Wednesday, June 3, 2009

සැබෑ සතුරා හඳුනා ගනිමු

වසර තිහක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට විශාල පිළිලයක්ව තිබු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර දැමීමට වර්තමාන රජයට හැකිවීම සමස්ත ජාතිය ම ලැබු ඓතිහාසික ජයග්‍රහණයකි.

එම විශිෂ්ට ජයග්‍රහණය අපට හිමිකර දීමට රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනහ. එය රණවිරුවන්ගේ ලෙයින් කඳුළින් ලබාගත් ජයකි. රට වෙනුවෙන් ඒ සියලු කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් ඉතා ගෞරවාදරයෙන් යුතුව සිහිකිරීම අප කාගේත් යුතුකමකි. මේ විශිෂ්ට ජයග්‍රහණය අපට ලබාගත හැකිවුයේ රට ගැන ජාතිය ගැන හැඟීමක් ඇති ශ්‍රේෂ්ඨ නායකයකු ජාතියේ පිනින් අපට ලැබී තිබීමය.

එල්. ටී. ටී. ඊ. සංවිධානය යනු ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා මතු වු සංවිධානයක් නොවන බව පළමුවෙන් කිව යුතුය. එය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ කටයුතු අස්ථාවරකොට දැමීම සඳහා බටහිර රටවල් විසින් මේ කලාපය තුළ අටවන ලද උගුලකි. බටහිර රටවල වැටී යන ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට නම් පෙරදිග රටවල් දීනත්වයේ තැබිය යුතුය යන්න බටහිර රටවල් එදත් අදත් දරන මතය වේ. එදා ඔවුන් මේ රටවල් යටත්කොට ගත්තේ සෘජුව යුද මාර්ගයට පිවිසීමෙනි. එය පැරණි යටත් විජිතවාදයේ පිළිවෙතයි. මෙදා ඔවුන් එම කටයුත්ත ඉටුකර ගැනීමට වෑයම් කරන්නේ ඒ සඳහා බළල් අත් සංවිධානය කොට ඊට ආධාර කිරීමෙනි. මෙය අප අසා ඇත්තේ නීච යටත් විජිතවාදය ලෙසයි. කොටි සංවිධානය අප දකින්නේද එවැනි බළල් අත් සංවිධානයක් ලෙසය.

ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කර දැමිය යුතු යැයි හඬක් නැගු එංගලන්තය ප්‍රංශය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් ශ්‍රී ලංකාවේ රජය එම කටයුත්තට සාර්ථක ලෙස උර දෙමින් කටයුතු කරද්දී ක්‍රියාත්මක වුයේ ඒ කතාවට ඉඳුරාම වෙනස් ආකාරයකටය. ඒ ක්‍රියාවලිය තුළින් අප තේරුම් ගත යුත්තේ කොටි ත්‍රස්තවාදයේ ජීවය ඇත්තේ කොතැනද යන්නය.

කොටි ත්‍රස්තවාදය හරහා බටහිර රටවල් උත්සාහ කළේ උතුරු : නැගෙනහිර දෙපළාත් වෙන්කොට වෙනම රාජ්‍යයක් මෙහි පිහිටුවීමටය. නැගෙනහිර පළාතේ පිහිටි ත්‍රිකුණාමල වරාය යුද්ධමය අතින් පෙරදිග ඇති වැදගත්ම වරායක් බව ඔවුහු හොඳින් දනිති. උතුරු නැගෙනහිර පළාත් වෙන් කළ විට එහි ඇති වරාය තමන්ගේ පාලනයට නතුකර ගැනීමට හැකිවෙතැයි ඔවුහු සිතුහ. එතැන් සිට ඉන්දියාවේ කටයුතු අස්ථාවර කොට එය කඩා කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමේ ඔවුන්ගේ ඉලක්කයද පහසු වනු ඇත.

බටහිර එක්තරා ඔත්තු සේවාවක් විසින් "බ්‍රහ්ම පුත්‍ර" සැලැස්ම නමින් වැඩ පිළිවෙළක් ඔස්සේ ගොස් ඉන්දියාව කුඩා රාජ්‍යවලට කැබලිකර දැමීමට ගෙන ඇති උත්සාහයක් ගැන තොරතුරු මීට කලකට ඉහතදී ඉන්දීය බලධාරීන් විසින් ලොවට හෙළිකර ඇති බව ද මෙහිදී සඳහන් කළ යුතුය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුම් සහ මතභේද ඇතිකිරීම ද මේ වැඩපිළිවෙළේ එක් අංගයක් වී තිබිණි.

මීට කලකට ඉහත ඉන්දු : ශ්‍රී ලංකා සබඳතා දෙදරා යෑමකට මග පෑදුනේ ද ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ සහ යුද පුහුණුව ලබා දුන්නේ යැයි යන කතාවක් ඇසුරිණි. ඒ කතාව අප අතරට ආවේ අමෙරිකා එක්සත් ජනපදයේ පළවන සෝල්ජර් ඔෆ්පෝචුන් නමැති සඟරාව ඔස්සේය. එහි 1987 පෙබරවාරි කලාපයේ පළකරන ලද ලිපියක මෙසේ සඳහන් විය. "ශ්‍රී ලාංකික සටහන්කාමීන් පුහුණු කිරීමේ කටයුතු ඉන්දියාව තුළ ඇරඹුණේ හරියටම කවදාදැයි යන්න අපහැදිලි කරුණකි. අමෙරිකා එක්සත් ජනපද යුද්ධ ඔත්තු සේවයේ විශ්ලේෂකයකු පවසන්නේ 1983 ට පෙර ඇරඹුණු එම ක්‍රියාවලිය ඉන්පසු කාලය තුළ නවදිල්ලියට පාලනය කර ගත නොහැකි අයුරින් ව්‍යාප්ත වු බවයි.

ඉහත කී ලිපියෙහි යොදා ඇති "ශ්‍රී ලාංකික සටන් කාමීන්" යන වචන තුළ ගැබ්ව ඇත්තේ දෙබිඩි අර්ථයකි. එයට හේතුව එම සඟරාව එම ලිපිය පළකළ එම කාලවානුව තුළ ශ්‍රී ලංකාවේ සටන්කාමී කණ්ඩායම් හයක් ක්‍රියාත්මකව තිබීමයි. ජනතා විමුක්ති පෙරමුණ, ඊ. පී. ආර්. එල්.එෆ්. ඊරෝස්, ප්ලොටි, ටෙලෝ සහ එල්. ටී. ටී. ඊ. මීට අයත්ය. මේ සියලු කණ්ඩායම් අප හඳුන්වන්නේ ශ්‍රී ලංකා සටන්කාමීන් වශයෙනි. මේ සියලු කණ්ඩායම් කොටි ලෙස හැඳින්විය නොහැක. ඉන්දියාව ද්‍රවිඩ සටන්කාමීන්ට අවි පුහුණුවක් දුන්නේ යැයි යන කතාවේ සත්‍යයක් ඇතත් එල්. ටී. ටී. ඊ. සංවිධානයට අවි සහ සටන් පුහුණුව සපයන ලද්දේත් ඉන්දියාව විසින් යැයි කීම මිථ්‍යාවකි.

අපේ රටේ විදේශ විත්ති විචාරකයන් ලෙස පෙනී සිටින අයද කොටි ත්‍රස්තවාදය ගැන කතාකරන බොහෝ අවස්ථාවලදී තොරතුරු පැවසීමේදී මුලාශ්‍රයක් වශයෙන් යොදාගත්තේ ඉහත කී "සෝල්ජර් ඔෆ් පෝචුන්" නමැති සඟරාවය. ඒ අනුව කොටි පුහුණු කිරීම සම්බන්ධව ඇති සියලු මහදොස් පැවරුණේ ඉන්දියාව මතය. සැබෑ අපරාධකරුවා පිළිබඳ තොරතුරු සියල්ල එනිසාම යටපත්ව ගියේය.

එහෙත් "සෝල්ජර් ඔෆ් පෝචුන්" සඟරාව ගැනත් එහි කතුවරයා ගැනත් වැදගත් තොරතුරු රැසක් පැරණි සෝවියටි දේශයේ සිටි ලේඛකයෙකු වු ව්ලැඩිමර් කෝල්ඩොබ්ස්කි විසින් රචිත "වෘත්තික මිනීමරුවා" නමින් පළකරනු ලැබීම නිසා ත්‍රස්තවාදය පිළිබඳව තොරතුරු රැසක් ලොවට හෙළි විය. එහි කතුවරයා කලක් ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ බලකා සේවයේ යෙදී සිටිමින් කුලී භටයන් පුහුණු කළ අයෙකි. රොබටි බ්‍රවුන් නමින් හැඳින්වුණු ඔහු කලක් පීරු රටේ සී අයි ඒ සංවිධානයේද සේවය කොට ඇත. පසු කලෙක ඔහු යුද අවි වෙළෙඳාමට බැස්සේය.

ඉහත කී කරුණු අනුව කොටි ත්‍රස්තවාදීන් ගැන ඇති තොරතුරු යටගැසිය හැකි අයුරින් විවිධ ලිපි ප්‍රකාශයට පත් කිරීම එම සඟරාවේ අරමුණ විය හැක. අප දකින ආකාරයට එල්. ටී. ටී. ඊ. සංවිධානයට යුද අවි සැපයීමේ කතාව සම්බන්ධව ඇත්තේ බටහිර අධිරාජ්‍යවාදය හා බද්ධව ඇති රාජ්‍ය නොවන සංවිධානවලටය. එය වඩාත්ම පැහැදිලි වන්නේ එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්තවාදී නායකයින් විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ඉන්දියා විරෝධී වැඩපිළිවෙළ දෙස බලන විටය.

ඊශ්‍රායෙල් මොසාඩ් ඔත්තු සේවයේ යෙදී සිටි වික්ටර් ඔත්‍රොස්කි නමැත්තා විසින් ලියන ලද "රවටපු හැටි" නමැති ග්‍රන්ථයේ ලංකාවේ ද්‍රවිඩ සටන්කාමීන් පුහුණු කිරීම සිදු කළ ආකාරය ගැන පැහැදිළි විස්තරයක් ඇති බව මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. එහි මෙසේ සඳහන් වේ. "ඊශ්‍රායලය විසින් පුහුණු කරන ලද එක් කණ්ඩායමක් භාරව සිටියේ යොෂීය. එසේ වුවත් එම කණ්ඩායමේ අයට මගේ කණ්ඩායමේ අය මුණගැසීමට අවසර නොතිබිණි. ඔවුන් මගේ සිංහල කණ්ඩායමට සතුරු වු පිරිසක් විය. ද්‍රවිඩයන් සන්නද්ධ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඉන්දීය නිලධාරීන්ට චෝදනාකොට ඇත. ඔවුන් දොස් පැවරිය යුත්තේ මොසාඩ් ආයතනයටය. බාධක තුළින් රිංගා යන සැටිත්, බිම් බෝම්බ අටවන සැටිත් සන්නිවේදන කටයුතු හසුරුවන සැටිත් ඩෝරා වැනි නැව් පුපුරවා හරින හැටිත් පිළිබඳව පුහුණුව ලැබුවේ කමාන්ඩෝ නාවික කඳවුරේදීය.

යුද්ධය නිම වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ආණ්ඩුවට නිරතුරුවම බලපෑම් කළේද බටහිර රටවල් බව අපි හොඳින් දනිමු. කුෂ්නර්ලා සහ වේවිඩ් මිලිබෑන්ඩ්ලාට තමන්ගේ රාජකාරී වැඩ තිබුණේ යුරෝපයේ නොව ශ්‍රී ලංකාවේය. එය හොරාට පෙර කෙසෙල් කැන පැන්නා වැනි කතාවකි.

ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පිළිබඳව විස්තර රැසක් රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳව පරීකෂණ කටයුතු මෙහෙයවු ජායින් කොමිෂන් වාර්තාවේ අඩංගු වේ. 1998 අප්‍රියෙල් මස 9 දින නිකුත් "දිවයින මුල් පිටුවේ" කොටි සමඟ හවුල් වී අමෙරිකාව ත්‍රිමලේ වරාය අල්ලන සැලසුමක් යන ශීර්ෂය යටතේ පළ කරන ලද වාර්තාවේ ඒ ගැන සඳහන් කර තිබුණේ මෙසේය. "කොටින්ට අවි ආයුධ සපයා ඒ මාර්ගයෙන් හෝ ත්‍රිකුණාමල වරාය අත්පත් කර ගැනීමට අමෙරිකාවේ මධ්‍ය රහස් ඔත්තු සේවය (කෂ්: කොටි සංවිධානය සමඟ කුමන්ත්‍රණය කර ඇතැයි "ජායින්" කොමිසමේ වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළත කටයුතුවලට අතපෙවිය හැකි අන්දමට රට කුඩා කැබලිවලට කඩා දැමීම බටහිර ඇතැම් ආණ්ඩුවල අවශ්‍යතාවකි. 1940 ගණන්වලදී එංගලන්තයේ පළවන ප්‍රබල පුවත්පතක් වු "මැන්චෙස්ටර් ගාඩියන්" පුවත්පත සිය කතුවැකියෙන් යෝජනා කර තිබුණේ යුදෙව් ජාතික යුරෝපීය අනාථයන් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි කළ යුතු බවයි.

1943 මැයි 22 දින නිකුත් කළ සිංහල බෞද්ධයා පුවත්පත යුදෙව්වන්ට සුදුසු රට ලංකාව ද? යන ශීර්ෂ පාඨය යොදමින් මැන්චෙස්ටර් ගාඩියන් කතුවැකිය විවේචනය කොට අදහස් පළකර තිබු ආකාරය අපේ පැරැන්නන් තවමත් ආඩම්බරයෙන් කතා කරති. එදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර යුදෙව් ඊශ්‍රායලයක් පිහිටුවීමට කුමන්ත්‍රණය කළ එම විදේශ බලවේගවලට මෙදා අවශ්‍යව තිබුණේ" ද්‍රවිඩ ඊශ්‍රායලයක් හෙවත් ඊළමයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමය. ප්‍රභාකරන් යනු එවැනි බලවේගවල බළල් අතක් බව ශ්‍රී ලාංකිකයන් තේරුම් ගත යුතුය.
(දිවයින_09/06/04)

පසුවදන_කොටි ත්‍රස්තවාදය පරාජය වෙමින් පවතින යුගයේ හමුදා විසින් අල්ලා ගන්නා ලද යුදායුද පිළිබඳ ජනතාව මවිත විය. එසේ ම ඔහු ත්‍රස්තවාදියෙකු වුව ද සිය අරමුණ වෙනුවෙන් කැපවූ විශිෂ්ට නායකයෙකැයි පිරිසක් කීහ. මේ ලිපියෙන් ඒ මතය නිශේධනය කෙරෙයි. ප්‍රභාකරන් යනු බටහර රූකඩයකි. එය නැටවූයේ සුදු අත්වලිනි. ඒ රූකඩය පරදින විට කලබල වූයේ සුද්දෝ ය. අදත් ඒ ජයග්‍රහනය කණපිට පෙරලන්නට දත කන්නේ සුද්දෝ ය. ඇතැම්හු මෙරට සිට සුද්දාගේ සපත්තු ලොවින කළු සුද්දෝ ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !