Tuesday, June 30, 2009

ජාත්‍යන්තර සංවිධානවලට මෙරට ජාතික ආරක්‌ෂාවට මැදිහත්වීමට ඉඩ දිය යුතුද?

2002 සටන් විරාම ගිවිසුමක්‌ සමගම ජාත්‍යන්තර සංවිධානවලට ඉවක්‌ බවක්‌ නැතිව මෙරට ස්‌ථානගතවීමට ඉඩ ලැබුනි. නෝවිජියානු ස්‌විස්‌ - ස්‌විඩන්, ඩෙන්මාර්ක්‌ සහ ප්‍රංශ සංවිධාන රැසක්‌ කිලිනොච්චිය හා මුලතිව් හි ස්‌ථානගතවී අබිරහස්‌ ක්‍රියාදාමයන්හි නිරත විය.

එවකට මේ සංවිධානවල කිසිදු වාහනයක්‌ පරීක්‌ෂාවට ලක්‌වූයේ නැත. එහෙත් මෙකී සංවිධාන ක්‍රියාත්මක වූයේ කෙසේදැයි දැන් අනාවරනය වී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීහු ආගමන හා විගමන බලධාරින් වෙත මෙකී ජාත්‍යන්තර සංවිධානවල අනන්‍යතාවය විමර්ශනය නොකර නිර්දේශ කිරීමේ පිලිවෙත බිඳ වැටුනේ ආරක්‌ෂක බලධාරින් වෙත රහස්‌ තොරතුරු රැසක්‌ වාර්තා වීමෙනි.

ඇතැම් අවස්‌ථාවල විදේශ සහන සේවකයන් යයි හඳුන්වාගත් විදේශිකයන්ට ආගමන විගමන බලධාරිහු වීසා බලපත් දීම ප්‍රතික්‌ෂේප කළ විට කොළඹ ජාත්‍යන්තර සංවිධාන ජාලයේ සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයෝ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වූහ.

මෙහිදී තීරණය වූයේ කොටි ත්‍රස්‌තවාදීන් ලවා ආගමන විගමන බලධාරින්ට තර්ජනය කරවීමයි. මෙහි සැලසුමද ආරක්‌ෂක අමාත්‍යංශ බලධාරින්ට අනාවරණය විය.

මේ නිසා ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඉතා බලවත් ලෙස ක්‍රියා කළ දෙස්‌ විදෙස්‌ එන්. ජී. ඕ. ජාලයේ බලය ඇද වැටිනි.

මෑතකදී ආරක්‌ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධිය ගැන විමර්ශනය කළ අපරාධ විමර්ශන නිලධාරිහු කිලිනොච්චියේ ස්‌ථානයකුත් ජාත්‍යන්තර සංවිධායක රියදුරු හා තාක්‌ෂණ නිලධාරියා විසින් එකී ඝාතනය මෙහෙයවීම සඳහා බෝම්බය ගෙනවිත් ඇතැයි සොයා ගත්හ.

මේ බෝම්බය ගෙනවිත් තිබුනේ එකී ජාත්‍යන්තර සංවිධානයේ වාහනයෙනි.

මෙකී වාහනය පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස එම ජාත්‍යන්තර සංවිධානයේ නේවාසික නියෝජිතයා වෙත පොලිසිය කියා සිටියත් ඔහු ඊට එකඟවී නැත.

මේ සතියේදී තවත් සිද්ධියක්‌ වාර්තා විය. ඒ ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා විදේශිකයන් දෙදෙනකු හා කොටි ත්‍රස්‌තයන් තිදෙනකු උත්සාහ කිරීමයි.

මේ විදේශිකයන් දෙදෙනා බලගතු රටවල සංවිධානවල සහ එහි සේවකයන් මෙන් පෙනී සිටි අයයි. අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් දෙදෙනකු එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන දෙකක රියදුරන්ය.

මොවුන් එකී සංවිධානවලට අයත් වාහනවල ඉන්ධන ටැංකියේ සඟවා බෝම්බ ගෙනවිත් ඇතැයි හෙළිවිය.

මෙම සිදුවීම්වලින් සනාථ වන්නේ රටේ ජාතික ආරක්‌ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදී හමුදාවලට විදේශීය සංවිධාන සෘජුවම සම්බන්ධ වී ඇති බවයි.

මෙරටේ ඇතිවී තිබෙන මෙකී තත්වයට මූලික හේතුව ජාත්‍යන්තර සංවිධානවලට සහ ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දීමයි.

මෙය පුදුමයක්‌ නොවේ. ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවන් කැඳවිය හැකි R 2p නැමැති එක්‌සත් ජාතින්ගේ පිලිවෙත ක්‍රියාත්මක කළයුතු යයි කියා සිටි කොළඹ කින්සි පාරේ පිහිටි වාර්ගික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානි රාමා මානිගේ පරීගණකය රහස්‌ පොලිසිය විසින් විමර්ශනය කිරිම ගැනද කොළඹ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම එරෙහි විය.

සෝආ නමැති සංවිධානයේ සහන සේවකයකුවු පෝටා නමැත්තා කොටින් සමග එක්‌ව ක්‍රියාකරන බව පැවසීමත් සමගම ආරක්‌ෂක බලධාරීහු දැඩි පියවරක්‌ ගැනීම නිසා ඔහුට විගස කොළඹට ඒමට සිදුවිය.

දැන් එන. ජී. ඕ. ක්‍රියාකාරිහු මැතිවරණය වාර්තා කිරීම මුවාවෙන් උතුරට යාමට දැඩි උත්සාහයක්‌ ගනී. මේ කුමක්‌ සඳහා ද? කොටි සමුල ඝාතනය වුවත් එන්. ජී. ඕ. අවතාර කොළඹ සිටින බව පැහැදිලිය. මොවුහු මේ වනවිට තම දෙවැනි අබිරහස්‌ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටී.

ඝාතක ප්‍රභාකරන්ටත් වඩා බරපතල තත්ත්වයකට පත්ව ඇත්තේ මේ එන්. ජී. ඕ. නවයයි.

ආරක්‌ෂක හමුදා බලධාරිහු එන්. ජී. ඕ. ක්‍රියාකාරින්ට උතුරට යැම තහනම් කර තිබියදි මැතිවරණය ගැන විමර්ශනය කිරීමට යයි කියමින් උතුරේ සැරිසැරිමට එන්. ජී. ඕ. ද්‍රෝහින් උත්සාහ කරන්නේ මන්ද යන්න පැහැදිලිය.

මෑතකදී කොටි හිතවාදි ද්‍රවිඩ දේශපාලනඥයෙක්‌ ප්‍රකාශයක්‌ කරමින් ආරක්‌ෂක හමුදාව උතුරේ කඳවුරු පිහිටුවන බවත් මෙය නිරික්‌ෂණයට ලක්‌කළ යුතු බවත් කියා සිටියේය.

මේ නිසා මැතිවරණය නිරික්‌ෂණය කිරීමේ මුවාවෙන් එන්. ජී. ඕ. ක්‍රියාකාරිහු උතුරට යෑමට උත්සාහ කරන්නේ උතුර මුළුමනින්ම හමුදා යාන්ත්‍රණයට නතුවි ඇති බවට ඡායාරූප ගෙන ලොව පුරා විකාශනය කිරීමයි.

මේ තත්ත්වය මත ආරක්‌ෂක බලධාරීහු මෙරට එන්. ජී. ඕ. වලට කිසිසේත් උතුරේ සබඳතා ප්‍රචාර මෙහෙයවිම සඳහා උතුරට යාමට ඉඩ නොදිය යුතුය.

මේ ඉල්ලීම් යොමු කරන පාර්ශ්වයන්ගේ අතීතයද බුද්ධි අංශ දනී. උතුරට යැමට අවසර ඉල්ලන්නේ කොටි ස්‌වයංපාලනය පිලි ගත යුතු බවට කොටින්ට සටන් කිරීමට අයිතියක්‌ ඇති බවට ප්‍රකාශ කළ කණ්‌ඩායම්ය.

මේ නිසා එන්. ජී. ඕ. පාර්ශ්වයන්ගේ රහස්‌ න්‍යාය පත්‍රය ආරක්‌ෂක බලධාරීහු හඳුනා ගත යුතුව ඇත.

ආරක්‌ෂක ලේකම් හා ජනාධිපතිවරයාව ඝාතනය කිරීම සඳහා එන්. ජී. ඕ. ක්‍රියාකාරින්ගේ සහය ලැබී ඇති බව පරීක්‌ෂණවලින් හෙළිවී තිබියදි ලබාගත් රණවිරු ජයග්‍රහණය අවමානයට පත් කිරිම සඳහා විදේශ අරමුදල් මත යෑපෙන්නට ඉඩදිය යුතුද?

ආරක්‌ෂක හමුදාව මගින් සොයාගත් කන්ටේනර් අති විශාල තොගයෙන්ද චන්ද්‍රිකා දුරකතන හා සිම් කාඩ්වලින් විදුලි ජනක යන්ත්‍ර වෙනස්‌ උපාංග වලින්ද කොටින්ට පෝෂණය කළේ මෙරට ජනතාව නොව ස්‌වෙච්ඡා සංවිධාන බව තහවුරු විය.

මේ ජාත්‍යන්තර සංවිධාන හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් මෙරට ජාතික ආරක්‌ෂාවට කොතරම් තර්ජනයක්‌ එල්ල කළාද කිවහොත් තම වාහන පවා කොටින්ට ලබා දී තිබුණි.

එසේම ජර්මානු බර්ග්හොෆ් සංවිධානය විසින් හමුදාව නිරාවරණය කිරීමේ රහස්‌ සැලැස්‌මක්‌ දියත් කර තිබූ බව අනාවරණය විය.

උතුරේ අධි ආරක්‌ෂක කලාප ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට දකුණු අප්‍රිකානු හා නයිජිරියානු නිලධාරින් දෙදෙනකුද මෙරටට කැඳවීමට එකී සංවිධානය ක්‍රියාකර තිබුණි.

මේ රටේ ජනතාවට මේ අබිරහස්‌ සැලසුම් වාර්තා වූයේ නැත. එසේම මෙරට එන්. ජි. ඕ. සංවිධානයක ප්‍රධානියෙක්‌ ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තියට සමානව කොටි හමුදාවද ශක්‌තිමත් විය යුතු බවත් එවිට සාම සාකච්ඡා පැවැත්වීමට හැකි බවත් පවසා තිබුණි.

කොළඹ මහල් නිවසක ක්‍රියාත්මක වූ දෙදෙනකුට පමණක්‌ සීමාවු තවත් එන්. ජී. ඕ. සංවිධානයත් මාධ්‍ය කණ්‌ඩායමක්‌ රැගෙන තමිල් සෙල්වන්ගේ පාමුලටද ගියේය.

රජය කොටින් සමග ස්‌විට්‌සර්ලන්තයේ සාම සාකච්ඡා කරද්දී තමන් එන්. ජී. ඕ. කණ්‌ඩායමක්‌ මෙරට කීප දෙනකු රැගෙන ස්‌විට්‌සර්ලන්තය බලා ගොස්‌ සාකච්ඡාවක්‌ පැවැත්වීය.

එහෙත් එන්. ජී. ඕ. නෙŒ අබිරහස්‌ හෙළිවුයේ හමුදාව විසින් කිලිනොච්චිය හා මුලතිව් අල්ලා ගැනීමත් සමගය.

කොළඹ සිට කොටින්ට උපන් දින ශුභ පැතුම් කාඩ් යෑවූ පිරිස්‌ හා කොටි හඬ නැගුවත් කවුරුන් දැයි හෙළිවිය.

මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ගේ රහස්‌ තවදුරටත් අනාවරණය වූයේ කිලිනොච්චි සොලිඩාර් කාර්යාලයේ සේවය කළ ටිම් මාටින් නමැත්තා ලන්ඩන් නුවරදී ඊළම්වාදීන් සමග එක්‌වී කටයුතු කිරීමයි. මේ සතියේදී ස්‌විස්‌ සංවිධානය විසින් කොටින්ගේ රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව පිළිගෙන තිබේ.

ආරක්‌ෂක ලේකම් හා ජනාධිපතිවරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධීන්වලින් ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාකාරින්ගේ කෙසේද යන්න පැහැදැලි වී ඇත.

ශ්‍රී ලංකා රජයට එරෙහිව වාර්තාවක්‌ සකස්‌ කළ හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ඇනා නෙයිස්‌ටාට්‌ නමැත්තියව වවුනියාවට ගෙන ගියේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් වේ.

මෙම තත්ත්වය මත ප්‍රජාතන්ත්‍රවාදය සහ වචනයට මුවාවී උතුරේ මැතිවරණය නිරීක්‌ෂණය කිරීම මුවාවෙන් යාපන අර්ධද්වීපය වෙත යාමට උත්සාහ කරන එන්. ජී. ඕ. රහස්‌ න්‍යාපත්‍රවලට රජය කිසිසේත් අවකාශ නොදිය යුතුවේ.

ඉන්දුනිසියානු ජනාධිපති යුද් හොනෝ විසින් ජාත්‍යන්තර සංවිධාන පිළිබඳව දැඩි පිළිවෙතක්‌ අනුගමනය කර තිබිණි.

ඒ පිලිවෙත ශ්‍රී ලංකා ආරක්‌ෂක බලධාරින්ද පිළිපැදිය යුතුය.

කීර්ති වර්ණකුලසූරිය

(දිවයින_09/07/01)

පසුවදන_මෙරට ආරක්ෂාව අගය කළ දේශප්‍රේමී පිරිස් NGOකාරයින් සහ ජඩමාධ්‍යවේදීන් ගෙන යන ද්‍රෝහී ක්‍රියාදාමය අනාවරණය කළත් ඇතැම්හු ඒවා නෑසු කන්ව සිටියහ. ඇතැම් පතෝලකාරයින් ඒවා තලියේ කිඹුලන් දැකීමට සම කොට මර නින්දට වන්හ. අපේ හමුදා සටන් කළේ හුදු වැල්වැටිතුරෙයි මුහුදු කොල්ලකාරයින්ගෙන් සුසැදි කොටි සමග නොවන බව දැන් පැහැදිළිය. එහෙයින් දැන්වත් අපි මේ සතුරන් ගැන අවදියෙන් සිටිය යුතු නොවෙ ද?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !