Tuesday, March 3, 2009

අවාසනාවට ඇත්ත කතාවක් (1)

ත්‍රස්තවාදියා සිය පරාජයේ සලකුණ රුධිරයෙන් තබන ලද තවත් අවස්ථාවක් ඊයේ (03 වැනිදා) වාර්තා විය. පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකාවේ ක්‍රිකටි කණ්ඩායමට වෙඩි තබා ක්‍රීඩකයන් හයදෙනකුට තුවාල සිදු කර පාකිස්තාන පොලිසියේ හයදෙනකු නසමින් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරය එම සලකුණ ය. එම ත්‍රස්තවාදී කණ්ඩායම අල් කයිඩා වේවා, එල්.ටී.ටී.ඊ. වේවා ස්ථිර වශයෙන් ම පරාජයට පත්ව සිටින අය වෙති. සිවිල් වැසියන් මැරීම, ක්‍රීඩා අවස්ථාවන්ට පහර දීම, ආගමික උත්සවවලට බෝම්බ ගැසීම වැනි ක්‍රියා ත්‍රස්තවාදීන් විසින් සිදු කරනු ලබන්නේ පරාජය තවදුරටත් ඉවසා දරා ගත නොහුණු අවස්ථාවලදී ය. මේ කලාපයේ ක්‍රියාකාරීව සිටින ගරිල්ලා සංවිධාන ගණන 300 ඉක්මවා යයි. එයින් වඩාත්ම බලවත් වන්නේ කාශ්මීර ගරිල්ලා සංවිධාන සමුහයත්, අල්කයිඩා සංවිධානයත්, කොටි සංවිධානයත් ය. කොටි සංවිධානය ඉතා භයානක ලෙස පරාජයට පත්වී ඇති අතර ප්‍රභාකරන්ට වැසිකිළි යෑම පිණිසවත් තමා සිටින බංකරයෙන් පිටතට පැමිණීමට නොහැකි තත්ත්වයක් හට ගෙන තිබේ. ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය එක්ව අල් කයිඩා සංවිධානය බිම දිගා කර ඇත. එහෙත් කුඩා කණ්ඩායම් වශයෙන් කල්ලි ගැසී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව බහුලව සිටින ජනපද යනාදියෙහි ක්‍රියාත්මක වීමට තරම් අල් කයිඩා සංවිධානය ශක්තිමත් ය. කාශ්මීර ගරිල්ලන්ට ප්‍රශ්නය ඇත්තේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව සමඟ පමණි. මේ සියලු කාරණා අතර ඉන්දියාවේ රෝ සංවිධානය ද එරට ආණ්ඩුවේ අවසරය ඇතිව හෝ නැතිව ක්‍රියාත්මක වන බව සියලු දෙනා සිහි තබා ගත යුතු ය. ඒ අනුව ලාහෝර් නුවරදී ශ්‍රී ලාංකික ක්‍රිකටි කණ්ඩායමට වෙඩි තැබු උදවිය ලෙස පහත සඳහන් පිරිස් ගැන සැක කළ හැකිය. එනම්,

1. ලංකා ආණ්ඩුවෙන් පළි ගැනීම සඳහා කොටි සංවිධානය.

2. ත්‍රස්තවාදය උපුටා දමා මැද පෙරදිග තෙල් ළිං තම අතට ගැනීමේ ඇමරිකානු න්‍යාය පත්‍රයට උපකාර කළ පාකිස්තාන මධ්‍යම රජය.

3. පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර ගැටුමක් ඇති කිරීම සඳහා "අහිංසක" ඉන්දියානු රජයේ කිසිදු ආධාරයක් නැතිව ක්‍රියාත්මක වන රෝ සංවිධානයේ සමහර කොටස්.

4. පාකිස්තානය අනාරකෂිත තැනක් ලෙස ලෝකයට පෙන්වාදීමටත්, එමගින් පිටස්තර දියුණු ලෝකය පාකිස්තානය තුළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන එරට අන්තවාදී ඉස්ලාමීය කොටස්.

කිසියම් රටකට සිදුවිය හැකි භයානකම දෙය නම් ඒ රටේ යුද හමුදාව සහ ඔත්තු සේවය රජයේ පාලනයෙන් ගිලිහී යෑම ය. මෙහි තේරුම නිත්‍යානුකුල ආණ්ඩුව පැත්තක තිබියදී යුද හමුදාව සහ ඔත්තු සේවය එකතු වී සමාන්තර ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීම ය. එවැනි තත්ත්වයක් තුළ රට අරාජික වෙයි. මෙවැනි සිදුවීම් බහුලව හට ගැනීමට ප්‍රමාණවත් නිදහසක් එවිට ත්‍රස්ත කල්ලිවලට ලැබේ. පාකිස්තානයේ ඇති නරකම තත්ත්වය නම් එරට යුද හමුදාවේ අන්තවාදී කොටස් ද එරට ජාතික ඔත්තු සේවයවන අයි. එස්. අයි. ඔත්තු සේවයේ අන්තවාදී කොටස් ද ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලිවලට ආධාර කරමින් එම කල්ලි තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යෙදවීම ය. පසුගියදා මුම්බායි නුවරට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය ද එවැනි සිද්ධියකි. එම ප්‍රහාරය පසුපස පකිස්තාන යුද හමුදාවේ කොටස් හා අයි. එස්. අයි. ඔස්තු සේවයේ කොටස් සිටි බව දැනගන්නට තිබේ. මේ තත්ත්වයට විරුද්ධ වීමට පකිස්තානය පාලනය කරන දුර්වල ආණ්ඩුවට නොහැක. ත්‍රස්තවාදීන්ට උදව් කිරීම නවත්වන ලෙස පකිස්තාන ආණ්ඩුව එරට හමුදාවට හා ඔත්තු සේවයට බල කළොත් හමුදා කුමන්ත්‍රණයක් ඇති වී එරට ජනාධිපති අසීප් අලි සර්දාරි කණෙන් අල්ලා විසි කිරීමට පවා ඉඩ ඇත. එ බැවින් කලාපයේ රටවල් කළ යුත්තේ ඉස්ලාමීය සංවිධානවලට උපකාර කරන බවට චෝදනා කරමින් පාකිස්තානයට තර්ජන කිරීම නොව එරට ප්‍රජාතන්ත්‍රවාදී රජය ශක්තිමත් කිරීමට පියවර ගැනීම ය.

පාකිස්තානය හා කිසිදු ගැටුමක් නැති ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩක කණ්ඩායමක් ඝාතනය කිරීමට උත්සාහ කිරීම ඉතා භයානක ප්‍රතිඵලවලට මඟ පාදන ක්‍රියාවකි. ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුයේ එය නමුදු දෙරට අතර පවත්නා සහයෝගය නිසා එවැනි තත්ත්වයක් හට ගන්නේ නැත. යුද්ධයේදී පාකිස්තානය සහ චීනය ශ්‍රී ලංකාවට උපකාර කිරීම ගැන අමනාපයෙන් සිටින උදවිය අපට උතුරෙන් සිටිති. ඒ ගැන හෙට කතා කරමු.

(දිවයින_09/03/04)

පසුවදන_
කතුවැකියේ සඳහන් දෙවන පාර්ශවය හැරුණු කල සෙසු අය අතර යමෙක් මේ ප්‍රහාරය පසුපස ඇතැයි මම ද විශ්වාස කරමි. වර්තමාන පකිස්ථානයේ දේශපාලන අස්ථාවරභාවය සලකා බලන කල දෙවැන්න ද සිදුවිය නොහැක්කක් නොවේ.

කෙසේ වුව ද මේ වන විට ත්‍රස්තවාදයේ ග්‍රහයා නීච වී තිබේ. ඔවුන් කරන්නට උත්සාහ කළ මහා විනාශය වැළැකුණේ එහෙයිනි. එය ජාතියේ වාසනාවකි. මේ ප්‍රහාරයෙන් අප උගත මනා පාඩම ත්‍රස්තවාදයට ජාති ආගම් පක්ෂ භේද නැති බව ය. ත්‍රස්තවාදී නොවන හැමදෙනා ම උන් සතුරන් ලෙස සලකන බව ය. අන්න ඒ නිසා අප හැම ඊට එරෙහිව එකාවන්ව නැඟී සිටිය යුතු බව ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මෙරට සිංහල දෙමළ බෞද්ධ කතෝලික හින්දු ඈ නේක පාර්ශව එකට එක් කළ සමගියේ පවුරයි. ත්‍රස්තයින් උත්සාහ කළේ එම පවුර පෙරළා දමන්නට ය. උන්ට මේ සමගිය වහ කදුරු ය. අප පටු ආගම් ජාති භේදයේ සීමාවලට කොටු වී කුළල් කා ගනු දකින්නට උන් කැමති ය. ඒ අන් කිසිවක් නිසා නොව ත්‍රසත්වාදයට හොඳින් හුස්ම ගත හැක්කේ එවන් රෝගී ගැටුම්කාරී සමාජ දේහයක නිසා ය.

1 comment:

Anonymous said...
This comment has been removed by the author.
 
සිය රට දේ සිරි සැප දේ !