Wednesday, June 17, 2009

බලය බෙදා දීමේ දේශපාලන විසඳුම් උප්පරවැටිටිය

අපේ රටේ තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදයට සාම සාකච්ඡා හා බලය බෙදා දීමේ විසඳුම් ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට වෙර දැරු රාජ්‍ය නායකයන් මෙන්ම විවිධ සංවිධාන හා පුද්ගලයන්ද සිටි බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් අප එදා සිටම තදින්ම කියා සිටියේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු බව හා කළ හැකි බවයි. අද වන විට එය සත්‍යයක් වී ඇත. එසේම එදත් අප කීවේ අදත් කියන්නේ රාජ්‍ය තන්ත්‍රයක් මගින් එම රාජ්‍යයේ ආරක්ෂාව සඳහා හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමද දේශපාලන විසඳුමක් බවයි. 2005 ජනාධිපති ධුරයට පත් වු මහින්ද රාජපකෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුයේ එම දේශපාලන විසඳුමයි. ඊළඟට ඇත්තේ රට ගොඩනඟන දේශපාලන විසඳුම්ය. ඒවා ද අප නිවැරදිව පැහැදිලිව වටහා ගෙන ක්‍රියාත්මක කළ යුතුය.

ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කථා කරන හැම කෙනෙක්ම කිසියම් විදේශ බලවේගයක අතකොළුවක් බව පැහැදිලි කරුණකි. ඔවුන් කවර දේශපාලන පකෂයක හිටියත් එක්කෝ ඩොලර් පවුම් හෝ යුරෝ මත පිහිටා ක්‍රියා කරන බැවින් නැතිනම් කිසියම් රටකට ගැතිව සිටින බැවින් එසේත් නැත්නම් රාජ්‍ය නොවන සංවිධානවල ඉත්තන් වී ක්‍රියා කරන බැවින් ඔවුන් කියන බලය බෙදා දීමේ විසඳුම් හෝ දේශපාලන විසඳුම් අපට අපේ රටට හිතකර නොවන බව ඉතා පැහැදිලි කරුණකි. අප අපේ රටේ ප්‍රශ්න විසඳා දීමේදී පළමුව බැලිය යුත්තේ අපේ රටේ අතීතය දෙසයි. අතීතයේ අපේ රට (2505 ට පෙර) සෞභාග්‍යමත් රටක් ලෙස පැවැති බව ඓතිහාසික සටහන් මගින් ඔප්පු වෙයි. එසේම පැරණි නටබුන් වැව් අමුණු ශිලා ලිපි මගින් එය තහවුරු වෙයි. එම අතීතයේ පැවැති ක්‍රමවේද මොනවාද ඒවා වර්තමානයට යොදා ගන්නේ කෙසේ ද කියා පළමුව විමසා බැලිය යුතුය.

අතීතයේ අප රටෙහි පැවැතියේ වැඩවසම් ක්‍රමයත්ය යන සුද්දන් විසින් හා කළු සුද්දන් විසින් ඇති කරනු ලැබු මතවාදය මත පිහිටා කටයුතු කිරීමෙන් අප වැළකී සිටිය යුතුය. කුමක් හෙයින් ද යත් එවැනි වැඩවසම් පාලන ක්‍රමයක් කිසිදාක අප රටේ නොපැවති බැවිනි. එම අදහස සුද්දන් විසින් හා කළු සුද්දන් විසින් ඇතිකරනු ලැබු මතවාදයකි. අතීතයේ අප රට වැසියන් අපේ දෙපයින් නැගී සිටි අයයි. වර්තමානයේ ද එය කළ නොහැක්කක් නොවේ. ලෝකය පුරා පැතිර පවතින වාණිජ ආර්ථිකය, අන්තර්ජාල සම්බන්ධතා, බලවත් රාජ්‍ය දුර්වල රාජ්‍යවලට බලපෑම් ඇති කිරීම හා තහංචි පැනවීම මේ සියල්ලක්ම පදනම් කර ගත් ගෝලීයකරණය වැනි ක්‍රමවේද නිසා අප දෙපයින් නැගී සිටින අතරම ජාත්‍යන්තරය දෙස ද බැලීමට අපට සිදුවෙයි. දේශීය පදනමක පිහිටා ජාත්‍යන්තරයෙන් ගනු ලබන සහයෝගය අපට අහිතකර නොවෙයි. රටට අහිතකරවනුයේ විදේශ රටවලට ගැතිකම් කරමින් මෙන්ම විදේශවල පැවති හා පවතින ක්‍රමවේද මත පිහිටා සිතමින් ක්‍රියා කරන අයගේ වැඩපිළිවෙළ බව අප වටහා ගත යුතුය.

ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදා දීමේ ක්‍රමවේද ගැන කථා කරනුයේ බටහිර ගැති හෝ මාක්ස්වාදයෙන් තෙම්පරාදු වු දේශපාලකයන් හා උගතුන් බව ඉතා පැහැදිලිය. ඔවුන්ට එම මත වලින් බැහැරව සිතීමට හෝ ක්‍රියාකිරීමට තරම් නුවණක් නොමැත. එවැනි දේශපාලකයන් හා උගතුන් විසඳුම් සොයා බැලීමේ මණ්ඩලවලට පත් කිරීමෙන් හා එම විසඳුම් ක්‍රියාත්මක කිරීමට යොමු වීමෙන් සිදුවිය හැක්කේ රට අගාධයට ඇද වැටීමයි. මෙම දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කතා කරන හැම කෙනෙක්ම ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයට ද එරෙහි වුවෝ වෙති. ඔවුහු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයට හිතවාදියෝ වුහ. එසේ වුවේ පරාණ බයට පමණක් නොවේ. මතවාදීවම ඔවුහු එම තත්ත්වයේ සිටියහ. ඔවුන්ගේ නම් සිහිකිරීම පවා සුදුසු යැයි නොසිතමු. නම් කීවත් නොකීවත් රටට ආදරය කරන හැම කෙනෙක්ම ඔවුහු හඳුනති.

එක්සත් ඒකීය වැනි වචනවල එල්ලී සිටීම අවශ්‍ය නැතැයි ද ඔවුහු කියති. එම වචනවලින් ගම්‍ය වන අර්ථය අහසට පොළව මෙන් දුරස්ථය. එක්සත් යනු කැඩී බිදී ගිය රටක් නගාසිටුවීම සඳහා එම කැඩුණු ප්‍රදේශ එක් කිරීමේ ක්‍රමවේදයයි. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් සමාජවාදී සෝවියටි ජනරජය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් කවර හේතු නිසා හෝ කැඩී වෙන්ව පැවැති ප්‍රදේශ එකට එකතු කිරීමෙන් හදා ගත් රාජ්‍යයන්ය. එම රටවලට එක්සත් යන ක්‍රමවේදය යහපත් වී ඇත. එහෙත් අපේ රට කැඩී බිදී ගියේ නැත. 1971, 1988 හා 89 වැනි වකවානුවල ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා යම් යම් ප්‍රදේශවල රාජ්‍ය තන්ත්‍රයේ බලය අඩපණ වී තිබිණි. එය හමුදාමය ක්‍රියාකාරකම්වලින් මැඬලීමට සිදුවිය. නවසිය තිස් ගණන්වල ඇරඹුණු දෙමළ ජාතිවාදී දේශපාලනය මෙන්ම සිංහලයන්ගේ බලය බිඳ දැමීමට දෙමළ ජනතාව ඉහළට ගැනීමේ සුද්දන්ගේ උපක්‍රමය නිසා ශක්තිමත් වු දෙමළ ජාතිවාදයේ ප්‍රතිඵලයක් ලෙස 1976 ඇරඹුණු දෙමළ ත්‍රස්තවාදය අන්තිමේදී දෙමළ කොටි ත්‍රස්තවාදයක් බවට පත්වී ක්‍රියාත්මක වෙද්දී රාජ්‍ය බලය ක්‍රියාත්මක නොවු ප්‍රදේශ උතුරු හා නැගෙනහිර පළාත්වල තිබිණි. එහෙත් එම අවස්ථාවල දී රාජ්‍ය බලය ක්‍රියාත්මක නොවු ප්‍රදේශවල ජනතාවට රාජ්‍ය යුතුකම් ඉටුවුණි. පාසල් ආරෝග්‍යශාලා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වුණි.

එබැවින් ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක කෑලිවලට කැඩී බිදී ගිය රාජ්‍යයක් වී නොමැත. එබැවින් එක්සත් ශ්‍රී ලංකාවක් කිරීමේ අවශ්‍යතාවක් නැත. දෙමළ ජාතිවාදී දේශපාලන හා දෙමළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුයේ පළමුව උතුරු හා නැගෙනහිර ඊළමක් පිහිටුවා අනතුරුව මුළු රටම අත්පත් කරගෙන කෙසේ හෝ දෙමළ රාජ්‍යයක් බිහිකිරීමේ පැහැදිලි අරමුණින් බව අප හොඳින් වටහා ගත යුතුය. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහාම ෆෙඩරල් ක්‍රමයක් ද ඉදිරිපත් වුණි. සමහරු අද ෆෙඩරල් ක්‍රමයක් නොදීම නිසා ත්‍රස්තවාදයක් ඇතිවිණැයි කීමට තරම් අඥාන වී ඇත. පළාත් සභා ක්‍රමය තුළින් ද උත්සාහ දැරුවේ ඊළමකට යාමටයි. එබැවින් රට කෑලිවලට කැඩිමේ දේශපාලන විසඳුමක් හෝ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට යයි කියා වෙනම පාලන ක්‍රමයක් ඇතිකිරීමට යාමෙන් හෝ සිදුවන්නේ ඒකීය ශ්‍රී ලංකාව කැඩී යෑමේ අනතුරකට පත්වීම පමණි. එවැනි දේශපාලන විසඳුම් පාර්ලිමේන්තුව තුළින් සම්මත කිරීමට උත්සාහ දරන දෙමළ එක්සත් සංවිධානය වැනි දේශපාලන පකෂ මෙන්ම වාමාංශික මතධාරී දේශපාලකයන්ද අධිරාජ්‍ය ගැති දේශපාලකයන්ද බුද්ධිය අවුල් කරගත් උගතුන් ද සිටින බව අප හොඳින් වටහා ගත යුතුය. ඔවුන්ගේ අවශ්‍යතා හෝ පෙළඹවීම් හෝ ඔවුන් ලියන පත්‍රිකා මත පිහිටා ඊනියා දේශපාලන විසඳුම් හෝ බලය බෙදා දීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීමට ගියහොත් රණවිරුවන් දිවි පුරා රුකදුන් රට යළිත් අගාධයට වැටෙනවා වැටෙනවාමයි.

අතීතයේ අප රට සෞභාග්‍යමත්ව පැවැති හැම අවස්ථාවකම එක්සේසත් රාජ්‍යයක් තිබිණි. එක්සේසත් යනු ඇතැමුන් කීමට උත්සහ දරණ එක්සත් යන්න නොව ඒකීය රාජ්‍යයකි. උනඉටඑඩ නොව උනඉටඅරය අපේ රටේ වැව් අමුණු තැනී රට පුරා වෙහෙර විහාර, දැගැබ් ඉදිවී රට සශ්‍රීක වුයේ ඒකීය රාජ්‍යයක් තුළයි. එය අදටත් වලංගුයි. සිංගප්පුරුව, මැලේසියාව වැනි කුඩා රටවල් සීග්‍ර දියුණුවකට ගමන් කළේ ඒකීය සංකල්පය මත බලය මධ්‍යගත කර ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. විශේෂයෙන් විශාල භුමි ප්‍රදේශයක් නැති රටවල් සංවර්ධනය කිරීමට එම ඒකීය පදනම මත බලය මධ්‍යගතව තබා ගැනීමේ පාලන ක්‍රමය අතිශයින්ම වැදගත් වෙයි.

ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ඉන්දියානු මොඩලය මත පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ එදා පැවැති උතුරු හා නැගෙනහිර ප්‍රශ්නය විසඳීමේ අරමුණින්ය. එහෙත් ඒ ක්‍රමය නිසා තවත් බරපතල ප්‍රශ්න ඇතිවුවා මිස උතුරු හා නැගෙනහිර ප්‍රශ්න විසඳුනේ නැත. ඉන්දියාවට ප්‍රාන්ත ක්‍රමය ගැලපෙන්නේ එය ඉතා විශාල රටක් බැවිනි. අපේ රටේ සුද්දන් විසින් ඇතිකරන ලද පළාත් නවය (එය ද අප වෙනස් කළ යුතුව ඇත) පදනම් කරගෙන ආණ්ඩුකාරවරු අට දෙනෙක් මහ ඇමැතිවරු අට දෙනෙක්, පළාත් සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ඇතිකර ඔවුන් නඩත්තු කරන්න මහා භාණ්ඩාගාරයේ මුදල් යෙදීම තරම් රටට කළ අපරාධයක් තවත් නොමැත. එයින් හැඟෙන තවත් වැදගත් කාරණයක් නම් රජ්‍ය බලය බෙදා දීමට යෑමෙන් රටට යහපතක් නොවන බවයි. බෙදිය යුත්තේ බලය නොව පරිපාලනයයි. පැරණි රාජ්‍ය ක්‍රමය තුළ රුහුණු, පිහිටි, මායා යන බෙදීම තිබුණේද ස්වාභාවික පදනම් මත පරිපාලනය බෙදීමේ ක්‍රමවේදයක් ලෙසයි. ඒ නිසා රටට ආදරය ඇත්නම් බලය බෙදීමේ ක්‍රමයක් ගැන කතා නොකළ යුතුය.

ඉන්දියාව හෝ බටහිර රටවල් හෝ ඉදිරිපත් කරන බලය බෙදීමේ ක්‍රම හෝ දේශපාලන විසඳුම් අපේ රටේ සංවර්ධනයට හා ආරක්ෂාවට හේතු වේ යැයි සිතතොත් ජාත්‍යන්තර බලවේගවලට අවනතව ඔවුන් සතුටු කිරීමට කවුරුන් හෝ කටයුතු කරතොත් එය දේශද්‍රෝහී ක්‍රියාවකි. ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ ක්‍රමවේද ගැන කතා කරන අය ද ඒ වෙනුවෙන් පත්‍රිකා ලියන අය ද ඒ ගණයටම ඇතුළත් කළ යුතුය. එබැවින් ස්වාභාවික සම්පත්වලින් අනුන වු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතා කුඩා දුපතක් වන අපේ මවුබිම ඊනියා දේශපාලන විසඳුම් හා බලය බෙදීමේ දේශපාලන උප්පරවැටිටිවලින් අගාධයට ඇද දැමීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතුය.

පළමුවත්, දෙවනුවත් තෙවනුවත් මවුබිමට ආදරය කරන කිසිදු කෙනෙක් එවැනි ක්‍රමවේද නොපිළිගනු ඇත. එවැනි දේශපාලන උප්පරවැටිටි ක්‍රියාත්මක කිරීමට සර්වපාක්ෂික හෝ වෙනත් මණ්ඩල පත්කිරීමෙන් වැළකී සිටීමට ද දේශපාලකයන් තීන්දු තීරණ ගත යුතුව ඇත. රටට ආදරය කරන ජාතිය හා ඔවුන්ගේ සිතුම් පැතුම් මෙන්ම ක්‍රියාකාරකම් මත රට සංවර්ධනය කිරීමටත් රටට ආදරය නොකරන සුළු පිරිස එනම් දේශද්‍රෝහීන් රටට ආදරය කරන අය බවට පත් කර ගැනීමටත් පොදු මහජනතාව මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ රටට ආදරය කරන අය නොවන්නේ නම් ඔවුන්ට ද දේශද්‍රෝහී රාජද්‍රෝහී ත්‍රස්තවාදීන්ට අත්වු ඉරණම මතු අනාගතයේදී විඳින්නට ලැබෙනු ඇත.

දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්
බෙංගමුවේ නාලක හිමි
(දිවයින_09/06/18)

පසුවදන_එදා ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු දකින්නට අකමැති වූ ඊට එරෙහි වූ අය අද යුද්ධයෙන් ත්‍රස්තවාදය විනාශ කළ රටේ බලය බෙදීමක් ගැන නන් දොඩවති. රට තිස් වසරක් නරකාදියේ දැවුණේ මොවුන්ගේ ද දායකත්වයෙනි. බලය බෙදීමක් හරහා නැවත රට අවිච්චියට ඇද දමන්නට මේ වසලයින්ට සහ නිවටයින්ට ඉඩ නොතැබිය යුතු ය. විමධ්‍යගත කළ යුත්තේ බලය නොව පරිපාලනයයි. බෙදාහැරිය යුත්තේ බලය නොව සංවර්ධනයේ ප්‍රතිලාභයි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !