Sunday, January 11, 2009

එල්.ටී.ටී.ඊ. තහනම

වේළුපිල්ලෙයි ප්‍රභාකරන් සහ ඔහුගේ මිත්‍ර සමාගම් හැර දැන් මුළු රටම බලා සිටින්නේ මුලතිව් විජයග්‍රහණය පිළිබඳ සුබ ආරංචිය ඇසීමට ය. කිළිනොච්චිය අල්ලා ගත නො හැකි බවට ලොව පුරා පැතිර තිබුණු දුර්මතය බිඳ දමා මේ වන විට කිළිනොච්චිය පමණක් නොව අලිමංකඩ හා ඒ : 9 මාර්ගය මුළුමනින් ම අත්පත්කර ගැනීමට ද ආරකෂක හමුදාවෝ සමත්ව සිටිති.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානශීලී මෙහෙයුම්වලට අමතරව රජය අතිශය වැදගත් දේශපාලන තීරණයක් ද ගෙන තිබේ. ඒ එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම ය. ලෝකයේ රටවල් ගණනාවක් ම එම සංවිධානය තහනම් කළත් ශ්‍රී ලංකාවේ එකී තහනම පැනවීමට නො හැකි විය.

තහනම් සංවිධානයක් සමඟ සාකච්ඡා කර විසඳුමකට එන්නේ කෙසේද යන තර්කය එයට හරස් වු අයුරු අපි දනිමු. එල්. ටී. ටී. ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් බව කියන ඊනියා ජගත් ප්‍රජාව ද ලංකාව තුළ එබඳු තහනමක් පැනවීමට එකඟ වුයේ නැත. එහෙත් ඒ අවකාශය භාවිත කළ ප්‍රභාකරන් සිය හමුදා බල තහවුරු කරගත් ආකාරය දැන් ප්‍රසිද්ධ රහසකි.

ස්වාධීන රටකට හිමිවිය යුතු නාවික, ගුවන් ඇතුළු හමුදා බලයක් ද පොලිස් හා අධිකරණ පද්ධතියක් ද තමන් සතු බව ජාත්‍යන්තරව ප්‍රචලිත කර සිය කුප්‍රකට ඊළාමය පිහිටුවීම එල්. ටී. ටී. ඊ. අරමුණ විය. මුළු උතුරු නැගෙනහිරම ඇතුළත් ඊළාම් සිතියමක් ද සැකසු කොටි නායකයා සිය නිජබිම පිළිබඳ මතයක් ද ජාත්‍යන්තරයට නිවේදනය කර තිබිණි.

ප්‍රභාකරන්ගේ උමතු ෆැසිස්ටිවාදයට නිහඬව ආවැඩු මවුබිමේ ද්‍රෝහීන්ගේ ද ආශිර්වාදය ඔස්සේ ඊනියා ඊළාම් රාජ්‍යයේ සිහිනෙන් ඇවිද ගිය එතෙර මෙතෙර සියල්ලෝ ම දැන් විකෂිප්තව සිටිති. එහෙත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති රොබටි බ්ලේක් මහතා පවා දැන් ප්‍රකාශ කරන්නේ එල්. ටී. ටී. ඊ. ය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම අනවශ්‍ය බව ය.

දෙමළ එක්සත් පෙරමුණෙහි නායක ආනන්ද සංගරි මහතා ප්‍රකාශ කරන්නේ ද එල්. ටී. ටී. ඊ. යේ අවසානය එළඹ තිබෙන බව ය. එහෙත් තවමත් ප්‍රභාකරන් සුරුකීමේ නූල් සුත්තර නො පෙනේද?

කෙසේ හෝ රජය එල්. ටී. ටී. ඊ. සංවිධානය තහනම් කිරීම කාලීන හා බුද්ධිමය පියවරක් බව අපි යළිත් කියමු. මේ පියවර නිසා තහනම් සංවිධානයකට උපකාර කිරීමට තිබෙන සියලු මාර්ග වැසී යයි. එය මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය ම තීරණයකි. ආරකෂක හමුදා විසින් වට කරනු ලැබ තිබෙන මුලතිව් බලය ද ගිලිහී යෑමෙන් පසු ප්‍රභාකරන්ට පිහිට වන්නේ ගෙලෙහි එල්ලාගෙන තිබෙන සයනයිඩ් කරල පමණි.

අනෙක් අතට මේ තහනම ක්‍රියාත්මක වුවද ඔවුන්ට ඕනෑම මොහොතක සාකච්ඡා සඳහා පැමිණීමට බාධාවක් නැති බව ද රජය නිවේදනය කර ඇත. එහෙයින් මෙම තහංචිය දේශපාලන විසඳුමකට බාධාවකැයි යන මතය ද බල රහිත වේ. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලුම රටවල ද එල්. ටී. ටී. ඊ. ය තහනම් කරන ලෙස රජය ඉල්ලීමක් කරන බව ද විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ එම තහනම පිළිබඳව විදේශ තානාපති අංශ සතුට ප්‍රකාශ කර ඇති බව ද විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා විය.

සැබැවින් ම එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය හැක්කේ ද එබඳු පියවරක් මගින් පමණි.

එල්. ටී. ටී. ඊ. දේශපාලන අංශයේ ප්‍රධානියා වන නඩේසන් ඇතුළු පිරිසක් ද රජයට භාර වන බව සඳහන් වාර්තා ද ලැබේ. අපි ඒවායේ ඇත්ත නැත්ත නො දනිමු. ඒ කුමක් වුවත් මේ තහනම ප්‍රභාකරන්ගේ ෆැසිස්ටිවාදයේ පැහැදිලි අවසානය පිළිබඳ තිරසර සංඥාවකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !