Monday, June 29, 2009

ශ්‍රී ලංකාවට යන්න එපා (කුහකකමට වැඩි යමක්‌...)

සාමාන්‍යයෙන් මානසිකව නිරෝගී මිනිස්‌සු ආහාර අනුභව කරන අතරම වැසිකිළි නොයති. නිදාගන්නා අතර ස්‌නානය නොකරති. පොතක්‌ පතක්‌ කියවන අතර සුක්‌කානම හැසිරවීමට නොයති. දත් ගලවන අතරම ගීත ගායනා කිරීමට යන්නෝත් සිටිත්ද? දැලිපිහියකින් රැවුල බාන අතරම කොක්‌හඬලා සිනාසෙන්නෝත් සිටිත්ද?
මේවා අප හඳුන්වන්නේ පූර්ණ පරස්‌පර ක්‍රියා වශයෙනි. පූර්ණ පරස්‌පරව ක්‍රියාකිරීම සාමාන්‍ය උමතු රෝගයකත් නොව අධික උමතු රෝගයකම ලක්‍ෂණය වේ. සාමාන්‍යයෙන් මේ මට්‌ටමේ රෝගීනට නිදැල්ලේ හැසිරීමට අවකාශයක්‌ ලබානොදෙන අතර ඔවුන් දැඩි රැකවරණය සහිත රෝහල් වාට්‌ටුවකට සීමා කිරීම සිවිල් සමාජයේ සිරිත වේ.

අවාසනාවකට මෙන් පුද්ගලයන් සම්බන්ධයෙන් පවත්නා මෙම තත්ත්වය රාජ්‍යයක්‌ හෝ ආණ්‌ඩුවක්‌ සම්බන්ධයෙන් බලපවත්වන්නේ නැත. මෙයින් ගම්‍ය වන්නේ, මිනිසකු සතුව නොපැවතියත් ඕනෑම කාලයක ඕනෑම පිස්‌සුවක්‌ කෙළීමේ හැකියාව හැමවිටම ඕනෑම රාජ්‍යයක්‌ සතුව පවත්නා බව නොවේ. බටහිර රාජ්‍යයන් සතුව පවත්නා බවය. (භූගෝලීය වශයෙන් "බටහිර කැලෑසියට" අයත් නොවූවත්) ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍යය සතුව පවත්නා බවය.

ත්‍රස්‌තවාදය විනාශ කිරීමට ප්‍රතිඥ දෙන අතරම, ඊට එරෙහිව ලෝක පරිමාන මහා යුද්ධයක්‌ අරඹා ඇතැයි ප්‍රකාශ කරන අතරම ත්‍රස්‌තවාදී සංවිධාන නිල වශයෙන් තහනම් කොට ඇති අතරම ත්‍රස්‌තවාදීනට නිදහසේ හැසිරීමට පෙළපාලි යැමට, අරමුදල් රැස්‌කිරීමට ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍යය ඉඩකඩ ලබා දෙයි.
ත්‍රස්‌තවාදය පණ අදිමින් සිටින විට ඊට මිනී පෙට්‌ටියක්‌ සපයනවා වෙනුවට ඔක්‌සිජන් සිලින්ඩරයක්‌ සැපයීමට උත්සාහ කරයි.

මානව හිමිකම් කඩ කරන්නේ යෑයි ලෝකයේ අතනට මෙතනට හොට දමමින් බෙරිහන් දෙන අතර තෙමේ මානව හිමිකම් සුන්නත් දූලි කරයි. ඇෆ්ගනිස්‌ථානයේ පාකිස්‌තානයේ සිවිල් වැසියන්ට සෘජුවම ප්‍රහාර එල්ල කරයි. (පසුව ඒ ගැන කණගාටුව පළ කරයි) තම සගයා වන ඊශ්‍රායලය ගාසා තීරයේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරන විට එය නොදුටුවාක්‌ මෙන් චීන මහා ප්‍රාකාරයේ පඩිපේළි ගණන් කරයි.

ත්‍රස්‌තවාදය න්‍යායෙන් නොව භාවිතයෙන්ම අවසන් කළ රාජ්‍යයක්‌ පිළිබඳ තම ජනතාවගේ ගෞරවය පුද කරනු වෙනුවට ඊට රවයි. ඇනුම්පද කියයි. ඇස්‌වහ කටවහ දමයි. "අම්මෝ" මූත් ඒක කළානේයි හූල්ලයි.
ඒ කිසිවකිනුත් ඒ කුඩා රාජ්‍යය මර්දනය කළ නොහැකි බව වටහාගත් කල වැඩිය ඒ පැත්තෙ යන්න එපා යෑයි තම ජනතාවට කියයි.

ශ්‍රී ලංකාවේ තවදුරටත් පවතින අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ඇමරිකානු සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අනතුරුදායක යෑයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සංචාරක උපදේශන මාලාවක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයත් එහි නායකයාත් අතුගෑවී ගිය පසුගිය මැයි 18 දාට පෙර කිනම් හෝ දිනයක එබඳු ප්‍රකාශයක්‌ නොකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් මේ නිකුත් කරන ප්‍රකාශය අපට එකවරම ඔක්‌කාරයකුත් සැකයකුත් මතුකරන්නේය.

ඔක්‌කාරය නම් ලෝකයේ කිසිදිනෙක දැකගත නොහැකි කුහකකමක්‌ වෙනුවෙන් උපදින්නකි. සැකය නම් ත්‍රස්‌තවාදය අවසන් කළාට පසු ශ්‍රී ලංකාව තුළ අවදානම් තත්ත්වයක්‌ ඇතැයි ඇමරිකාව තුළ පවත්නා "අමුතු දැනීමය"ත්‍රස්‌තවාදය මුළුමනින්ම පරාජය වූ පසු ත්‍රස්‌තවාදයේ මාමලා, බෑනලා නැන්දලා සහ මස්‌සිනාලා එකතුව වෙනම පෙරමුණක්‌ දැන් ගොඩනඟමින් සිටින බව නම් රහසක්‌ නොවේ.

ජනහද බැඳගත් ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක ලේකම්වරයාත්, ත්‍රිවිධ හමුදාපතිවරුනුත් අපකීර්තියට ලක්‌කෙරෙන ප්‍රකාශ දේශීය සහ විදේශීය වශයෙන් දිගට හරහට නිකුත් කෙරෙමින් පවතින්නේ ඒ නිසාය.
රට මුදාගත් ඒ විශිෂ්ට මිනිසුන් පමණක්‌ නොව ඔවුන් සමග රට වෙනුවෙන් එක පෙළට සිටි දේශපාලනඥයන්, විද්වතුන්, කලාකරුවන් අපකීර්තියට පත් කෙරෙන වැඩපිළිවෙළක්‌ ද දැන් සූදානම් කෙරෙමින් පවතින බව අපට සැලය.

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ජනතාව එබඳු කුමන්ත්‍රණයකට යළිත් ඉඩකඩක්‌ නොතබන බවට අපට සැකයක්‌ නැත.

ඇමරිකා එක්‌සත් ජනපදය මේ සාමකාමී ශ්‍රී ලංකාව දෙස බලමින් ඇමරිකානු සංචාරකයනට අනතුරු අඟවන්නේ අන්න ඒ ජඩ කුමන්ත්‍රණය ගැන නම් ඒ ගැන වඩ වඩාත් සොයා බැලීම ශ්‍රී ලංකා රජයේ වගකීමය.එසේ නැතුව එය ඇමරිකාවේ හුදු කුහකකම පමණක්‌ම නම් ඒ පිළිබඳ ලෝකයටම ඇසෙන්නට සිනාසීම ශ්‍රී ලංකා රජයේ යුතුකමය.
(දිවයින_09/06/30)

පසුවදන_ලංකාව තිස් වසරක යුද්ධයකට මැදිව ඔත්පලව සිටියදී අපේ රටට නොයැන්නැයි විවිධ රටවල ආණ්ඩු අනතුරු ඇඟවූහ. එය අපට ආවාසි සහගත වුව ද සිය රට වැසියා ගැන වගකීමක් ඇති රජයකට එය නොකළ හැක්කකි. සිය කුහක දේශපාලන අරමුණු වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන මෙරට ජඩයෝ අහිනක් ද ඊට උල්පන්දම් දුන්හ. එහෙත් ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ පසු පෙරකී රටවල් ද කළ යුත්තේ සිය අනතුරු ඇඟවීම් ඉවක්කර ගැනීම ය. එහෙත් ඇමරිකාව සිය කුහකවත නැවත ප්‍රදර්ශනය කරමින් එහි ප්‍රතිවිරුද්ධ දේ කර තිබේ. අපි මේ මිතුරු වෙසින් සිටින හතුරා ගැන අවදියෙන් සිටිය යුතුය. විශේෂයෙන් අපේ රටේ විරුද්ධ පක්ෂ නායකතුමා මිතුරන් යැයි කියන්නේ මෙවැනි රටේ හතුරන්ට බව අමකත නොකළ යුතුය.

ඒ අතර ඇමරිකාවේ පදිංචියට එන්නැයි බේබි 81 නම් සුනාමියෙන් දිවි ගලවාගත් දරුවාට කරන ලද ආරාධනය ජෙයරාජා යුවළ ප්‍රතික්ෂේප කරතිබේ. සිය මව්බිම සහ සහෝදර ජනතාව ගැන මේ ද්‍රවිඩ යුවළ තැබූ විශ්වාසයට අපි ආචාර කරමු. ඉන් පැහැදිළි වන ප්‍රමුඛ සත්‍ය නම් මේ රටේ සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව සෙසු ජාතීන් සමග ජීවත්වීමට කැමති බවය. ෆෙඩරල්, බලය බෙදීම ආදී සියල්ල ඉහළ පැලැන්තියේ ටයි කෝට් මහත්වරු ඉල්ලා සිටින දේ බවය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !