Tuesday, January 6, 2009

අපහාස උපහාස මැද ලද ජයග්‍රහණය....

ලක් රජයේ හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගැනීම තාවකාලික පසුබෑමක් බව ඩී. එම්. කේ. පකෂයේ නායක වයිකෝ කියා ඇතැයි ඊයේ (05 දා) "දිවයිනේ" ප්‍රධාන පුවත මගින් කියැවිණ. එක අතකට, මේ රට ගැන කිසිම කැක්කුමක් නැති විදේශිකයකු සහ විජාතිකයකු වන වයිකෝ මෙසේ කීම ගැන අප කෙසේවත් කනගාටු විය යුතු නැත. මන්ද යත් කිලිනොච්චිය ජය ගැනීම කිසි කලෙකත් කළ නො හැකි බව මේ රටේ හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු ඇතුළු දේශපාලනඥයන් කිහිප දෙනකු ම ප්‍රකාශ කර ඇති හෙයිනි. අපේම රටේ සිංහලයන් එසේ කීවා නම් වයිකෝ වැනි ඔල්මාදකරුවකු මොනවා කීවාම මොකද? එල්. ටී. ටී. ඊ. යට හිස ඔසවන්නට නො හැකි බව ඉන්දියාවේ ක්‍රියා කලාපයෙන් වඩාත් පැහැදිලි වෙයි. වෙනදා අප කොටි සමඟ යුද වදින විට කලබලයට පත්වන ඉන්දියාව ඇඟිලි ගසා යුද්ධය නවත්වන තැනට කටයුතු යොදයි. එහෙත් අද වඩාත් ප්‍රගතිශීලී සහ ත්‍රස්ත විරෝධී මතයක සිටින ඉන්දියාව රජීව් ගාන්ධි ඝාතන නඩුවේ ඉතිරි යුතුකම් ඉටු කරනු සඳහා ප්‍රභාකරන් එරටට භාරදෙන ලෙස ලක් රජයෙන් ඉල්ලයි. මේ වු කලී ඉරණම ඉතා භයානක ලෙස වෙනස් වු අවස්ථාවකි. ප්‍රභාකරන්ට ආධාර කරන අය නො සිටියේ කොතැන ද? ඔවුහු හැම තැනක ම, හැම රටක ම සිටියහ. මේ රටේ ම ව්‍යාපාරික ප්‍රජාව අතර ඔවුහු සිටියහ. එසේම මේ රටේ විපකෂය තුළ එවැනි අය සිටියහ. (අදටත් සිටිති.)

ආණ්ඩු පකෂය තුළ සිටි ප්‍රභාකරන්ගේ ගෝලයෝ පසුව විපකෂයේ අසුන් ගත්හ. යුද්ධයට සහ රණවිරුවන්ට පා‍ර්ලිමේන්තුව තුළදී අපහාස කරන ලදී. එම අපහාස රණවිරුවන්ට පමණක් නොව රටේ ඒකීයත්වයට ද කළ අපහාස විය. හමුදාව මේ යුද්ධය දිනාගෙන ඉදිරියට යන්නේ එවැනි කරදර මැද ය. ඉදින් අප යළිත් කියන්නේ මද කිපී සිටින වයිකෝ මොනවා කීවාම මොකද යන්න ය. ඒ අපේම සිංහල බෞද්ධයන් ඊට වැඩි කතා කී නිසා ය.

යුද හමුදාවේ ඊළඟ ඉලක්කය අලිමංකඩ ය. ඉන් පසු ඇති ප්‍රධාන ඉලක්කය මුලතිව් ය. ප්‍රභාකරන් පණ පිටින් නම් තැන් තුනක සිටීමට ඉඩ තිබේ. ඉන් එක තැනක් කොළඹ ය. ත්‍රස්තවාදීන්ට කොළඹ තරම් සුරකෂිත තැනක් තවත් නැත. අද උදයේත් පිටකොටුවේදී හෝ වැල්ලවත්තේදී ඔබටත් මටත් ප්‍රභාකරන් හමු වෙන්නට ඇති, එහෙත් අපි ඔහු කෙසේ හඳුනමුද? මේ රටේ කොටි කලබල ඉතා තදින් පැවැති වකවානුවකදී උමා මහේෂ්වරන්ට වැල්ලවත්තේදී වෙඩි තබා මරන ලදී. එය කළේ ද කොටි විසිනි. එහි තේරුම උමා මහේෂ්වරන් ඉතා නිරුපද්‍රිතව කොළඹ හැසිරුණු අතර කොටි සංවිධානය එය හොඳින් දැන සිටියේ ය.

ප්‍රභාකරන් සිටීමට ඉඩ ඇති අනෙක් තැන පිට රටකි. ඉන්දියාව, නෝ‍ර්වේ වැනි කවර හෝ රටක ඔහු සිටින්නට පුළුවන. මේ දෙතැනම නැත්නම් ප්‍රභාකරන් ඊළඟට සිටිනු ඇත්තේ මුලතිව් කැලයේ ය. මුලතිව් යනු ජන ඝනත්වය ඉතා අඩු ප්‍රදේශයකි. එහෙයින් ප්‍රභාකරන් සොයා ගැනීම ඉතා දුෂ්කර කාරණයක් වනු ඇති. යුද්ධය නිම කිරීමට ප්‍රභාකරන් අල්ලා ගැනීම හෝ මැරීම එතරම් වැදගත් සාධකයක් වන්නේ නැත. වැදගත් වන්නේ කොටි අතේ තිබු සියලු ප්‍රදේශ රජයේ පාලනය යටතට ගැනීමයි. එසේ කළ විට ප්‍රභාකරන් යන සංකල්පය නිකම්ම නිශේධනය වී යන්නේ ය.
(දිවයින-09/01/06)

4 comments:

Wiz Kun said...

භූමිය අල්ලාගත් පලියට යුද්ධයක් දිනීමට බැහැ. ත්‍රස්තවාදය යන්න මතවාදයක්. ත්‍රස්තවාදය සහමුලින්ම නැති කිරීම ඉතා සංකීර්න ක්‍රියාවක්.

ප්‍රභාකරන් ලංකාවේ හෝ නැතිනම් පිට රටක සිටිනවායැයි කීම මහා තකතූරු කතාවකි. ලංකාවේ නැතිනම් පිටරටක ඉන්නවා යැයි අමුතුවෙන් කිව යුත්තක් නැහැ!

?? said...

නෑ. ප්‍රභාකරන් ලංකාවේ නැත්නං පිටරටත් නැති විමට ඉඩ ඇත. ඒ කියන්නේ කොහෙවත් නැති විමට ඉඩ ඇත

නාමල් උඩලමත්ත said...

ප්‍රතිචාර දෙකට ම පිං.

'භූමිය අල්ලාගත් පලියට යුද්ධයක් දිනීමට බැහැ.' දැන් මෙහෙම කියන අයියාල ඒ කාලේ කීවේ වෙන කතාවක්නේ. කොටි පරාද කරන්න බැහැ, හමුදාව කිලිනොච්චි යාම සිහිනයක්, නැගෙනහිර ඇල්ලුවට උතුරට යාම බොරු, යාපනේ අල්ලන්න ලක්ෂ 5ක හමුදාවක් ඕන, වගේ නිවට කතා. තව අය කීව අපේ ක්‍රිෂ්ණ දෙවිඳු කොළඹ ලේ විලක් කරන්න කලින් ඉල්ලීම් දෙනු කියලා. දැන් ඒ කතා වලංගු නෑ. යුද්ධය දිනන්න බෑ භූමිය අල්ලන්න බෑ කියා කියපු අය දැන් කියනවා ඒ ටික කළත් ත්‍රස්තවාදය දිනන්න බෑ කියලා. ඒක රටට ලොකු හයියක්. ‍දැඩි ආත්ම විශ්වාසයකින් ජයග්‍රහනය කරා යන්න පුළුවන්. මොකද මේ අය කියන එකේ අනිත් පැත්තනේ හැමදා ම වුණේ.

ත්‍රස්තවාදය නැති කරන්නේ කොහොමද කියලා රපේ රටෙන් ටියුෂන් ගන්න පුළුවන් ඔය ලොකු ලොකු ඔස්තාර්ලට. ඒක හොඳට පෙනුණා ඉන්දිය මුම්බායි ප්‍රහාරය වෙලාවේ. ඒ රටේ හමුදාවට දවස් කීයක් සටන් කරන්න වුණා ද ගොඩනැගිල්ලක ඉන්න ත්‍රස්තයෝ එක්ක.

Anonymous said...

භූමිය අල්ලාගත් පලියට යුද්ධයක් දිනීමට බැහැ kiyana kathva hithe amaruvata kiyana katha ova kiyana unta kiyanna edademu ehemawath hithe duka adu karaganine

 
සිය රට දේ සිරි සැප දේ !