා විවිධ බෙදීම් රාමුවල සිරවී සිටින අපි ඊයේ රාත්‍රී ජාතියක් ලෙස එකට සිට ගතිමු. එකම අපේක්ෂාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගතිමු. අපේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව පෙනී සිටියෙමු. 

විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. 

Friday, April 4, 2014

පයින් යන්න තහනම් කළ ආසියාවේ අයිස්චරිය..!!!


ඊයේ මාසික සාහිත්‍ය දේශනයට සවන්දීමට ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයට ගිය මම දේශන අවසානයේ සාකච්ඡා වාරය අතරතුර මිතුරෙකු ද සමඟ ඒ පිටුපස පිහිටි තුරඟ තරඟ පිටියට ගියෙමි. ඒ ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම් අතර 20/20 ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් තරඟයේ ආරම්භක අවස්ථාව දැකබලා ගැනීමටය. (එහි පුළුල් තිරයේ තරඟය බැලිය හැකිය.)

අප තුරඟ තරඟ පිටියට ගියේ විශ්වවිද්‍යාලයේ සිට පුස්තකාලයට පයින් යනෙන කෙටි මග ඔස්සේය. මා සිය දහස් වාරයක් ආගිය මාර්ගය දිගේය. එනම් රීඩ් මාවත දිගේ පැමිණ තුරඟ තරඟ පිටිය ඔස්සේ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පුස්තකාලය අතරින් වැටී ඇති මාර්ගයේය. පයින් යන අය සඳහා එය කෙටි මාර්ගයකි. පුස්තකාල සේවක පිරිස ද කුරුඳුවත්ත බස් නැවතුමට එන්නේ ඒ මගිනි.

මුල් පන්දු වාර කිහිපය නැරඹු අපි නැවත ඒ මාර්ගය ඔස්සේ පුස්තකාලයට පැමිණෙන විට පෙරකී මාර්ගයේ රැඳී සිටි පොලිස් නිලධාරියෙකු මට පැවසුවේ මේ පාර වසා ඇති බවත් ක්‍රීඩාංගනය කෙළවරට ගොස් ක්‍රීඩා අමාත්‍යංශය ඔස්සේ පුස්තකාලයට යන ලෙසත්ය. මිනිත්තු කිහිපයකට කලින් මේ මාර්ගය ඔස්සේ පැමිණි මා පරංගියා කෝට්ටේ ගියා වැනි මාර්ගයක නැවත පුස්තකාලයට යා යුත්තේ ඇයි දැයි විමසු මම මිතුරා ද සමඟ ඔහුගේ අණ නොතකා පුස්තකාලයට ගියෙමි.


එහි ගොස් නොබෝ වේලාවකින් විල්පත්තු අභයභූමිය විනාශ කරන බව ඇසූ වහා රිෂාඩ් බදූර්දීන් ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනීමට යුහුසුලු වූ ශ්‍රී ලංකා පොලිසිය මෙන් පොලිස් කණ්ඩායමක් මා වට කොට ගත්තේය. එහි පැමිණි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු මට ඉතාම කාරුණික ලෙස පෙන්වා දුන්නේ එහි මාර්ගයක් නොමැති බවත් පොලිස් අණ නොතකා පැමිණීම වරදක් බවත්ය. මා වැනි උගත් බුද්ධිමත් අය (???) එවැනි දේ නොකළ යුතු බවත්ය. මට කිසිවක් කතා කිරීමට ඉඩ නොදීමට තරම් කාරුණික වූ ඒ නිලධාරි මහතා ඇතුළු පිරිවර පසුව නික්ම ගියේය.

මේ සිද්ධිය හමුවේ ඒ නිලධාරිතුමාගේ හැසිරීම පොලිසිය කෙරෙහි මා තුළ පැවති අපැහැදීම කිසියම් දුරකට තුනී කිරීමට සමත් විය. කෙසේ වුව ද අද දිවයින පුවත්පතේ පුත්තලම කලා ඔය රක්ෂිතයේ ඉතා වටිනා ඉපැරණි කුඹුක් ගසා කපා පටවන බවට ලද පැමිණිල්ලක් අනුව එය වැටලීමට ගිය පොලිස් පිරිස ඇමතියෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු එහි සිටිනු දැක පළා ගිය පුවත දුටු මට මේ අසරණයින් කෙරෙහි දුකක් ද ඇති විය.

මේ අතර අර පොලිස් නිළධාරි පිරිස නික්ම ගිය වහා එහි පැමිණි පුස්තකාලයේ සේවක පිරිසක් මා සමඟ පැවසූවේ මෑතක සිට ඔවුන්ට පෙර කී මාර්ගය ඔස්සේ ගමන් කිරීමට තහනම් බවත් ඒ පිළිබඳ ආයතන ප්‍රධානීන් තමන්ට ලිඛිතව දැනුම් දුන් බවත්ය. ඊට හේතු වී ඇත්තේ එක්තරා අධිකරණ විනිසුරුවරයෙක් පුස්තකාල පරිශ්‍රය සහ ලේඛනාරක්ෂක දේපාර්තමේන්තුව වට ඇති පාපැදි මං තීරුවේදී මගියෙකුගේ ඇඟේ හැපී ඇද වැටීමය. (මේ නිසා එතුමාගේ ශ්‍රී දේහයේ කිසියම් අවයවයකට හානි වී දැයි මම නොදනිමි.) කෙසේ වුව ද කුණු බැනුම් ඇසුවේ රජතුමාය. මෙවර මැතිවරණයෙන් කෙළවුණා මදි බවත් තව තවත් කෙළවිය යුතු බවත් ඔවුන්ගේ අදහස විය.

කලක් කසළවලින් සහ ළඳු කැලෑවලින් වැසී පැවති නිදහස් චතුරස්‍ර ප්‍රදේශ එලිපෙහෙලි කර මෙලෙස ව්‍යායාම කිරීම සඳහා සකස් කිරීම පිළිබඳ මම සතුටුවෙමි. මම ද උදෑසන එහි ව්‍යායාම කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන සිටිමි. ඇතැම් විට මම ද යුද හමුදා කුටියෙන් පාපැදියක් ගෙන පදිමි. එසේ පදින අවස්ථාවල ඇතැම් සාමාන්‍ය ජනයා මෙන් ම ව්‍යායාම කරන පිරිස් එනම් දිවීම සහ ඇවිදීම කරන අය ද බයිසිකල් මංතීරුවෙහි මුණගැසෙයි. හරහා පනියි. ඇතැම් විට කල්ලි පිටින් තීරුව පුරා ගමන් කරයි. එවිට මා කරන්නේ පාපැදියේ සීනුව නාද කිරීම තිරිංග තද කිරීම මගින් මාර්ගය පාදා ගැනීමය. ඒ නිසා මම කිසි දිනක වෙන අයෙකුගේ ඇඟේ හැපී නැත.

එහෙත් දැන් සිදුව ඇත්තේ පරිස්සමින් සිය පාපැදිය හැසිරවිය නොහැකි උතුමෙකු නිසා රටේ සාමාන්‍ය ජනතාවට පයින් යෑම තහනම් කිරීමය. රටේ සංවර්ධනය යනු සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරමින් යන ගමනක්ද? එසේ නම් ඒ සංවර්ධනය කාටද? මාර්ගයක රිය අනතුරක් සිදුවූ විට රියදුරාට වරදක් කර ඇත්නම් දඬුවම් ලබා දුන්න ද ඒ අනතුර නිසා මාර්ගය මගීන්ට තහනම් කිරීම කවර නම් විකාරයක් ද? මේ විනිසුරුවරයා බුද්ධිමතෙක් නම් කළ යුතුව තිබුණේ ඒ කොටසේ ද මගීන් සඳහා ද මාර්ග කොටසක් තනන ලෙස අදාළ ආයතනවලට දැනුම් දී එම කොටස තාවකාලිකව පාපැදි ධාවනය නතර කිරීමය. මන්ද එය නයිට් ක්ලබ් එකකට හෝ ගණිකා මඩමකට යන මාර්ගයක් නොව මේ රටේ වැදගත්ම පුස්තකාලයට පිවිසය හැකි මගකි. එහෙත් මේ විනිසුරුවරයා ද කර ඇත්තේ නූගත් දේශපාලකයෙකු ලෙස සිය බලය අනිසි ලෙස භාවිත කිරීම පමණි.

සාමාන්‍යයෙන් මේ රටේ සිය බලය අයුතු ලෙස භාවිත කැරීම පිළිබඳ බොහෝ චෝදනා එල්ල වන්නේ දේශපාලකයින්ටය. එහෙත් උගත් බුද්ධිමත් යැයි කියන විනිසුරන් මෙලෙස ක්‍රියා කරයි නම් නූගත් මෝඩයින් කරක් ගහන දේශපාලන පොරපිටිවල කවරක් නම් සිදුවිය නොහැකිද? වරක් හිටපු අගවිනිසුරුවරිය එක්තරා ආයතනයකට ගිය විට සුළු සේවකයෙකු ඇයට ගෞරව නොකළේ යැයි ආයතනයෙන් අස් කරන ලෙස බලපෑම් කර අස්කර තිබිණි. තවත් විටෙක නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ මඟුල් මඩුව තුළ ව්‍යායාම කරන දෙදෙනෙකු දුටු එහි ආරක්ෂකයෙකු ඔවුන්ට ඉන් ඉවත් වන ලෙස පැවසූ විට ඒ දෙදෙනා තමන් ලෝයර්ස්ලා බව පවසමින් එකී ආරක්ෂකයාට බැණ වදිනු අසා සිටීමට තරම් මම අවාසනාවන්ත වීමි.

මේ අර්ථයෙන් ගත් කළ නීති සම්පාදනය කරන දේශපාලඥයින් සහ ඒවා ක්‍රියාත්මක කරන පිරිස් අතර ද කිසි වෙනසක් නැත. දෙපිරිසම වැදි බණ දෙසති. කැලෑ නීතිය ම රජයයි. මේ අනුව ආනමාලු ඉමිතියාස් ද දුමින් ද සිල්වා ද පෙරකී විනිසුරන් හා නීතිඥයින් ද එවුන්ට හූ කියා පසුව සොරි කී රිෂාඩ් බදූර්දීන්ලා ද එක වල්ලේ පොල්ය. එයට කෙටියෙන් ම කිව හැක්කේ ආසියාවේ අයිස්චර්ය කියා ය.

Wednesday, April 2, 2014

උතුරට විග්නේශ්වරන් බස්නාහිරට හිරුණිකා

(ෆේස්බුක්හි පිලිප් ශාන්ත නම් මා මිතුරාගේ කුඩා සටහනක් පිළිබඳ ඇති වූ කතාබහක් බහුජන හිතසුව පිණිස මගේ බ්ලොග් අඩවියේ පළ කරමි.)

Philip Shantha-දෙමළ විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ජාතිවාදීන්, ලිබරල්වාදීන් එකතු වෙලා දෙමළ සංධානයක් විදිහට උතුරට තරග කළානෙ. උතුරෙ මිනිස්සු තෝරා ගත්තෙ විග්නේශ්වරන්ව.

ඒ වගේම සිංහල විමුක්තිකාමීන්, බෙදුම්වාදීන්, ජාතිකවාදීන්, ලිබරල්වාදීන් එකතුවෙලා බස්නාහිරට තරග කළානෙ. බස්නාහිර මිනිස්සු තෝර ගත්තෙ හිරුණිකාව.

ෂෝයි නෙ.

Lakshan Wickrema විග්නේශ්වරන් පෙනී සිටින්නේ දෙමළ ජාතිකවාදය වෙනුවෙන් - එච්චරයි

Namal Udalamatta නෑ විග්නේශ්වරන් මහ ඇමති අපේක්ෂක විදිහට නම් කරලා උතුරේ මිනිස්සුන්ට කීවා ඡන්දේ දෙන්න කියලා. බස්නාහිර කවුරුත් නම් කළේ නෑ මහ ඇමති විදිහට.

Philip Shantha ඒ විතරක් ද?

විග්නේශ්වරන් රෙද්ද බැනියම ඇදන් ඡන්දෙ ඉල්ලුවා. හිරුණිකා ගවුමක් හරි කලිසමක් හරි ඇදන් ඡන්දෙ ඉල්ලුවා.
නෙ?

Lakshan Wickrema පිලිප් දැන් කියන්න හදන්නෙ උතුරෙ මිනිස්සු බුද්ධිමත් වගේ කතාවක් නම් ඉතින් මීට වඩා ඒ ගැන කතා කරලත් වැඩක් නෑ

Namal Udalamatta හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්.

Philip Shantha Namal Udalamatta එතකොට යාපනේ ලිස්ට් එකෙන් ආපු අර ආනන්දී සසීදරන්ට ඒ චාන්සස් තිබුනෙ නැද්ද?

Namal Udalamatta ඔව් පිලිප් එහෙම වෙන්න තිබුණා. මට මතක හැටියට ආනන්දිට තමා දෙවන තැනට වැඩිම මනාප තිබුණේ. එහෙම වුණේ විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළ නිසා. එහෙම නම් කළෙත් විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාව රෝ එක සහ බටහිර තානාපතිවරු මිස දෙමළ ජනතාව හෝ ද්‍රවිඩ සංධානය නම් නොවේ. විග්නේශ්වරන් මහ ඇමති විදිහට නම් කළාම බොහෝ අය ඔහුට මනාපයක් දෙනවා තමන් කැමති අපේක්ෂකයින්ට අමතරව. ඒ විදිහට විග්නේශ්වරන් නම් නොකළා නම් ආනන්දි තමා මනාප වැඩි වෙන්නේ.

Philip Shantha Namal Udalamatta තීරණාත්ක වෙන්නෙ මහ ඇමති අපේක්ෂක ධූරයට පත් කිරීමම ද? ඒකෙන් ලැබෙන වාසිය කණ්ඩායම් නායකයාට හා මහ ඇමතිකම ලබාදෙන බව ඉහළින් එන හැගවුමට ලැබෙන්නෙ නැද්ද? කොටින්ම කියනව නම් ගම්මන්පිලට වාසියක් නොමැතිව හිරුණිකා තෝරා ගැනීමට තරම් කොළඹ සමාජය හිතුවෙ ඇයි? ගම්මන්පිලගෙ ජාතිකවාදය ඒ මිනිස්සුන්ට වැදගත් නොවුනෙ ඇයි?

Namal Udalamatta ඒක තේරුම් ගන්න අමාරු නෑ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙනුවට ගම්පහ ජනතාව පබා තෝරා ගත්තේ ඇයි කියලා හිතලා බැලුවා නම්. කොළඹ විතරක් නෙමේ කළුතර, මාතර වුණත් කණ්ඩායම් නායකයින් නෙමේනේ වැඩිම මනාප ගත්තේ.  අනෙක ගම්මන්පිල දෙවනියා මිසක් අන්තිමයා නෙමේ. ඔහු ගියවර ලබපු මනාප ප්‍රමාණයට වඩා මෙවර මනාප ප්‍රමාණය වැඩියි. ඔබ හිතනවාද මෙවර හිරුණිකා ලබපු මනාප ප්‍රමණාය ඊළඟ වර වැඩි කර ගැනීමට තබා ආරක්ෂා කර ගැනීමටවත් පුළුවන් වෙයි කියලා? මම කියන්නේ බෑ. මේවා නිකන් වල්ග තරු විතරයි පිලිප්.

Philip Shantha අනාගතයෙ වෙන දේ ගැන නෙවෙයි තර්ක කළ යුත්තෙ. වෙච්ච දේ ගැන. මගේ තර්කය කරූව ප්‍රතික්ශේප කිරීමටත් අදාළයි. ඒක මේ ගම්මන්පිල පජ කරන්න කියන එකක් නෙවෙයි. අනෙක ගම්මන්පිලට ඔබ ලව් බව මා දන්නව. නමුත් එයාට ඇයි එහෙම උනේ කියන එක හැගීම්බරව නැතිව තාර්කිකව හොයන්න ඕන නේද?

Namal Udalamatta http://adaderana.lk/news.php?nid=26294

Namal Udalamatta වෙච්චි දේට හේතු මම කීවනේ. මතක නැත්නම් ආපහු බලන්න මුල් කමෙන්ට්ස්. "හිරුණිකාට මනාප වැටුණේ වෙන වෙන හේතු නිසා. ඒ මනාප වුණේ කුඩු දුමියාට ඇති විරෝධය, නවක බව, ලස්සන, භාරත සිද්ධිය වගේ දේවල්."
හිරුණිකාත් කියනවා නම් එයා දින්නේ තාත්තා නිසා කියලා තව මොනවාද? අනෙක ඒක ඔයා හිතන විදිහට සුවිශේෂ දෙයක් නොවන බවත් මම කීවානේ. ඉතින් තව මොනවාද තාර්කිකව තේරුම්ගත යුතු දේවල්?
මම ගම්මන්පිලට ලව් නම් ඔයා හිරුණිකාට ලව් කියලා මම කීවොත් ඒක හරිද? මම හිතන්නේ හරි නෑ. ඔයා දැන් හිරුණිකා වෙනුවෙන් පෙනී සිටිනවා වගේ පේන්නේ ඔබේ දේශපාලන හතුරාට වඩා මනාප ගත් නිසානේ.
ආරම්භයේදී කුඩු දුමියා අර ජින්ජර්, රුවන්ති සහ ගයේෂා දාලා හිරුණිකාගේ මනාප අඩු කරන්න කටයුතු කරද්දි මමත් හිරුණිකාගේ පැත්ත. (මම එයාගේ facebook page එකට ලයික් එකක් දැම්මේ ඒ දවස්වල) මම හිතනවා ඒ අම්මණ්ඩිලාට වඩා හිරුණිකා හොඳයි කියලා. හැබැයි ඉන් එහාට ආවම මම හිතනවා ගම්මන්පිල හොඳයි කියලා. එච්චරයි.

Philip Shantha මට නම් ඔය එකෙක්වත් හොද නෑ. ඒ වගේම වැඩි නපුරට වඩා අඩු නපුර ඕනෙත් නෑ. ගම්මන්පිලට ඔයා ලව් කිව්වෙ ඔයා ජාතිකවාදී මතයක ඉන්න නිසා. ඒකෙන් කමක් නෑ. මට ඕන ඔය වගේ පැතැලි හේතු ටිකක් කියල හිත නිවා ගන්න නෙවෙයි. සිංහල ජාතිකවාදය ශක්තිමත් නම් ගම්මන්පිල දෙවැනියට ඇදල දාල හිරුණිකා පළමුවැනිය කරාවිද?
හිරුණිකාට ඡන්දෙ දෙන්න දහසකුත් හේතු කියන්න පුලුවන්. නමුත් ගම්මන්පිලට නොදී හිරුණිකාට දෙන්න තරම් මිනිස්සු පෙළබුනේ ජාතිකවාදය ප්‍රතික්ශේප කරන නිසාද? ජාතිකවාදය අවශ්‍ය උනත් ඊට වඩා හිරුණිකාට වැඩි වටිනාකමක් ලැබුන නිසාද? එහෙම උනා නම් ජාතිකවාදය කියන්නෙ ශක්තිමත් ජන පදනමක නැති එකක් ද? නැත්නම් වෙන මොකක් හරිද? ඔන්න ඕව තමයි හොයල බලන්න ඕන.

එහෙම නැතිව "අනේ හැගීම්බර ඡන්ද එයාට ලැබුන කියන එක නෙවෙයි".

Namal Udalamatta ලංකාවේ මෑත කාලයේ කාන්තා දේශපාලනය කියන්නෙම හැඟීම්බර ඡන්ද තමා. ඇත්ත ට ම දේශපාලන සැමියා හෝ පියාගේ හදිසි මරණය තමා පදනම. මම පෙර දක්වපු හේතු වැරදි නම් ඒවා පෙන්වා දී නිවැරදි හේතු ඔයා මට පෙන්නලා දෙන්න පුළුවන් නම්. අවසානයේ හිරුණිකාත් කියනවා එයාගේ ඡන්ද පදනම ඒක කියලා. ඉතින් වෙන මොන කතාද? ගම්මන්පිල ඉතින් ශ්‍රීලනීපත් නෙමේ. එතකොට කොලඹ සංධාන ප්‍රධානීන් වුණත් ගම්මන්පිලට වඩා තම ගෝල බාලයින් ඥාතීන්ට තමා උදව් කරන්නේ. ඇත්තටම මනාප ක්‍රමය යටතේ සිය පක්ෂයේ අයම ගහ මරා ගනිද්දි වෙන පක්ෂයක ගම්මන්පිලට ඔවුන් උදව් කරයි කියලා හිතන්න බෑ. ජාතිකවාදයේ පදනමේ ශක්තිය මනින්න ඉක්මන් විය යුතු නෑ. ඒකට හොඳ සංරචකයකුත් නෙමේ මේ මැතිවරණය. මේ මැතිවරණයේදී සහ පසුගිය මැතිවරණවලදී මනාප ප්‍රතිඵලවලින් දෙවැනියා වුණු එකම කෙනා ගම්මන්පිල නම් අපට ඒ ගැන විශේෂයෙන් හිතන්න තිබුණා. නමුත් ඒකත් එහෙම නෙමේනේ. හැබැයි අර ජවිපෙ තරම් සන්ධානය තුළ බලය ස්ථාවර කරගන්න ගම්මන්පිලලා සමත් වුණේ නෑ. මොකද ජවිපෙ හෙළ උරුමයට වඩා බොහොම ශක්තිමත් සංවිධාන ශක්තියක් තියෙන පක්ෂයක්.

Philip Shantha 1. ඔයාගෙ හේතු දැක්වීම් වැරදිය හෝ හරිය කියල මා කියන්න යන්නෙ නෑ. මගේ ප්‍රශනය වන්නෙ සීරියස් ජාතිකවාදය වෙනුවෙන් පෙනී ඉන්න ගම්මන්පිල දෙවැනිය කරල හැගීම්බරව හිරුණිකාව පළමුවැනිය කරන්න තරම් බල පෑ සාධක ගැනයි. අරක නිසා මේක නිසා කියන්නෙ මිනිස්සු චන්දෙ දුන්න ස්වභාවයනෙ. මා අහන්නෙ ඒ තත්ත්වයට මිනිස්සු පත් උනේ ඇයි?

2. තමන්ගෙ ඡන්ද පදනම හැගීම්බරවීම කියල හිරුණිකා කියන එක ඔබට අනුව යථාර්ථය නම් ජාතිකවාදයට වඩා හැගීම්බරවීම ශක්තිමත් උනා නම් ඒක ජාතිකවාදය ව්‍යාප්ත කිරීමේ දුර්වලතාවක් නොවේද?

3. මොන බෙදීම් තිබුනත් ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ උපරිම සහාය ගම්මන්පිලට තිබුනා. ඒ බව මිනිස්සු දන්නෙ නැද්ද?

4. ජාතිකවාදය මනින්න මේ මැතිවරණය හොද සංරචකයක් නෙවෙයි නම් ඒ තීරණයට ඔබ ආ සාධක මොනවාද?

5. හෙල උරුමයට වඩා ජේවීපී එක සංවිධාන ශක්තියක් තිබූ නිසා ජේවීපී එක ශ්‍රීලනිපය හා හවුලේ තරග කරන කොට ජෙප්පන් වැඩි මනාප ගත්තා යැයි ඔබ කියනව. එහෙමනම් එතැනින් කියවෙන්නෙ නැද්ද හොද සංවිධාන ශක්තියකට සමාජයේ සම්ප්‍රදායි හැගීම්, මතයන් හා සරල දේවල් ඉක්මවා යන්න පුලුවන් බව?

Namal Udalamatta 1. කරු ජයසූරියට වඩා පබා මනාප ගැනීමට ද මාතර කණ්ඩායම් නායක චන්දිම රාසපුත්‍රට වඩා පසඳ යාපා මනාප ගැනීමට ද කළුතර කණ්ඩායම් නායක ජගත් අංගගේට වඩා සෙනෙල් වෙල්ගම මනාප ගැනීමට ද කිසියම් හේතු සමුදායක් හේතු විණි ද ඒ හේතු සහ හිරුණිකා ශ්‍රීලනීප වීම, ඇගේ පියාගේ හදිසි මරණය, කුඩුදුමියා කෙරෙහි ඇති විරෝධය, කුඩු දුමියාට එරෙහිව ඇය ප්‍රභල හඬක් නැඟීම, ගම්මන්පිල සන්ධානයේ නොවීම ආදී හේතු නිසා හිරුණිකාට මනාප වැඩි විය. ඇයට මනාප දෙන තත්ත්වයට මිනිසුන් පත්විය.
2. ඔබේ මේ තර්කය නිවැරදි නම් කොළඹ ජාතික මතවාදය ඉතා ශක්තිමත්ය. මන්ද සන්ධානය තුළ නියෝජනය වන සෙසු සියලු දේශපාලන මතවාද පරයා ජාතිකවාදය ඉස්මතු වී ඇති හෙයිනි. එසේ නම් කළ යුත්තේ ජාතිකවාදයට වඩා සෙසු දේශපාලන මතවාද යටපත් වුණේ කෙසේද යන්න විමසා බැලීමය. එහෙත් එය එසේ නොවන බව මගේ අදහසය.
3. ජනාධිපතිවරයා කෙසේ වෙතත් ගෝඨාභය නම් ගම්මන්පිලට මනාප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් බැසිල් ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රසන්න මහ ඇමති බව කියා තිබිණි. නාමල් ද හිරුණිකාගේ වේදිකාවට ගොඩ විය. ජනාධිපතිවරයාගේ උපරිම සහාය ගම්මන්පිලට ඇත්නම් ඔහු මහ ඇමති කිරීමට කිසිදු බාධාවක් නැතැයි සිතමි.
4. මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ඔබේ 2 වන ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර හා බැඳේ. මේ මනාප ප්‍රතිඵලවලින් එය නොමැනිය හැක්කේ ගම්මන්පිල දෙවැනියට මනාප ගැනීම තුළින් ජාතිකවාදය සෙසු දේශපාලන මතවාදවලට වඩා ඉදිරියට පැමිණ ඇතැයි නිගමනය කළ නොහැකි හෙයිනි. එවැනි නිගමනයකට ගියහොත් එය අතිශ්‍යෝක්තියකි. අනෙක් අතට හෙළ උරුමය මෙන් ම ජාතික නිදහස් පෙරමුණ ද සර්ව සම්පූර්ණ ජාතිකත්ව සංකල්පය නියෝජනය කරන පක්ෂවලට වඩා ඒ මතවාදය හා වඩා සමීප අදහස් දරන පක්ෂ ලෙස හැඳින්විය යුතුය. එම පක්ෂ නියෝජනය කළ ගම්මන්පිල මනාප ලැයිස්තුවේ දෙවැනි තැන ද රොජර් සෙනෙවිරත්න 4 වන තැන ද නිශාන්ත ශ්‍රී වර්ණසිංහ 15 වන තැන ද ලබා ගෙන තිබේ.
කෙසේ වුව ද මෙය පළාත් පාලන මැතිවරණයක් මිස ජාතික මැතිවරණයක් නොවේ. මෙහිදී ජාතිකත්වයට වඩා සෙසු කරුණු ඉස්මතු විය. එය ජාතික විජාතික මැතිවරණයක් ලෙස ගතහොත් ආණ්ඩුව සමාජගත කළේ තමන් ජාතිකත්වය ද විපක්ෂය විජාතික බලවේග ද නියෝජනය කරන බව පමණි. මේ කරුණු නිසා ජාතිකත්වය මැනීමට මෙය හොඳ නිර්ණායකයක් නොවේ.
(මේ රටේ සිංහල ජාතිකත්වයේ පක්ෂය වූ ශ්‍රීලනීපය චන්ද්‍රිකා සමයේ ඉන් ඉවත් වීම නිසා ඇති වූ රික්තය තාවකාලිකව පිරවීමට එම පක්ෂ බිහිවී යැයි සිතමි. අනාගතයේ වුව ශ්‍රීලනීපය නැවත ජාතිකත්වය වෙත පැමිණිය හොත් එම පක්ෂවල කාර්යභාරය අහෝසි වනු ඇත. මේ රටේ ජාතිකත්ව සංකල්පය පසුගිය දශක කිහිපයක් පුරා යටපත්ව පැවත නැවත ඉස්මතුව ඇතැයි කිව හැකිය. එය මේ අවස්ථාව වන විට මාක්ස්වාදයට වඩා ජනතාව අකර්ශනය කරගත හැකි තත්ත්වයට පත්ව ඇතැයි මම සිතමි.)
5. ජවිපෙ මතුවෙන්න හේතු වුණේ එය පමණක් නොවේ. ඊට ශ්‍රීලනීප අපේක්ෂකයින්ගේ දූෂණ, වංචා, මහජන දේපළ නාස්තිය සහ ජවිපෙ අවංක චාම් බව ආදිය ඊට හේතු විය. ජවිපෙ සතු සංවිධාන ශක්තියෙන් පමණක් එය කළ නොහැකි බවත් ඔවුන් දරණ මාක්ස්වාදී අදහස්වලට මෙරට බහුතර ජනතාව තුළ කැමැත්තක් නොවන බව ද ඊට පසු ඔවුන් තනිව තරඟ කළ මැතිවරණවලින් සනාථ විය.

Philip Shantha එකම කාරණා ටික පුන පුනා කියන නිසා මගේ ප්‍රශ්න වෙනත් ආකාරයකට අහන්නම්. අපි උදාහරණයක් ගනිමු. ලංකාවෙ කාලයක් ශක්තිමත්ව තිබූ වාමාංශික ව්‍යාපාරය බිද වැටී දැන් නැත්තටම නැති ගිහිල්ලනෙ. ඒකට හේතු උනේ එම පක්ෂ දැරූ මතවාදයන්හි අභ්‍යන්තර සාධක. ඒ කියන්නෙ ලෝක පරිමානයෙන් මාක්ස් ලෙනින්වාදී ව්‍යාපාරය පසු බැසීම, ලංකාව තුළ ඒ වමේ පක්ෂ ගෙනගිය දේශපාලනයේ අවලංගුභාවය හා ඊට අදාළ ගැටළු. ඒ නිසා යමෙක් ඇහැව්වොත් 1977 දී වමාංශික පක්ෂ අතු ගෑවී ගියේ ඇයිද කියල මා කියන්නෙ නෑ යූඑන්පී එක විශාල ජයක් ලැබීම වාමාංශික පක්ෂ අතු ගෑවීමට හේතු උන කාරණය වෙනව කියල. මා සිතන්නේ යූඑන්පී එක විශාල ජයක් ලැබුවේම වමේ පක්ෂ අසාර්ථක අවලංගු උන නිසයි. ඒව එහෙම උනේ අර කලින් කිව්ව සාධක නිසයි.

ඉතින් ගම්මන්පිල දෙවැනියා උනේ හිරුණිකා පළමුවැනියා වීම කීම තේරුමක් නැති කතාවක්. ඒ වගේම හිරුණිකා පළමුවැනියා උනේ හැගීම්බරවීම වැනි කාරණාය කීමත් විහිළුවක්. ගම්මන්පිලගේ ජාතිකවාදය ශක්තිමත් උනා නම් මොන හැගීමෙන් බර උනත් ගම්මන්පිල දිනන්න ඕන. ඒ කියන්නෙ ගම්මන්පිල දෙවැනියා උනේ ජාතිකවාදයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මිසක් හිරුණිකාට හැගීම්බර චන්ද ලැබීම කියන බාහිර සාධකය නිසා නෙවෙයි. බාහිර සාධකය ගොඩනැංවෙන්නේම අර මුලින් කී අභ්‍යන්තර සාධකය නිසයි.

ඒ නිසා අභ්‍යන්තර සාධක වසා ගනිමින් බාහිර සාධක ඉස්මතු කිරීම තේරුමක් නෑ. හැබැයි ලංකාවෙ සම්ප්‍රදායි දේශපාලනයේ ජනප්‍රිය තර්කය ඕකම තමයි. වාමාංශික දක්ෂිණාංශික බේදයක් නැතිව සාමාන්‍යයෙන් පළමුව ඇගිල්ල දිගු කරන්නේ බාහිර සාධකයට. වාමාංශික ව්‍යාපාරය ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා දුර්වල වූවා සේම ජාතිකවාදී ව්‍යාපාරය ද ඊට ආවේනික අභ්‍යන්තර සාධක නිසා පසුබෑම තේරුම් ගැනීමට දෙපාර්ශ්වයේම මතධාරීන්ට නොහැකිවීම කනගාටුවට කරුණක්. නාමල් උඩලමත්ත වැටී ඇත්තේ ද ඒ අගාධයටයි.

Namal Udalamatta ඔයා මුලින් කියන්න ගියේ උතුරේ මිනිස්සු බස්නාහිර මිනිස්සුන්ට වඩා බුද්ධිමත් කියන එකනේ. ඒක සනාථ කරන්න ගිහින් ඔයා නතර වුණේ බස්නාහිර ජාතික මතවාදය දුර්වලයි කියන නිගමනයෙන්. ඒත් ඔයා ඒ සඳහා දක්වන සාධකවලින් නම් ඒ නිගමනයවත් සනාථ කරන්න බෑ. අඩු තරමේ මීට පෙර ජාතික මතවාද ඉන් එහා ගිය ජයග්‍රහණයක් ලබා තිබී අහිමි වුණා නම් එහි පදනමක් තියෙනවා කතා කරන්න. හිරුණිකාගේ කඳුලුවලට වඩා ජාතිකත්ව මතවාදය දුර්වලයි කියලා මනාපවලින් තීරණය කළ හැකි නම් ගම්මන්පිලට වඩා අඩු මනාප ගනිපු අය දරන සෙසු දේශපාලන මතවාද ජාතිකත්වයට වඩා දුර්වලයි කියලා ඔබට පිළිගන්න වෙනවා. නමුත් මම නම් එහෙම හිතන්නේ නෑ. නමුත් ඔබ මෙහිදී මා පෙන්වා දුන් කිසිදු කරුණක් නිශේධනය නොකර වෙන වෙන දේවල් කියනවා. කෙසේ නමුත් මේ සංවාදය මුල සිට කියවන අයෙකුට යමක් උගත හැකි යයි මම සිතනවා. මේ ඇති නේද?

Philip Shantha උතුර ගැන මා කියන්න හැදුවා යැයි ඔබ සිතන දේ වැරදියි. හැබැයි මුලින් කතා කරන හිටි දේ පසුව සංවාදය අනුව වෙනතකට ගියා.

ගම්මන්පිල සුවිශේෂී කෙනෙක්. එයා අනෙකුත් අය සමග සසදන්න බෑ. උදාහරණයකට ඔය ලිස්ට් එකෙන්ම ආ උපාලි කොඩිකාර තුන්වැනිය උනා. නමුත් අපි දන්නව පොර ආවෙ කිසිම දේශපාලන මතයකින් නෙවෙයි කියල. (හැබැයි පොර අදේශපාලනිකත් නෑ). ඒත් ගම්මන්පිල එහෙම නෙවෙයි. එයාගෙ දේශපාලන සම්ප්‍රාප්තියම ජාතිකවාදී සමස්ත වැඩපිලිවෙක කොටසක්. ඉතිහාසයේ ප්‍රථම වතාවට සංධානය විසින් ශ්‍රී ලනිප නොවන කෙනෙකුට කණ්ඩායම් නායකකම දුන්නෙ නිකන් නෙවෙයි. ඒ වගේම විශාල රිස්ක් එකක් අරන් ආරක්ෂක ලේකම් එයාගෙ වේදිකාවට ආවෙ නිකන් නෙවෙයි. බැසිල් මුලින් කට වරද්දගෙන පසුව ඒක නිවැරදි කළේ නිකන් නෙවෙයි. එතකොට ගම්මන්පිල සුවිශේශී කෙනෙක්. ඒක උපාලි කොඩිකාර හෝ වෙනත් කෙනෙකුට සමාන කරන්න පුලුවන් එකක් නෙවෙයි.

මගේ තර්කය ඔයාට පිළිගන්න බෑ බෑ වගේ නම් මෙහෙම හිතන්න. කොළඹ දී ජේවීපී එක ගත්ත චන්ද අනුව ලාල්කාන්ත ගත්ත අඩු මනාප ප්‍රමාණය දේශපාලනිකව යමක් කියනව නේද? අන්න එහෙම එකක් තමයි මම කියන්නෙ. ඔයාට ඒක පිළිගන්න අමාරු වීම මට තේරුම් ගන්න පුලුවන්.

Philip Shantha ඔයා කියන දේවල් පිලිගන්නෙ නැතිව ප්‍රතික්ශේප නොකර, ඉන්නෙ ඔයා කතා කරන්නෙ වෙන ට්‍රැක් එකක නිසයි. ඒව මගේ පොයින්ට් එකට අදාළ නෑ. ඉතින් අදාළ නැති දේවල් මා සැලකිල්ලට ගන්නෙ නෑ.
 
සිය රට දේ සිරි සැප දේ !