Thursday, March 19, 2009

අගල් කැපීමට මේ අයත් සුදුසු ය

පෙරවදන_ඒකාධිපතිත්වය යහපත් නොවේ. එහෙත් තවමත් මෙරට ඇත්තේ ඒකාධිපතිත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රශ්නයෙකි. වසර 30 තිස්සේ කොටියා යුද්ධයෙන් පරාජය කළ නොහැකිය වහා රටින් කෑල්ලක් කොටියාට දෙන්නැයි යන අදහස මෙරට ජනතාවගේ ඔලු ගෙඩිවලට කිඳා බස්වනු පිණිස නේක ද්‍රෝහී මතවාද වමෑරු පිරිස දැන් අලුත් සටන් පාඨයක් සොයාගෙන ඇත. ඒ මහින්ද හෙට ඒකාධිපතියෙක් වුණොත් කළ යුතු දේ රටට කීම ය. තමන් ජීවත් වන සමාජයේ වසර 30ක් පැවැති ප්‍රශ්නයට පිළිතුරු දීමට නොහැකි අය අනාගතයට බලපාන ප්‍රශ්න සඳහා දෙන පිළිතුරු ගැන කවර කතා ද?

මෙතෙක් කල් ගැසූ බයිලාව දැන් යල්පැන ඇත. ඉතින් දැන් නැවත සටන් පාඨයක් සොයා ගත යුතු ය. ඒ මේක ය. මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කර ඒකාධිපති ව්‍යවස්ථාවක් තනා සදාකල් රජවීමට සිතූ තමන්ට දැන් කළ නොහැක්කේ ගැහැනියක් පිරිමියෙකු කිරීම පමණකැයි පාරම්බෑ උතුමා ද ජනතාව ගෙදර යැවූහ. එහෙයින් පැන් තලියේ කිඹුලා දකින මේ මහත්වරු බෑඟිරිය අප කනකටවත් ගත යුතු නැත. දැන් දිවයින කතුවැකිය වෙත හැරෙමු.

කොටි සංවිධානය විසින් තවමත් පාලනය කරනු ලබන උතුරේකුඩා බිම් කොටස තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින ජනයා පිළිබඳව සොයා බැලීමේ දී පහත සඳහන් තොරතුරු කිහිපය අප වෙත දැනගන්නට ලැබී තිබේ. එනම්,

* යුද හමුදාව හදිසියේ කඩා වැදුණහොත් ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින ජනයා තමන් ඇතුළු කොටි නායකයන් සමග සයනයිඩ් කා මිය යා යුතු බවට ප්‍රභාකරන් නියෝගයක් නිකුත් කර ඇති බව. මුලින්ම ප්‍රාණ ඇපකාර ජනයා සයනයිඩ් කෑ යුතු අතර එසේ නොකරන අයට වෙඩි තබා මරණු ලැබේ. ප්‍රභාකරන් ඇතුළු පිරිස සයනයිඩ් කන්නේ දෙවනුව ය.

* එම ප්‍රදේශයේ සිටින එක්සත් ජාතීන්ගේ සහන සේවකයන්ගේ දරුවන් කාලතුවක්කුවලට උණ්ඩ පුරවන්නන් ලෙස යොදාගෙන ඇති බව.

* ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමට බංකර් සෑදීමට සහ අගල් කැපීමට එක්සත් ජාතීන්ගේ සහන සේවක පවුල් යොදවාගෙන ඇති බව.

* එක්සත් ජාතීන්ගේ කාර්ය මාණ්ඩලිකයකුගේ 16 හැවිරිදි දියණිය කොටින් විසින් පැහැරගෙන ගොස් ඇති බව.

උතුරේමෙවැනි ශෝකජනක තත්ත්වයක් හට ගැනීමට සමාන්තරව යුරෝපයේ ක්‍රියාකාරකම් දෙකක් සිදු වෙමින් පවතී. පළමුවැන්න නම් එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයක් වන යුනිසෙෆ් සංවිධානය ළමයින්ගේ අයිතිවාසිකම් ගැන වැඩි වැඩියෙන් කතා කිරීමයි. ඒ අතර ජිනීවා නුවරට රුස්ව සිටින කොටි හිතවාදීන් යුද්ධය නවත්වන ලෙසට උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වීමයි.

මේ අතර තවත් වැදගත් කාරණයක් මතක් කර දෙමු. එනම් එක්සත් ජාතීන්ගේ අනාථයන් සඳහා වන මහ කොමසාරිස් නවනේතම් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම්වල තත්ත්වය බරපතල ලෙස විවේචනය කිරීම ය. යුද්ධයේදී කොටින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වනවා ඇති. කොටියා අපට වෙඩි තබන්නට සුදානම් වන විට ඊට කලින් කොටියාට අප වෙඩි තැබුවොත් කොටියා මැරී උගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේය. කොටියා ඉස්සර වුණොත් අපගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ය. නවනේතම් පිල්ලේ මහත්මිය දෙමළ ජාතිවාදී කාන්තාවක් බවට අප තුළ තක්සේරුවක් තිබේ. නැතහොත් ප්‍රභාකරන් ඇතුළු කොටි රුළ මෙතරම් විශාල ප්‍රමාණයක් මනුෂ්‍යයන් සංහාරය කර තිබියදීත් උන්ගේ පැත්ත ගෙන ඇය කතා කරන්නේ නැත.

ත්‍රස්තවාදීන් ඉදිරිපිටදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නපුංසක තත්ත්වයට පත් වීමෙන් පෙනී යන්නේ රටවල් එකසිය අසු ගණනක සාමාජිකත්වය ඇති ඒ සංවිධානයට වඩා ත්‍රස්තවාදීන් බලවත් බව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි නිවට තත්ත්වයකට ස්වෙච්ඡාවෙන්ම පත්ව සිටින්නේ නම් ඔවුන්ට හිමි කාර්ය අගල් කැපීම පමණක් වන්නේ ය.

කොටින් වෙනුවෙන් අගල් කැපීමට සුදුසුකම් ලත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම ශ්‍රී ලංකාව තුළ ඇත. මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට අයත් ඊනියා බුද්ධිමතුන් කිහිප දෙනෙක්ද විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්ද මෙයට සතියකට පමණ පෙර ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සම්මන්ත්‍රණයක් පැවැත්වුහ. සම්මන්ත්‍රණයේ කැඳවුම්කරුවෝ තිස්ස අබේසේකර, පී. පී. දේවරාජ් , ආචාර්ය සුමනසිරි ලියනගේ ය. සම්මන්ත්‍රණයේ අරමුණ වනුයේ ආණ්ඩුව යුද්ධය දිනන බැවින්, එම ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු වීමට ඉඩ ඇති නිසා ඒ තත්ත්වය නිශ්ක්‍රීය කිරීමට ගතයුතු පියවර සාකච්ඡා කිරීම ය. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියකු වන්නේ නම් එයට හේතුව මේ රටේ විරුද්ධ පක්ෂයේ නපුංසකභාවයයි. විපක්ෂයේ ප්‍රධාන කොටස වන එ.ජා.ප.ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් නෙරපන්නේ කෙසේද යන කාරණය උදෙසා සිය කාලය සහ ශ්‍රමය වැය කරමින් සිටියි. ජ.වි.පෙ. දෙකඩ වී ඇත. දෙමළ ජාතික සන්ධානය කොටින්ට ප්‍රසිද්ධියේම කත් අදිමින් සිය න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ රටකට වැදගත් වන්නේ අරාජිකත්වයක් නොව ඒකාධිපතිත්වයයි. වැඩි වෙලාවක් අව්වේ සිටගෙන සිටීමට පවා නොහැකි බුද්ධිමතුන් ස්වල්ප දෙනකුට මේ තත්ත්වයට එරෙහිව නැගී සිටිය හැකිද? අපගේ වැටහීම නම් පෙරකී බුද්ධිමතුන් සහ එන්.ජී.ඕ.කාරයන් සුදානම් වන්නේ යුද්ධයෙන් පසු තම බඩ වඩා ගැනීම සඳහා මාර්ගයක් සෙවීමට ය. එබැවින් කැපීමට තවත් අගල් ඉතිරිව ඇත්නම් උතුරට ගොස් ප්‍රභාකරන් හමුවන ලෙස ඒ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිමු.
(දිවයින_09/03/20)

2 comments:

මකබාස් said...

--"කොටියා අපට වෙඩි තබන්නට සුදානම් වන විට ඊට කලින් කොටියාට අප වෙඩි තැබුවොත් කොටියා මැරී උගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේය. කොටියා ඉස්සර වුණොත් අපගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ය.""_-

නොදන්නා දේවල් ගැන කියවා තියෙන දෙකහමාරටත් නොකෙලවා ගෙන ඉන්නේ නම් මැනැවි. ඇය දෙමල ජාතිවාදයට පක්ශග්‍රාහිවීම වෙනමම කතාවකි.
සන්නද්ධ ගැටුම්කාරී වාතාවරණයකදී මානව හිමිකම් යන යෙදුම මූලිකව යෙදෙන්නේ නිරායුධ සිවිල් ජනතාව සම්බන්දයෙනි. ගැටුමට සෘජුව සම්බන්ද අවි දරන පාර්ශව සම්බන්දයෙන් ප්‍රධාන වශයෙන් ඇත්තේ ‍යුධ සිරකරුවන් සම්බන්ද ජිනීවා එකඟතාවයයි.

දෙවැන්න, දිවයිනේ පලවන කතුවැකිය ගෙඩි පිටින් කොපිකර මෙහි ඇලවීමෙන් ඔබට හෝ අපට ඇතිවන අමුතු සෙත කුමක්ද යන්න අපිට ගැටලුවකි. දිවයිනේ කොපි-රයිට්ස් ඇති කතුවැකි අලවන බ්ලොග් ප්‍රොමොට් කිරීමෙන් බ්ලොග් සංසදය නීතිමය වශයෙන් ඉන්නේ කොතැනකද??

නාමල් උඩලමත්ත said...

කොටියා ඉස්සර වූ විට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ හමුදාවේ නොව මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ බව තේරුම් ගැනීමේ ශක්තියක් නැති මුග්ධයින් තවමත් ලංකාවේ සිටින බව පෙනේ. වෙඩි කා මළ බොහෝ කොටි සිවිල් වැසියන් බවට පත් වේ. ඒ උන් තුවක්කුව ගෙන වෙඩි තබා නැතහොත් ක්ලේමෝවක් අටවා සිය ගණනක් මරා, සිය කුඹුරට ගොස් ගොවියෙකු ලෙස පුරන් කොටන හෙයිනි. බොහෝ ජාත්‍යන්තර සංගම් සියලු කොටි සිවිල් ජනතාව ලෙස සලකති. කොටි කියන්නේ ද රජයේ හමුදා, ද්‍රවිඩ සිවිල් ජනතාව මරා දමන බව ය. කොටිවත් කොටි මැරෙතැයි නොපවසා සිවිල් ජනතාව මැරෙතැයි පවසන විට ටැමිල් නෙට් බලා විවිධ වාර්තා ලෝකයට පසයන අයට වැරදීම පුදුමයට කරුණක් නොවේ. මෙහි මානව අයිතිවාසිකම් යන්න යෙදී ඇත්තේ එවන් අර්ථයකිනි.

දිවයිනේ කතුවැකිය මගේ අඩවියේ මා පළ කරන්නේ එය කියවීමට අවස්ථාවක් නොලැබෙන අයට කියවීම පිණිස ය. වර්තමාන ජාතික ප්‍රබෝදය රටේ ඇති කිරීමෙහිලා දිවයින ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර අද ද ඉටු කරයි. දිවයින කතුවැකිය මා පළ කරන්නේ ඔවුන්ගේ සේවාව තවත් විශාල පිරිසක් වෙත රැගෙන යාමට ය. එය හොරකමක් නොවන්නේ මා හැම විට ම එහි අයිතිය දිවයින සතු බව දක්වන හෙයිනි.

දිවයිනේ පමණක් නොව කාලීන වැදගත්කමක් සහිත රිවිර, ලක්බිම ආදී පුවත්පත් ලිපි ද මම පලකරමි. එමෙන් ම මා ඒ ලිපි පළ කරන්නේ මගේ පසු වදනක් හෝ පෙර වදනක් සහිතව ය. කරුණු මෙසේ හෙයින් ඒ සඳහා ඔබේ අවසරය හෝ අනුමැතිය මට අවශ්‍ය නැත. ඔබ එය කියවීමට අකමැති නම් එහි ඔබ වන් විදග්ධ උගතුන්ට ගතයුතු යමක් නැත්නම් ඔබ කළ යුත්තේ කුමක්දැයි මා කිව යුතු නැත. මගේ අඩවිය කිසිවෙකු නොකියවයි නම් කළ යුත්ත මම දනිමි.

 
සිය රට දේ සිරි සැප දේ !