Thursday, June 18, 2009

ගවයන් ලෙස පෙනී සිටීමෙන් වළකින්න!

සූකර උණ නිසා සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය එළිපිටම ගුටි ඇන ගන්නට යන ආකාරය මේ දිනවලදී දැකිය හැකි ය. ශ්‍රී ලංකාවට ඇතුළු වන උණ රෝගීන් හඳුනා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ සවිකර ඇති ස්කෑන් යන්ත්‍ර ක්‍රියා විරහිත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය චෝදනා කරයි. සූකර උණ වෛරසය ශරීරගත වී දින 05 ක් පමණ ගතවනතුරු උණ හට නො ගන්නා නිසා ස්කෑන් යන්ත්‍ර වැඩ කළත් පලක් නැති බව කියමින් සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන්ත්‍රයේ පැත්ත ගනී. ඒ අතර විද්‍යා හා තාකෂණ ඇමැති තිස්ස විතාරණ මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශය භාර දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි. මේ රටේ ත්‍රස්තවාදී අර්බුදයේ මුල සොයා එයට දේශපාලන විසඳුමක් ලබාදීමේ යෝජනාවලිය සැකසීමේ රාජකාරිය තිස්ස විතාරණ මහතාට භාරදී ඇති මේ මොහොතේදී ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශය භාරදුන්නොත් දේශපාලන විසඳුමට ද සූකර උණ වැළඳීමට පුළුවන. එබැවින් එවැනි යෝජනා නිර්දේශ නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් ඉල්ලමු. මේ මොහොතේදී අපට ඉතා පැහැදිලි ලෙස පෙනී යන කාරණයක් තිබේ. එනම්, සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතර කෙතරම් විශාල අර්බුදයක් තිබෙන්නේ ද යන්න ය.

සූකර උණ සහ ඩෙංගු උණ ප්‍රයෝජනයට ගනිමින් වෛද්‍ය සංගමය සෞඛ්‍ය ඇමැතිට පහර දෙන බව පෙනේ. මේ වෙලාවේදී වැදගත් වන්නේ මේ දෙගොල්ල ගුටි ඇන ගැනීම නොව ඉස්මතු වී පවත්නා වසංගත තත්ත්වයට ප්‍රතිකර්ම යෙදීම ය.

එංගලන්තයේ ජීවත් වු තෝමස් මැල්තස් නමැති දේවගැතිතුමා (1776:1834) ජනගහනය පිළිබඳ නියමයක් ඉදිරිපත් කර තිබේ. එනම් පාලනය නොකරන ලද ජනගහනය සෑම වසර 25 කට වරක් ම දෙගුණ වීමට නියමිත බව ය. එහෙත් එය එසේ නොවන්නේ වසංගත රෝග, යුද්ධ, ස්වභාවික විපත් යනාදිය නිසා ජනගහනය ඉබේටම විනාශ වී පාලනය වීමක් හටගන්නා නිසා බව ද මැල්තස් කියයි. අපි කාලයෙන් කාලයට මේ බව අත්දැක ඇත්තෙමු. ක්‍රි. පු. තුන්සිය ගණන්වලදී ග්‍රීසියේ ඇතැන්ස් නුවර හටගත් වසූරිය වසංගතයෙන් පසූ එකී පෞර රාජ්‍යය තුළ ඉතිරි වුයේ එතෙක් පැවැති ජනගහනයෙන් තුනෙන් එකකි. එවිට ලෙඩ රෝග සහ අදටත් සොයා ගැනීමට බැරි වු හේතු නිසා ශිෂ්ටාචාර පිටින් වඳවී ගිය අවස්ථා ලෝක ඉතිහාසයේ වෙයි. පළමුවන ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය යනාදියෙන් හරියටම ගණනය කළ නොහැකි තරම් මිලියන ගණනක් ජනයා මිය ගියහ. ඉන් පසූ හටගත් යුද්ධ, ගෝත්‍රික ගැටුම් යනාදියෙන් පසූගිය දශක කිහිපය තුළ තවත් විශාල පිරිසක් මිය ගියහ. 88:89:90 භීෂණයෙන් මේ රටේ තරුණයෝ 50000 ක් මළහ. ඒ අතර පසූගිය වසර 30 තුළ ලේ පිපාසිත ප්‍රභාකරන් විසින් මරාගෙන කන ලද ජනගහනය ලකෂයකට කිටිටු ය. මේ නිසා තෝමස් මැල්තන් දේවගැතිතුමාගේ කතාව ඇත්තක් බවට පත්ව තිබේ. වසර 40 කට පසූ මුල් වතාවට ලෝකය වසංගත රෝග තත්ත්වයකට මුහුණපා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසූගියදා නිවේදනය කළේය.

එහෙත් ලෝකය මෙතරම් දියුණු වී ඇති යුගයක මැල්තස්ගේ නියමය තවදුරටත් සත්‍යයක් බවට පත්වීමට ඉඩ දිය යුතු නැත. ජනගහනය පාලනය කිරීම තිබිය යුත්තේ අඹුසැමියන් අත ය. එයට සහය සැපයීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමැති ආයතනයක් ලංකාවේ තිබේ. ලොව පුරා ද එවැනි ආයතන ද ඇත. එසේ තිබියදී ජනගහන පාලනය වසංගත රෝගවලට, ඩෙංගු මදුරුවාට, සූකර උණට භාරදීම විශාල දුර්වලකමෙකි. මේ නිසා මේ අවදානම් අවස්ථාවේදී සෞඛ්‍ය ඇමැතිතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අං පටලවා ගැනීමෙන් පෙනී යන්නේ ඒ දෙපාර්ශ්වයම අං ඇති, කරත්ත අදින සත්ත්ව කොටසට අයත් බව ය. ගවයන් ලෙස පෙනී සිටීමෙන් වළකින ලෙස මේ සියලු දෙනාගෙන් ඉල්ලමු.
(දිවයින_09/06/19)

පසුවදන_රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ඉල්ලීම මීට පෙර කළ යුතු ව තිබිණි. එනම් සුදුස්සාට සුදුසු තැන ලැබීමේ හැකියාව තිබිණි. නාමික වාමාංශික පක්ෂයක තිස්ස විතාරණ තුමාට දේශපාලන විසඳුම් සැකසීමට දීමෙන් දැනටමත් ඊට සූකර උණ හතකට වඩා බරපතළ ව්‍යාධි වැළඳි තිබේ. මේ ව්‍යාධිය රටට බෝ වනු වළක්වන්නට සියලු දේශප්‍රේමීන් එක්විය යුතු ය. සුදුස්සාට සුදුසු තැන නොදීම නිසා රටේ ඒකීයත්වය දිය වීමේ අවදානමක් අද ඇතිව තිබේ. එහෙයින් රට බේරාගැනීමට මේ බෙදුම්වාදී ෆෙඩරල් විසඳුම් කමිටුව විසුරුවා හැරීමට රජයට බල කළ යුතු ය. බෙදිය යුත්තේ බලය නොව පරිපාලනයයි. විමධ්‍යගත කළ යුත්තේ බලය නොව සංවර්ධනයයි.

2 comments:

නුවන්සි said...

ඇත්ත තෙරෙන විට සියල්ල සිදුවී හමාරය. වසංගත රොග මෙන්ම ජාතික ආරක්ෂාවත් එසෙමය, ඇහැට නොපෙනෙන විෂබිජත්, ඇහැට පෙනෙන විෂබිජත් තෙරුම් ගැනිමට අපිට තව කොපමන නම් කලක් යාවිද?

vimasuma said...

ස්කන් යන්ත්‍ර වෑඩ නොකරනව යයි කිම සම්පුර්න බොරුවක්. එවා හොඩට වෑඩ.

 
සිය රට දේ සිරි සැප දේ !