Wednesday, March 4, 2009

ඔබ පෙනී සිටින්නේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ද?

හඬක ප්‍රතිරාවය

ලොව බිහිසුණු ත්‍රස්තවාදියකු ලෙස කුප්‍රකටව සිටි වේළුපිල්ලෙයි ප්‍රභාකරන් සිය සිහින ඊළාම් විජිතයේ අවසන් බලකොටුව වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සැඟවී සිටින බව ආරකෂක අංශවල විශ්වාසය වී තිබේ. තවමත් ඔහු අත් නොහැර සිටින ඔහුගේ එතෙර මෙතෙර මිතුරෝ ද එය මැනවින් දනිති. එනිසාම මෙම දුෂ්ට නායකයා සුරුකීම සඳහා එබඳුම විෂ සහිත බටහිර මිතුරන් විසින් ද නොයෙක් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන බව ද අපගේ හැඟීමය.

අද ප්‍රභාකරන් බේරා ගැනීම වෙනුවට වන්නි ජනතාව බේරා ගත යුතුය යන ජගත් හඬක් ප්‍රතිරාවය වෙමින් තිබේ. ඒ හඬත් ඒ වෙනුවෙන් විය හැකි මැදිහත්වීම් සියල්ලත් මානවහිතවාදී මෙන්ම මනුෂ්‍යත්වය වෙනුවෙන් කෙරෙන ශිෂ්ට ඉල්ලීම් ලෙසද පහසුවෙන් හැඳින්වීමට හැකිය. එහෙත් ඒ හඬ කා වෙනුවෙන්ද? කවරෙක් රැක ගැනීම සඳහා ද?

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පවතින ප්‍රදේශවල හිරවී සිටින අහිංසක ජනතාවට ආරකෂිත කලාපවලට යෑමට හැකි වන පරිදි ශ්‍රී ලංකා රජය මෙන්ම එල්. ටී. ටී. ඊ. සංවිධානයද තාවකාලිකව සටන් නැවැත්විය යුතු බවට එ. ජා. මහලේකම් බෑන් කී මුන් මහතා ද ප්‍රකාශ කර තිබිණි. එල්. ටී. ටී. ඊ. සංවිධානය අවි බිම තැබිය යුතු බව යුරෝපා සංගමය ඇතුළු වෙනත් සංවිධාන කීපයක් ද කියා තිබිණි. එහෙත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඒ කිසිදු ඉල්ලීමකට සවන් දීමට සුදානම් ද නැත.

ඉකුත් 20 වැනිදා කොළඹට පැමිණි කොටි ගුවන් යානා දෙකම බිම දමා ඒවායේ සිටි මරාගෙන මැරෙන කොටි ගුවන් නියමුවන් ද විනාශ කර දැමීමට ආරකෂක අංශවලට හැකි වීම නිසා අද අපට වෙනත් කතාවක් කීමට හැකි වී තිබේ. එහෙත් එය එසේ නොවුයේ නම් කොළඹට හා තවත් මර්මස්ථාන කීපයකටම කුමක් සිදු විය හැකිව තිබිණි ද?

එම කොටි ගුවන් ප්‍රහාරය තුළින් ප්‍රභාකරන් අපේකෂා කළේ තමා තවමත් දුබල වී නැති බවත් දකුණේ ආණ්ඩුවට පාඩම් ඉගැන්වීමට ශක්තිය තිබෙන බවත් තහවුරු කිරීමට නොවේද? එම ප්‍රහාරය අසාර්ථක වුවද එම නියමුවන් සමග ප්‍රභාකරන් පෙනී සිටි හැඟුම්බර ඡායාරුපයක් මාධ්‍යවලින් දැක ගත හැකි විය. එහි අරමුණ තමා කෙරෙහි වු විශ්වාසය අත්හැරීමට තරම් දෙයක් සිදුවී නැතැයි යන පණිවිඩය ඔහුගේ ජන ඝාතක හමුදාවටත්, ඔහු වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානවල සටිටඹියන්ටත් බටහිර කපටි ආරකෂකයන්ටත් ලබාදීම බව අපට නම් සුපැහැදිලිය.

අනෙක් අතට සිවිල් ජනතාව සිය ආරකෂාව සඳහා නැතහොත් ප්‍රභාකරන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා යොදා ගැනීම කෙතරම් බියගුලු හා නිවට ප්‍රයත්නයක් දැයි සටන් විරාම ඉල්ලන කිසිවෙක් නොදනිත් ද? අද ප්‍රභාකරන් තම පැවැත්ම සඳහා තමාගේම මිනිසුන් මරා දමන බියසුල්ලකු වී නැද් ද? ඔහුට අද වුවමනා තම ජීවිතය රුක ගැනීම පමණක් නොවේ ද? ඔහු ඒ සඳහා මොනතරම් අශිෂ්ට, අමානුෂික ප්‍රචණ්ඩත්වයක් වපුරන්නේ ද?

හය හතරක් නොදත් කුඩා දරුවකුගේ සිරුරට බෝම්බ ගැට ගසා හමුදා ඉදිරියට යවා දුරස්ථ පාලකයකින් එය ක්‍රියාත්මක කර මිනිසුන් ඝාතනය කරන විමුක්ති නායකයෝ කොහි සිටිත්ද? ජීවිතය ගලවා ගැනීමට එන අහිංසකයන්ට පසුපසින් සිට වෙඩි තබන වීරයෝ කොහි සිටිත් ද? මෙසේ අද ප්‍රභාකරන්ගේ අඩවිවලින් පැන එන්නේ තමන්ගේ සියලු සම්පත් පමණක් නොව දරුවන්ද ඔහුගේ ඊනියා ඊළාම් සටනට දන් දුන් අය බව මේ දුෂ්ට නායකයා නොදන්නෙහි ද?

අද දෙමළ ජනතාව ඊළාමය නමැති යකඩ තිරයෙන් මෙපිට නිදහස් ලොවක් තිබෙන බව දැන සිටියි. සියල්ල විනාශ වී ගියත් හැඳිවතින් හෝ ඒ ලොවට පලා යෑමට ඒ ජනතාව විසින් ගන්නා ලද තීරණය කොතරම් මානුෂික ද? සාධාරණ ද? එහෙත් දෙමළ ජනතාවගේ නායකයා ලෙස ඊළාම්වාදී වෘකයන් විසින් ඔසවා තබන ලද ප්‍රභාකරන්ට තම ජීවිතය තරමින් අහිංසකයන්ගේ ජීවිත නොවටිනා බව අපට නම් ඉතා පැහැදිලිය.

යුද්ධයකට මැදිවී ඒ අහිංසකයන් මිය යා යුතු යැයි අපි මොහොතකට හෝ නොකියමු. දෙමළ ජනතාව අතරින්ම මතු වී ඒ ජනතාවගේ සියලු අයිතීන් සිය ෆැසිස්ටිවාදී යකඩ සපත්තුවෙන් මැඬගෙන සිටි මෘගයකුගේ ලේ පිපාසය තවමත් සංසිඳී නැත. එහෙව් නායකයකු සිය දුෂ්ට ක්‍රියාකාරකම්වලට ගෙවිය යුතු වන්දිය කුමක් ද?

අප ඔහු වෙනුවෙන් පෙනී සිටින මහත්වරුන්ගෙන් එකම එක ප්‍රශ්නයක් පමණක් අසමු. එනම් දෙමළ ජනතාවගේ අභිමානය, ජීවිතය, අනාගතය සාහසික ලෙස වැනසු දුෂ්ට ත්‍රස්තවාදියකු සුරුකීම සඳහා ක්‍රියා කරනවා ද? නැතහොත් ඒ ජනතාවට නිදහසේ ජීවත්විය හැකි හෙටක් නිර්මාණය කරනවා ද?

හෘදය සාක්ෂියෙන් ඔබටම ඔබේ ප්‍රශ්නයට පිළිතුර ලබා ගත හැකිය. ඔබ සුරකින්නේ අහිංසක දෙමළ ජනතාවද? ඒ දෙමළ ජනතාව වැනසු ජන ඝාතක ජන පීඩක ප්‍රභාකරන් ද? දෙමළ ජනතාවට ඔවුන්ගේ දරුවන්ට මරණයත් විනාශයත් ලබා දෙමින් තමාටත් තම දරුවන්ටත් ශාන්තිය හා රුකවරණය සලසා ගත් ද්‍රෝහියෙක්ද?

මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි මේ ආයාචනය කරමු. ඔබ මේ රටේ ඉතිහාසය නැවත ලියු රාජ්‍ය නායකයා බවට පත්ව සිටියි. ඔබගේ එම අභියෝගශීලී ව්‍යායාමයට මේ රටේ ජනතාව ඔබට දුන් ශක්තිය බලය ආශිර්වාදය අප්‍රමාණය.

ඔබගේ ඉලක්කය වෙනුවෙන් කැපවු ගෝඨාභය රාජපකෂ නම් වු ආරකෂක ලේකම්වරයාත් සරත් ෆොන්සේකා නම් වු සෙන්පතිවරයාත් ජීවිත අවදානමකින් ගලවා මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට ඔවුන්ගේ අධිෂ්ඨාන ශක්තියට අමතරව තවත් අදිසි හා යහපත් බලවේගවල ආශිර්වාදය ද හිමි වු බව නිසැකය. එහෙයින් ඒ ඓතිහාසික පියවර ආපසු නොගෙන මේ රටත්, එහි නිවසන සියලු මිනිසුනුත් බේරා ගැනීමේ වගකීම ලිහිල් නො කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
(ඉරිදා දිවයින_09/03/01)

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

'කසාපබ්බත' මම නොවරදවාම කියවන බ්ලොග් අඩවියක්. මෙ‍හි ප්‍රතිචාර පළ නොකළාට මෙය දිගටම කියවනවා. :)

Unknown said...

ඇත්තටම කිවයුතු සියලු දේ ඔබ කියනවා. ඒ නිසා යි ප්‍රතිචාර අඩු. කියවන්න්ගේ අඩුවක් නෑ. මමත් නොවරදවා ම කියවනවා. දිගට ම ලියන්න

නාමල් උඩලමත්ත said...

ඔබ දෙදෙනාගේ ම මා දිරිගන්වන ප්‍රතිචාරවලට පිං. ඔබ සැම ඉඳලා හිටලා හරි මෙහෙම ලියන එක ලොකු හයියක්. එත‍කොට මගේ අඩුපාඩු හදාගන්නත් පුළුවන්නේ. එහෙනම් නොවරදවා ම කසාපබ්බතට එන්න.

Anonymous said...

ඔව් නාමල් මෙ අය රැ වැටුන වලේ දවල් වැටෙන්නේ නැ කියලානම් මට විශ්වාසයි .මෙතන ඔලුව ජපන් කද ජර්මන් අය නැති නිසා


එවාගෙම Word Verification එක ඉවත් කරන්න පුලුවන්නම් ඉවත්කරන්න හැකිනම් හොදයි

 
සිය රට දේ සිරි සැප දේ !