Sunday, January 4, 2009

හූනා සහ වලිගය

ප්‍රභාකරන් ඉතා දුර්වල සංඥාවක් නිකුත් කර තිබේ. මෙය හූනාගේ කැඩුණු වලිගය නිකුත් කරන සංඥාව වැනි නිරර්ථක සංඥාවකි. සතුරකු තමා පසුපස හඹාගෙන එන විට හූනා උගේ වලිගය කඩා දමා පැන දුවයි. මෙවිට ස්වල්ප වේලාවක් වලිගය දඟලමින් බිම තිබෙන අතර හූනා පසුපස හඹා ආ සතා වලිගය ළඟ නැවතී ටික වේලාවක් බලා සිටීමට පුළුවන. එක්කෝ ඌ වලිගය හූනා ලෙස වරදවා තේරුම් ගෙන එය ගිල දමා ආපසු යයි. මේ කාලය තුළ දිව ගොස් සැඟව ගන්නට හූනාට පුළුවන. ප්‍රභාකරන් කොළඹදී බෝම්බ දෙකක් පුපුරුවා ඉකුත් සතියේදී සංඥාවක් නිකුත් කළේ කිළිනොච්චියට පහරදීමේ පළිය කොළඹදී ගන්නා බවට ය. එවිට මුලතිව් ගැන ආරකෂක අංශ තුළ ඇති අවධානය කොළඹට හැරවෙනු ඇතැයි මරණ මංචකයේ සිටින මේ බොළඳ මෝඩයා කල්පනා කරන්නට ඉඩ තිබේ. මේ වු කලී අපගේ වීරෝදාර හමුදාව කිළිනොච්චියේ බලය තහවුරු කරගෙන මුලතිව් බලා ගමන් කරමින් සිටින අවස්ථාවයි. ඔවුන් කිසි ලෙසකත් ආපසු හැරෙන්නේ නැත. ඒ නිසා ප්‍රභාකරන් කළ යුත්තේ සිය සිරුර සහ වලිගය ආරකෂා කර ගැනීමට සුදුසු පියවර ගැනීම ය. ඔහු ආරකෂාව පතා කිසියම් ගුලකට රිංගන්නේ නම් ස්ථිර වශයෙන්ම වලිගය ද ගුල තුළට ගත යුතුය. නැතහොත් පැනයන යුද අපරාධකරුවකු වු බෙනිටෝ මුසෝලිනිගේ බෙල්ලෙන් අල්ලා ඔහු බිම දිගේ ඇදගෙන මරණය දක්වා ගෙන යෑමට ඉතාලි ජනයා කටයුතු කළාක් මෙන් ප්‍රභාකරන්ට ද සුදුසු ඉරණම ප්‍රදානය කිරීම සඳහා මේ රටෙි ජනයා ජාති භේදයකින් තොරව කටයුතු කරනවා ඇත. (මුසෝලිනි යනු දෙවන ලෝක යුද්ධයේදී ඉතාලි පාලකයා ලෙස ද හිටිලර්ගේ උදව්කාරයා ලෙස ද කටයුතු කළ මිනීමරුවෙකි.)

අවසානයේදී බලනවිට ප්‍රභාකරන් ලෑලි වීරයකු බව පෙනී යයි. අප ඔහු කාඩ්බෝඩ් වීරයකු ලෙස හෝ හඳුන්වන්නේ මන්ද? කාඩ්බෝඩ් වීරයා එක වැස්සට තෙත බරි වී කඩා වැටේ. එහෙත් ලෑලි වීරයාට වැසි දෙක තුනක් අල්ලාගෙන සිටීමට පුළුවන. තුන්වන හෝ හතරවන වැස්ස වන විට ලෑලි දේහය සම්පුර්ණයෙන්ම දිරා ගොස් ඇඟිල්ලෙන් ඇන්න විට බිමට කඩාවැටෙි. ප්‍රභාකරන් සිටින්නේ මේ සිවුවන වර්ෂාව ඇද හැලෙමින් පවත්නා අවස්ථාවේ ය. මේ අවස්ථාවේදී අප බලා සිටිය යුත්තේ ඔහු කොයි පාරෙන් පැන යන්නේ ද යන්න නොවේ. ඔහුගේ සිරුර කවර බිංගෙයකින් හමුවේද යන්න ය. හිටිලර්ගේ සිරුර නම් බර්ලිනයේම බිංගෙයක තිබී හමු වි ය.

කොළඹ බෝම්බ පිපිරවීමෙන් ප්‍රභාකරන් නගන දුර්වල සංඥාව පිටුපස සාකෂියක් සහ මතයක් තිබේ. සාකෂිය නම් මරාගෙන මැරෙන බෝම්බකාරයන් මෙය කරන බව ය. මතය වන්නේ කොළඹ සිටින පාතාලය කොටින්ගෙන් ගාස්තුවක් අය කර මෙය කරන බව ය. කොළඹ සිටින මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට ඉතිරිව ඇත්තේ මරාගෙන මැරීම ම පමණි. මන්ද, ආපසු ප්‍රභාකරන් වෙත ගියත් ඔවුනට සිදුවන්නේ දරුණු වධවලට මුහූණදී වෙඩි කන්නට ය. ප්‍රභාකරන් තමන්ට පිටින් ගිය මහත්තයා (එල්.ටී.ටී.ඊ.යේ හිටපු නියෝජ්‍ය නායකයා) බිංගෙයක් තුළ රඳවා දවස් ගණනක් වධ දී මැරෙන්නට ඉඩ හැරියේ අන් අයට පාඩමක් පිණිස ය. සියලු මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට මහත්තයා වධ විඳින දර්ශන වීඩියෝ මාර්ගයෙන් පෙන්වනු ලැබේ. එය දකින එකා මරාගෙන මැරීම, ආපසු ප්‍රභාකරන් වෙත යෑමට වඩා හොඳ බව සිතයි. බෝම්බයක් පුපුරුවාගෙන මළොත් එය වතාවකින් කෙළවර ය. දින ගණන් වධ විඳ මැරෙන්නට ලෝකයේ නරකම හා භයානකම ත්‍රස්තවාදියා වුව කැමති නැත.

කුලියට බෝම්බ පුපුරුවන පාතාලකාරයන් සිටීම ඉතා ස්වාභාවික ය. මෙරට හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියකු වු කර්නල් තුවාන් මීඩින් මැරීමට අවශ්‍ය සියලු කටයුතු කොටින්ට සම්පාදනය කර දුන්නේ "අයිස් මංජු" නමැති සිංහලයා ය. ඒ සඳහා කොටි ඔහුට ගාස්තුවක් ගෙවුහ. අන්තිමේදී "අයිස් මංජු" ඕමන්තේ මුරපොළ තුළින් කිළිනොච්චියට රිංගා ගත්තේ ය. මේ දේශද්‍රෝහීන්ට දිය හැකි වධ 32 ක් සිංහල රජ කාලයේ තිබිණි.

කිළිනොච්චිය ජය ගත් හමුදාව දිරි ගැන්වීම සඳහා මිනිස්සු ප්‍රීති ඝෝෂා කළහ. කැවුම් කිරිබත් පිස හමුදාවට කන්නට දුන්හ. රතිඤ්ඤා ද පත්තු කළහ. හමුදාව කිළිනොච්චිය මුදාගත් බව ජනාධිපතිවරයා නිල වශයෙන් දැනුම් දුන් විට දෙසැම්බර් 31 වැනිදා රාත්‍රි 12 ට පත්තු වු රතිඤ්ඤා ප්‍රමාණය මෙන් දෙගුණයක් රතිඤ්ඤා පත්තු විය. අපගේ වැටහීම වන්නේ මෙසේ පිපිරු රතිඤ්ඤාවලට වැය කළ මුදලින් රණවිරුවන් දහ පහළොස් දෙනකුට නිවාස ඉදි කරදීමට හැකිව තිබු බව ය. එය රතිඤ්ඤා උපහාරයට වඩා හොඳ උපහාරයකි.
(දිවයින-09/01/05)

1 comment:

Anonymous said...

හිට්ලර්ගේ සිරුර බර්ලිනයේම බිංගෙයක තිබී හමු වූයේ නැත. මිත්‍ර පාර්ශ්වයේ හමුදා ළඟට ම පැමිණෙන විට සිය දිවි නසා ගත් හිට්ලර්ගේ සිරුර හිට්ලර්ගේ ආධාර කරුවන් ආදාහනය කළ බව කියැවේ.

 
සිය රට දේ සිරි සැප දේ !