Sunday, January 4, 2009

ඒ ඓතිහාසික විජයග්‍රහණය!

මේ අද දිවයිනේ කතුවැකිය. විය යුතු පරිදිම අපේ ජාතික වීරයින්ට සුබ පතලා. රාල නම් හිතන්නේ දැන් මේ ජයග්‍රහණය අර්ථවත් කරන්න වහාම කොටි තහනම බලාත්මක කළ යුතුයි. එතකොට ඔය එක එකාට 'සාම සාකච්ඡාවලට යනු' කියලා කියන්න අවසර නෑ නොවැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඉඳගෙන එක එක එන්.ජී.ඕ. කාරයින්ට කොටියාට කඩේ යන්නත් බැහැ. හරි දැන් කියවමු.

මේ ලක් මවගේ දෑස් තුටු කඳුළෙන් තෙමා ලු ඓතිහාසික විජයග්‍රහණයක අභිමානයෙන් මුළු ලක් දෙරණම උදම්ව සිටින මොහොතකි. වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදී ත්‍රස්තවාදය සුනුවිසුණු කර ඔහුගේ ඊළාම් සිහින විජිතයේ හදවත බඳු වු කිළිනොච්චිය දේශප්‍රේමී හමුදා විරුවන් විසින් විජයග්‍රහණය කරන ලද මොහොතකි. ඒ අභීත විරුවන්ට මුළු මහත් ජාතියේම ප්‍රණාමය හිමි වන මොහොතකි. අපද අපගේ කෘතවේදීත්වය ඒ අභිමානවත් ලක් පුතුන්ට පුද කරන්නේ උණුසුම් හැඟීමෙන් ඔවුන් හදවතින්ම වැළඳ ගනිමින්ය.

මේ ඓතිහාසික විජයග්‍රහණය හෙට ලියැවෙන ඉතිහාසයේ රන් අකුරින් තැබෙන සටහනක් වනු නො අනුමානය. ඒ රන

කුරු සමඟ සුදිලෙන්නේ අපරාජිත රණවිරුවන්ගේ ආත්ම පරිත්‍යාගයේද, අධිෂ්ඨානයේ හා අභිමානයේ ද කතාව බව අපි ලියා තබමු. සිය මාතෘ භුමිය ත්‍රස්තවාදයේ භීෂණයෙන් ගලවා විමුක්තියේ නිදහස් අරුණළු උදා කරන්නට ඔවුන් විසින් නොකරන ලද පරිත්‍යාගය කුමක්ද? ඒ වෙනුවෙන් පුජා කළ ජීවිතවල අගය කෙතරම් ද? ඒ වෙනුවෙන් ගලා ගිය රුධිරය කෙතරම්ද? ඒ වෙනුවෙන් සදාකාලික ආබාධිතයන් බවට පත් වුවෝ කෙතරම් ද? ඉතිහාසයේ සුදිලෙන ජයග්‍රාහී උදාන වැකිය තුළ ඒ සියල්ල නිහඬව තිබෙන බව අපි කිසිසේත් අමතක නොකරමු.

මවුබිමෙහි නිදහස උදෙසා කරන ලද අරගල පිළිබඳ අභිමානවත් ඉතිහාසයක් අපට තිබේ. ඒ වීර කැප්පෙටිපොල විරුවන්ගේ පරපුරෙහි අභිමානය අතීතයෙන් ගලා ආ දිව මතුරක් සේ අපගේ රණවිරුවන්ගේ දෙසවන් තුළ දෝංකාර දුන් අයුරු අපි දනිමු. මේ අරගලය ජන ඝාතක, ජන පීඩිත යුද්ධයක් නොව මානුෂික මෙහෙයුමක් බව ජනපති මහින්ද රාජපකෂ මහතා නිරන්තරවම කළ අවධානය අප සවන් තුළ ද පිළිරුව් දෙයි.

සැබැවින්ම මේ ජයග්‍රහණය දෙදහස් වසරක ජාතික සංස්කෘතික උරුමයේ පුනරුත්පත්තියක් වැන්න. මුනි සිරිපා පිපුණු බිමේ උරුමයද, ජයසිරි මා බෝ රුඳුණු බිමේ බල මහිමය ද සිරි දළදා රුඳුණු බිමේ ශාන්තිවාදය ද මේ විජයග්‍රහණයට දිරි දුන්, උර දුන් බව අපි දනිමු. ගමින් ගම, දොරින් දොර සිදු කළ අධිෂ්ඨානයේ පුජා වන්නියේ යුද බිම රණවිරුවන් ඔද තෙද ගැන් වු අයුරු අපි දනිමු.

අභීත විරුවනි, දැන් යළිත් පෙරදිග මුතු ඇටය නිදහස් ය. එය ලෙයින් සේදු උමතු මිනිසා පසුබැස යමින් සිටියි. මවුබිමේ හෙට වෙනුවෙන් අභීතව, අකම්පිතව, ඔබ ඔබගේ අද පරිත්‍යාග කළෙහිය. ආත්මාර්ථයෙන් තොරව කරන පරිත්‍යාගය කෙතරම් උතුම් දැයි ඔබ පුජා කළ ජීවිත අපට පෙන්වා දී තිබේ. සටන් බිමෙන් ඇසෙන මර හඬට නොබියව ළය දෙමින්, ඔබ එසවු පියවර කොතරම් උතුම් දැයි අප පසක් කර ගනිමු. ඒ ඉතිහාසය ඔබගේය.

කිළිනොච්චියට අපගේ රණවිරුවන් ඇතුල්වනු වැළැක්වීමට ක්‍රියාත්මක වු බලවේග බොහෝ විය. බටහිර තීරයෙන් මතු වී ඉන්දියාව ඔස්සේ ද බඩ ගෑ ඒ සර්පයෝ සිය විෂ දළ සඟවා මානව හිතවාදයේ පෙණ ගොබය විදහාලුහ. එහෙත් ඉනද්‍රඛීලයක් සේ සිටි ලක් ජනපති සිය උරමතට වන් ජාතික වගකීම නිවැරුදිව වටහා ගත් බව ද අප ලියා නොතබන්නේ නම් එය වරදකි.

අප ලද මේ විජයග්‍රහණයේ මිහිර ප්‍රභාකරන්ගේ ගජමිතුරු සමාගම්වලට අමිහිරි මතකයක් බවට සැක නැත. 2003 වසරේදී ප්‍රභාකරන්ගේ ඊනියා නියැදුරු බව කී ඇන්ටන් බාලසිංහම් කළ අවමන අපට සිහිවේ. හේ කියා සිටියේ දුබල සිංහල හමුදාවට සටන් විරාමයක් දෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම නිසා බවය. එහෙත් 2009 වන විට ඒ දුබල හමුදාව කිළිනොච්චිය අල්ලා ගනිද්දී ඒ අමිහිරි අත්දැකීම විඳ ගන්නට බාලසිංහම් නැත. පරලොවක සිට ඔහු එදෙස බලා සිටියිද? ප්‍රභාකරන්ද පසුගිය දෙසැම්බරයේදී එවැනිම පුරසාරමක් දොඩවා තිබුණි. ඒ තමිල්නාඩුවේ නකිරන් නමැති පුවත් සඟරාවකටය. ඔහු කියා සිටියේ කිළිනොච්චිය ඇල්ලීම මහින්ද රාජපකෂගේ දවල් හීනයක් පමණක් බවය.

ප්‍රභාකරන් නම් තවමත් වන්නි කැලෑවක කොතැනක හෝ ගුහාවක රිංගා සිටිනු විය හැකිය. සිය ඊළාම් විජිතයේ මිනීවල තුළම වැටී මරු දකිනු හැර වෙනත් විකල්පයක් නැති බව ද ඔහුට සිතෙනු විය හැකිය. සිය දුෂ්ට අරමුණ වෙනුවෙන් අවියෙන්ම තමන් වෙතට ළංකර ගත් දෙමළ තරුණ තරුණියන්ගේ අඳෝනා විලාප මෙවේලේ ඔහුට ඇසෙනුද විය හැකිය. එහෙත් ඝාතනය : භීෂණය පමණක් ඇදහීම බවට පත් කර ගත් ෆැසිස්ටිවාදියකුගෙන් අපට අපේකෂා කළ හැකි දෙයක් තිබේද?

කෙසේ වුවද ඒ ෆැසිස්ටිවාදයට පරාජයත්, මව්බිමට විජයග්‍රහණයත් දැන් අත්පත් වී තිබේ. ඒ විජයග්‍රහණය අර්ථවත් කිරීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ඈ සියලු කොටස් කළණ මිතුරන් සේ එක්විය යුතු බව ද අපි ලියා තබමු. ඒ ඓතිහාසික විජයග්‍රහණය අර්ථවත් වන්නේ එවිටය. ලක් මව කඳුළු පිස හැර හිනැහෙන්නේ එවිටය. පෙරදිග මුතු ඇටය දුකදුරු හැර සුදිලෙන්නේ එවිටය. ඒ උදාර අරමුණ සාක්ෂාත් කිරීමට අපට හැකි නම් ඉතිහාසය ද අපට හිස නමා ආචාර කරනු ඇත.
(දිවයින-09/01/03)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !