Sunday, June 14, 2009

සංස්කෘත සහ සංස්කෘතිය

මේ, රට නැංවීම යළි අරඹන මොහොතයි. ජාතිය ගොඩනැඟීම නැවතත් පටන් ගන්නා ගෝලීයකරණය සහ විශ්ව ගම්මාන සංකල්පය ඔස්සේ දියුණු ලෝකයට යන අතරම අපගේ සංස්කෘතික පුරුෂාර්ථයන් නැවතත් මෙනෙහි කර දෙන යුගයයි. සංස්කෘත සහ සංස්කෘතික යන දෙවදනෙහි වෙනස නොදත් විද්වතුන් ළමයින්ට අකුරු උගන්වන යුගයකි මේ. 1970 න් පසු සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සමගි පෙරමුණ ආණ්ඩුව මගින් හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවු ඒ විද්වත් පරපුර තමන්ට කිසිදු ලෙසකින්වත් සම්බන්ධයක් නැති දේශපාලනයක් නිසා මොට වු උගත්තු ය.

කොළඹ කෞතුකාගාරයේ තිබු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉපැරණි පින්තුරයත් එතුමාගේ ප්‍රධාන බිසව වු වෙන්කතරංග ජම්මාල් දේවියගේ ඉපැරණි පින්තුරයත් ඉවත් කොට ඒ ඉඩකඩ පෞද්ගලික ආයතනයක දැන්වීම් දෙකක් සඳහා දී ඇති බව අපට දැනගන්නට ලැබෙන්නේ මේ අතර ය. මේ බව දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා සහ ලකෂමන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීමෙන් ඊට පුළුල් ප්‍රචාරයක් ද ලැබිණි. සිංහලේ අන්තිම සිංහල රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාය. ජාතිය වශයෙන් ගත් කල දෙමළ මුලයක් ඇත්තේ වුවද (එය එතුමාගේ වරදක් නොවේ.) එතුමා බුද්ධාගම වැළඳ ගැනීමෙන් සිංහල ජාතිය සමග බද්ධ වී සිංහලයකු බවට පත් විය. පසු කාලයේදී මත් පැන්වලටත් කේළාම් අසා සාහසික ක්‍රියාවලටත් ඇදී ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පිරිහීමට පත්ව සිංහල රාජාවලිය නිමාවට පත් කිරීමට ඉතා කරුමක්කාර ලෙස දායක විය. ඒ කාලයේ තත්ත්වය කෙසේ ද කියතොත් ඉංග්‍රිසීන්ට රට පාවා දීම සඳහා සකස් කෙරුණ උඩරට ගිවිසුමට ඇතැම් උඩරට ප්‍රභුවරුන් අත්සන් කර තිබුණේ දෙමළෙනි. මෙය දෙමළ භාෂාවෙහි වරදක් නොව සිංහල සංස්කෘතියට උදාවෙමින් තිබු භයානක ඉරණමේ පෙර මඟ සලකුණකි.

කෙසේ වුවද ශ්‍රී දළදා මාළිගයට, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහාසනයට, ඔටුන්නට, කඩුවට රාජාභරණවලට, එතුමාගේ සහ බිසවගේ පින්තුරවලට කොළඹ කෞතුකාගාරය තුළ වැදගත් තැනක් හිමිව තිබිණි. කෞතුකාගාරයේ වහළයෙහි එල්ලා ඇති විශාල හාල්මැස්සාගේ ඇටසැකිල්ලට (සමා වන්න එය තල්මසකුගේ ඇටසැකිල්ලකි.) වඩා ඉමහත් ගෞරවනීය තැනක් පෙර කී කෞතුක භාණ්ඩවලට හිමි වන්නේ ඒ භාණ්ඩ යළි කිසිදාකත් නැවතත් ඇති නොවන නිසාය. කොළඹ නාරා ආයතනයට (ජාතික ජලජ සම්පත් ඒජන්සිය) කී සැණින් තල්මස් ඇටසැකිල්ලක් සොයාගත හැකි නිසාත් ය. එසේ තිබියදී රාජසිංහ රජ යුවළගේ පින්තුර ගලවා එතැන වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන්නට අවසර දෙන ලද්දේ කවරෙක්ද? සමහර විට මේ ගැන උත්තරයක් කෞතුකාගාර දෙපාර්තමේන්තුවට තිබෙන්නට පුළුවන. ඒ දෙපාර්තමේන්තුව බංකොලොත් ය. කෞතුකාගාරයේ බොහෝ තැන්වල වහල කැඩී ඇති අතර බිත්තිවල දිය සෙවල බැඳී ඇත. ඒ කරදරවලින් ගොඩ එන්නටත් වහළය දිරා ගොස් තම හිස මත කඩාවැටීම නතර කර ගැනීමටත් පිළිසකර කටයුතු වෙනුවෙන් ගනුදෙනුවක් සොයා ගැනීමට කෞතුකාගාර අධිකාරිය සද්භාවයෙන් යුතුව මෙය කරන්නට ඇති. එහෙත් මෙය නරක පුර්වාදර්ශයකි. ඉදිරියේදී ඕල්කොටි ප්‍රතිමාව උගුල්ලා එතැන දැන්වීම් කණුවක් සිටුවන්නටත්, පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති ඩී. එස්. සේනානායක ප්‍රතිමාව උගුල්ලා එතැන විශාල බියර් බෝතලයක් සිටුවා බියර්වලට ප්‍රචාරයක් ලබා දෙන්නටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් විදේශ සංචාරයෙහි යෙදෙන විට වෙළෙඳ දැන්වීම් මුද්‍රණය කළ ටී ෂර්ටි උන්නැහේලාට ඇන්දවීමටත් ව්‍යාපාරිකයන්ට කල්පනා වනු ඇති. වෙළෙඳ දැන්වීම් කලාවට හා ප්‍රචාරණ ව්‍යාපාරයට අනුව මෙය නිවැරදිය. එහෙත් සංස්කෘතියට අනුව වැරදි ය. සංස්කෘත සහ සංස්කෘතිය යන දෙවදනෙහි වෙනස නොදන්නා අයට ද නිවැරදි ය.

(දිවයින_09/06/15)

පසුවදන_කෞතුකාගාරය ලබාදී ඇත්තේ අන්තිම නරක පූර්වාදර්ශයකි. මෙසේ ගියහොත් කෞතුකාගාරය වෙළඳ දැන්වීම්වලින් පිරී යනු ඇත. එහි කෞතුක භාණ්ඩ හැර අන් සියල්ල ප්‍රදර්ශනයට තැබෙනු ඇත. කෞතුකාගාරයට රජයෙන් ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත්නම් එහි වියදම් පියවා ගැනීමට සහ ප්‍රවර්ධන කටයුතු සඳහා යම් යම් ආදායම් මාර්ගවලට පිවිසීමේ කිසිදු වරදක් නැත. එහෙත් ඒ කිසිවක් කෞතුකාගාරයේ ප්‍රෞඩත්වයට අබමල් රේණුවක හෝ හානියක් නොවන මාර්ග විය යුතු ය. අපේ ශිෂ්ටාචාරයේ ගමන් මග අනාගත පරපුරට දැකබලා ගැනීමට ඇති මේ මහා උරුමය සුරැකීම අප සැමගේ පරම යුතුකම ද වගකීම ද වන්නේ ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !