Monday, January 19, 2009

ලෝකයට ඔබාමා බරක් නො විය යුත්තේ ඇයි?

එක්දහස් හත්සිය හැටපහේදී ප්‍රංශයේදී ඉපිද එංගලන්තයේ පදිංචිය ලබා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් අධ්‍යාපනය ලැබ ඛනිජ ද්‍රව්‍ය පිළිබඳ කීර්තිමත් කෝටිපති විද්‍යාඥයකු බවට පත් ස්මිත්සන් ජේම්ස් නමැත්තා 1829 දී මියයෑමට දින කිහිපයකට පෙර සිය අන්තිම කැමැති පත්‍රයේ මෙසේ ලිවීය: "ජාතිය ආගම හෝ තරාතිරම නො බලා මනුෂ්‍යයන්ගේ දකෂකම්වලට පමණක් සලකන රටක් මිහිපිට තිබේ. ඒ රට ඇමරිකා එක්සත් ජනපදයයි. මා මේ රටට කවදාවත් පා තබා නැත. එහෙත් මේ රට සතු උතුම් ගුණාංගයන් සලකා මගේ දේපලවලින් ඩොලර් පනස් ලකෂයක් හා සමාන මුදලක් එම රටට පරිත්‍යාග කරමි."

මේ ත්‍යාගය භාරගත් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය ලෝකයේ හොඳම කෞතුකාගාර සමුහය වු ස්මිත්සෝනියන් කෞතුකාගාර සමුහය පිහිටුවීම සඳහා එම මුදල යෙදවී ය. ඇමරිකාවේ වොෂිංටන් ඩී. සී. නුවර කොංග්‍රස් ගොඩනැඟිල්ල ඉදිරිපිට අදටත් අසකුගේ පිට නැගී කොංග්‍රස් ගොඩනැඟිල්ල දෙස බලා සිටින වියපත් මහතකුගේ ප්‍රතිමාවක් තිබේ. මේ ප්‍රතිමාව ස්මිත්සන් ජේම්ස්ගේ ප්‍රතිමාව ය.

ස්මිත්සන් ජේම්ස් ජීවත් වු කාලය ජෝර්ජ්බුෂ් නැති, ඔසාමා බින් ලාදින් නැති, ප්‍රභාකරන් ගැන ආරංචියක් පවා නො තිබු, වහල් වෙළෙඳාම සහ යටත් විජිතවාදය නමැති කලු පැල්ලම් දෙක පමණක් තිබු කාලයකි. අහල පහල රටවලින් ඉතා ලාබෙට ඉඩම් මිලට ගෙන ඇමරිකාව විශාල කිරීම ඇරඹි තිබුණේ මේ කාලයේ ය. ඇමරිකාව ඒ රටෙි වැසියන් විසින් ගොඩනංවන ලද්දේ ජාතිය ගැන නො සළකා සියලු රටවලින් ජනයා ගෙන්වාගෙන භුමිය පමණක් ප්‍රධාන සාධකය ලෙස සලකා ගෙන ය. ඇමරිකාව නරක රටක්ව පැවැතියේ වහල් වෙළෙඳාම සිදු වු කාලයේදී පමණි. එහෙත් ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වු පසු වහල් වෙළෙඳාමට එරෙහිව අභීත සටනක් කළ අතර වහලුන්ට නිදහස හා ඡන්ද බලය ලැබිණ. එහෙත් ඒ වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට ලින්කන්ට සිදුවිය. ඔහුට වෙඩි තබා මරණ ලදී.

ඇමරිකාව විසින් ස්වකීය කෙටි ඉතිහාසය තුළ නිර්මාණය කරන ලද පුවත් දෙකක් තිබේ. මේ දෙකම කවදාවත් සිදු නො වන බවට විශ්වාස කෙරුණු ඒවා ය. එයින් පළමුවැන්න ඇමරිකාවට සදා ජය ගැනීමට හැකි වීම ය. දෙවැන්න කලු ජාතිකයකු ඒ රටේ ජනාධිපති වීම ය. මීට පෙර ජාතික නායකත්වයකට පැමිණීමට තැත් කළ මාටින් ලුතර් කිං නමැති කලු ජාතික ඇමරිකානුවාට වෙඩි තබා මරණ ලදී. ඊට පසු ජාතික නායකත්වයකට පැමිණීමට තැත් කළ ජෙසී ජැක්සන් නමැති කලු ජාතිකයාට ද එය කරගත නො හැකි විය.

බරක් ඔබාමා ඇමරිකානු ඉතිහාසයේ, අප්‍රිකානු සම්භවයක් සහිත ප්‍රථම ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ මේ පසුබිම තුළ සිට ය. ඒ අතර ඔහු ජනාධිපති වන මේ මොහොත ලෝකයේ ඉතාම නරක තැනට පත්වී ඇති අවස්ථාවකි. ත්‍රස්තවාදය විසින් ලෝකය විනාශයට පත් කරමින් සිටිනු ලබන මොහොතකි මේ: ඇමරිකානු ව්‍යාප්තවාදය පැතිර යමින් පවත්නා මොහොතකි මේ. ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට බෝම්බ දමමින් මුළු ලෝකයම තම අණසක යටතට ගනිමින් ජෝර්ජ් බුෂ් ලෝකයට ම බරක් වීමට පටන් ගත්තේ ය. ඇමරිකාව මුල් වරට වෙනත් ජාතියකට බරක් බවට පත්වුයේ ඇමරිකාවේ ම ස්වදේශික ජනතාව වු රතු ඉන්දියානුවන්ගේ ඉඩම් උදුරා ගැනීමෙනි. වියටිනාම් යුද්ධයේදී ඇමරිකාව මුළු ලෝකයටම එපා විය. ගාසා තීරයට ඊශ්‍රායලය පහර දෙන විට, ළමයින් මරණ විට ඇමරිකාව එයට විරුද්ධ වුයේ නැත. ඒ බුෂ්ගේ ඇමරිකාවයි. ඔබාමාගේ ඇමරිකාව ඉතා ප්‍රගතිශීලී ඇමරිකාවක් වනු දැක්ම ලෝකවාසීන්ගේ අභිප්‍රායයයි. ඔබාමා ලෝකයට බරක් නොවේවා!
(දිවයින-09/01/20)

4 comments:

Aravinda said...

ජනධිපති ඒබ්‍රහම් ලින්කන් මරා දමනු ලැබූයේ වහල් වෙළඳාම නතර කළ නිසා නොවේ.

නාමල් උඩලමත්ත said...

අරවින්ද ඔබ හරි. එහෙත් ඒ මතුපිටින් බැලූවිට ය. ලින්කන් මරා දැම්මේ ජෝන් විල්කින්ස් බූත් නමැති නළුවෙකි. ඒ හුදු ප්‍රසිද්ධිය සහ ජනප්‍රියතාව පිණිස ය.

ඔහු ඊට පෙළඹුණේ ලින්කන් වහලුන් නිදහස් කිරීම නිසා පිරිසක් අතර අසීමිත ජනප්‍රියතාවට ද තවත් පිරිසකගේ වෛරයට ගොදුරු වීම නිසා ය. විශේෂයෙන් රටේ දකුණු පෙදෙස, වහල් හිමියන් ඔහු විරුවෙක් කොට සලකතැයි බූත් විශ්වාස කලේ ය.

අද පවා ඒබ්‍රහම් ලින්කන්, ඇමරිකානු ජනතාව දන්නේ වහලුන් නිදහස් කළ නායකයා ලෙස ය. ඔහු ඉතිහාස ගතවන්නේ ද ඒ නිස ය. ඒ ශ්‍රේෂ්ඨ මිනිසාගේ ජීවිතය උදුරාගත් බූත් ද ඔහුගේ මිනි මරුවා ලෙස ඉතිහාසයට එක් විය.

ශාකුන්තල | Shaakunthala said...

"ජාතිය ආගම හෝ තරාතිරම නො බලා මනුෂ්‍යයන්ගේ දකෂකම්වලට පමණක් සලකන රටක් මිහිපිට තිබේ. ඒ රට ඇමරිකා එක්සත් ජනපදයයි."

මේ කියමන මට නම් පිළිගන්න අමාරුයි. මාටින් ලූතර් කිං ඇතුළු කළු ජාතිකයන්ගෙ නොපසුබට සටන නිසා දැන් කළු ජාතිකයින්ට ඇමරිකාවෙ තැනක් ලැබී තිබුණත් තාම අප්‍රසිද්ධියේ කෙනෙහිලිකම් සිදු වෙනවා නේද?
(නොදන්නකමටයි අහන්නෙ)

නාමල් උඩලමත්ත said...

ඔව් ඔබ හරි ශාකුන්තල, ජේම්ස්ගේ අදහසේ තියෙන්නේ සාපේක්ෂ වටිණාකමක්.

මේ රට 1860 ගණන් වන තුරුත් කලු මිනිස්සු වහල්ලු විදිහට යොදාගත්තා. ඇත්තට ම ඔහුගේ අදහසින් පේන්නේ මේ වහල්ලු මිනිස්සු විදිහටවත් සලකන්න එදා ඔවුන්ගේ සමාජය දියුණු නෑ කියන එකයි. ඔවුන් මිනිස්සු විදිහට සැලකුවේ යුරෝපයේ විවිධ රටවලින් ඇමරිකාවට පැමිණි සුදු ජාතිකයෝ. නීග්‍රෝ ආදී කලු ජාතිකයෝ ඔවුන්ගේ ගව මහීෂාදී තවත් සම්පතක්. ඒ සම්පත ඔවුන්ට තව අයට විකුණන්න, හුවමාරු කරන්න, මරන්න පුළුවන්. මේ කාලය වෙද්දි ලංකාව පාලනය කළේ භාරතීය නායක්කාර් වංශිකයෝ.

මාටින් ලූතර් කිංට සිය සටන නිසා දිවි දෙන්න වුණා. ඒ වගේ ම ඒබ්‍රහම් ලින්කන්, ජෝන් එෆ්. කෙනඩි වගේ ප්‍රගතිශීලි නායකයින්ටත් ඒ ටිකමයි. ඔබාමගේ ඉරණම කුමක් වේදැයි අපි බලා ඉමු. වර්ණභේදවාදය අළු යට ගිනි පුපුරු සේ ලොව පුරා තවම තියෙනවා.

 
සිය රට දේ සිරි සැප දේ !