Wednesday, December 31, 2008

එතුමාගේ හදවත ගලක්ද?

ඔන්න හැමෝට ම සුබ නව වසරක් වේවා! කියලා රාල පැතුවා. ජනපති, අගමැති, විපක්ෂ නායක සහ තවත් අයගේ විවිධ පැතුම් මාධ්‍ය ඔස්සේ ගලා ආවා. 2009 වසර සිංහල දෙමළ මුස්ලිම් හෝ උතුරු දකුණු බේධයකින් තොරව හැමෝට ම නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් මගේ රටේ උදාවේවායි මමත් පතනවා. ඒ කොහොම වුණත් ජනාධිපතිතුමා අපේ මැති ඇමතිවරුන්ට දීපු අවුරුදු තෑග්ග ගැන නම් මම විරෝධය පළ කරනවා. මෙහෙම ගියොත් 2010 වෙද්දි අපේ අහිංසක දුප්පත් ඇමතිවරු හිඟමනට වැටෙයි. නැද්ද මං අහන්නේ? අනේ අම්මපා!?!

ඩීසල්, පෙට්‍රල්, භුමිතෙල්, ගෑස් යනාදියෙහි මිල අඩු වී තිබේ. ත්‍රිරෝද රථ සඳහා දිනකට පෙට්‍රල් ලීටර 4 ක් ලීටරයක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ගෑස් මිල, ඩීසල් මිල අඩු කිරීම යනාදිය සමාජයට කෙළින්ම බලපාන කාරණා ය. ගිය අවුරුද්දේ නොවැම්බර් අග වන විට ශ්‍රී ලංකාවේ තිබු (අදටත් තිබෙන) ත්‍රිරෝද රථ සංඛ්‍යාව හාර ලකෂ පනස් දහසක් විය. එනම්, ත්‍රිරෝද රථ නිසා පවුල් හාරලකෂ පනස් දහසක් ජීවත් වෙති. එක පවුලක පස් දෙනෙක් සිටියා සේ ගණන් ගතහොත්, ත්‍රිරෝද රථ නිසා ජීවත් වන මුළු ජන ප්‍රමාණය විසි ලකෂයකි. තේ, රබර්, කුරුඳු යනාදියේ අපනයන බදු ඉවත් කර, ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනාව 50% කින් කපා දමා ජනපතිගේ සහ අගමැතිගේ දීමනා 15% කින් අඩු කර තිබේ. එසේම ඇමැතිවරුන්ගේ සහ විපකෂ නායකවරයාගේ දීමනා 10% කින් කපා දමා තිබේ. (මෙය නම් පිකටිං කිරීමට සුදුසු කාරණයකි). ඇමැතිවරුන්ගේ දීමනා 10% ක් කැපීමෙන් එතුමන් ලා හිඟමනට පත්වීම වැළැක්විය යුතු ය. ජනාධිපති හා අගමැති යනාදීන්ගේ දීමනා කැපීම ආර්ථිකයට දැනෙන තීරණාත්මක සාධකයක් නොවුවත් ආදර්ශවත් පියවරකි. ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනා 50% කින් කැපීමෙන් ඔවුන් පත්වන අසීරුව අපගේ හදවත පැලෙන තරමට වේදනා ගෙන දෙයි. දැන් මේ දුප්පත් මිනිසුන් ගෙවල් කුලීකාරයාගෙන් බේරෙන්නේ කොහොමද? ඇමැතිවරුන් වැඩි හරියකට කොළඹ පෞද්ගලික දේපළක් ලෙස නිවසක් හෝ නිවෙස් දෙකක් තිබේ. එය කුලියට දෙන ඔවුහු ආණ්ඩුවේ ගෙවල් කුලී දීමනාවෙන් ගෙයක් කුලියට ගනිති. සමහරවිට මේ ගෙදරක මාසික කුලිය රුපියල් ලකෂයකි. කොළඹ සිටින හැම ඇමැතියකුගේම නිවස වායු සමීකරණය කර ඇත. ඉතාම ප්‍රගතිශීලී මන්ත්‍රීවරු පවා වායු සමීකරණයේ සුවය විඳිති. ඒ අනුව ඔවුන්ගේ ගෙවල් කුලිය 50% ක් කැපීමෙන් ජනාධිපතිවරයා ඉතා නපුරු ලෙස කටයුතු කර ඇත. දැන් ඉතින් මේ සැප ඇඟවල්වලට යන කල දසාව කුමක්ද? ඒ. සී. නැති ලාබ ගෙවල්වල ගත කිරීමට සිදුවන කාලකන්නි ජීවිත නිසා අපගේ ඇමැතිවරුන්ට සංසාරය එපා වෙනවා ඇත.

ලාෆ් ගෑස් මිල රුපියල් 276 කින් ද ෂෙල් ගෑස් මිල රුපියල් 166 කින්ද අඩු කර තිබීම මෙය ගෙවල්වලට මිස හෝටල්වලට කිසිසේත් ම නො දැනෙනවා ඇත. මේ රටේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 50 කින් ඉහළ ගිය විට හෝටල්කාරයා ආප්පයක මිල රුපියලකින් ද තේ කෝප්පයක මිල රුපියලකින්ද නග්ගයි. ගෑස් සිලින්ඩරයකින් ආප්ප 1000 ක් සෑදිය හැකි අතර හෝටල්කාරයා රුපියල් පනහේ මිල වැඩිවීමෙන් රුපියල් 1000 ක් ලාබ ලබයි. තේ පිළිබඳ තත්ත්වය ද මෙයමයි. බස් ගාස්තු හා ත්‍රිරෝද රථ පිළිබඳ තත්ත්වය ද මෙයමයි. රජය විසින් කරන මිල පහළ දැමීම්වල සහනය පාරිභෝගිකයා වෙත ගලා යෑම එක්තරා කඩඉමකදී නවතී. පෙට්‍රල් මිල අඩු වු විට ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට අකැමැති වන ත්‍රිරෝද රථ හිමියා සහ බස් හිමියා කියන්නේ ටයර් මිල ඉහළ ගොස් ඇති බව ය. ටයර් දිනපතා මාරු කරනු නො ලැබේ. ත්‍රිරෝද රථයක ටයරයක් මාස 6 කට වඩා පාවිච්චි කළ හැකි ය. ඩීසල් මිල අඩු වීමෙන් ප්‍රවාහන වියදම් අඩු වුවද ඒ ලොරිවල ප්‍රවාහනය කරන බඩු මිල අඩු වන්නේ නැත. බඩු මිල සම්බන්ධයෙන් වෙළෙඳ ඇමැතිවරයා කියන හැම දෙයක්ම වරදී. එතුමා සිමෙන්ති අඩු කරන බව කීව ද එසේ වී නැත. එය එතුමාගේ වරද නොව පවතින ක්‍රමයේ වරදයි. අප කියන්නේ ඉහත සඳහන් සහන වලින් බඩු මිල පහත යෑමට වෙළෙඳුන් ඉඩ නොදෙන විට බලහත්කාරයෙන් එය කළ හැකි යාන්ත්‍රණයක් ඇති කළ යුතු බව ය. කෙසේ වුවද ඇමැතිවරුන්ගේ ගෙවල් කුලී දීමනාව 50% කින් බස්සා ජනාධිපතිවරයා කළ නපුරු කම අමතක කළ නොහැකි බව යළි කියමු. එතුමාගේ හදවත ගලක් ද?
(දිවයින-09/01/01)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !