Wednesday, July 1, 2009

දහතුනට තදියම

ශ්‍රී ලංකාවේ ජනජීවිතයත්, ආර්ථිකයත් තව බොහෝ දේත් වසර 30 ක්‌ මුළුල්ලේ විනාශ කළ අති බිහිසුණු ත්‍රස්‌තවාදයකින් මුදාගත් විශිෂ්ට මිනිසුන්ගේ ඊළඟ පියවර කුමක්‌ විය යුතුද? ඔවුන් නොපමාව රටේ ත්‍රස්‌තවාදය බිහිවීමට හේතු සාධක වූ කරුණු සොයා යායුතු යෑයි කෙනකු පවසනු ඇත.ඔවුන් නොපමාව තම දේශපාලන බලය තහවුරුකොට ගැනීම අරභයා මැතිවරණවලට යායුතු යෑයි තවත් කෙනකු පවසනු ඇත.
ඔවුන් නොපමාව 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළයුතු යෑයි තවත් කෙනකුගේ මතය විය හැක.

යුද්ධයෙන් අනාථ වූවන් සනාථ කිරීම, ඔවුන් තම පදිංචි ප්‍රදේශවල යළිත් පදිංචි කරවීම, ඔවුනට අභිමානවත් ලෙස ජීවත් වීම පිණිස එම ප්‍රදේශ කඩිනම් සංවර්ධන ක්‍රියාදාමයකට නතු කිරීම, කොටින්ම එම ප්‍රදේශ ඉක්‌මනින්ම දියුණු මනුස්‌ස වාසයන් බවට පත් කිරීම යන කාරණා මෙහිදී කිසිවකුට අමතක වූ ඒවා යෑයි අපි නොකියමු.එහෙත්, රජයේත් විපක්‌ෂයේත් අනෙක්‌ සියල්ලන්ගේත් එක පැහැර අවධානයට යොමු විය යුතු ඒ අතිශය වැදගත් කාරණා කාරණා වෙනුවට දැන් මුළු රටේම ගිගුම් දෙන්නේ වෙනත් ඝෝෂාවකි.අප මුලින්ම සඳහන් කළ කාරණා ත්‍රිත්වය ඒ ඝෝෂාව තුළ වැඩියෙන්ම ඇසෙයි. ඉනුත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ඝෝෂාව ඊටත් වඩා වැඩිපුර ඇසෙයි.

13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යනු මීට කලකට ඉහත මහා බ්‍රහ්මයා විසින් අපට ගෙනැවිත් දෙන ලද සහ අපගේ පව්කාරකමට අප විසින් හරිහැටි වන්දනාමාන නොකරන ලද පූජා භාණ්‌ඩයක්‌ නොවේ.සමහරු එසේ සිතනවා පමණක්‌ නොව අපට මේ දුක්‌බර කලදසාවක්‌ උදාවී ඇත්තේ එය නොසලකා හරින ලද නිසා යෑයි වශයෙන් කම්පාවටද පත්වෙති.

1987 ජූනි 29 දින අත්සන් තබන ලද ඉන්දු - ලංකා ගිවිසුමේ අතිජාත පුත්‍රයා වශයෙන් බිහිවූ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය එදා ද ශ්‍රී ලංකා ජන සමාජයේ අනෙකුත් සියලුම ඝෝෂාවන් පරයා නැගී සිටි මහා ඝෝෂාව විය. සමාජයේ සියලු විරෝධයන් පරයා නැගී සිටි මහා විරෝධය විය.

මේ විරෝධය ජනතාවගේ මෝඩකම වශයෙන් සැලකුවෝ එදා ද සිටියහ. අද ද සිටින්නෝය. තරමක්‌ සුපරීක්‌ෂකව බලන කල පෙනෙන්නේ පක්‌ෂ මාරුකොට සිටියත් පිල් මාරුකොට සිටියත් ඇඳුම් මාරුකොට සිටියත් මේ බොහෝ අය වූ කලී ඒ උන්දලාම බවය.ත්‍රස්‌තවාදය කිසි කලෙකත් පරාජය කළ නොහැක්‌කක්‌ යෑයි සමාජයට දේශනා කළ මේ මහත්වරුන්ගේ සදා විශ්වාසය වූයේ බලය බෙදීම ලෝකයේ තිබෙන සියලුම ප්‍රශ්නවලට විසඳුම බවය.

බලය බෙදීම යන්න යථාර්ථයක්‌ මුත් එය කවර දේශීය සමාජ, ඓතිහාසික, දේශපාලනික සංදර්භයක්‌ තුළ සාකච්ඡාවට ගනු ලැබිය යුත්තක්‌ද යන්න නොසලකා ලෝකයේ පවත්නා ආකෘතීන් දෙස බලමින් පමණක්‌ සිත හදාගැනීම ඔවුන්ගේ සිරිත වූ බව පෙනේ. සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ජනතාව විසින් සිදුකරනු ලබන අමනකම්වල ප්‍රතිඵලවලට වඩා දේශපාලනඥයන් විසින් සිදුකරනු ලබන අමනකම්වල ප්‍රතිඵල හැමවිටම භයානකය.ඒ බව තේරුම් ගැනීමට පසුගිය ත්‍රස්‌තවාදයට එරෙහි යුද්ධය තුළම අනන්තවත් උදාහරණ තිබේ.

ත්‍රස්‌තවාදීනට ආයුධවලින්ද, මුදලින්ද, හොඳ හිතින්ද, තම මෝඩ ප්‍රතිපත්තිවලින්ද සංග්‍රහ කළ අපගේ ඇතැම් දේශපාලනඥයන් නිසාම ත්‍රස්‌තවාදීන් මේ සා "උස මහත් පිරිසක්‌" වූවා මිස, නොඑසේව ඔවුන් නිවට බලු නකුටන් පිරිසක්‌ බව තේරුම් ගැනීමට ත්‍රස්‌තවාදීන්ගේ අවසානය පිළිබඳ ශාස්‌ත්‍රීය පරීක්‌ෂණයක්‌ සිදු කළයුතු නැත.

රටේත්, ජනතාවගේත් වාසනාවට ඒ අමන සම්ප්‍රදායෙන් ඉවතට පිනූ නායකයකුත් ඔහුට ඒ සඳහා චින්තනමය ශක්‌තිය සැපයූ සුළු දේශපාලනඥයන් පිරිසකුත් අවංක සහ කාර්ය ශූර නිලධාරීන් සුළුතරයකුත් නොවන්නට අපට මේ මොහොත වනවිට කතා කරන්නට සිදුවන්නේ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳ නොව ඊළාම් රාජ්‍යයේ දේශසීමා නිර්ණය කොටගැනීම පිළිබඳ මූසල සාකච්ඡාවලටය.

ඒ තතු වෙනස්‌ කළ යෝධ ක්‍රියාමාර්ගයට යෝධ නායකයාට ශක්‌තිය වූයේ ඔහු මුළුමනින්ම විශ්වාස කළ රටේ ජනතාවය. ඒ ජනතාව අසාධාරණ මිනිසුන් නොවන බව අපගේ විශ්වාසයයි. ජනාධිපතිවරයාට ඒ ජනතාව මත විශ්වාසය තබා කටයුතු කිරීමට තවදුරටත් කිසිදු බාධාවක්‌ නැත.

ව්‍යවස්‌ථා සංශෝධන තදියම්කාරයෝ උත්සාහ කරන්නේ ජනාධිපතිවරයාත් ඔහුගේ ජනතාවත් අතර පවත්නා මේ ලෙන්ගතුකම සහ විශ්වාසය බිඳින්නටය.ඇතැම් බලතෘෂ්ණාවෙන් පෙළෙන්නෝ ඒ ක්‍රියාවලිය දෙස කෙළ පෙරමින් බලා සිටිති. සුපුරුදු සන්සුන් ගමනින්ද සෝපාහාසාත්මක මඳ සිනාවෙන්ද යුතුව තදියම් බස්‌වලට නොරැවටී ඔහොම යමු යෑයි අපි ජනාධිපතිතුමාට කියමු.

(දිවයින_09/07/02)

පසුවදන_කැලේ මාරු වුණත් කොටියගේ පුල්ලි මාරු නොවේ යනු සිංහල ගැමියාට සුපුරුදු උපහැරණයකි. දැයේ ඉරණම තීරණය කළ 2005 ජනාධිපතිවරණයේදී ඊනියා බලය බේදීම වෙනුවෙන් පෙනී සිටි පිරිසක් අනතුරුව මේ ආණ්ඩුවට රිංගා ගත්හ. මේ පිරිස සමග එක්වූ ගල් යුගයේ 4/1මාක්ස්වාදී පිරිසක් නැවත රට බෙදුම්වාදය කරා ගෙන යාමට දතකති. ඒ අප මත බලෙන් පැටවූ 13 වන ව්‍යස්ථා සංශෝධනය හරහා ය. 2005 ජනවරම, 13 වන ව්‍යස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොව එය පරාජය කිරීමට ලද ජනවරමකි. එහෙයින් කැලේ මාරු කළ කොටින්ට මේ ආණ්ඩු පීලිපන්නවා ගැනීමට ඉඩ නොදිය යුතුය. ඉඩම් හා පොලිස් බලතල පලාත් සභාවලට දීමෙන් රට අගාධයට ඇද දැමීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුය. එහි කිසිදු බේදයක් නැත. දකුණේ ශාන් විජයලාල්ට මෙන් ම නැගෙනහිර ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට ද ඒ බලතල නොදිය යුතය. දෙනු තබා එසේ සිතන්නවත් අවශ්‍ය නැත. ඒ බලතල මධ්‍යම ආණ්ඩුව යටතේ තබාගත යුතුය. ඒ ඒකීය රටේ හෙට දවසේ ඔබාමා කෙනෙකු බිහිවනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !