Tuesday, August 25, 2015

ක්‍රිස් නෝනිස් අමතක ද?

සජින් වාස් ගුණවර්ධනගේ අශිෂ්ට ක්‍රියාදාමය නිසා ආචාර්ය ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වුණා. නෝනිස් ඉතා ම දුෂ්කර කාලයක රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් ඉතා ම හොඳින් ඉටුකළ රාජ්‍ය තාන්ක්‍රිකයෙක්. ඒ සිද්ධිය සිදු වුණු සමයේ නම් විපක්ෂය වගේ ම විවිධ සමාජ ක්‍රියාධරයන් නෝනිස්ට සිදු වූ අසාධාරණය පිළිබඳ කතා කළා; කම්පා වුණා අපට මතකයි.

නමුත් දැන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ධූරය සඳහා යෝජනා වෙන්නේ වෙනත් නම්. මුලින් ද පැරදුනු රෝසි නෝනා මහ කොමසාරිස් කරන්න යෝජනා වුණා. පස්සේ ජනාධිපතිවරයා සංගක්කාරට එංගලන්තේ මහ කොමසාරිස්කම භාර ගන්න ආරාධනා කරනවා කියලා හිටං කීවා. ඇත්තට ම සංගක්කාර හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් බවට කිසිදු සැකයක් නෑ. නමුත් ඔහු මෙවැනි තනතුරකට සුදුසුයි කියලා මට නම් හිතෙන්නේ නෑ. ඔහු ක්‍රීඩකයෙක් විදිහට විවිධ වෙළඳ ආයතන 200ක පමණ තානාපතිවරයෙක් විදිහට කටයුතු කරනවා. ඇන්ලීන්, නෙස්ටමෝල්, ඒෂියන් පේන්ට්, කීල්ස් සුපර්, TVS කින්ග්, එයාර්ටෙල්, හච්, කොකාකෝලා, ඩයලොග්, ඩිමෝ පමණක් නොව මැගි නූල්ඩ්ස් පවා අන්තිමට සංගක්කාර විකිණුවා. සංගාගේ හච් එකේ ඇඩ් එක යද්දී ම සංගා තමන්ගේ එයාටෙල් ඇඩ් එකක කීවා "දන්නවාද මම එයාර්ටෙල්වලට මාරු වුණා" කියලා. ඒක දැකපු මට ඇතත්ට ම පොඩි අපුල ගතියක් දැනුණා.

නමුත් ඔහු ක්‍රීඩකයෙක් විදිහට එය හොඳ යැයි සිතනවා විය හැකියි. එහෙම හිතන වෙනත් අයත් ඉන්න පුළුවන්. මම නම් හිතන්නේ ක්‍රීඩකයෙක් විදිහට වුණත් ඔහු අනවශ්‍ය විදිහට විකිණුනා කියලයි. පසුගිය කාලයේ අපි දැකපු ඇතැම් තානාපතිවරුන්ට, කොමසාරිස්වරුන්ට වඩා ඔහු හොඳ නැද්දැයි කෙනෙකු ඇසිය හැකියි. නමුත් අසාර්ථක දෙයක් සමඟ හෝ වැරදි දෙයක් සමඟ සසඳා යමක් පිළිබඳ නිර්ණය කිරීම හොඳ දෙයක් නෙමේ. පරාජිත දේශපාලකයින් තානාපති තනතුරුවලට පත් කිරීම ද හොඳ දෙයක් නොවේ. මම නම් හිතන්නේ ක්‍රිස් නෝනිස්ට යුක්තිය ඉටු කිරීමට මේ හොඳ ම අවස්ථාව බව ය. විපක්ෂය එදා නෝනිස් සම්බන්ධව හෙළුවේ කිඹුල් කඳුලු නෙමෙයි කියලා සනාථ කරන්න එමගින් ඔවුන්ට ස්වර්ණමය අවස්ථාව උදා වෙනවා.

Monday, August 24, 2015

සජිත්, සුජීව, චතුර, තමන්ගේ තරම දැන ගෙන කල් අරිනු!

මහා මැතිවරණයට කලින් මහින්ද රාජපක්ෂට හැකි නම් තමන් සමඟ තරඟ කර ජය ගන්නැයි අභියෝග කළ එජාප මන්ත්‍රීවරු තිදෙනෙක් පිළිබඳ මට මතක ය. පළමු වැන්නා සජිත් ප්‍රේමදාස ය. ඔහු කීවේ තමන්ට බයේ මහින්ද කුරුණෑගලට පළා ගිය බව ය. එසේ කී සජිත් ලබා ගත්තේ මනාප ඡන්ද 112 645ක් පමණි. නාමල් රාජපක්ෂ මනාප ඡන්ද 127 201ක් ලබා ගෙන තිබිණි. විළිලැජ්ජාවට කාරණය තම අසුන දිස්ත්‍රික්කය ද පරාජයට පත්වීම නොවේ. මහින්දට අභීයෝග කර නාමල්ට දේශපාලනේ ගැන ටියුෂන් දීමට ගොස් ඔහුට වඩා මනාප 15 000ක් පමණ අඩුවෙන් ලබා ගැනීම ය. 

දෙවැන්නා සුජීව සේනසිංහ ය. ඔහු කීවේ හැකි නම් මහින් රාජපක්ෂට තමන්ට වඩා එක මනාපයක් අර ගෙන පෙන්වන ලෙස ය. මහින්ද මනාප 423 529ක් ලබා ගන්නා විට සුජීව මනාප ඡන්ද 117 049ක් ලබා තිබිණි. මහින්දට අභියෝග කළ සුජීවට ලබා ගෙන ඇත්තේ නාමල්ට වඩා මනාප 10 000ක් පමණ අඩුවෙනි. 

තෙවැන්නා රාජිත සේනාරත්නගේ පුත් චතුර ය. චතුර කීවේ තමන් බෙලිඅත්තට පැමිණ මහින්ද රාජපක්ෂ පරාජය කරන බව ය. ගියවර පළාත් සභා මැතිවරණයේ නමේ මුලට අ, ආ, දැම්මේ යැයි බැණ වැදුණු 'අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද' ගම්පහින් මනාප 216 463 ගනිත්දී චතුර මනාප 71 243ක් ලබා ජයග්‍රාහී ලැයිස්තුවේ අවසානයට කලින් සිටී. මහින්දට අභියෝග කළ චතුරගේ තරම කෙසේ ද යත් නාමල් වඩා මනාප ඡන්ද 55 000ක් පමණ අඩුවෙනි. කළු ගඟෙ මුල නොදත් කාවින්ද ජයවර්ධන චතුරට වඩා මනාප 10 000ක් ලබා තිබේ.

මට නාමල් රාජපක්ෂ ලොකුවක් නැත. ඔහුගේ දේශපාලන මට නම් පතෝල වගේ ය. එය අනාගතේ මොනවා වගේ වේ දැයි මට දැන් කින නො හැකි ය. එහෙත් මහින්දට අභියෝග කළ කොලු කුරුට්ටන්ට මහින්දගේ පුතාවත් පසු කර යාමට නොහැකි වී තිබේ. ඒ ඔස්සේ හැදෙන එකෙකුට නම් උගත හැකි පාඩම් බොහෝ ය.   

ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ     කපනු
බොරැල්ලේ තරම දැනගෙන උඩ       පනිනු
කඩුල්ලේ තරම දැනගෙන කද            බඳිනු
තමන්ගේ තරම දැනගෙන කල්           අරිනු

Saturday, August 22, 2015

මාරයින් සමඟ සටන් වැද..

අසමාන සටනකින් ජාතිකවාදී පෙරමුණ පරාජයට පත්ව තිබේ. එය මාර සෙනඟ සමඟ කළ යුද්ධයකි. අනිත් පස රනිල් ය. තවත් පසෙක අනුර ය. පිටුපස පාඨලී ය. පැත්තෙන් චන්ද්‍රිකා ය.  නව පරපුරේ කලාකරුවෝ ය. ඊනියා සිංහල විරෝධි උගත්තු ය. රතන හිමිගේ පිවිතුරු හෙට ය. සෝභිත හිමිගේ සාධාරණ සමාජය ය. මාධ්‍ය බලය ය. NGO කාරයෝ ය. RAWකාරයෝ ය. CIAකාරයෝ ය. මේ සියල්ල මැද එජාප ජනවරමින් පක්ෂ නායකත්වය ඩැහැ ගත් සිරිසේන ය. ඇතුළත අප්පච්චි මළෝ කල්ලියේ සතුරෝ ය. මේ සියලු පෙරමුණුවල එකම සතුරා බවට පත්වූයේ මහින්ද ප්‍රමුඛ පිරිස ය. ඉලක්කය වූයේ මහින්ද ය. මේ පිරිස මහින්ද ප්‍රමුඛ සන්ධාන මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීම සඳහා කළ හැකි සියල්ල කළ අතර එහි ප්‍රධානීන් නිතර FCID කැඳවමින් මාධ්‍ය සන්දර්ශනය පැවත්වූහ. මලමිනි ගොඩගත්හ. සිරිසේන මහතා පක්ෂ යාන්ත්‍රණය දුර්වල කිරීම සඳහා කළ හැකි සියල්ල කළේ ය. චන්ද්‍රිකා එජාප වේදිකාවට ගොඩ වුවා ය. 

එවන් පසු බිමක ජාතිකවාදී පිලට පරාජය හිමි වුව ද එය හොඳ සටනක් ලබා දී ලැබූ විශිෂ්ට පරාජයකි. පරාජයට පත්ව මාස 8ක් තුළ මෑත කාලයේ බිහි වූ ශක්තිමත් ම විපක්ෂය නිර්මාණය වී තිබේ. සැබවින් ම රනිල් ප්‍රමුඛ එජාපය ජය ගත්තේ දුර්වල කළ, බෙලහීන කළ සෛන්ධවයෙකු සමඟ දිවීමෙනි. රනිල් ප්‍රමුඛ එජාපය සමතලා පොළවක හැල්මේ දුවන විට ජාතිකවාදී පිළට කඳු හෙල්, ගිරි දුර්ග, මාරක ප්‍රපාත ඔස්සේ මාර උගුල් මඟහැර දිවීමට සිදුව තිබිණි. එහෙත් එවන් අතපය බැඳ දැමූ පිරිසක් සමඟ තරඟ කර පවා 1977 මෙන් විශාල ජයග්‍රහණයක් තබා පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට පවා රනිල්ට නොහැකි වීමෙන් ඔහුගේ දුර්වලතාව පැහැදිලි වෙයි. කෙසේ වුව ද රනිල්ට අසීමිත බලයක් හිමි නොවීම රටේ වාසනාව ය. මහින්ද සිය අභිමාණය සහ ජීවිත අවධානම පවා නොතකා සිදු කළ මැදිහත් වීම නොවන්නට රනිල්-සිරිසේන දෙදෙනා එක්ව 1977 මෙන් 5/6 බලයක් සහිතව එජාප ආණ්ඩුවක් පිහිටු වනු ඇත. 

එහෙත් මෙවර මහින්ද නිසා ම පාර්ලිමේන්තුවට තේරි පත් වූ පිරිසක් සිරිසේනගේ ආශිර්වාදය පිට හෙට දින රනිල්ගේ ඇමති මණ්ඩලයට එක් වනු ඇත. එය තමන්ගේ කැමැත්ත නොව පක්ෂයේ සහ නායකතුමාගේ කැමැත්ත බව ඔවුහු පවසනු ඇත. ඒ පිළිබඳ අප එතරම් තැකිය යුතු නැත. පහනට ඇදෙන කුහුඹුවන් මෙන් ඇතැම්හු බලයට ඇදෙන්නාහ. කෙසේ වුව ද ජනතාව අනාගත දේශපාලඥයින් වෙත කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස එවැනි ප්‍රබල චරිත බොහොමයක් මෙවර පරාජයට පත් කර තිබේ. ඔවුන් නැවත ජාතික ලැයිස්තු හිලෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් නිරුවත් වන්නේ යහ පාලන සීතාම්බර සළුව මිස අනෙකක්  නොවේ. ඔවුන්ට ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ඒමට නොහැකි වූයේ පසු ගිය යහ පාලන ආණ්ඩුවට මුක්කු ගැසීම නිසා බව ද ඔවුන් වංචාකාරී ලෙස නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට කොල්ල කෑ ජාතික ලැයිස්තුව පවා ඔවුන්ගේ එකී ක්‍රියාදාමයට එරෙහි ජනමතය බව ද සිහි කටයුතු ය.

කෙසේ වුව ද JR ගේ දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පියිට පිවිසීමට පුල පුලා සිටි රනිල් වික්‍රමසිංහ සුළුතර ආණ්ඩුවකට සීමා කොට ඒ මාරකයෙන් රට ගලවා ගැනීම පිළිබඳ මහින්දඑ ප්‍රමුඛ ජාතික බලවේගවලට මේ රටට ආදරය කරන ජනතාව කෘතඥ විය යුතු ය. මේ වන විට මැතිවරණ ප්‍රතිඵලවල ඇතැම් අසාමාන්‍ය වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. කිසිදු අභ්‍යන්තර දූෂණයක් සිදු නොවිණි නම් මේ ප්‍රතිඵලය සැබෑ ජන මතය නම් අපි ඊට ගරු කළ කරමු. බොක්සිං වළල්ල තුළ යමෙක් පරාජයට පත් වන්නේ සතුරාගේ ප්‍රහාරයකින් බිම වැටුණු විට නොව නැවත නැඟී සිටීම ප්‍රතික්ෂේප කළ විට ය. මේ පරාජය තුළ අනාගත ජයග්‍රහණයේ පණ ගැහෙන බිජුවට සැඟව තිබේ. ඒ සියල්ල රැක ගත යුතු ය. නිසි පොහොර දිය සපයා විසල් තුරු බවට පත් කළ යුතු ය. ජාතික කඳවුරේ පරාජයට හේතු වූ ඊට අවේනික දුබලතා ඇත්නම් ඒවා වියළි පත් මෙන් පොහොර බවට පත් කර ගත යුතු ය. එවිට ඒ තුරු මාතෘ භූමියට අවැසි ම මොහොතේ සෙවණ සදනු ඇත. දැයට මඟ කියනු ඇත.

Tuesday, August 18, 2015

ආඬි හත්දෙනාගේ ජවිපෙ!

මේ රටේ UNP උගතුන් ප්‍රධාන විපක්ෂය කළ යුතු බව කී ජනතා විමුක්ති පෙරමුණට සිදුව ඇත්තේ මාර සන්තෑසියකි. මොවුන් කැට තබා දිවුරා කීවේ ජනතා විමුක්ති පෙරමුණ ආසන 25ක් දිනාගනු ඇති බව ය. එහෙත් ප්‍රතිඵල නිකුත් වූ විට මට සිහියට ආවේ ආඬි හත් දෙනාගේ කැඳ හැලියේ කතාව ය. අවසානයේ ඡන්දය දෙන බව කී කිසිදු UNP ආඬි උගතෙකු JVP එකට ඡන්දය ලබා දී නොමැත. අනුර කුමාර පසු කර ඔහුට වඩා කොළ පැහැ රනිල් අසල ඒ ඡන්ද නතර වී තිබේ. අනුර කුමාර දිසානායක ද බොහෝ විට නොදැනම එජාපයට ඡන්ද ලබා දෙන්නට ඇත.  

කෙසේ වුව ද අවසානයේ අනුර කුමාරගේ නැවුම් හරිත පැහැ නායකත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ තරඟ කර ඉතිහාසයේ ලබා ගත් අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර වාර්තා කර තිබේ. ඒ 4.87%කි. මෙයට පෙර 2000 වසරේ ඔවුන් 5.99%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර පාර්ලිමේන්තු ආසන 10ක් පක්ෂයට ලැබිණි. 2001 වසරේ ඔවුන් 9.10%ක ප්‍රතිශතයක් වාර්තා කළ අතර මන්ත්‍රී ආසන 16ක් පක්ෂයට ලැබිණි. 2004 සන්ධානය තුළ මන්ත්‍රී ආසන 41ක් දිනා නැවත දෙකක් ශ්‍රීලනිපයට ද ලබා දුන්නේ ය. එකල අපි ඒ පක්ෂයේ සාමාජිකයින් වූයෙමු. එහෙව් ජනතා විමුක්ති පෙරමුණ 2015 නැවත වසර 15කට පෙර ලැබූ ජයග්‍රහණය පවා ලබා ගත නොහැකි තැනට පත් කිරීමට අනුර කුමාර දිසානායකගේ එජාප නායකත්වය සමත්ව තිබේ. 

මෙවර ජනතා විමක්ති පෙරමුණට ආසන 4ක් දිනාගත හැකිව ඇති අතර ජාතික ලැයිස්තු ආසන 2 ද සමඟ ආසන 6කි. ජාතික ලැයිස්තුවේ ප්‍රථමයා වන හිටපු විගණකාධිපති සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ තමන් පාර්ලිමේන්තුවට පත් වුවහොත් ජවිපෙ ප්‍රතිපත්ති අනුව නොව ස්වාධීනව කටයතු කරන බව කීවේ ඇත්ත වැඩසටහනට සහභාගී වෙමිණි. එම ලැයිස්තුවේ දෙවැන්නා සහ තෙවැන්නා හොඳ UNPකාරයින් බව රටට කීවේ සෝමවංශ අමරසිංහ ය. රනිල් වික්‍රමසිංහලාට වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ රවටා කඩේ යැවිය හැකි වූ අතර ඔවුන් ඇමතු ජනතාව ද පණිවිඩ නිවැරදිව තේරුම් ගෙන එජාපයට ඡන්දය ලබා දී තිබේ. අනුර කුමාර දිසානායක පසුගිය සමය පුරා කටයුතු කළේ එජාපයේ ප්‍රබලතම කථිකයා ලෙස මිස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස නොවේ. දැන් වැපිරු බිජුවල අස්වැන්න ලැබී තිබේ. 

අවසානයේ උගතුන්ට ඡන්දය දෙන්න යැයි කෑ ගැසූ ගිය වර කරූ ජයසූරියටත් උඩින් ගම්පහින් පබා පාර්ලිමේන්තු එවූ UNP උගත්තු මෙවර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු එවා හඳුන්නෙත්ති පාර්ලිමේන්තු එව්වේ නැතැයි ද නිශාන්ත මුතුහෙට්ටිගම සහ ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු එව්වේ යැයි ද නාහෙන් අඬති. ගාල්ලේ ජනතාව ජනතා වරම පාවා නොදුන් නිශාන්තලා පාර්ලිමේන්තු එව්වා පමණක් නොව පාවා දුන් පියසේන ගමගේ ලා ගෙදර යැව්වේ ය. නිශාන්ත ගැන කතා කරන මේ UNP උගත්තු රන්ජන් රාමනායක, රවී කරුණානායක, පාලිත තෙවරප්පෙරුම හෝ පාලිත රංගෙබණ්ඩාර ලා ගැන කතා නොකරති. කෙසේ වුව ද පාඨලි චම්පික රණවකලාට මෙන් ජනතා විමුක්ති පෙරමුණට මෙවර එජාපය සමඟ එක්ව තරඟ කළේ නම් ජාමේ බේරා ගැනීමට තිබිණි. එජාපයේ අනුර කුමාර සහ ඔහුගේ ඇම කන සෙසු නායක පිරිස මෙවැනි ජයග්‍රහණ පක්ෂයට දිගට ම ලබා දෙනු ඇත. 

මේ පිළිබඳ 2009 වසරේ අහෝ! ජවිපෙ නොදිටි මොක් පුර යනුවෙන් මා තැබූ සටහනකින් මේ ලිපිය අවසන් කරමි. "ජවිපෙ සිය ගමන් මග නැවත ආවර්ජනය කළ යුතු ය. තමන් දැන හෝ නොදැන සේවය කරන්නේ විජාතික පෙරමුණට බව අවබෝධ කරගත යුතු ය. සිදු වූ බලවත් පීලි පැනීම හඳුනා ගත යුතු ය. පක්ෂය දිනවිය හැක්කේ තමන් පෝෂණය කළ මතවාදය වෙත නැවත පැමිණීමෙන් බව එහිදි ඔවුනට පසක් වනු ඇත." http://sanhindha.blogspot.com/2009/01/blog-post_20.html

Sunday, August 16, 2015

ජවිපෙට සමහරක් උගත්තු ආස ඇයි?

බෞද්ධ විරෝධි, සිංහල විරෝධි එහෙයින් ම මහින්ද විරෝධි උගතුන් සහ කලාකරුවන් යැයි කියා ගන්නා අයට බෞද්ධ විරෝධි සිංහල විරෝධි නායකත්ව කල්ලියක් විසින් පාලනය කරන හෙයින් ම ඔවුන් ආකර්ශනය වන එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන ලෙස එම පක්ෂයේ වියරු පාලන ඉතිහාසය පිළිබඳ සවිඥානික මේ රටේ ජනතාවට ඍජුව කිව නොහැකි වී තිබේ. මාස 8ක පමණ කාලය තුළ ඔවුන් ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධි යහ පාලන විරෝධි පාලනය නිසා එසේ කිවහොත් මේ ඊනියා බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ සිංහල සහ බෞද්ධ විරෝධය නිසා ම කොළ පැහැ ගත් හෘද සාක්ෂියේ නිරුවත හෙළි වනු ඇත. අනෙක් අතට මොවුන්ගේ කරුමයට රත්තරන් අශ්යින්, ලැම්බෝගිනි, මාළිගා එකතු කොට ගැයූ ප්ලැටිනම් වටිනාකමක් සහිත බොරු සියල්ල හෙළි වී තිබේ. එහෙයින් මේ පිරිස දැන් එක පෙළට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලෙස ජනතාගෙන් ඉල්ලා සිටිති. එයට හේතුව කුමක් ද යන්න ඔවුන් නොපැවසුව ද අපට අවබෝධ කරගත හැකි ය.

සාම්ප්‍රදායික වමට විකල්පයක් ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළේ සෙසු මාක්ස්වාදීන් මෙන් මේ රටේ ජාතිකත්වය ප්‍රතික්ෂේප කර ඊනියා පන්තිය පදනම් කර ගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස නොවේ. ආරම්භයේ සිට ම ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍ය විරෝධි දේශපාලන පක්ෂයක් විය. එමෙන් ම මාක්ස්වාදයේ සහ දේශප්‍රේමයේ සංකලනයක් විය. සාම්ප්‍රදායික වමේ පක්ෂ ත්‍රීවිල් පක්ෂ බවට පත් වෙද්දී දෙවරක් මර්දනය කළ ද එම පක්ෂය 2004 වන විට පාර්ලිමේන්තු ආසන 41ක් සහ පලාත් පාලන ආයතන මන්ත්‍රී ධූර 580ක් ලබා ගන්නා තැනට පත් වූයේ එහෙයිනි. 

එහෙත් 2007 පමණ වන විට එම ව්‍යාපාරය වල්මත් විය. ත්‍රස්තවාදය කෙළවර කිරීමේ සටන අවස්ථාවේ එනම් 2007 අයවැය පරාජය කර මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ජවිපෙ සුදානම් විය. ඒ සමඟ ජාතිකත්වය නියෝජනය කළ විමල් වීරවංශ ඇතුළු පිරිස ආණ්ඩුවට සම්බන්ධ වී ඒ මර උගුලින් රට ගලවා ගත් අතර එහි ප්‍රතිඵලය ලෙස අද අප ත්‍රස්තවාදය කෙළවර කළ රටක නිදහසේ වෙසෙමු. 

එයින් අනතුරුව පක්ෂය තුළ මාක්ස්වාදී නැඹුරුව නියෝජනය කළ කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිස වෙන්ව යන අතර අවසානයේ පසුගිය මැයි මාසය වන විට එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ද පක්ෂයෙන් ඉවත්ව යයි. දැන් සැබවින් ම ජනතා විමුක්ති පෙරමුණ යනු කුමක් ද?

දැන් ජනතා විමුක්ති පෙරමුණ යනු සැබවින් ම මාක්ස්වාදය ද නොමැති දේශප්‍රේමය ද නොමැති එක්සත් ජාතික පක්ෂයට කුලියට වැඩ කරන අනුර කුමාරගේ බූදලයකි. ඒ සත්‍ය දැක බලා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව කදිම කැඩපතකි. 

එහි ජාතික ලැයිස්තුවේ තුන් වැන්නා එනම් නීතිඥ උපුල් කුමාරප්පෙරුම එක්සත් ජාතික පාක්ෂිකයෙකි. සෝමවංශ කියන පරිදි මංගල සමරවීරගේ හොඳ කකුලකි. ඔහු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂගේ පමණක් නොව උපුල් ශාන්ත සන්නස්ගලගේ ද මැතිවරණ වේදිකාවල සුලබ දසුනකි. සෝමවංශ අමරසිංහ පවසන පරිදි ම අනුර කුමාරලා අලියාගේ බෙල්ලේ සීනුව ගැටගසා අවසන් ය. 

එම ලැයිස්තුවේ දෙවැන්නා වන නීතිඥ අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය ඇමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ ආයතනයක සේවය කළ CIAකාරයෙකි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ අයෙකි. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය අධිරාජ්‍ය විරෝධය ද ඇමරිකන් අධිරාජ්‍යවාදය හමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ආසන 3ක් දිනා ගත හොත් එයින් දෙකක් ම එක්සත් ජාතික පක්ෂයට ලැබෙයි. මේ වන විට අනුර කුමාර දිසානායක නිල නොවන එක්සත් ජාතික පක්ෂ හොඳම කථිකයා බවට පත් වන්නේ සියලු එජාප කථිකයින් අභිබවා මහින්ද රාජපක්ෂ විවේචනය කිරීමෙනි. ඔහුට ඒ සඳහා විජේදාස රාජපක්ෂලා යහමින් ගෙවන බව කීවේ අප නොව විජේදාසලා ම ය. 

ජාතිකත්වයෙන් ඈත් වුණු මාක්ස්වාදයෙන් ඈත් වුණු අලියා ගිලපු දිවුල් ගෙඩියක් බවට පත් වුණු ජනතා විමුක්ති පෙරමුණ වටා මෙතෙක් එක්සත් ජාතික පක්ෂය වටා රොක්ව සිටි NGO කල්ලි රොද බැඳ ගන්නේ මේ නිසා ය. පසු ගිය යහ පාලන ආණ්ඩුය ගැන කලකිරී ආපසු හැරෙන ජනතාව රවටා මෙවර ද ඡන්දය ඩැහැ ගැනීම සඳහා JVP කෙමන අතරමඟ අටවා තිබේ. ඔවුන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විශ්වාස කළ නො හැකි වුව ද ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කළ යුතු බව ය. 

එහෙත් යහ පාලන ආණ්ඩුව කළ සියලු වැරදිවලට අනුර කුමාරලා වගකිව යුතු අතර එයින් ඔහුට කිසිසේත් මිදිය නො හැක්කේ කැබිනට් අනුමැතියෙන් පත් කළ මූල්‍ය අපරාධ සොයන ආයතනයේ ප්‍රධානියා ඔහු හෙයිනි. එහෙත් ඔවුන් නොකියන්නේ එක්සත් ජාතික පක්ෂය මෙන් ම ජාතිකත්වයෙන් වියෝ වූ ස්ථාවරයක මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ පසු වන හෙයින් ඔවුන්ට ඡන්දය ලබා දෙන ලෙස ය. එහි අරමුණ මේ මොහොතේ රටේ බෙදුම්වාදයට එරෙහිව ලැබෙන ඡන්ද ප්‍රමාණය කිහිපයකන් හෝ අඩු කිරීම හැර අනෙකක් නො වේ.

ඒ නිසා ජනවාරි 08 රෑ වැටුණු වලේ අගෝස්තු 17 මහ දවල් නොවැටී සිටීම ඒ ජනතාවගේ වගකීම ය. 1815 යහ පාලන සීතාම්බර සළුවට රැවටී අපේ රජු සුද්දාට පාව දුන් ප්‍රභූන් නිසා අපට වසර 150ක් බටහිර යටත් විජිත වැසියන් ලෙස අනන්ත දුක් විඳින්නට සිදු විය. මෙවර එවැනි වරද්දා ගැනීමක් සිදු වුවහොත් අපේ මතු පරම්පරා ගණනාවකට සියවස් කිහිපයක් එහි රුදුරු ප්‍රතිඵල භුක්ති විඳින්නට සිදු වනු නො අනුමාන ය. එහෙයින් සියලු පක්ෂ, පාට, ආගම් පසෙකලා රට වෙනුවෙන් මේ අවස්ථාවේ ගතයුතු නිවැරදි ම තීන්දුව ගනිමු. 

මාගේ මාතෘ භූමිය දිනේවා! දිනේවා! දිනේවා!!!

රාත්‍රී රජුන් සේ නිදන ඔබ හෙට රාත්‍රී ඇඳට යන විට ඔබ වෙනුවෙන් ඉදිරි වසර 5-6 සඳහා ඔබේ රට දැය සමය පිළිබඳ තීරණ ගැනීමේ පූර්ණ බලය කිසිවෙකුට පවරා අවසන් ය. ඔබ ඒ තීරණය ප්‍රකාශ කළ පසු ඔබට එය කිසිදු හේතුවක් නිසා නැවත ඉල්ලා අස්කර ගත නො හැකි ය. ඔබ ලබා දෙන බලය මත ඔවුන් ඉදිරි වසර කිහිපය තුළ ගනු ලබන තීන්දු තීරණ අපේ රටේ අනාගත ඉරණම තීන්දු කරනු ඇත. ඔබේ දුවගේ පුතාගේ පමණක් නොව ඔවුන්ගෙන් ඔබ්බට යන අනාගත පරම්පරාවේ ද ඉරණම ඔබේ කැමැත්ත ලබා බලයට පත්වන පාලකයින් තීරණය කරනු ඇත. 

ඒ අනුව මෙය හුදු ඊළඟ ආණ්ඩුව හෝ අගමැතිවරයා තෝරනු ලබන මැතිවරණයක් නොව රටේ අනාගතය තීන්දු කරනු ලබන අවස්ථාවයි. මේ රටේ අනාගතය තීරණය කිරීමට අපට ලැබෙන අවසාන අවස්ථාවයි. එහෙයින් ඔබ හෙට ගනු ලබන්නේ අතිශය බරපතල දේශපාලන තීන්දුවකි. එමගින් 2009 බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කර අප ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා විය යුතු ය. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සිය තාරුණ්‍යයේ සියලු සිහින සමඟ මාතෘභූමිය වෙනුවෙන් ප්‍රාණ වායුව පූජා කළ 26 000ක් වන මහා ජීවිත පූජාවට නිසි ගෞරවය ලබා දිය යුතු ය. එහිදි අත පය ඇස කන අහිමිව සදාකාලික ආබාධිතයින් බවට පත්ව මේ රටේ කොතැනක හෝ යහනක උඩුබැලි අතට වැතිර අප ගන්නා තීරණය දෙස බලා සිටින වීරයින්ගේ මහා කැපකිරීම්වලට නිසි වටිනාකම ලබා දිය යුතු ය. මේ රට දැය සමය සුරකිනු පිණිස වසර දහස් ගණනක් තිස්සේ අපේ වීර මුතුන් මිත්න් සිදු කළ මහා ජීවිත පූජාවන්ට අප කෘතඥ පූර්වක විය යුතු ය. ඒකීය දේශයක මතු උපදින්නට පෙරුම් පුරන්නන්ගේ සිහින බොඳ නොකළ යුතු ය.

එහෙයින් වරක් නොව, දෙවරක් නොව, තෙවරක් නොව සිය දහස් වරක් සිතා ඔබේ මාතෘ භූමිය වෙනුවෙන් නිවැරදි තීන්දුව ගන්න. අප පසු කළ දුෂ්කර කාලකන්නි අඳුරු යුගය අපේ අනාගත පරම්පරාවට නැවත උරුම කර දිය යුතු නැත. බොරු පොරොන්දු, බොරු චෝදනාවලින් රැවටිය යුතු නැත. අභූත අසත්‍ය වෛරී ප්‍රකාශ හමුවේ සැලිය යුතු නැත. බලපෑම් හමුවේ පසුබෑ යුතු නැත. තර්ජන ගර්ජන හමුවේ හිස නැමිය යුතු නැත. දේශද්‍රෝහි කල්ලි සමඟ දීග ගිය සිංහ සම් පොරවා ගත් ව්‍යාජ දේශප්‍රේමි ව්‍යාඝ්‍රයින්ට රැවටිය යුතු නැත. වැදි බණ දෙසන NGO භික්ෂූන්ගේ උගුල්වලට හසු විය යුතු නැත. රෑ වැටුණු වලේ දවල් වැටිය යුතු නැත. එහෙයින් රට වෙනුවෙන් ඔබේ අනාගත පරපුර වෙනුවෙන් නිවැරදි තීන්දුව ගනිමු. 

මෙවර ඔබ වැරදි තීන්දුවක් ගතහොත් එය කිසිදා නැවත නිවැරදි කළ නොහැකි වනු ඇත. අපට විකල්ප නැත. අත්හදා බැලීම් කරනට මේ කාලය නොවේ. රටේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ වර්තමානය සුරක්ෂිත කළ නායකයාට ම පමණි. අපට විශ්වාස කළ හැක්කේ ඔහු ම පමණි. ඉතින් අපි රට වෙනුවෙන් නිවැරදි තීන්දුව ගනිමු. අපි අපේ යුතුකම මතු පරපුර වෙනුවෙන් හෙට ගැඹුරින් සටහන් කර තබමු. 2009 මැයි 18 ත්‍රස්ත බෙදුම්වාදය පරාජය කොට දිනාගත් ඒකීය දේශය 2015 අගෝස්තු 17 දින ප්‍රජාතාන්ත්‍රික බෙදුම්වාදය පරාජය කොට සුරක්ෂිත කරමු. මාගේ මාතෘ භූමිය දිනේවා! දිනේවා! දිනේවා!!!  

Saturday, August 15, 2015

මොකක් ද මේ හැදුණු ළදරු වලිප්පුව?

එළඹෙන මහ මැතිවරණයේ මහින්දට අපේක්ෂකත්වය නොදෙමියි කී, පසුව ඔහු මැතිවරණයට එන්නේ නම් හම්බන්තොටින් පැමිණිය යුතු බව කී, කුරුණෑගලින් එන විට අගමැති අපේක්ෂකවත්වය හෝ මැතිවරණ මෙහයුමේ නායකත්වය නොදෙන බව කී සිරිසේන මහතාගේ බොරු පුරසාරම් සියල්ල මහා ජන රැල්ල හමුවේ වැල්ලේ තැනූ මාළිගා බවට පත් විය. අනතුරුව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවීම අධිකරණයට මුවා වී තහනම් කර සිය ජාමේ බේරා ගැනීමට ඔහුට සිදු විය.

ගිය මස මහින්ද රාජපක්ෂට ජයග්‍රහණය කළ නො හැකි බව කී සිරිසේන මහතා පෙරේදා මහින්ද ජයග්‍රහණය කළ විට වෙනත් ජ්‍යෙෂ්ඨයෙකු අගමැති කිරීමට සහාය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඊයේ එම හෑල්ලෙන් අගමැති තනතුරට පවා සුදුසු යැයි සහතික කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුරුවලින් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය ද අහෝසි කර ඇත. ඒ අනුව පැය 24ක් තුළ අගමැතිකමට සුදුසු අය පක්ෂ සාමාජිකත්වයට ද නුසුදුසු අය බවට පත්ව තිබේ.

මෙසේ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිළිබඳ කිඹුල් කඳුලු සලන සිරිසේන මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ගතහොත් එහි අන්තිම කොණේ මුල් හරියේ සිටින සිය අන්තේවාසියෙකු වන දුමින්ද දිසානායක ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම් ලෙස පත් කර තිබේ. මේ සියල්ල මෙසේ සිදු කරන අතර ලංකාවට පැමිණි යුරෝපීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම හමු වී සිරිසේන මහතා සිංහලෙන් ප්‍රකාශ කළේ තමන් ජනාධිපති ලෙස මේ මැතිවරණයේ දී ස්වාධීනව සිටින බව සහ ජනාධිපති බලතල කිසිසේත් ඒ සඳහා භාවිත නොකරන බවත් ය. ඔහුගේ දේශපාලන භාවිතය සහ ප්‍රකාශ අතර ඇති පරස්පරතාව අවබෝධ කර ගැනීමට මේ සිද්ධි කිහිපය සප්‍රමාණවත් ය.

යහ පාලනය වෙනුවෙන් කලක් තිස්සේ හංස ගීත ගයන ඊනියා උගතුන්ට අනුව නම් සිරිසේන මහතා මේ රටේ යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු පිණිස පෙරුම්පුරා උපන් දේව නියෝජිතයෙකි. එහෙත් තමන්ට බලය ලැබුණු මොහොතේ සිට සිරිසේන මහතා සිය බලය අවභාවිත කළා මිස වෙන කිසිවක් සිදු කර නොමැත. තමන් පසුගිය රජයෙන් වෙන් වූයේ යහ පාලන ඉටි ගෙඩියක් නිසා නොව බැසිල් රාජපක්ෂ සමඟ ඇති වූ පෞද්ගලික කෝන්තරයක් නිසා බව උක්ත ලිපියෙහි ලා පැවසීමෙන් ඔහු විසින් විළි වසා ගැනීමට තිබූ අවසන් ඇඳුම ද ගලවා නිරුවත් කරන්නේ පෙර කී හංස ගීත ගැයූ යහ පාලන උගතුන් නොවෙද? එදා හංස ගීත ගයා මෙදා ජනතා විමුක්ති පෙරමුණේ ගෙජ්ජි බැඳ ගෙන ඩෙඟා නටන පිරිස ද ඊට අයත් ය.

කෙසේ වුව ද 2004 මේ රටේ ප්‍රගතිශීලි ජනතාව මහින්ද ප්‍රමුඛ පොදු පෙරමුණු සන්ධානය ජයග්‍රණය කරවා පරාජය කළේ රනිල් වික්‍රමසිංහ පමණක් නොව පොදු පෙරමුණු නායිකා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රමුඛ දේශද්‍රෝහි පිරිස ය. එහි දී රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට කළ හැකි සියල්ල කළ චන්ද්‍රිකා කුමාරතුංග, සිය පක්ෂයෙන් තරඟ කළ මහින්ද වෙනුවෙන් සිය පක්ෂයට මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකාවක් පවා මුද්‍රණය කිරීමට අවස්ථාවක් ලබා නොදී මෙදා සිරිසේනගේ නායකත්ව භූමිකාවේ මුල් කොටස රඟ දැක්වූවා ය. 

1991 දකුණ වමට හැර වූ දකුණු පළාත් සභා මැතිවරණයේ දී පාලක එක්සත් ජාතික පක්ෂය මහා භීෂණයක් වැපිරුව ද දිනා ගත හැකි වූයේ ආසන 28කි. ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්ෂයට ආසන 29ක් ලැබිණි. පාලක එක්සත් ජාතික පක්ෂය ආසන 28ක් දිනා ගත් එජාපයේ එම්. එස්. අමරසිරි මහ ඇමති කළ ද අධිකරණය එය අක්‍රිය කර අමරසිරි දොඩංගොඩ මහ ඇමති කරවීය. එහෙයින් කිසිවෙකුටය ජනතා පරමාධිපත්‍ය සමඟ සෙල්ලම් කළ නොහැකි බව තේරුම් ගත යුතු ය. 

මෙසේ බලන කල 1991, 2004 සහ 2015 අතර කිසි වෙනසක් නැත. එක ම වෙනස මහින්ද රාජපක්ෂ වටා පෙර නොවූ විරූ ලෙස මේ රටේ ජනතාව පෙළ ගැසීම පමණි. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නම් 1991 මෙන් ම 2004 මහ මැතිවරණය සහ ඒවායේ ප්‍රතිඵලය වර්තමාන ජනාධිපතිවරයාට තක්සලාවක් විය යුතු ය. තමන් දරන තණතුරු තාවකාලික බව ද ජනතා පරමාධිපත්‍ය ඊට වඩා බෙහෙවින් බලවත් බව ද පාලකයින් තේරුම් ගත යුතු ය. 

එදා මේ රටේ ඊනියා උගතුන් ඒකාධිපතියා යැයි කී මහින්ද ජනවාරි 08 වෙනිදා ජන වරමට හිස නමා ගෙදර ගියේ ය. මෙදා යහ පාලනය රටට උදා කිරීමට සපථ කර අර කී උගතුන්ගේ කර මතින් බලයට පැමිණි බලයට කැමති නැති ප්‍රජාතන්ත්‍රවාදී සිරිසේන එළඹෙන මහ මැතිවරණ ප්‍රතිඵලය හමුවේ ක්‍රියා කරන ආකාරය දෙස රට වැසියෝ බල සිටිති. 

Thursday, August 6, 2015

මෙගා බොරු මෙගා මිත්‍යා සහ යහ පාලන ආලාපාළුව

සංවර්ධනය 

1948 සිට 2005 දක්වා මේ රට පාලනය කළ සියලු ආණ්ඩු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා වැඩි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් 2005-2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලනය සමය තුළ රටට ලැබිණි. මේ සංවර්ධන විප්ලවය සිදු කළේ වසර 30ක් මේ රටේ පැවති බිහිසුණු ත්‍රස්තවාදී අරගලය නිමාවට පත් කිරීම නම් මිල කළ නොහැකි මහා ප්‍රාතිහාර්යයට අමතරව එම කාලය තුළ රටට නව ජාත්‍යන්තර වරායක්, නව ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, අධිවේගී මාර්ග පද්ධතියක්, ජාත්‍යන්තර මට්ටමේ නෙළුම් පොකුණ රංග ශාලාව, ගුවන් පාලම්, නෙළුම් කුළුණ, ඈත ගම් දනව් දක්වා කාපට් ඇතිරූ මාර්ග, උතුර-දකුණ යා කළ දුම්රිය මාර්ගය, මහින්ද්‍යෝදය විද්‍යාගාර, පෝර්ට්සිටි ව්‍යාපෘතිය, දැදුරු ඔය සංවර්ධන යෝජනා ක්‍රමය, මොරගහකන්ද සහ රඹකැන් ඔය ජල යෝජනා ක්‍රම, දක්ෂිණ වරාය සංවර්ධන ව්‍යාපෘතිය, සුන්දර නගර, උද්‍යාන, ගමන් පථ, වෙළඳ සංකීර්ණ, දික්ඕවිට ආදි නව සංවර්ධිත ධීවර වරාය ආදි බොහෝ යෝධ සංවර්ධන ව්‍යාපෘති ලැබිණි. 

ඒ ඔස්සේ රට යෝධ සංවර්ධන පියවර තබමින් ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරමින් තිබිණි. ලෝක බැංකු වාර්තා අනුව 2005-2015 කාලය තුළ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. බිලියන 24.4 සිට ඇ. ඩො. බිලියන 74.9 දක්වා ඉහළ ගොස් තිබූ අතර රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 96% සිට 75% දක්වා පහත වැටී තිබිණි. 10%ක් ව පැවති උද්ධමනය 5% දක්වා පහත වැටුණු අතර ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1210 සිට ඇ. ඩො. 3400 දක්වා ද ආර්ථික වර්ධන වේගය 6% සිට 7% දක්වා ද ඉහළ ගොස් තිබිණි.

සොරකම 
කෙසේ වුව ද මේ දැවැන්ත නැතහොත් මෙගා සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කරනුයේ බිලියන, ට්‍රිලියන ගණන් කොමිස් ගසා කෑමට බව ද සංවර්ධනයට මුවා වී රට ණය උගුලේ සිර කරමින් ජනතා මුදල් කොල්ල කන බවට ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල විය. විශේෂයෙන් අධිවේගී මාර්ග කොමිස් උල්පතක් බව කියැවිණි. කෙන්යාවේ අධිවේගී මාර්ග කිලෝ මීටරයකට වියදම ලංකා මුදලින් රුපියල් මිලියන 2.7ක් වන විට ලංකාවේ එය රුපියල් මිලියන 7.1ක් වන්නේ අධිවේගී මාර්ගය රනින් සදන නිසා දැයි එජාපය, ජවිපෙ සහ හෙළ උරුමය ප්‍රධාන එවක විපක්ෂය විමසා සිටියේ ය. මෙලෙස සියලු සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ රටේ අනාගතය උගසට තබා මහින්ද රාජපක්ෂ රජය මුදල් වංචා කර ඇතැයි මතයක් සමාජගත කෙරිණි. දකුණේ ජනතාව (උතුරු නැඟෙනහිර නොවන) අතර විශේෂයෙන් සිංහල ජනතාව අතර මේ අදහස් ව්‍යාප්ත කෙරිණි.

වත්කම් 

වංචා කළ මුදල් රාජපක්ෂවරු විදෙස් බැංකුවල සඟවා ඇති බව ද විදෙස් රටවල මාළිගා මිලට ගෙන ඇති බව ද පැවසිණි. මහින්ද රාජපක්ෂ පවුලේ සියලු දෙනාට වෙන වෙන ම හෙලිකොප්ටර් හයක් ඇති බව ද දරුවන්ට ලොව වටිනාම මෝටර් රථ වර්ගයක් වන ලැම්බොගිනි ඇති බව ද ඔවුන්ගේ පෙම්වතියන් උදෑසන හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් ඇමරිකාවේ බකිංහැම් මාලිගාවෙන් ගෙන ආ රත්තරන් අශ්වයින් පැද දහවල් කෑමට නැවත ගුවනින් කොළඹ එන බව ද පැවසිණි. රට පුරා මහජන මුදලින් මහින්ද මාළිගා තනන බවට කටකතා පතුරුවා හැරිණි. මහින්ද රාජපක්ෂගේ වාර්ෂික වියදම රුපියල් කෝටි 10 000ක් බව වැය ශීර්ෂ ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ය. එපමණක් නොව මහින්ද රාජපක්ෂ ජනතා මුදලින් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ගුවන් යානයක් ඇනවුම් කර ඇති බවට ද චෝදනා ලැබිණි.

මහින්ද රාජපක්ෂ ගෙදර යවා තමන්ට බලය ලබා දුනහොත් මේ සියලු දූෂණ නතර කොට මහින්ද කරන සංවර්ධනය මෙන් දහ ගුණයක් වේගයෙන් මේ රට සංවර්ධනය කරන බව ද මහජන දේපළ කොල්ල කෑ සොරුන් අල්ලා දඬුවම් කරන බව ද යහ පාලනයක් උදා කරන බව ද පැවසිණි. දින සියයෙන් වැඩ සියයක් කරන බව කියැවිණි. ජනතාව මේ චෝදනා විශ්වාස නොකරනු ඇතැයි සිතූ ආණ්ඩුව එය තර්ජනයක් සේ නොගත් අතර ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට ද උත්සාහ නො කළේ ය. එහෙත් එවකට පැවති විපක්ෂය දිගින් දිගට ම මේ චෝදනා නැවත නැවත එල්ල කළ අතර අතිශ්‍යෝක්තියට නැංවු එම පුවත් දකුණේ ගම්දන දක්වා අත්තටු ලැබ පාවි ගියේ ය. දකුණේ ජනතාව තුළ ද ආණ්ඩුව සොරකම් කරන්නේය යන අදහස ක්‍රමයෙන් මුල් බැස ගත්තේ ය. 

බල පෙරළිය

මහින්ද රාජපක්ෂ දකුණේ ජනතාව අතර සිංහල ජනතාව අතර දූෂිතයෙකු ලෙස හංවඩු ගැසීම මගින් යම් කිසි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට විපක්ෂය සමත් විය. ඊට සමගාමීව උතුරේ ජාතිවාදය අවුලා දෙමළ ජනතාවට උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කළ ඒකීය රාජ්‍යයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී දෙමළ ඡන්ද සාතිශය බහුතරයක් දිනා ගැනීමට හැකි විය. ඒ අතර බොදුබල සේනාව වැනි සංවිධාන ඔස්සේ මුස්ලිම් ජනතාව මහින්දගෙන් ඈත් කළ අතර නැඟෙනහිර වෙන ම මුස්ලිම් කළාපයක් දෙන බවට ඔවුන්ට පොරොන්දු විය. ජාතිවාදය, බෙදුම්වාදය සහ ආගම්වාදය ඔස්සේ එකතු කර ගත් සුළු ජාතික බහුතර ඡන්ද සමඟ එකතු වුණු පෙර කී දූෂණ විරෝධි සිංහල සුළුතරය ජනවාරි 08 වෙනිදා මහින්ද පරාජයට පත් කළහ. ඒ ඔස්සේ සිංහල ජනතාව වේගවත් සංවර්ධනයක් ද දෙමළ ජනතාව ෆෙඩරල් රාජ්‍යයක් සහ මුස්ලිම් ජනතාව මුස්ලිම් කළාපයක් බලාපොරොත්තු වුහ.

යථාර්ථය

මේ වන විට යහ පාලන ආණ්ඩුව දින සියය ද සමඟ මාස හයක් රට පාලනය කර තිබේ. වසර 10ක් පුරා රටේ නැඟෙමින් පැවති සංවර්ධන රැල්ල පොරොන්දු වූ පරිදි 10 ගුණයකින් වැඩි වනු වෙනුවට මුළුමනින් ම ඇනහිට තිබේ. මේ කාලය තුළ ආර්ථික සංවර්ධන වේගය 7% සිට 6.4% පහත බැස ඇත. විදේශ් සංචිත ප්‍රමාණය ඇ. ඩො. බිලියන 9 සිට ඇ. ඩො. බිලියන 6.3 දක්වා පහත වැටී ඇති අතර රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 850 සිට බිලියන 1250 දක්වා ඉහළ නැඟ ඇත. අයවැය හිඟය 6.5% සිට 9.5% දක්වා ඉහළ යන අතර රුපියල් 131කට මිලට ගත හැකිව තිබුණු ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 140 දක්වා ඉහළ ගොස් ඇත. එනම් රුපියලේ මිල දී ගැනීමේ හැකියාව පහත වැටී තිබේ. එපමණක් නොව 2015 වසර සඳහා අයවැයෙන් රජයට ගැනීම සඳහා අනුමත කර ඇති රුපියල් ට්‍රිලියන 7.8ක් වන දෙස් විදෙස් ණය ප්‍රමාණයෙන් රුපියල් ට්‍රිලියන 7.71 හෙවත් 96%ක් වසරේ මුල් කාර්තුව එනම් මුල් මාස හතර තුළ ලබා ගෙන ඇති අතර ඉදරි මාස අට සඳහා ඇත්තේ අනුමත ණය ප්‍රමාණයෙන් 4%ක් පමණි. මේ අනුව වසර අවසාන වන විට අයවැයෙන් අනුමත ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් එනම් රුපියල් ට්‍රිලියන 23 ඉක්මවූ ණය බරක් රටේ ජනතාව මත පැටවෙනු ඇත. මේ සියලු වියදම් පරිභෝජන වියදම් මිස සංවර්ධන වියදම් නොවේ. රටේ සියලු සංවර්ධන ව්‍යාපෘති නතර කර පරිභෝජනය සඳහා ණය ගනිමින් රට ණය උගුලේ සිර කළේ වත්මන් යහ පාලන ආණ්ඩුව බව මේ දත්තවලින් මොනවාට පැහැදිලි වෙයි.

මෙගා ඩීල් මිත්‍යාව

අධිවේගී මාර්ග කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 7.1ක් වැය වන්නේ ඒවා රනින් කරන නිසා දැයි ප්‍රශ්න කළ යහ පාලන විපක්ෂය, ආණ්ඩු බලය ලබා ගෙන කඩවත කෙරවලපිටිය අධිවේගි මාර්ගයේ කිලෝ මීටරයක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 7.5ක් හෙවත් ඉතිහාසයේ අධිවේගී මාර්ග කිලෝ මිටරයක් සඳහා වැඩිම මුදල වැය කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර අධිවේගී මාර්ග ඔස්සේ රාජපක්ෂ රජය මහජන මුදල් ගසා කෑ බවට නැඟූ චෝදනාව නිශ්ප්‍රභ කළේ ය. නැතහොත් රාජපක්ෂ රජය වියදම් කළ මිලියන 7.1 ඔස්සේ ගසා කෑ මුදලට වඩා වැඩි මුදලක් මිලියන 7.5 ඔස්සේ යහ පාලන ආණ්ඩු ගසා කෑ බව ඔවුන් පිළිගත යුතු ය.

මහජන දේපළ සොරකම් කළ අයට දඬුවම් ලබා දෙන පැවසුව ද එවැනි කිසිවෙකු වැරදිකරුවෙකු කිරීමට තබා පිළිගත හැති දූෂණ චෝදනාවක් මගින් නැඟීමට පවා යහ පාලන රෙජිමය අසමත් වී තිබේ. මෙගා මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඇතැම් මැත ඇමතිවරුන් අත් අඩංගුවට ගත්තේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ට භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන තුරු කැබිනට් අනුමැතිය ද සහිතව දිවි නැඟුම අරමුදලින් වන්දි ගෙවීම, ගං වතුර ආපදාව අවස්ථාවේ අවතැන් ජනතාවට බෙදා දීම සඳහා සතොසෙන් රුපියල් ලක්ෂ 50ක ණයට බඩු ගැනීම වැනි චෝදනාවලට ය. අධිකරණය හමුවට එම මුදල් ගෙවා දැමූ බවට සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් වීම සමඟ මේ චෝදනා හුදු ද්වේශ සහගත දේශපාලන පලිගැනීම් පමණක් බව අනාවරණය විය. විමල් වීරවංශට එරෙහිව නැඟු චෝදනා සිය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා ම අටවා ගත් නීති විරෝධි “මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය” තුළ ම නිශ්ප්‍රභ වීම ය. 
ජනාධිපතිවරණ සමයේ වේදිකාවල ඉගිල ගිය රාජපක්ෂලාගේ හෙලිකොප්ටර්, ලැම්බෝගිනි, මාළිගා, විදෙස් බැංකුවල මුදල් තැන්පතු ආදි සියල්ල බොරු සහ බොරුම පමණක් බව දැන් අනාවරණය වී තිබේ. රට පුරා ඉදි කළ තරු පන්තියේ හොටෙල් මහින්දගේ මාළිගා යැයි ප්‍රචාරය කර තිබිණි. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට හිමි විදෙස් රටවල හොටෙල් මහින්දගේ බවට කටකතා පතුරුවා තිබිණි. මේ සියල්ල නොව එකක් සත්‍ය නම් ඒය ජනතාව හමුවේ සනාථ කිරීම සඳහා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒම සඳහා මාස 6ක කාලය හොඳට ම ප්‍රමාණවත් ය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූ අතර මේ වන විට රාජ්‍ය මාධ්‍ය ද භාවිත කරමින් තව තවත් මෙගා බොරුවලින් ජනතාව නිර්වින්දනය කරමින් සිටී. 

යාපනයේ පාසල් දැරියක දූෂණය කළේ මහින්දගේ සගයෙකු බවට එජාප නිල Face Book පිටුව ඔස්සේ චෝදනා කළ අතර එය බොරුවක් බව අනාවරණය වුව ද නිවැරදි කළේ නැත. මහින්ද ආණ්ඩුවට එතනෝල් ගෙන්වන බවට චෝදනා කළ අය යහ පාලන රෙජිමය පිහිටුවා මාස 6ක් තුළ අලුතින් එතනෝල් ආනයන බලපත්‍ර 28ක් ලබා දී එතනෝල් මිලි ලීටර් ලක්ෂ 13.9ක් රටට ගෙන්වා තිබේ. එහෙත් 2014 වසර තුළ රටට ගෙන්වා ඇති මුළු එතනෝල් ප්‍රමාණය මිලි ලීටර් ලක්ෂ 14.7කි. එහෙත් මහින්ද රාජපක්ෂ පසුගිය වසර 10 තුළ ම කිසිදු නව එතනෝල් බලපත්‍රයක් නිකුත් කර නොමැති අතර මීට පෙර බලපත්‍ර 21ක් එනම් වැඩි ම එතනෝල් බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ ප්‍රේමදාස පාලන සමයේ දී ය. 

මාගම්පුර වරායට නැව් නො පැමිණෙන බව කී යහපාලන රජය පසුගිය දා එහි දෙවැනි අදියර විවෘත කළේ සිය චෝදනාව පුස්සක් බව සනාථ කරමිනි. මහින්ද රජයේ විදේශ ගමන් වියදම් පිළිබඳ කතා කර බලය දිනා ගත් යහ පාලන රෙජිමයේ ඇමති කෙනෙකු සහ පුතෙකු දින 100 තුළ විදේශ සංචාර සඳහා රජයේ මුදල් රුපියල් කෝටියක් පමණ වියදම් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාගේ වාර්ෂික වියදම් ලෙස විපක්ෂය ජනතාව ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයා යටතේ පැවති සියලු ආයතනවල වාර්ෂික වියදම වූ රුපියල් කෝටි 9593 වූ අතර එම ආයතන ජනාධිපතිවරයාගෙන් ඉවත් කර අදාළ වැය ශීර්ෂ ද වෙන වෙන අමාත්‍යංශවලට පවරා ජනාධිපති වියදම රුපියල් කෝටි 256 දක්වා ම අඩු කළේ යැයි යහ පාලන රෙජිමය උජාරුවෙන් කීවේ රට ම හිනස්සවමිනි. මහින්ද පෞද්ගලික ගුවන් යානයක් ඇනවුම් කළ බවට චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් සමාගමේන් යානා මිල දී ගත් විට ලබා දෙන ප්‍රභූ පැකේජ කුටියක් පදනම් කර ගෙන බව පසුව හෙළි විය.

හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් රාජපක්ෂලාගේ උදේ කෑම  වේලක වියදම රුපියල් ලක්ෂ 94ක් වන්නේ යැයි බිල්පතක් ප්‍රදර්ශන කරමින් චෝදනා කළ අතර ඒ බිලෙහිම ඉහළ කෙළවරේ එය රාජ්‍ය නායකයින් සහ නිලධාරීන් 1300ක් පමණ සහභාගී වූ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවති දින උදෑසන කෑම සඳහා වියදම බව සඳහන් ව තිබිණි. එම අභූත චෝදනාව පසුදාම මාධ්‍ය මගින් නිවැරදි කළ අතර එවැනි සාපරාධි චෝදනාවක් එල්ල කිරීම පිළිබඳ රටේ ජනතාව හමුවේ මෙගා බොරු කීම පිළිබඳ එජාපය සමාව ඉල්ලා සිටියේ නැත. එම චෝදනාව බොරු බව රට ම දැන සිටින පසුබිමක රනිල් වික්‍රමසිංහ එජාප සමුළුවේ දී ඒ බොරුවම කිසිදු හිරිකිතයකින් තොරව නැවත කීවේ ය. 

මේ අතර යහ පාලන රෙජිමයේ විදේශ ඇමති මංගල සමරවීර මාධ්‍ය හමුවක් පවත්වමින් රාජපක්ෂ පවුලේ විදෙස් වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 18ක් එනම් ට්‍රිලියන 3.2ක් බවට විදේශ බුද්ධි අංශ තමන්ට තොරතුරු සපයා ඇතැයි කීවේ ය. පසුගිය වසර 10 තුළ මේ රටට ලැබුණු සියලු ආයෝජන සහ ණය ප්‍රමාණය ද මෙලෙස හොරකම් කළේ යැයි කියන මුදලට වඩා බෙහෙවින් අඩු වීමෙන් මෙය ද සුපුරුදු මෙගා බොරුවක් පමණක් නොව රටේ විදේශ ඇමතිවරයා මෙන් ම ඔහුට තොරතුරු බුද්ධි අංශ ද බිලියන සහ ට්‍රිලියන මොනවා දැයි නොදන්නා බව ද මෙම ප්‍රකාශයෙන් හෙළි විය. මිලියන 1 000ක් බිලියනයකි. බිලියන 1 000ක් ට්‍රිලියනයකි. ඒ අනුව බිලියන 18ක් යනු ට්‍රිලියන 1.8කි.

සිය හොරකම බොරුවෙන් වැසීම 

යහ පාලනය උදා කරන බව පවසා බිහි කර ගත් යහ පාලන ආණ්ඩුවේ භාණ්ඩාගාර මගඩිය නිසා රටට සිදු පාඩුව රුපියල් කෝටි 6000ට ආසන්න වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පවසන විට ඊට එරෙහිව නැඟෙන විශ්වාසභංගය යටපත් කිරීම සඳහා තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ජනාධිපති සිරිසේන මහතා රට අමතා ගාම්භීර ලෙස ප්‍රකාශ කර සිටියේ ය. එපමණක් නොව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන බව පවසා බලයට පැමිණි යහ පාලන රෙජිමය භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තාව මහජනතාව අතරට යාම වළක්වනු වස් අධිකරණ වාරණ නියෝගයක් ද ලබා ගත්තේ ය. 

කෙලෙස් අවුලන මැතිවරණ ව්‍යාපාරය

මේ අනුව යහ පාලනය යනු අනෙකක් නොව බොරුවට, වංචාවට, දූෂණයට පර්යාය පදයක් ලෙස මේ රෙජිමය භාවිත කරන බව පැහැදිලි ය. ජනවාරි 08 වෙනිදා දක්වා ප්‍රකාශ කළ සියලු සියලු චෝදනා බොරු බව ජනතාව පසක් කර ගන්නා විට ඔවුන්ට වැරදි තීරණයක් ගෙන අවසන් ය. එහෙත් යහ පාලන රෙජිමය කරනුයේ ජනවාරි 08 වෙනිදා දක්වා කී බොරු මත තව තවත් බොරු ගොඩ ගසමින් ජනතාව නිර්වින්දනය කර රටේ බලය ඩැහැ ගැනීම සඳහා ක්‍රියා කිරීම ය. රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවට ගොස් මහින්ද පරාජය කරන ආකාරය ඉගෙන ගෙන පැමිණි බව කියන තියරිය මේ මෙගා බොරු ලෝ දියෙහි ජනතාව ගිල්වා ජනතා මතය කොල්ලකෑම විය යුතු ය. හොරකම් පිළිබඳ මෙගා බොරු කියමින් ජනතාව තුළ ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, රාගය ඇවිළවීම ඉතා පහසු ය. අපහසු ඒවා මැඩලීම ය. තමන්ගේ මුදලින් අනෙකා සුරසැප විඳී යන අදහස ජනතාව තුළට කිඳා බස්සවා ඔවුන් තුළ වෛරී ජාගර හැඟීම් මතු කිරීම ඉතා පහසු ය. අපේ ආගමික සංස්කෘතික හර පද්ධති විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කරන මේ පහත් සිතුවිලි ජනතාව තුළ ව්‍යාප්ත කර ප්‍රතිවාදියා පරාජය කිරීම යහ පාලන රෙජිමයේ උපාය වී තිබේ. ගණිකා වෘත්තිය ජීවිකාව කරගත් ගැහැනියක සිය අඟ පසඟ ප්‍රදර්ශනය කර මිනිසුන්ගේ හැඟීම් කුපිත කර තමන් වෙත ආකර්ෂණය කර ගැනීම සහ මේ මෙගා බොරු මැතිවරණ ව්‍යාපාරය අතර අතර කිසිදු වෙනසක් නැත. මේ ප්‍රෝඩාව පරාජය කළ යුත්තේ එය දේශපාලන පිළිලයක් පමණක් නිසා නොව අපගේ හර පද්ධතිය පවා විනාශ කරන භයානක සංස්සෘතික පිළිලියක් ද වන හෙයිනි.

 
සිය රට දේ සිරි සැප දේ !