Wednesday, January 21, 2009

ත්‍රස්ත සංචාරකයෝ

ඉතා ඈත කාලයේ පටන් සංචාරක පුරවරයක්ව තිබු ශ්‍රී ලංකාවේ, එකී කර්මාන්තය පිළිබඳ අවසාන විග්‍රහය මෙසේ විය හැකි ය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය කොටස් කිහිපයකට බෙදී තිබේ. එයින් පළමුවැන්න යුරෝපයේ සීත කාලය මගහැරීම සඳහා යුරෝපීය වැසියන් මෙහි පැමිණීම ය. එය සීමාසහිත කාලයකි. යුරෝපය රත්වු වහාම සංචාරකයෝ නැවත එහි යති. දෙවැන්න, පුරාවස්තු නැරඹීමට අවුරුද්දේ මාස 12 තිස්සේ ම මෙහි එන සංචාරක පිරිස් ය. ඊළඟට ඉකෝ ටුවරිසම් හෙවත් පරිසරය සහ ජෛව විවිධත්වය නැරඹීමට මෙහි එන සංචාරක පිරිසක් ද වෙති. ඒ අතර ආයුර්වේද ප්‍රතිකාර ගැනීමට සහ බුදු දහම ඉගෙන ගැනීම සඳහා මෙහි එන සංචාරකයෝ ද වෙති. ඒ අතර ඉන්ටර්නෙටි බලා ගණිකාවන් සොයා මෙහි එන නාකි කඩමාලු සංචාරකයෝ ද වෙති.

මේ සියල්ලට පසු 1983 න් අනතුරුව අලුත් සංචාරක ස්ථරයක් ඇතිවිය. ත්‍රස්ත සංචාරක ව්‍යාපාරය ලෙස මෙය හැඳින්විය හැකි ය. මේ සංචාරකයන්ගේ ප්‍රධාන කටයුත්ත වුයේ යුද්ධය නැරඹීම සඳහා නිල වශයෙන් උතුරට හා නැගෙනහිරට යෑම ය. ඔවුන් අතුරින් වැඩි දෙනා ආවේ නෝර්වේ රටිනි. ඊට අමතරව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අයත් උදවිය ද මේ සංචාරක කටයුතුවල නිරත වුහ. කොළඹට එන ඔවුහු ආණ්ඩුවේ හෙළිකොප්ටර්වල නැඟ කිලිනොච්චියට ඇතුළු වුහ. නැතහොත් ඕමන්තේ මුර පොළින් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වුහ. ඔවුන් ඒ සංචාරයේදී දැකීමට වැඩියෙන් ප්‍රිය කළ සතා ප්‍රභාකරන් ය. කිලිනොච්චියේ කොටි මුලස්ථානයේදී ප්‍රභාකරන්ට අමතරව පොටිටු අම්මන්, තමිල් සෙල්වන්, කිටිටු, ඇන්ටන් බාලසිංහම්, නඩේසන් වැනි සත්තු ද ඔවුනට දැක ගත හැකි විය. මේ සතුන් අතරට ගිය සැණින් සංචාරකයෝද සත්තු බවට පත් වුහ. හොඳම උදාහරණය නෝර්වේ සිට පැමිණි එරික් සෝල්හයිම් ය. ශ්‍රී ලංකාව දෙකට කැඩිය යුතු බවට ඇති කොටි මතයට එකඟ වෙමින් තෙමේ ද වන සිවුපාවකු බවට පත් විය. ඊළඟට මෙහි පැමිණි සටන් විරාම නිරීකෂණ කමිටුව ද කොටි බවට පත් වුහ.

ඊයේ (21දා) මෙහි පැමිණි ජපන් රජයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මැතිතුමා ද ත්‍රස්ත සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පැවැති කාලයේදී මෙහි ආ ගිය කදිම මහතෙකි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සම්බන්ධයක් තිබේ. ඒ සම්බන්ධය දෙවන ලෝක යුද සමය දක්වා ඈතට යයි. දෙවන ලෝක යුද්ධයේදී පීඩාවට පත් රටවල් එක්ව යුද්ධයේ වගඋත්තරකාරයකු වු ජපානයට දඬුවම් කළ යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට තැත් කරන කල්හි ඊට එරෙහි වු ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා බණ පදයක් කියා ජපානය බේරා ගැනීම ප්‍රසිද්ධ කතාවකි. (සමහර විට ජේ. ආර් මැතිතුමා ගැන ඇති ප්‍රසිද්ධම කතාව එය විය හැකිය.) අකාෂි මහතා මේ සියල්ල සිහිපත් කරමින් සටන් විරාම කාලයේදීත් ඉන් පසුත් මෙහි ආ ගිය මහතෙකි. එසේම යුද්ධය නවත්වන ලෙස ලංකාවට අනියමින් බල කරමින් අපට දීමට නියමිතව තිබු විදේශාධාර පවා පමා කිරිමට හේතු වු වැදගත් මහතෙකි. එ බැවින් මේ මහතාට ජේ. ආර්. කියු බණ පදයම කියා ඔහු උතුරට හා නැගෙනහිරට ගෙන ගොස් පෙන්වා ත්‍රස්තවාදීන් කළ විනාශය පැහැදිලි කරදීම රජයේ යුතුකමකි. එසේම ඔහුටද ත්‍රස්ත සංචාරකයකු ලෙස සලකා ගුවන් මගින් එහා මෙහා යෑමට ඉඩ දීම නොවේ. මෙවැනි විදේශිකයන්ගේ ගමන්වලින් ආණ්ඩුව නිසි ප්‍රයෝජන නෙළාගත යුතුව ඇත. මේ වෙලාවේදී අපට අවශ්‍ය දුක සැප බැලීමට එන විදේශිකයන් නොවේ. ඇත්තටම උපකාර පිණිස එන අවංක අය ය.
(දිවයින-09/01/22)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !