Friday, January 16, 2009

තේ, පොල්, රබර්, කුරුඳු?

ඇමරිකාවේ ආර්ථික අවපාතයක් හට ගැනීමේ හේතුවෙන් සහ ලෝක තෙල් මිල පහත යෑමේ හේතුවෙන් නිර්මාණය වුණු ලෝක ආර්ථික අර්බුදය අපට දැනුනේ මෙසේ ය: ඩොලරයේ මිල අවප්‍රමාණ වීම නිසා අපනයන භෝග වු තේ සහ පොල්වලට පිටරටින් ලැබුණු ආදායම අඩු විය. තෙල් මිල අඩු වීම නිසා කෘත්‍රිම රබර් මිල අඩු විය. කෘත්‍රිම රබර් සාදනු ලබන්නේ පෙට්‍රෝලියම්වලිනි. ටයර් සහ වෙන ඝන රබර් නිෂ්පාදන සාදනු ලබන්නේ කෘත්‍රිම රබර් සහ ස්වාභාවික රබර් මිශ්‍ර කිරීමෙනි. කෘත්‍රිම රබර් මිල අඩු වීමත් සමඟම ඊට සාපේකෂව ස්වාභාවික රබර් මිල ද පහත බැස්සේ ය. මේ නිසා ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව බරපතල අමාරුවකට වැටින. මෙහි සිටින රබර් වගාකරුවන් ගණන පන්ලකෂයකි. එක පවුලක සාමාජිකයන් පස්දෙනකු සිටීමේ පදනම මත ගණන් බැලුවොත් මේ අර්බුදය නිසා විසිපන්ලකෂයක් දෙනා අමාරුවේ වැටී සිටිති. ශ්‍රී ලංකාවේ ජනගහනය කෝටි 2 කි. රබර් මිල පහත වැටීම නිසා එයින් අටෙන් එකක් යනෙන මං නැතිව සිටිති. තේ වල තත්ත්වයත් මෙයම යි. පොල් වල තත්ත්වයත් මෙයට වෙනස් නැත. කුරුඳුත් මෙසේම ය.

රටක ආණ්ඩුවක් යනු ඒ රටේ ජනතාවට අම්මා - තාත්තා හා සමාන සංකල්පයකි. වැඩිපුර වැස්සත් වැඩිපුර පෑයුවත් ආණ්ඩුව බැණුම් අසන්නේ ඒ නිසා ය. මේ පදනම මත ලෝක තෙල් මිල පහත යෑමේ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිදු සම්බන්ධයක් නැති වුව ද, රබර් මිල පහත වැටීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බව ජනතාව කල්පනා කරති. මිනිසුන් මහින්ද රාජපකෂ මහතාට ඡන්දය දුන්නේ ඔහු ලවා යුද්ධය දිනවීමට පමණක් නොව, ඔහු ලවා ජීවන බර සැහැල්ලු කර ගැනීමටත් හැකිය යන්න සලකා ය. ඒ නිසා රබර්, කුරුඳු, තේ ඇතුළු අපනයන භෝගවල ආදායම බිඳ වැටීමට රජය මැදිහත් වී එම වගාවලින් යැපෙන ජනයා බේරා ගත යුතු ය.

ලෝකයේ දියුණු රටවල අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමෝපායයන් ඇත. හොඳම උදාහරණය ඇමරිකන් බැංකු බිඳ වැටීමෙන් හටගත් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ඇමරිකානු රජය මැදිහත් වී එම බැංකු පවරාගෙන ඒවාට මුදල් පොම්ප කිරීමයි. මෙසේ මුල් වටයේදී පොම්ප කළ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 700 කි. මෙසේ මුදල් පොම්ප කිරීමත් සමඟ ම එම බැංකු පමණක් නොව ඇමරිකානු මුදල් අර්බුදය නිසා කඩා වැටුනු බ්‍රිතාන්‍ය බැංකු කිහිපයක් ද කෙළින් විය. එය අවදානම් කළමනාකරණය යි. අවදානම් කළමනාකරණය සඳහා ලෝකයේ දියුණු රටවලට මුදල් සංචිත වෙනම තිබේ. ඇමරිකාවේ වගා පාළුවක් හටගත්තොත් අවදානම් කළමනාකරණ සංචිතයෙන් මුදල් ගෙන ගොවියන් ආරකෂා කරනු ලැබේ. ශ්‍රී ලංකාව තුළ දැනට එවැනි ක්‍රමයක් නැත. අධිරාජ්‍යවාදීන් විසින් පළමුවෙන් ද, යුද්ධය විසින් දෙවනුව ද සුරාකනු ලැබු ශ්‍රී ලංකාව දිගු කලකට පසු හිස ඔසවන්නට සුදානම් වන්නේ දැන් ය. එහෙත් ගොවි ජනයා විපතට පත් වන විට ඔවුන් ගලවා ගැනීමට කවර හෝ ආකාරයක වැඩපිළිවෙළක් මේ රටේ තිබිය යුතු ය.

රබර් ප්‍රශ්නය තව ස්වල්ප කලකින් විසඳෙනු ඇත. ඒ තව ස්වල්ප කලෙකින් ඉන්ධන මිල නැවතත් ඉහළ යන නිසා ය. පෙට්‍රෝලියම් යනු කෂය වෙමින් පවත්නා සම්පතකි. පෙට්‍රෝලියම් මිල අඩු වීමට නම් තෙල් වර්ෂා හට ගත යුතු ය. සියලු ගංගාවල ජලය වෙනුවට තෙල් ගලා යා යුතු ය. එහෙත් එවැන්නක් කිසි කලෙකත් වන්නේ නැත. මේ නිසාම තව ටික කාලෙකින් යළි තෙල් මිල නගිනවා ඇත. එවිට කෘත්‍රිම රබර් ප්‍රශ්නය විසඳී ස්වාභාවික රබර් මිල ද ඉහළ යනු ඇත.

එහෙත් එතෙක් වගාකරුවන් රුක ගත යුතු ය. රජය ඒ ගැන සිතිය යුතු ය

1 comment:

ape logic said...

දෙවැනි ලෝක යුද්දෙන් පසුව ද මෙවැනි වාතාවරණයකට ලංකාව මුහුණ දුණි.

 
සිය රට දේ සිරි සැප දේ !