Wednesday, January 14, 2009

මෙනන් ආ යුත්තේ අපගේ යහපත වෙනුවෙනි

අපගේ ලොකු අයියාගේ බොහෝ පුත්‍රයන් අතරින් කෙනකු අද මෙහි පැමිණෙයි. අපගේ ලොකු අයියා ඉන්දියාව වන අතර ඔහුගේ බොහෝ පුත්‍රයන් අතුරින් අද මෙහි එන අයගේ නම ශිව ෂංකර් මෙනන් ය. මෙතුමා දැනට ඉන්දියාවේ විදේශ ලේකම් ලෙස රුකියාව කරන අතර ඊට පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ලෙස කටයුතු කළේ ය. ඊට අමතරව ඔහු පාකිස්තානය, චීනය, ඊශ්‍රායලය යන රටවල ඉන්දියානු මහ කොමසාරිස් ලෙස ද කටයුතු කර තිබේ. කලෙකදී ඉන්දියානු පරමාණු බලශක්ති අධිකාරියේ උපදේශකවරයා වුයේ ද ඔහු ය. ඔහුගේ සීයා ඉන්දියාවේ පළමුවන විදේශ ලේකම් ය. ඔහුගේ මාමා චීනයේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ය. ඔහු පිළිබඳව ඇති වැදගත් ම කතාව මෙසේ ය: 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ජ.වි.පෙ. හා දේශප්‍රේමී කොටස් ඊට එරෙහිව පෙළපාලි ගියහ. එවිට ජේ. ආර්. ජයවර්ධන එම පෙළපාලි මර්දනය කළේ ය. මෙවිට මෙනන් මහතාගේ පිළිගැනීම වුයේ ජ.වි.පෙ. පෙළපාලි සිවිල් අයිතියක් සේ සලකා, මර්දනය කිරීමෙන් වැළකී සිටිය යුතු බව ය.

මේ සා වැදගත් මනුෂ්‍යයකු මෙබඳු තීරණාත්මක අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඇයි? සාමාන්‍ය මිනිසුන් අතර පැතිර යන කට කතාව වන්නේ උතුරේයුද්ධය නැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරනු සඳහා ඔහු මෙහි එන බව ය. පසුගිය දිනවල ඉන්දියානු අගමැති හමු වු තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි වන්නි මෙහෙයුම් නවත්වන ලෙසට ශ්‍රී ලංකාවට බල කරන ලෙස ඉල්ලා සිටියේ ය. කරුණානිධි මෙවැනි බලකිරීමක් කළේ ඇයි? එය දාම ක්‍රියාවලියකි. කරුණානිධිගේ ප්‍රාන්ත ආණ්ඩු සභාව තුළ ද විපකෂයක් තිබේ. කරුණානිධි අමාරුවේ දැමීම පිණිස හැකි තරම් ඔහුට බලපෑම් කිරීම එම විපකෂයේ වගකීම ය. ඔවුහු එය අකුරට ඉටු කරති. එවිට තම ආණ්ඩුව කඩා වැටේය යනුවෙන් භීතියට පත්වන කරුණානිධි කළු කණ්නාඩි දෙකක් පැළඳගෙන සළුවත් කරට ගෙන නවදිල්ලියට ගොස් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන්නට පටන් ගනී. එවිට මධ්‍යම ආණ්ඩුව නිහඬව සිටියොත් පාර්ලිමේන්තුවේ විපකෂය මධ්‍යම ආණ්ඩුවට ලෙඩ දැමීමට පටන් ගනී. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව කුමක් හෝ කළ යුතු ය. මන්මෝහන් සිං මහතා යුද්ධයට විරුද්ධව කෑ ගැසිය යුතුම ය. කරුණානිධි මහතා සළුව කරට ගෙන නැටිය යුතුම ය. ඉන්දීය විදේශ ලේකම්, විදේශ ඇමැති, ජාතික ආරකෂක උපදේශක වැනි තනතුරු දරන අය මෙහි පැමිණිය යුතුම ය.

වැදගත් ම කාරණය වන්නේ මේ සියලු කාරණා අතර ශ්‍රී ලංකාවේ යුද්ධය නො නැවතීම ය. එය දිගටම පවත්වාගෙන යෑමට මේ රටේ සේනාධිනායකයාටත් හමුදාපතිවරුන්ටත්, ආරකෂක ලේකම්ටත්, සොල්දාදුවන්ටත් ඇති චිත්ත ධෛර්යය අපි බලවත් සේ අගය කරමු. මේ වු කලී ප්‍රභාකරන් ගේ අවසන් අවස්ථාව ය. ඔහුගේ අවසානය පටන් ගත්තේ තමිල් සෙල්වම්ගේ මරණයත් සමඟ ය. ඉන් පසු එක පෙළට ත්‍රස්තවාදී නායකයන් මරා දැමීම ඇරඹිණි. නැගෙනහිර ත්‍රස්තවාදී නායක ස්වර්ණම් ශ්‍රී ලංකා යුද හමුදාවට බියේ පලා ගියේ සිය කලිසම් කමිස පවා තමා රුඳී සිටි ගල් ගුහාවේ ඉතිරි කර ය. මෑතක් වනතුරු වාකරේපිහිටි "ස්වර්ණම් බේස්" කඳවුරේමේ පුරාවස්තු ඉතිරිව තිබිණ.

ඉන්දියාව මේ තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවට මැදිහත් නො වන බව අපි දනිමු. ඉන්දියාව යනු ත්‍රස්තවාදය නිසා බරපතළ දුක් විඳින රටකි. පසුගිය දිනෙක තුවක්කු අතින් ගත් කොල්ලන් හයදෙනකු මුම්බායි නුවරට පහර දී මිනී මරා ටජ්මහල් හෝටලය ගිනිබත් කළ අයුරු කාටත් මතක ය. එබැවින් ත්‍රස්තවාදයේ අවසානයක් දැකීමට ඉන්දියාවට ද අවශ්‍ය ය. ශිවශංකර් මෙනන් මහතාගේ ලංකා ගමන හොඳ හිත ව්‍යාප්ත කිරීමේ ගමනක් (Goodwill Mission) වනු ඇති බව අපි විශ්වාස කරමු. ඔහු ශ්‍රී ලංකාව තුළ ගතකරන කාලය තුළදී පවා ප්‍රභාකරන්ගේ ඉරණම තීන්දු වු පුවත ලැබීමට ඉඩ තිබේ. මෙනන් මහතා මේ ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ කරුණානිධි පාවිච්චි කරන කළු කණ්නාඩි කුටිටම තුළින් නොවේ. ඔහුගේ ඇස්වලිනි.
(දිවයින-09/01/15)

1 comment:

sameera madusanka said...

කිසිවකු සුදු හෝ කලුයැයි වර්ග කල නොහැක. එහෙත් දැමගන්නා කන්නාඩිය අනුව පෙනෙනු ඇතග

 
සිය රට දේ සිරි සැප දේ !