Thursday, March 5, 2009

මඟුල් කාඩ් නැතිවම මඟුල් ගෙදර යෑමට මඟ සලසා දීම

පාකිස්තානය යනු ත්‍රස්තවාදී තිප්පොළක් බවත් එම තිප්පොළට පොලිසියෙන් පැනීමට කාලය හරි බවත් අපි ඊයේ මේ තීරුව ඔස්සේ ලියුවෙමු. එහෙත් ඒ පොලිසිය කිසි විටෙකත් ඇමෙරිකානු හෝ බ්‍රිතාන්‍යය පොලිසිය නොවේවාෟ එය ආසියානු පොලිසිය පමණක් ම වේවාෟ අප මේ ප්‍රාර්ථනය කරන්නේ ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය න්‍යාය පත්‍ර සහිත සාම සාධක හමුදා මේ කලාපයට අවතීර්ණ වනු දැකීමට ඇති නො කැමැත්ත නිසා ය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගැනීමේ තනි අයිතිය ශ්‍රී ලංකාවට තිබිය යුතු ය. එයට ඉන්දියාව හෝ වෙනත් රටක් අත දැමිය යුතු නැත. එසේ ම ඉන්දියාවේ ප්‍රශ්න විසඳා ගැනීමේ ඒකාධිකාරය ඒ රට සතු ය. අහල පහල කිසිදු රටක් අනාරාධනයෙන් එයට මැදිහත් විය යුතු නැත. එසේ ම ආසියාවේ සියලු ප්‍රශ්න විසඳා ගැනීමේ තනි අධිකාරි බලය එම කලාපය සතු විය යුතු ය. වෙනත් මහාද්වීප අනාරාධනයෙන් එයට මැදිහත් විය යුතු නැත. මඟුල් කාඩ් නො ලැබ මඟුල් ගෙවල්වල යෑම අවිනීත ක්‍රියාවකි. අල්කයිඩා ප්‍රහාරය යොදාගෙන ඇෆ්ගනිස්ථානයත් ඉරාකයත් විනාශ කර ඒ රටවල් දෙකෙහි ම ඇමෙරිකානු රුකඩ ආණ්ඩු පිහිටුවීමට ජෝජ් බුෂ් ජනාධිපතිතුමා ගත් අවිනීත පියවර කිසි කලෙකත් අමතක කළ නො හැක.

ලාහෝරයේදී ශ්‍රී ලංකා ක්‍රිකටි පිලට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයත් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි ටජ් හෝටලය, ඔබොරොයි හෝටලය සහ නාරිමන් නිවාස සංකීර්ණය යන තැන්වලට ඉස්ලාමීය ගරිල්ලන් එල්ල කළ ප්‍රහාරයත් අතර සමානකම් ක්‍රමයෙන් මතු වෙමින් පවතී. ලාහෝර් ප්‍රහාරය ගැන පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත කොටස පාලනය කරන රජයට එම ප්‍රාන්ත පොලිසිය කල් තබාම වාර්තාවක් ලබා දී තිබිණ. එහෙත් එම ඔත්තුව සම්බන්ධයෙන් පියවර ගෙන තිබුණේ නැත. මුම්බායි ප්‍රහාරය ගැන එම ප්‍රාන්තයේ ත්‍රස්ත නාශක අංශයේ ප්‍රධානියා දැන සිටියේ ය. එහෙත් එම ප්‍රහාරයේදී තනතුරු පසෙකලා ත්‍රස්තවාදීන් සමඟ සටන් කළ එතුමා වෙඩි කා වීරයකු ලෙස මළේ ය. එතුමා මේ ත්‍රස්තවාදීන් ගැන කල් තබා සොයාගත් දේ ගැන පරීකෂණ පැවැත්වීමට මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දේශපාලනඥයන්ට වුවමනා වුයේ නැත. ත්‍රස්ත නාශක අංශයේ ප්‍රධානියා සකස් කළ ලිපි ගොනු අකුලා තබා තිබිණ. රජීව් ගාන්ධි මහතා මරණයට ගෙන යන ලද්දේ නො සැලකිල්ල විසිනි. ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ගැන ඒ වකවානුවේදී ප්‍රභාකරන් හා රජීව් ගාන්ධි අතර බලවත් මතභේදයක් හටගෙන තිබිණ. ගාන්ධි මහතා කෙරෙහි බලවත් වෛරයක් ප්‍රභාකරන් තුළ විය. මුළු ලෝකයේ ම කුණු කන්දල් දැන සිටි

රෝ සංවිධානය ගාන්ධි මහතා සහ ප්‍රභාකරන් අතර විරසකය හොඳින් දැන සිටින්නට ඇත. එහෙත් ඒ වන විට රජිව් ගාන්ධි මහතා අගමැති නොවීමත්, මැතිවරණ අපේකෂකයකු පමණක් වීමත් එවකට අගමැතිව සිට විසුරුවාහල එස්. චන්ද්‍රසේකර්ගේ ආණ්ඩුව ගැන හා භාරකාර ආණ්ඩුවක් පවතින විටෙක ඇති විය හැකි විදේශික සතුරු ආක්‍රමණයන් ගැන කල්පනා කරමින් රෝ සංවිධානය කල්ගත කිරීමත් (මෙය උපකල්පනයකි.) රජීව් ගාන්ධි මහතා සමඟ ප්‍රභාකරන් වෛරයෙන් සිටි බව කාටත් අමතකව ගියේ ය.

ඉතා කුඩා නො සැලකිලිකම් නිසා සිදුවිය හැකි විනාශයන් ඉතා විශාල ය. ඉන්දියාවේ මුම්බායි නගරයේ ආරකෂාව බිඳ වැටීම, පාකිස්තානයේ ලාහෝර් නගරයේ ආරකෂාව බිඳ වැටීම, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ආරකෂාව බිඳ වැටීම යන සියල්ල එක හුයකින් අමුණන ලද නො සැලකිලිකම් ය. මේ නො සැලකිලිකම් මැඬපවත්වා ගැනීම තම තමන්ට ම කරගත හැකි ය. හැම දෙනාම කරන්නේ තමන්ගේ වනය ගැන නොසිතා අනුන්ගේ කුරුලෑව ගැන සිතමින් එය තමන්ට බෝ විය හැකි ආකාරය වසා දැමීම ය. මේ කරුණ සිදු කරන අතර තමන්ගේ වනයට පණුවන් ද බෝ වන බව ඔවුහු නො දනිති. ඒ වනය ඔඩු දිවු කල මඟුල් කාඩ් නැතිවම මඟුල් ගෙදරට සහභාගි වීමට බටහිර ලෝකයේ බලවතුන්ට අවස්ථාව ලැබෙන්නේ ය.

(දිවයින_09/03/06)

පසුවදන_
මේ ප්‍රහාර දාමය පසුපස ඇත්තේ නොසැලකිල්ල මිස අනෙකක් නොවේ. එය නිවට ත්‍රස්තවාදයේ දක්ෂතාවක් නොව පාලකයින්ගේ සහ ආරක්ෂක අංශවල අතිශය නොසැලකිල්ල ය. ප්‍රහාරයට පසු නිකුත් කළ සියලු වීඩියෝ දර්ශන එය මොනවාට කියාපායි. අපේ අසල්වැසි රටවල ආරක්ෂක අංශවලට සාපෙක්ෂව මෙරට ආරක්ෂක අංශ ගව් ගාණක් ඉදිරියෙන් සිට මෙවන් අවස්ථාවල අවස්ථාවල ක්‍රියාකරන බව ඉතා ම පැහැදිළි ය.

අපේ රටේ සිදු වූ ප්‍රභූ ඝාතන පසුපස ඇත්තේ ද ඒ නොසැලකිල්ල ය. ත්‍රස්තවාදය සහ ඉන් තමාට ඇති අවදානම නොතකා හැරීම ය. කුප්‍රකට කදිරගාමර්, ජෙයරාජ් ඝාතන මීට කදිම නිදසුන් ය. මෙරට වෙනසකට ඇත්තේ ආරක්ෂක අංශ කැපවී ක්‍රියා කරන අතර ප්‍රභූවරු ආරක්ෂක උපදෙස් නොපිළිපැදීම ය. තමන් වෙත ඇති අවදානම නොතකා නිරපරාදේ ත්‍රස්තවාදයට ගොදුරුවීම ය. අපේ ප්‍රභූවරු මේ දුර්වලතා සකසා ගන්නා තුරු ත්‍රස්තවාදීන්ට කදිරගාමර්, ජෙයරාජ් ලයිස්තුවට තව නම් එක් කිරීම මොන කජ්ජක් ද?

7 comments:

Anonymous said...

අපේ දේශපාලකයන් ආරක්ෂක අංශ උපදෙස් පිළි නොපදින්නේ බොහෝවිට ලාබ ජනප්‍රියත්වය උදෙසාය. වීශේෂයෙන් තමුන්ගේ ආසනයේ ජනතාව තමාව ආරක්ෂා කරන බවත් එනිසා තමුන්ට ආරක්ෂකයින් අනවශ්‍ය බවත් පෙන්වීමට යාම නිසා මේ බොහෝ මරණ සිදුවුණු බව මගේ හැඟීමයි.

නාමල් උඩලමත්ත said...

ඔව් චරිත, ඔබේ අදහසේ ලොකු ඇත්තක් තියෙනවා. මේ අය අවබෝධ කරගත යුතුයි අවදානම. ඔවුන්ගේ නොසැලකිල්ල තව බොහෝ අයගේ ජීවිත අවදානමට ලක්කරනවා. මේක බාල බොළඳ වැඩ කරලා මර ඇඳේ පණ අදින කොටියට නැති හැකියාවන් ප්‍රදර්ශනයට ඉඩ දිය යුතු අවස්ථාව නෙමේ.

Wiz Kun said...

ඔබ ලියා තිබෙන්නේ ඇමරිකාව සහ එංගලන්තය එකම Propagandaවක සිටින බව උපකල්පනය කල බොලඳ අවබෝධයක සිටයි. ඔබේ දැනුමේ ප්‍රමානය එයින් පෙනෙනවා!

Dawkins Dodo said...

කෙලියා නේද?? ඔන්න ඉන්දියාව අපේ ස්වෛරී රාජ්‍යටත් කෙලෙව්ව ඈ?

India to send military medical team to Sri Lanka next week

11.21 AM)India will send a team of military doctors to Sri Lanka soon in its first open indulgence in the island nation's fight against the LTTE since the failure of a peace mission in 1987.

Acceding to a popular demand from Tamil Nadu's political parties, the Centre decided to base the medical team in Pulmodai in the island's north-east, which was once under LTTE control.
The medical team would provide immediate aid to innocent civilians impacted by the bitter military face off there between the Lankan Army and the LTTE cadres. The External Affairs Ministry has on February 24 prepared a detailed note on the situation in the island nation, but the Defence Ministry was sent an intimation only on March 3, government sources said here today.
As per the MEA note, the matter had been discussed within the government and with the Lanka officials, who gave concurrence and support to the programme.

නාමල් උඩලමත්ත said...

මගේ දැනුම නිතර මනින ඔබට ස්තුතියි. මේ ලිපිය ඇමරිකාව හෝ බ්‍රිතාන්‍යය ගැන ලියුවක් නොව ලාහෝර් ප්‍රහාරය පදනම් කරගෙන ලොව පුරා විසිරී ඇති ත්‍රස්තවාදය ගැන ලියුවකි.

පකිස්ථානය මේ ත්‍රස්තවාදීන්ගේ කෙම්බිමකි. එය මර්දනය කිරීමට කළ යුත්තේ පකිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා පකිස්ථානයට උදව්කිරීම කළාපයේ සෙසු රටවල වගකීම ය. එරට ත්‍රස්තවාදය අවසන් කිරීමට යුදමය විසඳුම් වෙනුවට විකල්ප ක්‍රියා මාර්ග ඇත්නම් ප්‍රමුඛතාව දිය යුත්තේ ඊට ය. ඒ ගැන විවාදයක් නැත. යුද්ධය හැම විට ම විනාශකාරී හෙයින් ඊට යා යුත්තේ අන්කිසි විකල්පයක් නැති විට ය.

මගේ දැනුම ගැන නිතර ළතැවෙන ඔබට නැවතත් ස්තුතියි.

නාමල් උඩලමත්ත said...

ප්ලේටෝ කිවේ අලුත් ආරංචියක්. මම ඒ ගැන ඇත්තට ම දැනගෙන හිටියේ නැහැ. මේක සිද්ධ වෙන්නේ දෙරට අතර කවර පඳනමකින් ද කියලාත් දන්නේ නැහැ. අපි බලමු ඉක්මනට දැනගන්න ලැබෙයි.

නාමල් උඩලමත්ත said...

ආ.. මේ ප්ලුටෝ ඇතුලු පිරිසට එච්චර සතුටු වෙන්න තරම් දෙයක් වෙලා නෑ. මේක ලංකාවේ අවසරය මත කෙරෙන දෙයක්. කෝටි ගණනක බෙහෙත් මේ අය ගේනවා. රජයෙ සහය සහිතව තමා කෙරෙන්නේ. මේක අද පරිප්පු දැම්මා වගේ නෙමේ. අවශ්‍ය යටිතල පහසුකම් රජයෙන් ලැබෙනවා.

සිවිල් වැසියන්ට ප්‍රතිකාර කිරීමට ඉන්සියාව ලබාදෙන සහය අප සතුටින් භාරගත යුතුයි. ඒක රටේ සෛරීභාවයට ප්‍රශ්නයක් නෙමේ. රටකට හදිසි ආධාර ලබාදීම නිසා සෛරීභාවය නැති වෙනවා නම් සුනාමි ආධාර ගනිපු තරමට සෛරීභාවයක් තියා රටකුත් නැහැ.

අනේ ඉතින් දුක තමා. අපේ රටට විදෙස් හමුදාවක් ඇවිත් මහ කොටියා බේරගන්නකන් ඇඟිලි ගණින පරයින්ට කුහක ආස්වාදයක් ලබන්න තරම් දෙයක් වුණේ නැහැ කියලා තමා කියන්න වෙන්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !