සිංහල භාෂාවේ තිබෙන "හොර" යන විශේෂණය කිසියම් පුද්ගලයකුට, වස්තුවකට හෝ ඕනෑම දෙයකට යෙදු විට එයින් ගම්‍ය වන්නේ ඒ සියල්ලම නීත්‍යනුකුල හෝ සාධාරණ නොවන බවය. නීති විරෝධීව හෝ අයුතු ලෙසින් ලබා ගන්නා වු හා ළඟ තබා ගන්නා වු දේවල් නිසා නීති මගින් දඬුවම් වීමට සිදු වුවද එසේ නොවන අවස්ථා බහුලව තිබෙන බවද අපි දනිමු. හොර බඩු, හොර මත්පැන් පමණක් නොව හොර ඡන්ද ගැන ද බොහෝ විට ඇසෙයි. හොර ඔප්පු හා හොර ලකුණු ගැන ද ඇසෙයි. එපමණක් නොව "හොර මිනිස්සු" හා "හොර ගෑනු" ගැන ද ඇසෙයි.
බෞද්ධ සමාජයේ මුලික ඉගැන්වීමක් වන පන්සිල්වල අදත්තාදානය ලෙස හැඳින්වෙන නුදුන් දෙය ගැනීම හෙවත් හොරකම පස්පව්වලට ඇතුළත් වුවද සමාජය තුළ හොර වැඩ, හොර මගඩි සුලභව සිදුවන බවද අපි දනිමු. එහෙත් මේවා අතර ඉතා අහිංසක හොර වැඩ ලෙස සම්මත වු දේවල් ද ඇත. පාසලකට දරුවකු ඇතුළත් කිරීම සඳහා සාදන හොර ඔප්පු, හොර ලියවිලි එයට එක් නිදසුනකි.
මේ සියලු "හොර" සහමුලින් නැති කිරීම නීතියෙන් තබා මොනම දඬුවමකින් හෝ නොහැකි බවද අපි දනිමු. හොර වැඩට ශාරීරික දඬුවම් දෙන මැදපෙරදිග රටවලින් වුවද හොර නැති කිරීමට නොහැකි වී තිබේ.
අපි අද හොර ගැන කතා කළේ හොරකම් හෝ හොර මගඩි නීතිගත කළ යුතු යැයි යෝජනා කිරීමට නම් නොවේ. හොරකම් හොර මගඩි ඕනෑම රටක් ගෙන යන්නේ යහපත් දිසාවකට නොවන බව අපි ඉඳුරා දනිමු. දුෂණය යනු මේ සියලු හොරවල කුටප්‍රාප්තිය ලෙසද දකිමු. එහෙත් අද අප කතා කරන්නේ කලක් තිස්සේ මේ රටේ සිදුවෙමින් තිබෙන අලජ්ජී ග්‍රාම්‍ය හොරකමක් නැවැත්වීම සඳහා රජය ඉතා වැදගත් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම පිළිබඳවය.
මේ වු කලී සම්මාන හා ගෞරව හොරකමකි. රටේ හා ජාතියේ ගෞරවය ප්‍රණාමය හිමිවිය යුතු අය වෙනුවට රටට වින කරන, රට, දැය වනසන හොර තක්කඩියන්ට සම්මාන, ගෞරව හා ආචාර්ය උපාධි යනාදිය පිරිනැමීම නිසා කලක පටන් එකී ගෞරව, සම්මාන හා ආචාර්ය උපාධිවල තත්ත්වයද බරපතල ලෙස හෑල්ලු වී තිබේ.
ඇතැම් කෙනෙක් සමාජ මතුමහලේ වැජඹීම සඳහා මෙකී ගෞරව, සම්මාන හා ආචාර්ය මහාචාර්ය වැනි සම්භාවනීය ප්‍රදානයන් ද මිලට ගෙන හෝ අනිසි ලෙස හෝ යොදා ගනිති. රජය මෙම අලජ්ජී ප්‍රදානයන් වැළැක්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම අප අගයන්නේ එහෙයිනි.
මේ අනුව ජනාධිපතිවරයා විසින් දෙනු ලබන ජාතික මටිටමේ සම්මාන මෙන්ම විශ්වවිද්‍යාල වැනි පිළිගත් ආයතන මගින් දෙනු ලබන ආචාර්ය හා සම්මාන උපාධි හැර හොර උපාධි කඩවලටත් හොර සම්මාන විකුණන ආයතනවලටත් ඒවා ප්‍රදානය තහනම් කෙරේ.
ආචාර්ය, මහාචාර්ය මෙන්ම සාහිත්‍යසුරී වැනි සම්මාන හිමි විය යුත්තේ ඒ ඒ කෙෂ්ත්‍රයන් උදෙසා විශිෂ්ට මෙහෙවරක් කරන ලද අයටම පමණි. සාහිත්‍ය සෞන්දර්ය කලාව ප්‍රමුඛ සංගීතය ඇතුළු කෙෂ්ත්‍රයන්හි විශ්වවිද්‍යාල වලින් පරිබාහිරව ඒවායේ උන්නතිය හා අභිවෘද්ධිය සඳහා ක්‍රියාකාරීව ජීවිතයම කැප කරන ජනතාවගේ, විශේෂයෙන් සහෘද ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු අය සිටිති.
පෙදෙහි රසහව් දත් එබඳු වියතුන්ට පිරිනැමිය යුතු ගරු බුහුමන් අල්ප ශ්‍රුත මුග්ධයන්ට පිරිනැමීම ගැල බඳිනා ගවයන්ගේ ගෙල බඳිනා
ගෙජ්ජිවැල් සේ යොදා ගැනීම කොතරම් බාලද? කෙතරම් අනුචිතද? ආචාර්ය උපාධියක් මුදලට ලබා ගන්නා "පිනාචාර්යලා" ධජ වඩවමින් යොදන්නේ බාලවර්ගයේ හෙවත් "ඉමිටේෂන්" එකක් බව බොහෝ දෙනෙක් නොදනිති. එනිසාම සමාජයක බහුතරය එකී පිනාචාර්යවරුන්ට රුවටෙති. මෙය කෙබඳු මුළාවක්ද?
අද තන්හි තන්හි තිබෙන එබඳු සම්මාන හා ආචාර්ය මහාචාර්ය පදවි පිරිනමන කඩවලින් සිදුවන හානිය සුළුපටු එකක්ද නොවේ. උගත්කම යනු මුදලට ලබාගත හැකි දෙයක් ද නොවේ. කෝප වුවත් රජ මැතිඳුන් හට වුවද ගත නොහැකි උගත්කමට මෙකී පිනාචාර්යලාගෙන් වන හානිය සුළු දෙයක් ලෙස සිතන අය ද සිටිය හැකි වෙති. එහෙත් එය බරපතල සමාජ විපතක් බව අපගේ හැඟීමය.
කෙසේ වුවද රජයේ මෙම දුරදර්ශී පිළිවෙත විද්වතුන්ගේ ද, ශාස්ත්‍රඥයන්ගේ ද වියතුන්ගේද ප්‍රසාදයට මතු නොව අස්වැසිල්ලට ද හේතුවනු ඇත. ඇතැම් පිනාචාර්යවරු එලි බසින්නෝ බොහෝ විට ජනමාධ්‍ය ඔස්සේය. නිසිරිසි අය පසු බස්වමින් පිනාචාර්යවරුන් පිනුම් ගසනු ද අපි දැක ඇත්තෙමු.
පිදිය යුත්තන් පිදීම මංගල කරුණකි. රාජාණ්ඩුක්‍රම වලදී පවා එබඳු ප්‍රදානයන් කළ බවද නොරහසකි. රටට, දැයට සංස්කෘතික හා කලා කෙෂ්ත්‍රයන්ට උතුම් මෙහෙයක් ඉටු කරන සජ්ජනයන්ට සම්මාන දීම රජයකද යුතුකම හා වගකීමයි. රජයක් මෙන්ම විශ්වවිද්‍යාල මගින්ද එබඳු ප්‍රදානයන් සඳහා සුදුසුම අය තෝරා ගැනීමද අතිශයින්ම වැදගත්ය. එනිසා සම්මානයට, ආචාර්ය උපාධියට ගෞරවයක් අගයක් පිරිනැමීමට රජය ගත් මෙම තීරණය ගෞරවණීය ලෙස ක්‍රියාත්මක විය යුතු බවද අපි මතක් කරමු. එසේ නොවන්නේ නම් මොන තරම් නීති රීති තිබුණත් අනිසි අයට පිරිනැමෙන සම්මානය ද බලුනගුටට දමන මල්දමකට වඩා වෙනසක් නැති බවද අපි අවසන් වශයෙන් සටහන් කරමු.
(දිවයින-09/06/22)
පසුවදන_අපේ රටේ බොහෝ ආචාර්ය පිනාචාර්ය පට්ටම්ධාරීහු එකී උපාධිවල ගරුත්වය අමු අමුවේ කෙළෙසීම අද සාමාන්‍ය සිද්ධියකි. එහෙයින් අද වන විට ආචාර්ය යන වදනට පවා යම් හාස්‍ය මුසු අරුතක් කැවී තිබේ. එහෙයින් රජයේ මේ තීරණය අපි අගය කරමු. එම තීරණය වඩා අර්ථවත් වීමට යෝජනාවත් ද එක් කරමු. ඒ මහ ලොකු දෙයක් නොව මේ තීරණය අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මත කිරීමට අවැසි නීතිමය ප්‍රතිපාදන යොදන ලෙස ය. අහෝ! පිනාචාර්යවරු සලිත නොවෙම්වා!
Tuesday, June 23, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment