Thursday, January 1, 2009

ව්‍යාපාර පරිපාලනය අනුභව කර පරිගණක ශාස්ත්‍රය පානය කිරීම

ඊයේ සහ අද රාලට සතර අතින් සුබ පැතුම් ගලා ආවේ ය. කෙනෙක් 'සුබ නව වසරකැයි' පැතූහ. තවෙකෙක් 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූහ. මම මේ දෙපිරිසට ම 'සුබ නව වසරකැයි' පැතුවෙමි. 'සුබ අලුත් අවුරුද්දකැයි' පැතූ අය නොදැන කළ කළ වරද නිවැරදි කරන්ට නොගියෙමි. එහෙත් මේ ටික අවබෝධ කර ගැනීම වැදගත් ය. අපේ අවුරුද්ද එන්නේ බක් හෙවත් අප්‍රේල් මස ය. එදාට අපි අවුරුදු සමරමු. මේ සමරන්නේ 2009 වසරේ උදාවයි. දැන් අලුත් වසරේ හැමෝම සිතිය යුතු යමක් ගැන විමසමු. සිංහලේ එදා සිට ප්‍රචලිත වූයේ පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් බව ද යළි සිහි කරමු.

මේ රටේ වැවිලි කර්මාන්තයේ නියුතු වුවන් රැක ගැනීම ප්‍රධානතම අභියෝගය බව ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති පැවැසී යැයි අප පුවත්පතේ පළ වු වාර්තාවක සඳහන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිති සම්මේලනය යනු පවතින ආණ්ඩුවේ දේශපාලන සංවිධානයකි. සාමාන්‍යයෙන් දේශපාලනකාරයන් කතා කරන්නේ ඒ ඒ වෙලාවට කාලය ගෙවා ගැනීම පිණිස ය. ඒ කතාවල එතරම් වැදගැම්මක් නැත. එහෙත් මේ වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රී.ල.නි.ප. වෘත්තීය සමිතිය කළ කතාව බැහැර කළ නො හැක. එ බැවින් අපි ඒ ගැන කතා කරමු.

ශ්‍රී ලාංකිකයා කෑමට දනී. එහෙත් කෑම එන තැන නො දනී. කෑම එන විදිය නො දනී. පෙර කාලයේදී විසු සැපට හැදුනු රජ කුමරකු වෙතින් බත් එන්නේ කොහෙන්දැයි ප්‍රශ්න කරන ලද කල්හි බත් එන්නේ පිඟානෙනැයි උත්තර ලැබුණේලු. ඒ ආකාරයෙන් අද මේ රටේ වෙසෙන වැඩි දෙනාට, බත් කොහෙන්දැයි කකෂණිකව හිතා ගත නො හැකි ය. බන්දුල ගුණවර්ධනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් වියටිනාමයෙන් එන බව ය. මෛත්‍රිපාල සිරිසේනට නිතර සවන් දෙන කෙනකු කියනු ඇත්තේ බත් නැගෙනහිර පළාතෙන් හෝ මහවැලි ප්‍රදේශවලින් එන බව ය. තිරිඟු පිටි ඇමරිකාවෙන්, ආර්ජන්ටිනාවෙන් හෝ ඔස්ට්‍රේලියාවෙන් එන බව වැඩි දෙනා දනිති. මයිසුර් පරිප්පු එන්නේ ඉන්දියාවෙනි. කිරි පිටි නවසීලන්තයෙනි. එසේ නම් ශ්‍රී ලංකාවෙන් එන්නේ නැගෙනහිර පළාතේ වී ටික සහ නුවරඑළිය පැත්තේ සිට එන තණකොළ ටික පමණද?

කෘෂිකර්මය පිළිබඳව ඉගෙනීමට මේ රටේ ඊළඟ පරම්පරාව නිසි ආකාරයෙන් යොමුකර නැත. හැම දෙනාම මෙරටත් පිටරටත් විශ්වවිද්‍යාලවලට ගොස් ඉගෙන ගන්නේ ව්‍යාපාර පරිපාලනය, තාකෂණවේදය, පරිගණක මෘදුකාංග, ඉංජිනේරු විද්‍යාව වැනි දේ ය. හැබැයි මේ කොයි දේ කරන්නටත් බඩට කෑම කෑ යුතු ය. මේ රටේකෑමට ඇරී ඇති කටවල් ගණන දවසින් දවස ඉහළ යයි. පරිගණක විද්‍යාව ඉතා ප්‍රයෝජනවත් දෙයක් වුවද බඩගින්නට අනුභව කළ නො හැක. එසේම, ව්‍යාපාර පරිපාලනය කොතරම් වැදගත් දෙයක් වුවද ඒ මගින් කුසගිනි නිවෙන්නේ නැත. කුසගින්න නිවෙන්නේ ආහාරයෙනි. ආහාර පිටරටින් ගෙන්වීමට මිස මෙහි නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් නැත.

අපේ අපනයන භෝගවලට පිටරටින් ලැබෙන ආදායම බෙහෙවින් පහත බසිමින් පවතී. ලෝක ආර්ථික අවපාතය නිසා ඩොලරයේ මිල පහත බට හෙයින් තේවලට ලැබෙන මිල අඩු ය. එසේම, තෙල් මිල පහත බසින නිසා පෙට්‍රෝලියම්වලින් නිපදවන කෘත්‍රිම රබර් මිල ද පහත බසින බැවින් අපේ ස්වාභාවික රබර් මිල පහත ගොස් තිබේ. එ බැවින් පිටරටින් එන ආදායම බෙහෙවින් පහත් ය. මේ ගැන වැඩි දෙනා දැනුවත් වී නැත. රබර් ගහේ හා තේ දල්ලේම පමණක් එල්ලී නො සිට අලුත් අපනයන භෝග කෙරෙහි යොමු වීමට කාටවත් කල්පනා වන්නේ නැත. වරක් නවසීලන්ත ව්‍යාපාරිකයන් පිරිසක් විකුණන්නට අලුත් යමක් සොයමින් රට පුරා සංචාරය කරන්නට පටන් ගත්හ. ඒ අතර ගස් යට වැටී කුණු වී, එනමුදු මිහිරි සුගන්ධයක් නිකුත් කරන ගෙඩි වර්ගයක් මේ පිරිසට හමුවිය. මේ ගෙඩි වර්ගයට "කිවි" යන නම තැබු ඔවුහු ඒවාට ලේබල් ගැසු පෙටිටිවල දමා රට පැටවුහ. ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසල්වලත් මේ ගෙඩි වර්ගය විකිණීමට තිබේ. එහි මිල අධික ය. මෙවැනි අලුත් ආදායම් මාර්ග අපේ රටේගස් යට ද ඕනෑ තරම් තිබිය හැකි ය. වරද, අප ඒවාට පයින් ගසා කොම්පියුටරය වෙත ගොස් අන්තර් ජාලයට පිවිසීම ය.
(දිවයින-09/01/02)

3 comments:

Dasun Sameera - දසුන් සමීර said...

සුබ අලුත් අවුරුද්දක්(අව්ව රුදු) කිව්වත් සුබ නව වසරක් කිව්වත් භාවිත වචනාර්ථයෙන් නම් දෙකම එකයි මෙගේ හිතේ. ඒනිසා කොහොම කිව්වත ලොකු වරදක් මම දකින්නේ නෑ. විවිද ජාතින් විවිද ක්‍රම භාවිතා කරනව කාලය ගනනය කරන්න. සූර්ය වර්ෂ ක්‍රමයට අළුත් අවරුද්ද සැමරීම අපි සිංහල අලුත් අරවුරුද්ද කියලා සලකනවා. ඒ නිසා සිංහල අලුත් අවුරුද්දත් නව වසරක් තමා.

ගෝඨයිම්බර said...

දිවයින කර්තෘ තුමා දිවයිනේ වැඩකොරන ගමන් කො‍හෙ හරි හේනක් වත් කොටනවා වත්ද එහෙනම්. අපේ උදවිය කටින් බතල හිටවන්ට නම් හරි දස්සයොනොවැ. ඕවා කියවන එකේ නම් වරදක් නැහැ. හැබැයි ඔහොම කියන අයත් ඔය වැරද්දම කොරලා අනෙක් අයට උ‍පදේශ ආප්තෝපදේශ දෙන එක තමයි ඉවසන්ට බැරි. එතුමා කතා කොරලා තියෙන්නෙ අපේරටේ දැනට කිසිම ගොවිතුනක් නොකෙරෙන ගානට නෙව. ඔය ඉදගෙන ඉන්න ඒසී කාමරෙන් පොඩ්ඩක් එ‍ලියට ඇවිත් අපේ ගම් පලාත් වලත් පොඩ්ඩක් ඇවිදලා බැළුවනම් එතුමාටත් තේරෙයි කෘෂිකරුමාන්තෙ කෙරෙන හැටි.

නාමල් උඩලමත්ත said...

සමීර ඔබේ ප්‍රතිචාරයට පිං. ඔබේ තර්කයේ ඇත්තක් නැතිව නෙමේ. ඒත් වසර සහ අවුරුද්ද කියන දෙක අතර වෙනසක් ඔබට දැනෙන්නේ නැද්ද? අවුරුදු කුමාරයා, අවුරුදු දේවතාවා, අවුරුදු තල්පත, අවුරුදු කුරුල්ලා, අවුරුදු චාරිත්‍ර, අවුරුදු ලිත, අවුරුදු උත්සවය වගේ තැන් කිහිපයකට 'අවුරුදු' වෙනුවට 'වසර' දාලා බලන්නකෝ වෙනස.

මේ සියල්ල බක් මහට සම්බන්ධයි. මොකද අපේ මුතුන් මිත්තෝ අවුරුදු සැමරුවේ ඒ කාලේ. යටත්විජිත පාලනයේ ප්‍රතිඵලයක් විදිහට තමා ඒක ජනවාරිවලට මාරු වුණේ. ඒ කොහොම වුණත් අදටත් අපි අදටත් නොනගතයට සියලු වැඩ අත හැරලා නැකතට කිරි උතුරවලා අලුත් අවුරුදු සමරන්නේ බක් මහේ නොවැ. ඒක තමා අපේ උරුමය. ඈත ගම්වලට නම් තවම ජනවාරි 01වන දා විශේෂයක් නැති තරම්.

මේ බක් මහට අවුරුදු උදාව ගණනය කළේ නිකම්ම නෙමෙයි. ඒ කාලේ වෙද්දි අපි කුඹුරු කරලා අස්වනු අරගෙන. අතමිටත් සරුයි. කාලයක් මහ පොළව එක්ක ඔට්ටුවෙලා විවේකයක් ලැබෙනවා.හැම ගෙදරකම කැවුම් කොකිස් අතිරස කැවිලි. ගේ දොර නැවුම් වෙනවා. වතුර බොන ළිඳ පවා අලුත් වෙනවා. ගස්වැල් අලුත් මල් පලවලින් පිරෙනවා. පරිසරය හරිම සෞම්‍යයයි. වසන්තය උදාවෙනවා. කුරුලු කිචිබිචිය හැම තැනම. මේ වෙනස අපිට විතරක් නෙමේ ගහ වැල සතා සීපාවටත් දැනෙනවා.

දසුන්, සිංහල අවුරුද්ද පරිසරයට අනුගතව සංස්කෘතිය නිර්මාණය කරපු අපේ මුතුන් මිත්තන්ගෙන් අප ලද දායාදයක්. අවුරුද්ද කියන වචනය තුළ මෙන්න මේ සෞභාග්‍ය පිළිබඳ අර්ථය තියෙනවා. අන්න ඒ නිසයි යම් සතුටකින් සිටින ගැමියෙක් දකින සිංහල ගැමියෙකුගේ මුවට 'ආ.ජිනදාස මලයට අවුරුදු වගේ' යන වදන් නිතැතින් ම නැඟෙන්නේ.

ඒත් එවැනි සංස්කෘතික පදනමක් සෞභාග්‍ය පිළිබඳ අරුතක් ජනවාරි 1 දාට තියෙනව ද? මට හිතෙන්නේ නෑ කියලයි දසුන්??? ඒක පාරිසරික වශයෙන් අපට දැනෙන කටුක සීතල කාලයක් විතරයි.

හප්පේ අපේ ගෝඨයිම්බර අයියණ්ඩිට හොඳට ම කේන්ති ගිහින් නොවැ. ඔච්චර කේන්ති ගන්නෙපා අයියේ ඉස්සරහට වැඩ තියෙනවා. කොටි හපුවා ඉවර කරලා මුළු ලංකාවෙම බිම් අඟලක් නෑර වවන්නයි ඉන්නේ. මේ ජනාධිපතිතුමාට කියනවා අපේ ගෝඨයිම්බර අයියණ්ඩිට බෙරයක් ඇහෙන සාවිය භුක්තියට දෙන්න කියලා. රාල කීවොත් කීවම තමා ඉතින්.

මම ඔය කතුවැකිය පළ කොළේ ගෝඨෝ වවන අයට බනින්න නෙමෙයි. උන්දැලා අවතක්සේරු කොරන්නවත් නෙමෙයි. ගොවියා සහ ගොවිතැන හෑල්ලු කරන එවුන්ට දැනෙන්නයි. දිවයින කතුතුමා වුණත් ඕක ලීවේ එතුමා මේ රටට ආදරය කොරන කෙනෙක් නිසයි.

ගෝඨෝ, ඉස්සර අපේ රටට කීවේ පෙරදිග ධාන්‍යාගාරය කියලයි. ගොවිරාලට සමාජයේ ලොකූ ගරුත්වයක් තිබුණා. නොක්ස් කියන හාදයා කීවා මඩ සෝදාගත් ගොවියා රාජ කමටත් හොඳයි කියලා. අද ඒ තත්ත්වය වෙනස්වෙලා. ගොවිතැන මළ පොතේ අකුරු නොදන්න එවුන්නෙ භුක්තියට සවි වෙලා. ගොවිතැන් කරන්නේ වයසක උන්දැලා. ඒකට කිසිම ගරුත්වයක් නැහැ. ඒ නිසා ඉන්න ගොවියෝ ටිකත් උන්ගේ ළමයි කරපටි රස්සාකට යවන්නමයි වීරිය ගන්නේ. ළමයි කුඹුරට බහිනවට දෙමාපියෝ කැමති නැහැ.

අපි වවලා කාපු ජාතියක් ගෝඨෝ. ඒ වුණාට අද හාල් පිට රටින් ගේනවා පෙරදිග ධාන්‍යාගාරයට. ඇමරිකන් පිටි නැවක් පරක්කු වුණත් සිංහලයා ඉවරයි ‍ගෝඨෝ.
ලංකාවේ විශ්වවිද්‍යාලවල කෘෂි පීඨවලින් හදපු එක ගොවියෙක් ඉන්නව ද?
එහෙන් කුඹුරු ගොඩ කරනවා. වගා කළ හැකි බිම්වල කම්හල් හදනවා. අපි නවීන ලෝකය සමඟ ඉදිරියට යන්න ඕන. ඒත් අපේ උරුමය අප සතු ශක්තිය අපි ආරක්ෂා කරගන්න ඕන. ඒ ශක්තියෙන් පොදක් හරි ඉතිරිවෙලා තිබුණු නිසයි මහා දැවැන්ත රටවල් ලෝක ආර්ථික අර්බූදය ඉදිරියේ කඩා වැටෙද්දි අපි තවමත් කෙලින් ඉන්නේ. අන්න ඒ හක්තිය අප තුළ තව තවත් වර්ධනය කොරගන්න ඕන. මං වැරදිද ගෝඨෝ???

 
සිය රට දේ සිරි සැප දේ !