Monday, June 8, 2009

පිල්ලේට වෙන රැකියාවක් සොයා දෙමු

ජාතිවාදය යන සංකල්පය ජාත්‍යන්තර තලය මත කොතරම් භයානක ද යන කාරණය හෙළිවන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන නවනිතම් පිල්ලේ මහත්මිය හැසිරුණු ආකාරයෙනි. දෙමළ ජාතික කාන්තාවක් වු ඇය දෙමළ ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පරීකෂණයක් පැවැත්විය යුතු බවට බලකරන්නට පටන් ගත්තා ය. පිල්ලේ මහත්මිය ක්‍රියාත්මක වුයේ ප්‍රභාකරන් යුද්ධය පරදිමින් සිටින අවස්ථාවේදී ය. ආණ්ඩුවේ යුද මෙහෙයුම් නැවැත්වීමට ඇති හොඳම මාර්ගය ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පරීකෂණයක් පැවැත්වීම බව තේරුම් ගත් පිල්ලේ කොමසාරිස්තුමිය ඒ සඳහා අනුග්‍රහය ලබාගැනීම සඳහා ව්‍යාපාරයක් දියත් කළාය. පිල්ලේගේ උවමනාව අදටත් ඉටු වී නැති අතර එය ඉටුකර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට ඇය සුදානම් බව පෙනේ.

අමතක කළයුතු නිකම්ම නිකම් චරිතයක් වන පිල්ලේ ගැන අපට හිටි හැටියේ මතක් වන්නේ ඇයි? ඇය සන්නද්ධ අරගල සහ සිවිල් වැසියන් සම්බන්ධයෙන් දරන මතවාදය සහ තක්සේරුව ඇල්ජීරියාව විසින් විවේචනය කර ඇති නිසා ය. ලෝකයේ සියලුම ගැටුම් එක සමාන සේ සලකා වාර්තා සකස් කිරීම පිල්ලේ මහත්මියගේ පුරුද්ද බව ඇල්ජීරියාව කියයි. ඇල්ජීරියාවේ තර්කය ඉතා නිවැරදි ය. පිල්ලේ මානව හිමිකම් වාර්තා සාදන්නේ මෙයට වසර තිහකට පමණ පෙර සමහර ගම්බද රෝහල්වල මුත්‍රා සාම්පල පරීකෂා කළාක් මෙනි. මෙහිදී රසායනාගාරය වෙත මුත්‍රා සාම්පල ගෙනෙනු ලැබේ. ඒවා එකින් එක පරීකෂා කිරීම කරදරයක් බැවින් පරීකෂකයා කාන්තා වාටිටු සහ පිරිමි වාටිටු අනුව මුත්‍රා සාම්පල වෙන් කරගෙන පිරිමි සාම්පල සියල්ලෙහි සීනි වැඩි බවට වාර්තාව ලියයි. සියලු කාන්තාවන් පිළිසිඳගෙන ඇති බව ලියයි. සමහර විට වැරදීමකින් සාම්පලයක් මාරු වී පිරිමින් ද පිළිසිඳගන්නා අවස්ථා තිබේ.

නවනිතම් පිල්ලේ පෙර කී පරම්පරාවේ පරීකෂකවරියකි. කිසියම් ගැටුමක් ගැන වාර්තා කිරීමට පෙර එම ගැටුමේ ස්වභාවය හඳුනාගත යුතු ය. ශ්‍රී ලංකාවේ තිබුණේ බෙදුම්වාදී යුද්ධයකි. නේපාලයේ තිබුණේ ඒ රටෙි ජනයාගෙන් කොටසක් විසින් රාජ්‍ය බලය අල්ලා ගනු ලැබීම පිණිස දියත් කළ කොමියුනිස්ටි විප්ලවයකි. එතැන ජාති භේදයක් තිබුණේ නැත. උතුරු අයර්ලන්තයේ පවතින්නේ ආගමික යුද්ධයකි. එය ප්‍රොතස්තන්ත සහ ක්‍රිස්තියානින් අතර සිදු කෙරෙයි. පකිස්තානයේ පවතින්නේ එකම ආගමේ අන්තවාදී කොටස් සහ එසේ නොවන මධ්‍යස්ථ කොටස් අතර යුද්ධයකි. අප්‍රිකාවේ බොහෝ රටවල ගෝත්‍රික යුද්ධ පවතී. බ්‍රිතාන්‍යයේ සුද්දෝත් කල්ලෝත් හිටි හැටියේ ගුටි කෙළ ගනිති. එය සමේ වර්ණය පදනම් කරගත් ගැටුමකි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින ගැටුම ධනවාදය සහ සමාජවාදය අතර ගැටුමකි.

සියලු ගැටුම්, ගැටුම් වුවද ඒවායේ අන්තර්ගතය වෙනස් ය. සමහර විට ස්වරුපමය වශයෙන් ඒවා එක සමාන වීමට පුළුවන. එහෙත් අන්තර්ගතයේදී ඒවා විවිධ සමාජ සහ සංස්කෘතික පදනම්වලින් සමන්විත වීමට පුළුවන. නවතිනම් පිල්ලේ මේ බව තේරුම් ගත යුතු ය. පලස්තීන, ඊශ්‍රායල් ගැටුම වෙනුවෙන් සාදන වාර්තාව ලංකාවට නො ගැලපේ. එසේම එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතීන් පිළිබඳ මහකොමසාරිස් පදවියට පිල්ලේ නො ගැලපේ.

(දිවයින_09/06/09)

පසුවදන_ජාත්‍යන්තර ආයතනවලට පත් කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරීන් ය. එහෙත් නොවන්නේ ද එයම ය. මේ යන විදිහට බිල් ලාඩන්ගේ අනුගාමිකයෙක් එක්සත් ජාතීන්ගේ ‍මහ ලේකම් විය හැකි ය. එය නොවන්නේ ඔවුන් බටහිරට සතුරු නිසා ය. ලෝකය පිල්ලේ වැනි අන්තවාදී පිල්ලි තව දුරටත් එම ආයතනවල තබා ගැනීමෙන් ලෝකයට දෙන්නේ නරක ආදර්ශයකි. මෙය තව වසර 40ක් පමණ ගිය කල ආසියාව බලවත් වී මෙකී ආයතනවලට මුස්ලිම් අන්තවාදීන් පත්කිරීමට මාර්ගය කැපීමකි. එය අයහපත් තත්ත්වයකි. එහෙයින් ඊට එරෙහිව ක්‍රියා කිරීම ලෝකයාගේ යුතුකමයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !