Wednesday, January 7, 2009

හෘද සාකෂියෙන් ප්‍රශ්න ඇසීමට කදිම අවස්ථාවක්!

රාලට අද සතුටු දවසෙකි. ඒ රජය කොටි තහනම යළි බලාත්මක කළ නිසා ය. පොඩි දුකකට ඇත්තේ ඒ සද්කාර්ය මෙතරම් ප්‍රමාද විම ගැන ය. එහෙත් ඒ ගැන කතා කරමින් දොඩමලු වන්නට සාද දමන්නට අපට අවසර නැත. ඔබට අවසර නැත. රට වෙනුවෙන් අපට පැවරී ඇති වඟකීම අපි ඉටු කරමු. එනම් අපේ රාජකාරිය හරියට කරමු. රජයේ වුව පෞද්ගලික අංශයේ වුව කම් නැත. එවිට රට සෞභාග්‍ය කරා පිය මනිනු ඇත. මේ ඒ ගැන කතාවකි.

අපේ රණවිරුවන් වෙතින් රාජ්‍ය සේවකයන්ට බොහෝ පාඩම් උගත හැකි බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා රණවිරු උපහාර උත්සවයකදී පවසා තිබේ. ජනාධිපති ලේකම් යනු මෙරට රාජ්‍ය සේවයේ ඉහළ ම තැනැත්තා ය. ඔහු රාජ්‍ය සේවා ධුරාවලියේ මස්තකයයි. ඒ නිසා තමාට පහළින් සිටින දොළොස් ලකෂයක් වු රාජ්‍ය සේවකයන් ගැන ඔහු දරන මතය නිතර ම වැදගත් මතයක් බවට පත්වෙයි. රාජ්‍ය සේවකයන් රණවිරුවන් වෙතින් උගත යුතු පාඩම වු කලී කැපවීම සහ විනය පිළිබඳ පාඩම බව අපගේ වැටහීම ය. මෙතැන් සිට අප සඳහන් කරන්නේ මේ රටේ දිරාපත් වු රාජ්‍ය සේවය පිළිබඳව අපට ඇති අත්දැකීම් සම්බන්ධයෙන් ස්වල්පයකි.

අප දන්නා පරිදි මේ රටේ මේ මොහොතේදී හරියට ම ක්‍රියාත්මක වන එකම රාජ්‍ය ආයතනය ලලිත් වීරතුංග මහතා ඇරඹු රාජ්‍ය තොරතුරු ඒකකයයි. 1919 ට දුරකථනයෙන් අමතා රජයේ ඕනෑම කාර්යාලයක දුරකථන අංකයක් ඉල්ලු සැණින් මේ ආයතනය එය සපයයි. අඩුම ගණනේ සැපයීමට උත්සාහයක්වත් ගනී. නැතහොත් අවශ්‍ය තැනට ජනතාව යොමු කරයි. රජයේ ආයතනයක අංකය ගැන අප විමසන විට එම ආයතනය හරහා කර ගැනීමට ඇති කාරිය විමසා ඔවුහු අවශ්‍ය පෝරම කොල ගැන පවා කියා දෙති. මේ හැරෙන්නට මේ රටේ ජනතාවට දැනෙන සේවයක් ඉටුකරන එකම ආයතනය යුද හමුදාව ය. විනය සහ කැපවීම යන මුලධර්ම මත පදනම් වු යුද හමුදාව ජනතාවට, රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට පකෂව සිය පපුව තුවක්කුවට දෙයි. ඒ අතර විරුද්ධ පකෂවල දේශපාලනඥයන්ගෙන් අපහාස ද ලබයි. පසුගියදා යුද හමුදාව කිලිනොච්චියට ඇතුළු වන විට නගරය වටා ඇති සියලු දිය අගල්වලට කොටි ත්‍රස්තවාදීහු වෝල්ටීයතාව 33000 ක් වු විදුලි බලය යොදවා තිබිණි. එවැනි විටෙක එම දිය අගල්වලට අඩිය තැබු සැණින් මරණය නියත ය. මේ කැපකිරීම රාජ්‍ය සේවයේ වැඩි දෙනකුට කළ නො හැක. ඕ. ටී. කොතරම් ගෙව්වත් දීමනා කොතරම් දුන්නත් කවර ආකාරයේ ණය දුන්නත් රාජ්‍ය සේවකයා රට වෙනුවෙන් තමන් තුළ ඇති යුතුකම් ඉටුකරන්නේ අල්ප වශයෙනි.

රාජ්‍ය සේවය පිළිබඳව අපට ඇති අත්දැකීම මෙසේය: රාජ්‍ය සේවකයා උදේ අටට හෝ අටහමාරට කාර්යාලයට පැමිණෙයි. (මෙයින් පසු කියැවෙන දේ රාජ්‍ය සේවකයන් වැඩි දෙනකුට වලංගු නමුත් අතලොස්සකට වලංගු නැත.) ඊළඟට ඔහු උදේ තේ පානය කිරීමට කැන්ටිමට යයි. එතැනදී එදා උදේ කෝච්චියේදී සිදු වු දේත් බස් රියේදී සිදු වු දේත් කතා කරනු ලැබේ. අසුවලා සමඟ ප්‍රේමයෙන් වෙලී සිටින ගැහැනිය ගැන ද කතා කරනු ලැබේ. ඊළඟට ඒ ගැහැනිය සම්බන්ධයෙන් විවිධ පියවර ගැනීමට තම තමන්ට ඇති අවස්ථා සහ සුදුසුකම් ගැන ද සාකච්ඡා කෙරේ. අනතුරුව පත්තර ද බලා ඈනුමක් ඇර වැඩ පටන් ගැනීමට සුදානම් වන විට උදේ දහයේ තේ කෝප්පය මේසය මත ය. තේ රස විඳින ගමන් වැඩ අරඹන හේ දවල් දොළහට වැඩ නවත්වා අහර පිණිස යයි. එකට හෝ එකහමාරට ආපසු මේසය වෙත එන ඔහු සිගරුටිටුවක නිකොටින් තම පෙනහැල්ලටත් වටේ සිටින අයගේ පෙනහලුවලටත් දමා ඉතා අමාරුවෙන් යළි වැඩ පටන් ගැනීමට හිත හදා ගනී.

අනතුරුව සවස තුන වන විට එන තේ කෝප්පය ඔහුගේ වැඩට බාධා කරයි. එය පානය කර තවත් සිගරුටිටුවක් බී වැඩ අරඹන විට වෙලාව හතරහමාරට කිටිටු ය. එබැවින් වැඩට තව වේලා ඉතිරිව නැති නිසා බෑග් මලු අකුලා ගන්නා හේ ගෙදර බලා යයි.

මෙසේ නො වන, කිසිදු නිවාඩුවක් නො ගෙන වැඩ කර ඉතා ස්වල්ප පඩියක් ගෙන ගෙදර ගොස් පවුල නමැති කුටුම්භය තුළ අනේක දුක් විඳින රාජ්‍ය සේවකයෝ ද වෙති. රාජ්‍ය සේවය අකාර්යකෂම වන්නේ පරිපාලන දුර්වලකම් නිසා ය. පරිපාලනය දුර්වල වීමට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න දේශපාලන ඇඟිලි ගැසීම් නිසා කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට නිලධාරීන් බිය වීම ය. දෙවැන්න දේශපාලන බලවතුන්ගේ ගොටිටන් රාජ්‍ය සේවය තුළට රිංගාගෙන සිටින නිසා ඔවුනට විරුද්ධව හඬක් නැඟීමට ප්‍රධානීන් බිය වීම ය. තුන්වැන්න තමන් බදු ගෙවන ජනයාගේ මුදලින් වැටුප් ලබන බවත් තමන්ට ජාතික වගකීමක් ඇති බවත් රජයේ සේවකයන්ට නො තේරීම ය. මේ සියලු කරුණු එකතු වු කල පිරිහුණු රාජ්‍ය සේවයක් බිහි වෙයි. පෞද්ගලික අංශය සාර්ථක වී ඇත්තේ දේශපාලන ගොටිටන්ගෙන් එය නිදහස්ව තිබීම හා කළමනාකරණ ක්‍රමවල ඇති කෂමතාව නිසා ය.

මේ රටේ රාජ්‍ය සේවයේ සියලු ම දෙනා සෑම රාත්‍රි කාලයක ම කල්පනා කළ යුතු වැදගත් කාරණයක් තිබේ: එනම්, එදා දවස තුළ තමන් රට වෙනුවෙන්, තමා සේවය කරන ආයතනය තුළ කළේ කුමක්ද යන්න මෙනෙහි කිරීම ය. මේ ප්‍රශ්නයට නිවැරදි උත්තරය සපයා ගත හැකි අයට රාත්‍රි කාලය තුළ හිතට එකඟව නිදා ගත හැකි ය. එසේ නො වන අයට අවදි වී සිටිය හැකි ය.
(දිවයින 09/01/08)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !