ලෝකයේ යුද හමුදාපතිවරු අතරින් දක්ෂතම යුද හමුදාපතිවරයා සිටිනුයේ ශ්‍රී ලංකාවේ බව ඉන්දීය ආරක්ෂක උපදේශක ආර්. කේ. නාරායන් මහතා ප්‍රකාශ කර ඇත.
නාරායන් මහතා ඒ බව තමා සමග පැවැසුවේ යැයි ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14 දා) රාත්‍රි පැවැති රුපවාහිනි සාකච්ඡාවකදී අනාවරණය කළේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ලෝකයේ දක්ෂතම යුද හමුදාපතිවරයා ලෙස මේ වන විට ඉන්දියාවේ පමණක් නොව සෙසු බොහෝ රටවල පිළිගැනීමට ලක්වී ඇත.
මීට පෙර යුද හමුදාපතිවරු 09 දෙනකුට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ට වැරදුනේ ඔහු මුහුණදුන් 10 වැනි හමුදාපති වරයාගෙනි. සෙසු සියළුම හමුදාපතිවරුන් යටතේ සටන් කළ යුද හමුදාවට එරෙහිව කළ සටන්වලින් පරාජයට ලක් නොවු ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදීන්ට වසර 03 ක පමණ කෙටි කාලයක් තුළ අන්ත පරාජයක් ගෙන දීමට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට හැකිවීම නිසා ඔහු අද මෙසේ දෙස් විදෙස් ගෞරවයට සහ පිළිගැනීමට ලක්වී සිටී.
ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගෙන් ලැබුණු නිවැරදි දේශපාලන නායකත්වය ඔස්සේ යුද හමුදාවට එඩිතර හමුදා නායකත්වයක් දීමට ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාට තිබු ශක්තිය, ධෛර්ය සහ හැකියාව අද ලබා තිබෙන සියලුම යුද ජයග්‍රහණවලට ප්‍රධාන හේතුව වී ඇත.
ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දක්ෂතා මීට වසර 18 කට පමණ පෙර හඳුනාගත් මෙම "ලියුම්කරු" යම් දිනෙක මෙම යුද්ධය ජයගත හැකි හමුදාපතිවරයකු වේ නම් ඒ සරත් පොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වුවහොත් පමණක් බව මීට වසර ගණනාවකට පෙර "දිවයින" පුවත්පත මගින් කීපවරක්ම පෙන්වා දෙන ලදී.
එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ ලිවීමට වෙනත් මාධ්‍යවේදීහු ඉදිරිපත් නොවුහ. ඔහු පිළිබඳව අප විසින් නිතර නිතර "දිවයින" පුවත්පතට ලිවීම නිසා එකල බොහෝ හමුදා ප්‍රධානීහු මෙම ලියුම්කරු සමග හිත යටින් අමනාපයකින් පසුවුහ. එමෙන්ම විවිධ අපහාසයන් විඳීමටද අපට සිදුවිය.
මෙම "ලියුම්කරු" "දිවයින" පුවත්පතට ලියු පහත ලිපි කොටස් මෙවර "ආරක්ෂක විවරණය" තුළින් ඉදිරිපත් කරනුයේ යුද හමුදාපතිවරයා පිළිබඳව අප එදා පාඨකයන් වෙත පැවැසු දේ අද වන විට සත්‍යයක් බවට පත්වී තිබෙන බව පෙන්වා දීමේ අභිලාෂයෙනි. එදා ඔහු ගැන මෙතරම් එඩිතරව, නොබියව ලිවීමට අද ඔහු වටා සිටින කිසිදු මාධ්‍යවේදීයකු ඉදිරිපත් නොවු බවද කිව යුතුව ඇත.
මීළඟ හමුදාපති සිංහ රෙජිමේන්තුවෙන්
යන හිසින් යුතුව 2002. 06. 23 වැනි දින "ඉරිදා දිවයින" පුවත්පතෙහි අප විසින් ලියන ලද්දේ මෙලෙසිනි.
"මේ අනුව මීළඟ හමුදාපති වශයෙන් පත්වීමේ තරගය පවතිනුයේ ලොහාන් ගුණවර්ධන, ඇන්ටන් විජේන්ද්‍ර, ශාන්ත කෝටිටගොඩ සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු සිව්දෙනා අතරේය. මේජර් ජෙනරාල් චුලා සෙනෙවිරත්න සංඥා බළකායට අයත් නිලධාරියෙකි. එබැවින් ඔහුට හමුදාපතිවීමේ අවස්ථාව අහිමි වී ඇත.
ඉහත සිව් දෙනා අතරින් පාබල සටන් රෙජිමේන්තු නියෝජනය කරනුයේ ශාන්ත කෝටිටගොඩ සහ සරත් ෆොන්සේකා යන මේජර් ජෙනරාල්වරු දෙදෙනායි. ඔවුන් දෙදෙනාගෙන්ද වඩාත් ඉදිරියෙන් සිටිනුයේ මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා බවට විවාදයක් නැත. ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් නොව දක්ෂතාවයෙනි. පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් කෝටිටගොඩට වඩා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ෆොන්සේකාට සටන් බිම යුද අත්දැකීම් සහ ලබාගත් ජයග්‍රහණයන් බොහොමයක් ඇත.
දක්ෂ යුද සෙනෙවියකු ලෙස හමුදා සාමාජිකයන්ගේ පිළිගැනීමට ලක්ව සිටින මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුර ඉසිලීමට සුදුසු නායකයකු ලෙස යුද හමුදාවේ විශ්වාසය දිනාගෙන සිටී. ඒ අනුව ඔහු සිංහ රෙජිමේන්තුවෙන් බිහිවන ප්‍රථම හමුදාපතිවරයා වශයෙන් යුද හමුදා ඉතිහාසයට එක් වනු ඇත"
අප එදා එසේ කී දේ අද වන විට සැබෑවක් බවට පත්වී තිබීම සතුටට කරුණකි.
2002. 05. 12 වැනි "ඉරිදා දිවයින" පුවත්පත තුළින් අප මෙසේද කරුණු ඉදිරිපත් කර සිටියෙමු.
"යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා පත් කිරීම ඉකුත් සතියේ සිදුවු විශේෂ සිද්ධියකි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ල විසින් හදිසියේම මෙම පත් කිරීම සිදු කළද එය ඔහුගේ අභිමතය පරිදි නොව රජය විසින් කළ නිර්දේශයකට අනුව සිදු කළ එකකි.
එයින් එම පත් කිරීම හුදු දේශපාලනමය පත්වීමක් බව කිසිවකුටත් පැවැසිය නොහැකිය. වත්මන් සාම ක්‍රියාදාමයට අනුබද්ධ සටන් විරාමය සහ අවබෝධතා ගිවිසුම අතරේ නැවත යුදමය වාතාවරණයක් උද්ගතවුවහොත් ඊට සාර්ථකව මුහුණදීමට රජයට සිදුවනු ඇත. ඒ සඳහා යාපනය අර්ධ ද්වීපය තුළ ආරක්ෂක හමුදාවෝ සීරුවෙන් හා සුදානමින් තැබීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත. එම අභියෝගය ජය ගැනීමේ දක්ෂතාවය, හැකියාව තිබෙන හමුදා ප්‍රධානියකු යාපනයේ ආරක්ෂක සේනා මෙහෙයවීමට යෙදවීම රජය සතු ප්‍රධාන වගකීමකි.
එහිදී සලකා බැලිය යුතු වන්නේ දේශපාලනය නොව යාපනයට පත්කර යැවු හමුදා ප්‍රධානියා සතු යුදමය හැකියාවයි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රජය මෙවර යවා ඇත්තේ සැබෑ යුද සෙන්පතියකු විනා යුද්ධය ජාවාරමක් කර ගත් දුෂිත නිලධාරියකු නොවන බව අන් කිසිවකුටත් වඩා යුද හමුදා සාමාජිකයෝ හොඳින් දනිති.
මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා සතු යුදමය හැකියාව සහ එඩිතර නායකත්වය ගැන හොඳින් දන්නේ හමුදා සාමාජිකයන්මය. හමුදා වචනවලින් "ඔප්ස් කාක්කෙක්" ලෙස හඳුන්වනුයේ යුද්ධය ජය ගැනීමට තම සේනාවෝ නිසි පරිදි මෙහෙයවමින් දිගු කලක් සටන් බිම අණ දෙන්නෙකුව සිටි සැබෑම යුද සෙන්පතියකු විනා, යුද්ධයේදී සටනින් පසුබැස පළා යන යුද්ධය ජාවාරමක් කර ගත් හමුදා නිලධාරියකු නොවන බව ප්‍රකට කරුණකි.
ඒ අනුව බලනවිට මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳව ඉතිහාසය සාක්ෂි දරනු ඇත. ඔහු යටතේ සටන් කළ නිලධාරින් සෙබළුන් පමණක් නොව හමුදාවේ සෙසු පිරිස්ද ඊට සාක්ෂි දරනු ඇත.
2002. 05. 05 වැනි ඉරිදා දිවයින පුවත්පතෙහි අප ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ තැබු සටහනක මෙසේ විය.
"දැනට බටලන්ද අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධුරය හොබවන ඔහු සිංහ රෙජිමේන්තු අධිපති වශයෙන්ද කටයුතු කරයි.
දක්ෂ යුද සෙන්පතියකු ලෙස යුද හමුදාව තුළ ප්‍රකට මේජර් ජෙනරාල් ෆොන්සේකා අලිමංකඩ පරාජයෙන් පසු යාපනය අහිමිවීමේ කොටි තර්ජනය හමුවේ ජනාධිපතිනිය විසින් යාපනය රුක ගැනීම සඳහා උතුරු නැගෙනහිර ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් ජානක පෙරේරා සමග යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ගොස් යාපනය රුක ගැනීමට කටයුතු කළේය."
ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීමට පෙර වසර 15 ක පමණ වු කාලය තුළ ඔහු පිළිබඳ ලිවීමට කිසිදු පුවත්පතක් හෝ මාධ්‍යවේදියකු ඉදිරිපත් නොවු කාලයක දිවයින පුවත්පත පමණක් නොබියව, නොපැකිළිව ඔහුගේ දක්ෂතාවන් සහ ඔහු අනිවාර්යයෙන්ම හමුදාපති තනතුරට පත්විය යුතු බව සඳහන් කර ලියු ලිපි බොහෝය. සටන් විරාම සමයේදී යාපනයේ අධි ආරක්ෂිත කලාප ඉවත් කළ යුතු බවට එල්ල වු දෙස් විදෙස් බලපෑම් හමුවේ එඩිතරව සහ නිර්භීතව තම මතයෙහිලා ක්‍රියාකිරීමට එවක යාපනය ආරක්ෂක සේනා ආඥාපතිව සිටියදී ගත් පියවර 2003. 01. 05 වැනි "ඉරිදා දිවයින" පුවත්පත තුළින් පෙන්වා දුන්නේ මෙසේය.
"ආයුධ බිම තැබුවහොත් පමණක් අධි ආරක්ෂිත කලාප ඉවත්කර ගැනීමට තමා එකඟවන බව මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා දන්වා තිබුණි. ඊට ප්‍රතිචාර ලෙස එල්.ටී.ටී.ඊ ය ප්‍රකාශ කළේ සාමය පිළිබඳව ස්ථිර සාර විසඳුමකට දෙපාර්ශ්වයම මෙතෙක් එළඹ නොමැති බැවින් ආයුධ බිම තැබීමට තරම් කාලය එළඹ නැති බවයි.
එල්.ටී.ටී.ඊ ය කළ එම ප්‍රකාශය තමාද පිළිගන්නා බව ප්‍රකාශ කළ මේජර් ජෙනරාල් ෆොන්සේකා අවි බිම තැබීමට මෙය සුදුසු අවස්ථාවක් නොවේ නම් අධි ආරක්ෂිත කලාප ඉවත්කර ගැනීමටද මෙය සුදුසු අවස්ථාව නොවන බවද ප්‍රකාශ කළේය.
එල්.ටී.ටී.ඊ ය අවි බිම තබන තුරු අධි ආරක්ෂිත කලාප ඉවත්කර නොගැනීමේ සිය ස්ථාවරයෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද මේජර් ජෙනරාල් ෆොන්සේකා අවධාරණය කරයි."
(අප ඉහත සඳහන් කළේ ඔහු පිළිබදව එදා ලියු දෑ වලින් ඉතා සුළු ප්‍රමාණයකි.)
යුද හමුදාපතිවරයා එදා පටන් දැක්වු සෘජු එඩිතර, නිවැරදි සහ ප්‍රතිපත්ති ගරුක නායකත්වය පිළිබඳව ඉහත කරුණු සාක්ෂි දරනු ඇත.
වත්මන් යුද හමුදාපති වශයෙන් අද ඔහු දක්වන නායකත්වය සහ රටට හිමිකර දෙනු ලබන ජයග්‍රහණ දෙස බැලීමේදී අතීතයේදී "දිවයින" ඔහු සමග හිඳිමින් පාඨක ජනතාව වෙත ඔහුගේ නායකත්වය සහ හැකියාව පිළිබඳ දැනුවත් කිරීම කෙතරම් නිවැරදි ද යන්න මැනැවින් පැහැදිලි වේ.
කෙසේ වෙතත් ලෝකයේ දක්ෂතම යුද හමුදාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මේ වන විට කොටි ත්‍රස්තවාදය විනාශකර දැමීමේ සටන ජයග්‍රාහී නිමාව කරා මෙහෙයවමින් සිටී.
එහි අතිශය වැදගත් කඩ ඉමක් ලෙස යාපනය අලිමංකඩ ඒ : 09 මාර්ගය සම්පුර්ණයෙන් මුදා ගැනීම සැලකිය හැකිය.
කිලිනොච්චිය සහ පරන්තන් ඔස්සේ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ 58 වැනි සේනාංකය අලිමංකඩ කරා බලය අත්පත් කර ගෙන සිටියදී උතුරු සටන් පෙරමුණේ සිට තවත් ප්‍රධාන හමුදා සේනාංක 02 ක් මුහමලෙයි පල්ලෙයි සෝරන්පත්තු ඔස්සේ අලිමංකඩ වෙත පැමිණ වන්නි සටනට එක්වුහ.
යුද හමුදාවේ සිටින තවත් දක්ෂ යුද සෙන්පතියන් දෙදෙනකු වන බ්‍රිගේඩියර් කමල් ගුණරත්න (ගජබා) සහ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා (පාබල/විශේෂ බළකාය) සේනාංකාධිපති ධුර හොබවන 53 වැනි සහ 55 වැනි සේනාංක දැන් මුලතිව් අවසන් කොටි බල කොටුව මුදා ගැනීමේ සටන සඳහා සෙසු සේනාංක සමග එක්වී සටනෙහි නිරතව සිටිති.
සිරිමෙවන් කස්තුරිආරච්චි
(දිවයින-09/01/16)
Thursday, January 15, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment