මායිම් ගම්මාන, තර්ජිත ගම්මාන ලංකා සිතියමෙන් මකා දැමු රජයට තව ඉතිරිව ඇත්තේ දුෂ්කර ගම්මානද එයින් මකා දැමීමේ අභියෝගය බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 03 වැනිදා ගාලු මුවදොර පැවති "රණවිරු විකුම් අභිමාන ප්‍රදාන" උළෙලේදී ප්‍රකාශ කර තිබිණි. ඉතාම කාලීන ප්‍රශ්නයකි. ක්‍රියාවට නැංවිය යුතු යහපත් වැඩකි. තිස් වසරක සාපරාධී ත්‍රස්තවාදයෙන් බැට කෑ උතුර, නැගෙනහිර පමණක් නොව මේ රටේ බොහෝ දිස්ත්‍රික්කවල දුෂ්කර ගම් තිබෙන බව නොරහසකි.
මේ බොහෝ ගම්වලට යෑමට පාරක් නැත. දරුවන්ට ඉගෙනීමට පාසල් නැත. ලෙඩට දුකට බේත් හේත් නැත. ගොවිතැනකින් හෝ හේනකින් ලබා ගන්නා බෝගයක් හෝ අලෙවි කිරීමට මඟක් නැත. බුලත් කහට බැඳි සිනහවකින්ද දුර්වර්ණ වී ගිය ඇඳුමකින්ද යුත් මේ ගම්වල බහුතර ගැහැනුන් හා මිනිසුන් ගෙවන ජීවිතය කෙබඳු ශෝකාන්තයක්දැයි පාලකයෝ පවා නොදනිති.
කොළඹට කිරි : ගමට කැකිරි යැයි කීවත් මේ බොහෝ ගම්වලට කැකිරිවත් නැති බව ඇත්ත කතාවයි. සංවර්ධනය ගැන මහ හඬින් ඇසෙන ඝෝෂාව මේ ගම්වලට රුගෙන යෑමට මෙතෙක් රට පාලනය කළ පින්වතුන්ට වුවමනා වුයේ නැත. එහෙත් මුල් වරට වත්මන් ජනාධිපතිවරයා මේ අහිංසක මිනිසුන් ගැන හිතන ඒ සඳහා යමක් කිරීමට ඉදිරිපත් වන නායකයකු ලෙස අපි දකිමු. එහෙත් ඒ කාර්ය රාජ්‍ය නායකයාට හෝ තනිව කළ නොහැකි බව අපගේ විශ්වාසයයි. මැති ඇමැතිවරුන් දුසිම් ගණනින් සිටියත් ඒ සියල්ලෝම කොළඹ කේන්ද්‍ර කර ගත්තෝම වෙති. මැතිවරණයට පෙර ගම්වලට යන්නෝද වෙති.
සංවර්ධනයේ ඇත්ත කතාව නම් ගම එතනම තිබීමත් සංවර්ධනය කොළඹ අවට කැරකීමත්ය. පාරවල්, ගොඩනැඟිලි, රෝහල් ගම්වලට ගියත් ඒ ඉතා කලාතුරකින්ය. ගම්උදාව සමග රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අවංකවම ගම පුබුදු කරවීමට කැප විය. එහෙත් අද ඒ උදාගම්වලට සිදුවී තිබෙන්නේ කුමක්ද? ඒවායේ ජනතාවගේ ජීවිත දියුණු වී තිබේද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බැඳුණු ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් රුසක්ද දුෂ්කර ගම් කේන්ද්‍ර කරගෙන තිබෙන බවද අපි දනිමු. ළමා පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ එබඳු යෝජනා ක්‍රියාත්මක කරන බවද කියති. එහෙත් ගෙවීගිය ආසන්න අවුරුදු ගණනාවක් තිස්සේම මේ සංවිධානවල බොහෝ දෙනා ක්‍රියාකාරී සහාය පළ කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානයට බවද නොරහසකි.
ප්‍රභාකරන්ගේ ඊනියා ඊළාම් සිහිනයට මේ බොහෝ ව්‍යාපෘතිවලින් ප්‍රබල අනුග්‍රහයක් ලැබී තිබිණි. බේත් ද්‍රව්‍ය, වෙනත් තාක්ෂණ හා අධ්‍යාපන පහසුකම් ඇතුළු බොහෝ දේවල් කොටින්ට ලබා දුන් ආකාරය වෙනම කතා කළ යුත්තකි. අපි එය පසෙක තබා මේවා විධිමත්ව හා සද්භාවයෙන් ගමට : ගමේ දියුණුවට ලැබෙන සැලැස්මක් සකසා ගත යුතුය.
සංවර්ධනය වු රටවල් තුන්වැනි ලෝකයේ සංවර්ධනය සඳහා දක්වන උනන්දුව අද බොහෝ දෙනකුගේ විවාදයට ද ලක්ව තිබේ. මානව හිමිකම් සුරුකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ආදී ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ දුෂ්කර රටවලට එන සංවර්ධනයේ දුතයන්ගෙන් ඒ රටවලට සිදුවු යහපතට වඩා අයහපතක් සිදුවී තිබේද යන්නත් විමසා බැලීමද උචිතය.
අනෙක් අතට අපේ රටට පැමිණෙන බොහෝ විශේෂඥයන්ගේ නඩත්තුව සඳහා ද විශාල ධනයක් වැය කළ යුතු වේ. මේ බොහෝ දෙනෙක් සුඛෝපභෝගී ජීවිතවලට හුරුවුවෝය. කාමභෝගී ජීවන රටාවලට ඇබ්බැහි වුවෝය. දුෂ්කර ගම්මානවලට යන අයට වුවද ඒ සුවපහසු ජීවිත පවත්වා ගෙන යෑමට සිදුවේ. ශීතකළ කාමර, ඉහළ අගයකින් යුතු මත්පැන්, වෙනත් විනෝදාංශ ඔවුන්ගේ ජීවිතවල අනිවාර්ය අංගයන්ය.
මේ දිනවල වව්නියාවට යන අයෙකුට පෙනී යන්නේ අධි සුඛෝපභෝගී වාහනවලින් ඉගිළි යන එක්සත් ජාතීන්ට අයත් විවිධ සංවිධානවල නිලධාරීන්ය. ඔවුන්ගේ සුවපහසු ජීවිත දෙස බලා අසරණ ගම් වැසියෝ හුල්ලති. සැබැවින්ම ඊටත් වඩා දෙයක් සිදුවන්නේද? අප ඔවුන්ට යෝජනා කරන්නේ කුඩාරම්වල ජීවත්වීමට හෝ පාන් කෑල්ලකින් තුන්වේල පිරිමසා ගැනීමට හෝ නොවේ. එහෙත් සඳලුතලවලින් එබී බලන මහේශාඛ්‍ය සුල්තාන්වරුන් මෙන් බිම දෙස බලන සුපිරි විශේෂඥයන්ගෙන් ගම්වලට හෝ රටට යහපතක් නොවන බව කිව යුතුය.
රජය හෝ විදේශ අමාත්‍යාංශය හෝ මේ රටේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හා එබඳු ස්වෙච්ඡා ආයතන පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතුය. ඔවුන් හා සම්බන්ධීකරණය කිරීමට රජයට හැකියාවක් තිබිය යුතුය. දුප්පත් භාවය තුරන් කිරීමට ලැබෙන ආධාරවලින් පිරිසක් සුරසැප විඳිත් නම් එයින් ඵලක් තිබේද? පිටරටකින් ලංකාවට පැමිණ නේවාසිකව සිට ජීවිතය සැපසේ ගෙවා තමන් ලබන වෙනසට වඩා අමුතු දෙයක් මේ බොහෝ විශේෂඥයන්ගෙන් රටට ලැබී තිබේද?
කෙසේ හෝ නිදහසින් වසර හැටක් සපුරා තිබෙන අපට මේ කාලය තුළ ගම පිළිබඳ සතුටුදායක දියුණුවක් ලබාගැනීමට හැකිවී තිබේද? ස්වාභාවික විපත් කරදරවලට අමතරව වන සතුන්ගෙන් පීඩා විඳින ගම් කොපමණ තිබේද? වල් අලින්ගේ ප්‍රහාරයට ලක්වන ගම් කොපමණ තිබේද? අදටත් මේ ගම්වල ජනතාව දෙස් දෙවොල් තබන්නේ තමන් දෙස නොබලන පාලකයන්ටය. තමන්ගේ දුකට සවන් නොදෙන දේශපාලනඥයන්ටය.
ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විසින් පත් කරන ලද ජාතිය ගොඩනැඟීමේ ඇමැතිවරු පිරිසක්ද සිටිති. මේ ඇමැතිවරුන්ගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳවද බරපතල විවේචන තිබේ. එහෙත් මේ ඇමැතිවරුන්ගෙන් මීට වඩා ප්‍රායෝගික කාර්යභාරයක් ඉටු කර ගත හැකි බව නම් කිව යුතුය.
අපේ රටේ දුෂ්කර ගම් තෝරා ඒවා සංවර්ධනය කිරීමේ කාර්යයේදී මුලික විය යුත්තේ මේ ඇමැතිවරුය, මිනිසා නොහදා ගම හැදීමට බැරිය. ගම නොහදා රට හැදීමට බැරිය. අද ඒ කාර්ය ඉටු කිරීමට රාජ්‍ය නායකයාට අවශ්‍යව තිබේ. කිසිවකුට පරාජය කළ නොහැකි බවට වහසි බස් දෙඩු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කරමින් ලොවම මවිතයට පත් කළ ජනාධිපති මහින්ද රාජපකෂ මහතාට දියුණු කිරීමට බැහැයි කියන මේ ගම් දියුණු කිරීමද අභියෝගයක් නොවන බව අපගේ විශ්වාසයයි.
ජී. එස්.
(දිවයින_09/06/05)
පසුවදන_අද කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා සිටින අපේ මුල් ඇත්තේ ද ගම්වල ය. නගරයට සීමා වූ සංවර්ධන උපාය මාර්ග හමුවේ අපට නගරයට ඒමට සිදු වුව ද නගරයේ බින්න බසින්නට අප සුදානම් නැත. අපි අපේ සභ්‍යත්වයේ සංස්කෘතියේ පෙකනියෙන් ගමට බැදී සිටිමු. ගමේ ඉපිද ගමේ හැදී වැඩුණු ජනාධිපතිතුමා, ගම සහ නගරය අතර සංවර්ධන පරතරය බිඳදමතියි අපි විශ්වාස කරමු. කොළඹට කේන්ද්‍රීය සංවර්ධන සුළඟ ගම්දනව් ඔස්සේ යාපනයට කිලිනොච්චියට මඩකලපුවට දෙහිඅත්තකණ්ඩියට හම්බන්තොටට හමා යාමට පවතින බාධා ඉවත් කිරීම මාතෘ භූමියේ ඒකීයභාවය තව දහස් වසක් සුරැකීමට දමන අඩිතාලම වනු ඇත.
Friday, June 5, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment