Sunday, June 7, 2009

උපාධිධාරියා සමාජ යුතුකම ඉටුකොට තිබේද?

විශ්වවිද්‍යාල උපාධියක් ලැබීම තුළින් පුද්ගලයකුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තුළින් ඔහු විශාල ආත්ම තෘප්තියක් ලබයි. තමන් අධ්‍යාපනයේ මෙන්ම උගත්කමේ උච්චස්ථානයකට පැමිණ ඇතැයි යන්න එම ආත්ම තෘප්තියයි. මේ තුළින් විශ්වවිද්‍යාල උපාධිධාරීන් සමාජ පිළිගැනීමට ද ලක්වේ. තම පුතා හෝ දුව විශ්වවිද්‍යාලයට යවන්නට සිහින දැකීම සෑම දෙමවුපියකුගේම ප්‍රාර්ථනය වී ඇත. ඒ සඳහා නොකා නොබී වෙහෙස වෙමින් තම ජීවිකාව සඳහා උපයන සෑම සතයක්ම දරුවන් වෙනුවෙන් වැයකර ඔවුහු විශ්වවිද්‍යාලයට යැවීමට දෙමවුපියෝ උත්සුක වෙති. තම දරුවා විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් ගමේ හෝ නගරයේ උගතෙකු බව තම මුවින් ප්‍රකාශ කරන්න ලැබීම දෙමවුපියෝ වාසනාවන්ත කොට සලකති.

දෙමවුපියන් මෙන්ම සෑම රජයක්ම විශ්වවිද්‍යාල උපාධිධාරීන් බිහිකරන්නට විශාල වියදමක් දරයි. එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ඔහුගේ පාඨමාලා කාලය සඳහා දළ වශයෙන් රුපියල් ලකෂ හයක (රු. 600000./=) පමණ මුදලක් වෙන් කරයි. එලෙසම වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගනිති. විශ්වවිද්‍යාල උපාධිධාරියකු බිහිකිරිම සඳහා රජය වියදම් කරන සෑම සතයකටම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම දායක වෙති.

මෙසේ දෙමවුපියන්ගේ විශාල කැපවීමකින් හා සෑම ශ්‍රී ලාංකිකයකුගේම දායකත්වයෙන් විශ්වවිද්‍යාල උපාධිධාරී උගතෙකු බිහිකරන්නේ ඇයි? ඔහු රටට වැඩදායී පුද්ගලයෙකු වන බැවිනි. රටේ අනාගතය ඔහු මත රුඳී ඇති බැවිනි. සමාජයේ හොඳ නරක තේරුම් ගනිමින් අන් අයට යහපත අයහපත තෝරා බේරා දෙමින් සමාජ අසාධාරණය තුළ දොරගුළු විවර කර සමාජය අන්ධකාරයෙන් බේරාගෙන නිවැරුදි දිශානතියකට යොමු කිරීම ඔහුගෙන් බලාපොරොත්තු වන බැවිනි.

එහෙත් වර්තමානයේ මෙම බලාපොරොත්තු විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විසින් ඉටු කරනු ලබත්ද, මගේ සේවා කාලය තුළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විශාල ප්‍රමාණයක් ඇසුරු කොට ඇත්තෙමි. සෑම උපාධිධාරියෙක්ම තමා උපාධිධාරියෙකු වු නිසාම මහත් ආත්මාභිමානයකින් මෙන්ම ආඩම්බරයකින් ද ඉපිල සිටිති. තමා ගණිත උපාධිධාරියෙක්, විද්‍යා උපාධිධාරියෙක්, කළමනාකරණ උපාධිධාරියෙක්, වාණිජ උපාධිධාරියෙක් හා කලා උපාධිධාරියෙක් ලෙස ඔවුහු තම තමන්ට ආවේනික එම තත්ත්වයන් විඳගනිති. මේ තුළ ගණිත උපාධිධාරීන් වු සමහර උපාධිධාරීන් තම උපාධිය උසස් ලෙසත්, තමා අන් උපාධිධාරීන්ට වඩා උගතෙකු ලෙසත් සිතීමට පුරුදු වී සිටිති. එලෙසම අනෙක් සමහර උපාධිධාරීහු ද තමාගේ උපාධියට සාපේකෂව අන් උපාධි එලෙස ඇගැයීමට ලක් කරති. මේ අතර උපාධි නොගත් අය ඉදිරියේ තමා වීරයකු, සියල්ල දත් අයෙකු ලෙස සැලකීමට සමහර උපාධිධාරීහු පුරුදුවී සිටිති. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ අතලොස්සකට බව ඔවුහු කල්පනා නොකරති. ශ්‍රී ලාංකික අධ්‍යාපන කෙෂ්ත්‍රය තුළ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උසස් පෙළ සමත් සියල්ලටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට දොරගුළු විවර වන්නේ නැත. 2008 වර්ෂයේ උසස් පෙළ සමතුන්ගේ සංඛ්‍යාව 131000 කි. එයින් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව හිමිවුයේ 21000 කට පමණි. මෙම 131000 කම විශ්වවිද්‍යාල උපාධිධාරීන් නොවුයේ ඔවුන් ඒ සඳහා හැකියාවක් නොතිබු අය නිසාද? කොහෙත්ම නැත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොතිබු නිසාවෙනි. ඇතැම් විට මේ කණ්ඩායම් තුළ විශ්වවිද්‍යාලයට තේරුණ අයට වඩා දකෂ අය සිටිය හැකිය. තවද ලෝකයේ විශිෂ්ටයන් දෙස බැලීමේදී ඔවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උපාධි ලබාගත් උපාධිධාරීහු නොවෙති. එබැවින් අප එම මානයෙන් මිදිය යුතුය.

වර්තමාන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සමහරු අසාධාරණය. බොරුව, වංචාව හා නොහික්මුණ ඒකාධිපතිත්වය හමුවේ මුනිවත රකිති. තමන්ට ලැබෙන වරප්‍රසාද, උසස්වීම් මෙන්ම රුකියාව කරන අංශයේ ස්ථාවරත්වය අහිමි වේ ය යන ජුගුප්සාජනක බිය මෙයට හේතු වී ඇත. එහෙත් තමන් විශ්වවිද්‍යාලය තුළ රඟ දැක්වු මාක්ස්වාදී, ලෙනින්වාදී මෙන්ම සර්ව සාධාරණ සුබවාදී රංගනයන් පිළිබඳව මතක් කරන්නේ උජාරුවෙනි. ඉහත සඳහන් කළ සමාජයේ පැවැත්මට හානිකර වු ක්‍රියාදාමයන්ට විශ්වවිද්‍යාලය තුළ හඬ නැගු ආකාරය පිළිබඳව පම්පෝරි ගසති. විශ්වවිද්‍යාලවලින් පිටවී

රුකියාවක් ලබා ගත්තායින් අනතුරුව තමන් පමණක් හෙවත් මමත්වය යන සංකල්පය කරපින්නා ගත් අමුතුම ජාතියේ මාක්ස්වාදියකු බවට විශ්වවිද්‍යාල උපාධිධාරියා පත්වීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මෙසේ ඇල්මැරුණු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් තම ආයතනය, සමාජය මෙන්ම රට ද පරිහානියට පත්වන්නේ ය. මමත්වය තුළ තමා ලබන සුඛවිහරණය තාවකාලිකය.

ඇතැම් උපාධිධාරීන් තමන්ගේ උගත්කම උපයෝගී කර ගෙන සමාජයේ හොඳ පුද්ගලයකු ලෙස වැජඹෙමින් අන් අය මෝඩයාට ඇන්දවීමේ කලාවක නිරතව සිටිති. පුද්ගලයකු ඇති තැන හොඳින් මුණපුරා හිනාවෙන, හොඳින් කතා කරන ඇතැම් උපාධිධාරීහු පුද්ගලයා නැති තැන ඔහුගේ මුළු ආත්මය විනාශ කිරීමට උගුල් අදිති. උදව් උපකාර කරති. තමන් පමණක් නිවැරුදි යැයි සිතා අනෙක් සියලු දෙනා නිර්දය ලෙස විවේචනය කරති. උසස්වීම් ලබා ගැනීමට එකිනෙකා පරයා උගත්කම වළපල්ලට දමා කටයුතු කරති. උගත්කම ප්‍රයෝජනයට ගනිමින් අන් අය මුලාවට පත් කරමින් සමිති සමාගම්වල නිලතල දරමින් තමන් අන් අය ගැන හිතන ශිකෂාකාමී අයෙකු බව පෙන්වීමට වෙර දරති. අතලොස්සක් දෙනා වැන්දඹු කාන්තාවන් හා සමාන බව ප්‍රකාශ කරන්නේ දැඩි පිළිකුලෙනි. (පැරුණි ව්‍යවහාරයට අනුව) තමා හා තම දරු පවුල රුකුනොත් ප්‍රමාණවත්ය යන සිතුවිල්ලේ සිට සෑම දෙයක්ම කිරීමට ඇතැම් උපාධිධාරීහු පෙළඹී සිටිති. ටිබෙටි ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි දෙපදයක මෙසේ සඳහන්ව ඇත. එය වර්තමාන ඇතැම් උපාධිධාරීන්ට මනා ලෙස ගැලපේ.

ජීවත් වුණත් මැරුණත් උන් මට මොකද

මාවත් මගේ අඹුවත් රුකුනොත් මදිද"

මෙහි දෙවන කවි පදය වර්තමානයට අනුව,

මාවත් මගේ දරු පවුලත් රුකුනොත් මදිද යනුවෙන් වෙනස් වීම කාලෝචිත යැයි සිතමි.

තමාගෙන් සමාජයට ඉටුවියයුතු යුතුකම් මොනවාද යන්න ඔවුහු නොසිතති. රට විසින් තමා උගතෙකු කළේ ඇයි ද යන්න ඔවුන් කල්පනා නොකරති. සමාජයේ සිදුවන අසාධාරණය, බොරුව, වංචාව, කපටිකම ඉදිරියේ ඔවුන් මුනිවත රකිමින් තමාගේ වාසියට ඒවාට හුමිටි තියමින් කටයුතු කරන ආකාරය දකින විට ඇතිවන්නේ දැඩි පිළිකුලකි. තමාගේ වරප්‍රසාද අහිමි වේ යැයි සිතා නිහඬව සිටීමට ඔවුන් පුරුදුව සිටිති. ඉතින් සමාජයක් මෙන්ම තම ආයතනය යහමඟට ගැනීමේ මෙහෙවරට විශ්වවිද්‍යාල උපාධිධාරියාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔබ ඉටුකර තිබේද?

අයාලයේ යන සමාජය දෙස මුනිවත රුකීම සඳහා විශ්වවිද්‍යාල උගතෙකු බිහිකිරීමේ හරය කුමක්ද? කවදා හෝ සමාජය යහමඟට පැමිණෙන තෙක් නිහඬව සිටීම විශ්වවිද්‍යාල උපාධිධාරියාගේ උගත්කම ලෙස සිතීමට ඔවුහු පුරුදුව සිටිති. අපේ ඉතිහාසය දෙස දෙනෙත් හැර බලන්න. ඉතිහාසයේ දිවි දුන් සියලු වීරවරයෝ අධිරාජ්‍යවාදය ඉදිරියේ ජීවිත පුජා කළේ තම මාතෘ භුමිය, තම භාෂාව, ආගම, ජාතිය ආරකෂාකර ගැනීම උදෙසාය. ඔවුන්ගේ එම ජීවිත පුජාවෙන් අප අද සුවසේ ජීවත් වන්නෙමු. එපරිද්දෙන්ම වර්තමානයේ රට හමුවේ ඇති ත්‍රස්තවාදය ජය ගැනීමට කොපමණ පිරිසක් ජීවිත පුජාවෙන් උරදී සිටිද්ද. තව පිරිසක් තම පෑන මෙහෙයවමින්ද, ඇතැමෙක් වාග් ප්‍රහාරවලින්ද, තම රට ආරකෂා කිරීමට කැප වී සිටිති. අඩුම තරමේ රටේ තීරණාත්මක මොහොතක රට ආරකෂා කිරීමට

නිවැරුදි තීරණයක් ගෙන තම ප්‍රජාතන්ත්‍රික අයිතිය පාවිච්චි කිරීමට තරම්වත් ඇතැම් විශ්වවිද්‍යාල උපාධිධාරීහු ප්‍රඥාගෝචර නොවුහ. ඔබ නියම උගතකු නම් එසේ විය නොහැකිය. එහෙත් ඒ යුතුකම ඉටුනොකර තම වාසිය සඳහා තමන් එසේ තීරණ ගත්තෙකු බව රඟපෑමට උපාධිධාරියා අතිශුරය. එහිදී ඔබේ උගත්කම ඉදිරියට පැමිණේ. අතීතයේදීත්, වර්තමානයේදීත් රටට ආදරය කළ හා කරන අය ප්‍රශ්න විසඳෙන තුරු ඇස්කන් පියාගෙන සිටියේ නැත. එසේ නිහඬව සිටියා නම් අපට කියා රටක් තිබේද. ඉතින් උපාධිධාරී උගත් මහත්වරුනි, නිසි අවස්ථාවේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිට තම රටට යුතුකම ඉටු කිරීමට ඔබ ඉදිරිපත් විය යුතුයි නේද. ඔබ උගතකු බවට පත් කළේ එබැවිනි. එසේ නැතිව මමත්වය තුළ ජීවත් වන උගතෙකුගෙන් රටටවත්, ඔබටවත්, සමාජයටවත් ආයතනයකටවත් යහපත් නොවන්නේය.

මම ඇසුරු කළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගතුන් නියැදියක් ලෙස ගතහොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ශෝකාන්තයක් යැයි මට සිතේ. උගත්කම පමණක් ලබා ගන්නා ශීලයෙන් පිරිහුන උපාධිධාරියකු රටට බිහිකරන්නට අද විශ්වවිද්‍යාල පෙරමුණ ගෙන ඇතැයි යන්න මගේ උපකල්පනයයි. ශීලය යනු හොඳ නරක තේරුම් ගනිමින් සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමේ යහපත් ගුණාංගවලින් හෙබි, සංවර ගති පැවතුම්වලින් යුක්ත වු පරිසරයයි. මෙවන් පරිසරයක් විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඔවුන්ගේ ජීවිතවලට උරුම කරගෙන තිබේද, නැත යන්න මගේ පිළිතුරයි. විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් අතලොස්සක් මෙම ගුණාංගයෙන් පෝෂණය වී සිටිති. එම අතලොස්ස නිසා රටේ අනාගතය තීරණය වී ඇත. ඔබ හොඳින් දන්නා "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" යන කවි පදය දෙස බලන්න. නැණ පමණක් ප්‍රමාණවත් නැත. ගුණයද අවශ්‍යය. නැණ හා ගුණ යන දෙකෙන්ම පෝෂණය වීම ශීලයයි. ඉතින් දැන්වත් රටේ යහපත උදෙසා සමාජයේ යහපත උදෙසා විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන ඔබලා වෙනස් විය යුතු කාලය එළඹ තිබේ. මහින්ද හිමියන්ගේ ඉහත සඳහන් කවි දෙපදය අනුව පමණක් ජීවත් නොවී සමාජයේ, රටේ යහපත උදෙසා සෘජුව කටයුතු කිරීමේ දිශානතියකට උපාධිධාරියා තල්ලු විය යුතුය. නැතිනම් දෙමවුපියන් මෙන්ම රටේ පුරවැසියන් ඔබගෙන් බලාපොරොත්තු වු සමාජ යහපත ඔබගෙන් ගිලිහී යනු ඇත. විද්වතුන්ගේ අදහස අනුව අධ්‍යාපනය තරම් භයානක කටුක අමිහිරි දෙයක් ලෝකයේ තවත් නොමැත. එය භයානක වන්නේ හැදියාව කියන දේ අධ්‍යාපනය තුළ නොමැති වු විටයි. හැදියාව අධ්‍යාපනය සමඟ එකතු වු විට ලැබෙන උගත්කම ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත්වෙනවා. හැදියාව, සදාචාරය, ආගම දහම යන දේවල් නොදෙන අධ්‍යාපනය තරම් භයානක දෙයක් මේ තුන් ලෝකයේම නැත. ගුණධර්ම නොදන්නා නිසා නුගත් මිනිස්සු පොඩි වැරුද්දක් කරන විට එවැනි උගත්තු ලොකු වැරදි කරනවා.

මේ රටේ මහා පරිමාණ වංචා බොහෝමයක් සිදුකර තිබෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලැබු අයයි. මොකද නුගතාට වඩා උගතාට එය සැලසුම් කර විධිමත්ව කිරීමේ හැකියාව ඇති බැවිනි. හොඳ නරක, ආගම, දහම සදාචාචාර ගැන දන්නා උගතුන් මෙවැනි දේට යොමු වන්නේ නැත. උපාධි කොපමණ තිබුණත් හැදියාවක් නැත්නම් ඒ පුද්ගලයාගෙන් රටට, සමාජයට ප්‍රයෝජනයක් වන්නේ නැත. විභාග සමත් වන්නේ උපාධි ගන්නවත්, රස්සාවක් කරන්නවත් නොවෙයි. කොටින්ම අපි ඉගෙන ගන්නේ අධ්‍යාපනය ලබන්නේ මේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වීම සඳහායි.

ඒ අනුව විශ්වවිද්‍යාල උපාධිධාරීන් කෂණික පරිවර්තනයකට පත්වීම අත්‍යවශ්‍යය. නැතිනම් උගත්කම කරපින්නා ගත් මෙම සමාජයට, ආයතනයට යහපතක් නොකළ විශ්වවිද්‍යාල උපාධිධාරී පරඬැලක් බවට ඔබ අවසානයේ මෙලොවට පස් වී යනු ඇත.

ඉතින් මෙම ලිපිය සියලුම විශ්වවිද්‍යාල උපාධිධාරීනට අදාළ වන්නේ නැත. එහෙත් 75% ක් පමණ වන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට මෙය අදාළ වනු ඇත යන්න මගේ අදහසයි. ඉතිරි 25% නිසා අපේ රටේ අනාගතය දැනට යහමඟට තල්ලු වෙමින් තිබේ. 75% ක් වන ඔබලාගේ දායකත්වය මේ වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ආයතනය වෙනුවෙන් වෙන් කළොත් ලස්සන පිරිපුන් රටක් අනාගතයට ඉතිරි නොවන්නේද?

ඩබ්. සෙනෙවිරත්න
(දිවයින_09/06/08)

පසුවදන_උපාධිධාරියෙක් බිහිකිරීමට අප සමාජය විශාල පිරිවැයක් දරා ඇත. එහෙයින් සමාජයේ සෙසු තරුණයින්ට සාපෙක්ෂව ඔහුට වඩා වැඩි යුතුකම් කොටසක් සමාජයට ඉටුකරලීමට වගකීමක් ඇත. නැත්නම් තමන් ලබාගත් ණය නැවත සමායට ගෙවීමේ පැහැර හැරිය නොහැති යුතුකමක් උපාධිධාරියාට ඇත. ඔබ, ඔබේ ඥතියා උපාධිධාරියෙක් නම් ඒ සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කළේදැයි අවංකව සිතා බලන්න. රට ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ මෙහෙවර හමුවේ ඔබේ හැසිරීම ඒ සඳහා භාවිත කළ හැකි ය.

2 comments:

sankasoft සිංහල පරිගණක නිර්මාණ ආයතනය said...

මේක කියවනන්න
‍http://sankalpalk.blogspot.com/2008/08/blog-post_05.html

panhida said...

විශ්වවිද්‍යාලයට ඇතුලත් වන බොහෝ සිසුන් සමාජය හමුවට පැමිනෙන්නේ ඉගෙනුම පමනක් සිතේ හා ගතේ දරාගෙනය. බොහෝ දෙනෙකු තුල සමාජය බලාපොරොත්තු වන ආකාරයේ නැවුම් අදහස්, නැවුම් බලාපොරොත්තු නැත. මෙය විශ්වවිද්‍යාල පද්ධතියේ වැරද්දක් පමණක් නොවේ. පාසල, නිවස තුලින් ඉටුවිය යුතු දේ නිසි ලෙස ඉටු වී තිබිය යුතුයි. පාසල, නිවස, හා එම වටපිටාව මගින් විශ්වවිද්‍යලයට දායාද කරන්නේ මනා පෞරෂයකින් හෙබි අයෙකු නම් ඔහුට විශ්වවිද්‍යාලය හරහා නැවුම් වැඩ කොටසක් කල හැකිය........

 
සිය රට දේ සිරි සැප දේ !