Wednesday, February 25, 2009

ඉන්දියාව ඇත්තටම (අ)වංක ද?

කලකට පසු නැවත වතාවක් ඉන්දියාවේ අවංක භාවය පිළිබඳව ප්‍රශ්න කිරීමේ අවස්ථාව අප අභිමුව තිබේ. එයට හේතුව මෙයට සති කිහිපයකට පෙර කොටි සංවිධානයට බැණ වදිමින් ශ්‍රී ලංකාවේ යුදමය ක්‍රියාමාර්ගයට පකෂව කතා කළ ඉන්දියානු විදේශ ඇමැති ප්‍රනාබ් මුඛර්ජි මීට දින කිහිපයකට පෙර දේශපාලන විසඳුමකට එන ලෙස හදිසියේ ම ශ්‍රී ලංකාවට යෝජනා කිරීමට පටන් ගැනීම ය. දේශපාලන විසඳුම යන්නෙහි අනෙක් තේරුම යුදමය ක්‍රියා මාර්ගයට ඉන්දියාව හදිසියේ විරුද්ධ වීමට අදිටන් කරගෙන ඇති බව ය.

තම අසල්වැසි රටේ, තමන්ට ද දායකත්වයක් ඇති, ජීවිත ලකෂ ගණනක් විනාශ කළ අර්බුදයක් සම්බන්ධයෙන් සති දෙකෙන් දෙකට තම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඉන්දියාවට හැකි නම් එය ඉතා භයානක තත්ත්වයකි. ඒ අනුව මෙයට සති දෙකකට පෙර කොටි සංවිධානයට දෙස් නගමින් යුද්ධයට පකෂව කතා කළේ සැබෑ ප්‍රනාබ් මුඛර්ජි නොව වෙස් වළාගත් ප්‍රනාබ් මුඛර්ජි කෙනකු විය යුතු ය. නැතහොත් මෙයට දින කිහිපයකට පෙර යුද්ධයට විරුද්ධ වෙමින් දේශපාලන විසඳුමකට යන ලෙස කියමින් කොටින්ට පකෂව කතා කළේ සැබෑ ප්‍රනාබ් මුඛර්ජි නොව ඔහු මෙන් වෙස් වළාගත් වෙනත් පුද්ගලයකු විය යුතු ය. අප මෙසේ කියන්නේ ප්‍රනාබ් මුඛර්ජි මහතා සම්බන්ධයෙන් පකිස්තානයට ඇති අත්දැකීමක් ආශ්‍රයෙනි.

පසුගිය මුම්බායි ප්‍රහාරයේදී පාකිස්තානය එයට වගකිවයුතු බවට ඉන්දියානු රජය චෝදනා කිරීමෙන් පසු නවදිල්ලියේ විදේශ අමාත්‍යාංශයෙන් පාකිස්තානයේ ජනාධිපති අසීෆ් අලි සර්දාරිට දුරකථන ඇමතුමක් ලැබුණේ ය. ප්‍රනාබ් මුඛර්ජිගේ කටහඬින් පැමිණි එම ඇමතුමෙන් කියවුණේ මුම්බායි ප්‍රහාරයට පකිස්තානය වගකිවයුතු නිසා පහරකෑමට සුදානම් වන ලෙස ය. මේ ඇමතුම ලැබුණ සැනින් පාකිස්තාන ගුවන් හමුදාව අහස්ගත කරන ලදී. ඉන්දු පකිස්තාන දේශ සීමාව දිගේ පාකිස්තාන හමුදාව කඳවුරු බන්දවන ලදී. ඒ අතර අසීෆ් සර්දාරි ජනාධිපතිතුමා එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් වු කොන්ඩොලීසා රයිස් මහත්මියට දුරකථනයෙන් කතා කර ඉන්දියාවේ තර්ජනය පිළිබඳව කියා ඇත. රයිස් මහත්මිය වහා ඉන්දියාවට කතා කළ අතර එයට උත්තර වශයෙන් ප්‍රනාබ් මුඛර්ජි පවසා ඇත්තේ තමන් එවැනි ඇමතුමක් කිසි ලෙසකින්වත් නොදුන් බවත් අඩු ගණනේ නවදිල්ලියේ සිටියේවත් නැති බවත් ය. එසේ නම් මුඛර්ජි වෙනුවෙන් වෙනත් අයෙක් ඔහුගේ හඬින් දුරකථන ඇමතුම දී තිබේ. ඒ අනුව ඉන්දියාවේ ප්‍රනාබ් මුඛර්ජිලා දෙදෙනෙක් සිටිති. ඒ දෙදෙනාගෙන් ව්‍යාජ මුඛර්ජි වහා හඳුනාගත යුතු ය.

දැනට පවත්නා අර්බුදයට දේශපාලන විසඳුමක් දීමට රජය ස්ථිර වශයෙන් ම බැඳී සිටී. නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ප්‍රශ්නය යුද්ධයෙන් විසඳා රජය ඉන්දියාව විසින් යෝජනා කළ 13 වැනි සංශෝධනය හෙවත් පළාත් සභාවක් දැන් එහි පිහිටුවා ඇත. උතුර සම්බන්ධයෙන් ද මෙයම ක්‍රියාත්මක වනවා ඇත. එයින් එහා දේශපාලන විසඳුම කුමක්ද? දැනට මාරයා ඉදිරියේ සිටින ප්‍රභාකරන් නැවත වරක් බේරා ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබේද? එසේ බේරාගෙන නැවත වතාවක් ඔහු සන්නද්ධ කර ශ්‍රී ලංකාවේ නිත්‍යානුකුල රජයට විරුද්ධව, අවශ්‍ය අවස්ථාවේදී පාවිච්චි කිරීමට ඉන්දියාව සුදානම් වන්නේද?

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ඒකීයත්වයට විරුද්ධව ඉන්දියාව නිතර කටයුතු කර තිබේ. ප්‍රභාකරන් යනු ඉන්දියාවේ දායකත්වයෙන් තමිල්නාඩුවේදී හා යාපනයේදී කෙරුණු භයානක නිර්මාණයකි. ඉන්දියාවේ අවංකභාවය පිළිබඳව නැවත වතාවක් මේ රටේ ජනයා තුළ සැක පහළ වෙමින් පවතී. අලුත්ම සැකය වන්නේ ප්‍රභාකරන් ගේ මරණයෙන් පසු ඒ තැනට වෙන කෙනකු ගෙන ඒමට ඉන්දියාව කටයුතු කරනු ඇද්ද යන්න ය.
(දිවයින_09/02/26)

පසු වදන_
මේ රටේ ත්‍රස්ත අර්බුදයේ උණුසුම එසැනින් දැනෙන වෙන රටක් වේ නම් ඒ ඉන්දියාව ය. ඒ නිසා ම ඔවුන්ගේ දේශපාලන ආස්ථානය අපට ඉතා ම වැදගත් ය. තමන් ද වගකිව යුතු අර්බුදයක් ගැන කටුසු ව්‍රතය අනුගමනය කිරීම ඉන්දියාවට තරම් නොවේ. මුම්බායි ප්‍රහාරයේ උණුසුම මැකී යන්නටත් පළමුව ත්‍රස්තවාදයට හිතකර ප්‍රකාශ නිකුත් කිරීම සැබවින් ම කනගාටුදායක ය. මේ හදිසි දෝලනයට හේතුව කුමක් ද? තමිල්නාඩු බෙදුම්වාදීන්ගේ සහ කොටි හිතවාදීන්ගේ බලපෑම ද? තම දැවැන්ත හමුදාවට පවා පහර පිට පහර දුන් කොටි රැළට මේ කුඩා රටේ හමුදාව ඉල ඇට කැඩෙන්න පහර දීම ඔවුන් සිය අභිමානයට වන කැළලක් ලෙස සැලකීම ද?

මින් කාරණාව හමුවේ ඔවුන් සසල වීම ඉන්දියාවේ පැවැත්ම ද අනතුරේ හෙළාගැනීමකි. එය බෙදුම්වාදය සුරතල් කිරීමේ, සමහන් කිරීමේ මෝඩ උපක්‍රමයකි. කාරණාව දෙවැන්න වීමට බොහෝ ඉඩ තිබේ. ඔවුන්ගේ හමුදා සහ අපේ හමුදා අතර වෙනස මුම්බායි ප්‍රහාරයේදී එම හමුදාව මෙහෙයුම් සහ මෙරට අදත් සිදුවන හමුදා මෙහෙයුම් සැසඳීමෙන් අවබෝධ කරගත හැකි ය. එය ඔවුන්ගේ අධිමානය පිළිබඳ ගැටළුවකි. හේතුව කුමක් වුවත් මේ හැසිරීම ත්‍රස්තවාදියාට වාසිදායක ය. එහි ප්‍රතිඵලය රජිව් ගාන්ධිලා තව තවත් ඉතිහාස පිටු අතරට ගෙන ඒමකි. ඒ පොතේ පිටු අතර මුම්බායි ප්‍රහාරයට යටින් තව නම් වැලක් ඈඳා ගැනීමකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !