Tuesday, June 16, 2009

යාල්පාන වෛපවමාලය සහ උරචක්‍රමාලය

වසර දෙසියයකට වඩා පැරණි බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, රිදී කරඬු, සළඹ ඇතුළු පුරා වස්තු 74 ක් ඇමරිකාවට රුගෙන යෑමට කරන ලද සැලසුමක් කටුනායක ගුවන් තොටුපළේ රේගු ආරකෂකයන් විසින් ව්‍යර්ථ කරන ලද අන්දම ඊයේ (16 දා) පුවත්පත් මගින් හෙළි කෙරිණ. මේ සියලු භාණ්ඩ රාජසන්තක කර විත්තිකාර දෙපළට රුපියල් පනස් දහස බැගින් දඩ ගැසීමෙන් "අපරාධය සහ දඬුවම" යන දෙකම ඉතා පහසුවෙන් නිමාවට පත්විය. මේ ක්‍රියාදාමය පිළිබඳ සරල විග්‍රහය මෙසේ ය:

මේ භාණ්ඩ අමුතුවෙන් රාජසන්තක කළ යුතු නැත. ඒවා කොහොමටත් ආණ්ඩුවට අයත් නැතහොත් රාජසන්තක දේවල්ය.

ඊළඟට මේ තරම් භයානක කටයුත්තකට අත ගැසීමෙන් පසුත් ඩොලර් 500 බැගින් දඩ ගෙවා (රු. 50000 බැගින්) ආපසු ඇමරිකාව බලා යෑමට හැකිවීම ගැන අපරාධකාර යුවළ මහත් සේ සතුටට පත්වන්නට ඇති බවට ද සැකයක් නැත. ඩොලර් 500 ක් යනු ලංකාවේ තරු පහේ හෝටලයක දෙදිනක කාමර කුලියටත් අඩු ය. මේ සුළු දඩය ගැන කියමින් ඔවුන් නිව්යෝර්ක් නුවර හෝ චිකාගෝවේ පුරාවස්තු ජාවාරම්කාරයන් පිරිවරාගෙන බඩ අල්ලාගෙන සිනාසෙනු ඇති

මෙය රේගුවේ වරදක් නොව ශ්‍රී ලංකාවේ නීතිවල එන මදිකමය. කුඩා උදාහරණයක් ගනිමු. වාහන එලවීමේදී ප්‍රධාන පාරට "රිවර්ස්" කිරීම ප්‍රවාහන නීති ආඥා පනතට අනුව බරපතල වරදකි. හැබැයි, එම වරදට දඩය රුපියල් 200 කි. එනම් ඩොලර් එකහමාරකුත් තව චුටිටකි.

ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට වසර 100 කට වඩා පැරණි සෑම ඉදිකිරීමක්ම පුරාවස්තුවකි. මේ නිසා මහා මාර්ග පුළුල් කිරීමේ කටයුතුවලදී පවා ඇතැම් තැන්වල වසර 100 කට වඩා පැරණි නිවාස තිබීම නිසා එය මගහැරීමට පාර ගේ වටා යවන අවස්ථා ද තිබේ. ඒ අතර සමහර තැන්වල සඳකඩ පහන් කඩා බිත්තිවල අඩු පාඩු පුරවන අවස්ථා ද තිබේ. තවත් කුඩා උදාහරණයක් කියමු. අනුරාධපුරයේ රන් මසු උයනේ ඇති පෞරාණික ගඩොල් ඒ අවට ගම්වල සමහරු ලිප්ගල් හැටියට පාවිච්චි කරති. වන්දනා නඩ ද ඉවුම් පිහුම් සඳහා එබඳු දේ කරන අවස්ථා වේ.

ජාතියක් ගොඩනගන්නේ සිමෙන්ති එක් පංගුවකට වැලි පංගු හතක් මිශ්‍ර කර සාදන බදාම බ්ලොක් ගල්වල තවරා ඉදිකරන ගොඩනැඟිලිවලින් පමණක් නොවේ. ඒ සඳහා රටෙි සංස්කෘතිය සාරධර්ම හා ඉතිහාසය ද උවමනා ය. ඉතිහාසයේ උවමනාව කොතරම් ද යත් අලුත පහළ වු සමහර රටවල් තමන්ගේ ඉතිහාසය මෙතරම් පැරණි බව කියමින් අමුතුවෙන් ඉතිහාස පොත් පවා ලියවති. යාපනේ සිටි දෙමළ ජනයාගෙන් වැඩ ගැනීමට ඇති හොඳම ක්‍රමය උතුරු පළාත ඔවුනට අයිති බව ඒත්තු ගැන්වීම බව තේරුම් ගත් යාපා පටුනේ ලන්දේසි ආණ්ඩුකාරයා වු ජාන් මක්කාර් 1736 දී මයිල්වාගනම් පුලවර් නමැත්තා ලවා යාල්පාන වෛපවමාලය නමැති ඉතිහාස පොතක් ලියැවීය. එය ලංකාවේ උතුරු පළාත දෙමළ ජනයාගේ නිජබිම බව කියැවෙන පල් බොරුවලින් එය පුරවා තිබිණ.

දෙමළ ජනයාගේ නිජබිම උතුර පමණක් නොවේ. මුළු ලංකාවම දෙමළ ජනයාගේ නිජබිම ය. සිංහලයා පිළිබඳ සත්‍යය ද එයයි. උතුර නැගෙනහිර සිංහලයාට ද උරුමය. මේ පොළොව හැම ජාතියකටම උරුමය. ප්‍රභාකරන්ට මෙන්ම ඇතැම් මුස්ලිම් නායකයන්ට ද නිජබිම පිළිබඳ අසනීපයක් තිබුණි. ප්‍රභාකරන්ගේ ඒ රුදාවට ලකෂ ගණනින් ජීවිත ද පුදා තිබේ. ඔහුට ද මරණය හිමි විය.

කෙසේ හෝ උතුරු නැගෙනහිර ඓතිහාසික උරුමයට හා පුරාවස්තුවලට විනාශයක් සිදුවුයේ තිස් වසරක යුද්ධයෙන් පමණක් නොවන බව ද අප සිහි කළ යුතු ය. දැන් ඒ උරුමය ද ජාතික උරුමයක් ලෙස සුරුකීමට කාලයයි. එහෙත් ශ්‍රී වික්‍රම රජුගේ අගය නොදන්නා සංස්කෘතික වීරයන්ට ඒවා ගැන වගක් නැත.

දැන් රට ගොඩනැගීමේ අභියෝගයට රජය උරදී සිටියි. රටක් ගොඩනැගීම සංස්කෘතික උරුමයන් සුරුකීමක් ද වේ. ඒ උරුමය රටින් රුගෙන යන හොරුන්ට දඬුවම් දිය යුත්තේ එහෙයිනි. රට වෙනුවෙන් දිවි දෙන රණවිරුවන්ට ද නිගා දෙමින් නිල ඇඳුම භාවිත කරමින් නිධන් හොරකමේ යන හමුදා හා පොලිස් නිලධාරීන් ගැන ද වාර්තා තිබේ. ඒවාට ඇතැම් හාමුදුරුවරු ද උදව් දෙතියි කියනු ඇසේ.

කෙසේ හෝ පුරාවස්තු සම්බන්ධයෙන් නීතිය ඉතාම දුබල බව පෙනේ. සංවර්ධන කටයුතුවලදී බොහෝ විට ඓතිහාසික ගම්බිම්වලින් ලැබෙන පුරාවස්තුවලට සිදුවන්නේ කුමක්දැයි වාර්තා නොවේ. ඒවා යම් යම් අයගේ පෙටිටගම්වල ද ආරකෂා කෙරේ. එහෙත් එය බරපතල වරදකි.

කොහොමටත් තෘෂ්ණාවෙන් පිරී තිබෙන මිනිස් සිත රන්, රිදී, මුතු මැණික්වලට ලොල් වේ. නිදන් කොල්ල කෑම ඉතා දියුණු ව්‍යාපෘතියකි. එහෙත් මේ රට නැගීමේදී එබඳු දේ වැළැක්වීමට නීති රීති මෙන්ම ජාතික හැඟීමක් ද වුවමනාය. එසේ නැතුව පෞරාණික අගයකින් යුතු ඕනෑම වස්තුවක් වැරදි අතකට ගියහොත් එය උරචක්‍රමාලයක් වීමට ද ඉඩ තිබේ.

(දිවයින_09/06/17)

පසුවදන_වසර 200ට එහා නොගිය ඉතිහාසයක් ඇති රටවල් සෙසු දියුණු ශිෂ්ටාචාර තිබූ රටවල පුරාවස්තු මුදලට ගෙන ඉතිහාසය ගොඩ නැගීමට උත්සහ කරති. අපි අපේ ඉතිහාසය නොතකා හරිමින් ද පුරා වස්තු සොරකම් කරමින් සහ විකුණමින් ද දීන ජීවිතයක් ගත කරමු. මේ රටේ පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කිරීමේ අනිටු ඵල නොවෙද මේ?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !