Thursday, December 31, 2009
ඒ ගමනත් අපි එකට යමු....
මේ සටනේදී මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් වෙඩි කෑ සෙබළු එකා පිට එකා මැරී වැටුණාහ. ලේ ගංගා ගලා ගියේ ය. ඒ අනුව තිස් අවුරුද්දකට පසු ශ්‍රී ලංකාව නැවත වතාවක් ඒකීය නිදහස් රාජ්‍යයක් බවට පත් විය. යුද්ධය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ප්රණාම වේවා! නිසි දේශපාලන නායකත්වයත්, රණ විරුවන්ගේ දිරියත් නො වන්නට උතුර - නැගෙනහිරට යැම සඳහා වීසා බලපත් ලබා ගැනීමට සිදුවීමේ අවදානමට ලංකාව මුහුණ දී සිටියේ ය.
මේ රට නැවත වතාවක් නිදහස් කර ගැනීම සඳහා වූ සටනේදී "දිවයින" දැරූ භූමිකාව කිසිදු දේශපාලන ප්‍රතිපත්තියක් හෝ කිසිදු බලවේගයක් නිසා වෙනස් නොවූවකි. එක්දහස් නවසිය අසූතුනේදී ප්රභාකරන් රට කැඩීමේ යුද්ධය නිල වශයෙන් පටන් ගත්තේය. ඔහු පළමුවන වෙඩි මුරය තබන විට හමුදාව පිළිතුරු වෙඩි මුර තබන්නට විය. ඒ අතර බෙදුම්වාදයට එරෙහිව මතවාදී වශයෙන් ජනතාව සන්නද්ධ කිරීමට "දිවයින" පටන් ගත්තේ ය. ත්‍රස්තවාදය, ජූලි කලබලයේ දුමාරය සහ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් නිසා ඇඹරී ගොස් සිටි ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කොටින්ට යම් ප්‍රමාණයක දේශපාලන නිදහසක් ප්රදානය කරන්නට යන බවක් පෙනෙන්නට තිබිණි. අපි එයට එරෙහි වූයෙමු. එකල මේ පුවත්පතට දැන්වීම් නො දෙන ලෙස ජයවර්ධන ආණ්ඩුව රජයේ ආයතනවලට නියෝග කළේ ය. ශ්‍රී ලංකාව වැනි රටක ආණ්ඩුවේ දැන්වීම් නැතිව ව්‍යාපාරික ගමනක් යැම පුවත්පත් ආයතනයකට ඉතා දුෂ්කර කාරියකි. එහෙත් "දිවයින" ස්වදේශික ව්‍යාපාරිකයන්ගේ පිහිටෙන් තම මතවාදය පතුරුවා හරිමින් ඒකීය රටක් වෙනුවෙන් යන ගමන දිගටම ගියේ ය. අපට නැති වීමට තිබුණේ රට දැය සමය පමණි. එය රැකීමට දිවි හිමියෙන් කැපවීම මේ පුවත්පතේ පරමාර්ථය විය.
කොටින්ට සහන දීමට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා තැත් කළ විට අපි ඔහු සමඟ ඉතා භයානක ලෙස ගැටුනෙමු. ඒ ගැටුම් අතරේ වුවද තම නායකත්වය යටතේ ඇති සුචරිත ව්‍යාපාරය පිළිබඳ පුවත් දිවයිනේ පළ නොවුණොත් එය බරපතල අඩුවක් සේ දැකීම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සිරිත විය. ප්රභාකරන් විසින් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කළ විට ඊළඟ ජනාධිපති වූයේ ඩී. බී. විඡේතුංග මහතා ය. මේ රටේ පවතින්නේ ත්රස්තවාදයක් බව ඔහුගේ මතය විය. අපි ඔහු හා එකඟ වෙමින් ඔහුට සහාය පළ කළෙමු. ඊළඟට බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග සමග ද රටේ ඒකීයත්වය සම්බන්ධයෙන් අපට මතභේද විය. ඒ මත භේද නිසා අපට අහිමි වූ දේ ද බොහෝ ය. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කොටින් සමඟ සටන් විරාමය අත්සන් කළ පසු ප්රභාකරන් උතුර - නැඟෙනහිර වෙනම රටක් ලෙස ලියාපදිංචි කර ගැනීම සඳහා සන්නද්ධ වීමට පටන් ගත්තේ ය. අපි එයට මහත් සේ විරුද්ධ වූයෙමු.
රටේ ඒකීයත්වය රැකීම සම්බන්ධයෙන් අප සතුව තිබූ ප්රතිපත්තියත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රතිපත්තියත් එක හා සමාන විය. ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන් ම විනාශ කළ යුතු බව එතුමා කීවේ ය. අපි වසර තිහක් තිස්සේ කියුවේ ද එයම ය. විදේශීය පිශාචයන්ගෙන් යෑපෙමින් සිටි බඩගෝස්තරයන් මේ ප්‍රතිපත්තියට එරෙහිව කොටින් වෙතින් ගිලිහී යමින් තිබූ උතුරු - නැගෙනහිර භූමිය ගැන කඳුළු සලන්නට විය. විවිධ බලවේග, තර්ජන යනාදිය නො සළකා හල මහින්ද රාජපක්ෂ යුද්ධය දිනූ විට පළමුවන සතුටු කඳුළු හෙලූ කිහිප දෙනා අතර අපිදු වීමු.
හොඳට හෝ නරකට ගිය වසර මැතිවරණ වසරකි. අදින් ඇරඹෙන වසර ද මැතිවරණ වසරකි. රටට නිදහස දුන් නියම ජයග්‍රාහකයා ජනතාව විසින් තෝරනු ලබනවා ඇත. ඒ අතර අපට ඉතිරිව ඇත්තේ මේ රටේ ඒකීයත්වය ආරක්ෂා කිරීම ය. එය අපගේ ආරම්භක මෙහෙවරමය. ඒ ගමනත් අපි එකටම යමු.
(දිවයින - 10/01/01)
ටිප්පනිය - ලැබුවා වූ නව වසර සකල ශ්‍රී ලංකා වාසීන්ටත් දිවයින පුවත්පතේ කාර්ය මණ්ඩලයටත් සුබ නව වසරත් වේවායි පතමි. ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ භූමිකාව මෙරට ක්‍රියාත්මක කරන්නේ දිවයින යැයි කීවේ වරදක් නැත. ඒකීය ලංකාවක් වෙනුවෙන් දිවයින මතවාදී තලයේ කළ සටන ඉතිහාස ගත වන්නකි. දැන් එහි ඵල නෙළන්නට කාලයයි. ඒ සඳහා සැබෑ දේශප්‍රේමි බලමුළු නියෝජනය කරන සැබෑ ම දේශප්‍රේමි නායකයා බලයට පත්කළ යුතුය. ඒ ඔහුට කළෙහිගුණ සලකන්නට නොවේ. මේ රට සුඛිත මුදිත දේශයක් කරනු පිණිසය. එමෙන් ම කළෙහිගුණ සලකා මංමුලා වූ දේශප්‍රේමියාට විශ්‍රාම යැවීම ද මේ වසර ආරම්භයේම රටට හිතකර වනු ඇත. ඒ ගමනත් අපි එකට යා යුතුය. එකම ජාතියක් ලෙස.
Tuesday, December 29, 2009
නීති විරෝධී පෝස්ටර් හා කටවුට් (අහෝ ලක්ෂ 128 ක්!)
Monday, December 28, 2009
හෙණ....!
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කවරෙක්. රටට හිතවත් වනු ඇද්ද? ඒ සඳහා සුදුසුම අය කවුද? යන්න නිගමනය කිරීම ඒ ජනතාව විසින් විමසා බලා ගත යුතු තීරණයකි. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ දේශපාලන ඉතිහාසය, දේශපාලන භාවිතය, දේශප්‍රේමය ආර්ථික පිළිවෙත ජීවන වියදම පහත හෙළීම ඇතුළු රට සංවර්ධනය කිරීමේ මාර්ග යනාදී කරුණු විමසා බලා තීරණයකට එළඹීම මෙහිදී ඉතා වැදගත්ය.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයම සාමාන්‍යයෙන් විවිධ පොරොන්දු හා නොමග යෑවීම් වලින්ද පිරී තිබේ. හඳෙන් හාල් ගෙන එන්නට දුන් පොරොන්දුව මෙන්ම ඇට අටේ හෙවත් ධාන්‍ය රාත්තල් අටේ පොරොන්දුවද මේ රටේ ජනතාව ගෙඩි පිටින්ම ගිල දැමූ ඒවා ලෙස වඩාත් ප්රකටය. දේශපාලන පොරොන්දු යනු මැතිවරණ බොරු බව ප්‍රසිද්ධියේම කියන නායකයෝද සිටිති. කොහොමටත් ලාබයට පාන් කෑමටත් නොමිලේ සියල්ලම ලබා ගැනීමටත් උනන්දු වන රටක දේශපාලන විඥානය වර්ධනය නොවීම අපට තේරුම් ගත හැකිය.
අපේ බොහෝ දෙනෙකුට අමතක වීමේ වේගය ගැන සිතා බලද්දී සමහරුන්ට මේ රටේ ප්රභාකරන් නමැති යක්ෂයෙක් සිටි වගක් ඉක්මණින්ම අමතකවී ගියහොත් අපි පුදුම නොවෙමු. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය පරදවා ප්රභාකරන් විනාශ කළ බවද දැන් සමහරු අමතක කරති. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුද්ධයේ පංගුව බේරා දීමට අපි කරදර නොවෙමු. එහෙත් එබඳු කශේරුකාවක් සහිත රාජ්‍ය නායකයකු නොවී නම් තවමත් ප්රභාකරන් වන්නියේ නොනිල ආඥාදායකයා බව අපගේ පිළිගැනීමයි.
අප මෙහිදී යුද්ධය ගැන හෝ එයට උරුමකම් කියන අයගේ රණ්ඩුව ගැන හෝ දිගට කතා නොකරමු. අප පෙන්වාදීමට යන්නේ ඊට වඩා වෙනස් කරුණකි. එනම් මේ දවස්වල මැතිවරණ වේදිකාවල දක්නට ලැබෙන අප්‍රසන්න දේවල් පිළිබඳ ජනතාව විමසිල්ලට වඩා පිළිකුලකින් බලා සිටිනා බව අපි කියමු. එසේම ඒවායින් දේශපාලන වෛරය විනා රටට යහපතක් නොවන බවද අපගේ විශ්වාසයයි.
මේ දේශපාලන වෛරය සමග මුසු වූ මඩ ව්‍යාපාර දැන් කලක සිටම සීඝ්රයෙන් පැතිර යන අංගයකි. පුවත්පත්, පත්‍රිකා, වෙබ් අඩවි මගින් පමණක් නොව දේශපාලන වේදිකා ඔස්සේද හමා යන දුර්ගන්ධය නාසයක් සහිත මිනිසුන්ට අපුල දනවන්නක් වුවත් ඒවාට ඔල්වරසන් දෙන පිරිසක්ද සිටිති. අත්පුඩිය හා විසිල් එක බලා ගෙන ඇතැම් විට දෙපැත්ත කැපෙන කුණුහරුප පවා තොලේ කටේ නොගෑවී ඇද බාන වැසිකිළි කටවල් අද දේශපාලනයේ තිබෙන බව ජනතාවද දනිති.
දේශපාලනයේදී ප්‍රතිපත්ති හා දේශපාලන භාවිතය විවේචන කිරීම වෙනුවට මෙකී දේශපාලන විකටයන් කරන්නේ මඩ ගැසීමය. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බැඳීමට බැරි යෑයි සිංහල ජනවහරේ අගනා කියමනක්ද ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මෙම වෛරී දේශපාලනය හා මඩ දේශපාලනය අනුමත නොකරන බව පසුගිය දිනක ජනහමුවකදීම ප්‍රකාශ කර තිබිණි. නායකත්වය විසින් දෙනු ලබන ආදර්ශ පහළින් අනුගමනය නොවන අවස්ථාද වේ. දේශපාලනය අමතක කර පොදු ජාතික අර්බුදවලදී එක්විය යුතු බව අපද බොහෝ විට පෙන්වා දී තිබේ.
කෙසේ හෝ මෙකී දේශපාලන වාචාලයන්ගේ මඩ, අවලාද, අපවාද, ශාප තවමත් පරිසරයම ගඳ ගස්සවමින් ගලා බහින බව අපගේ පිළිගැනීමය. කට වරද්දා බැට කන අයද සිටිති. එසේම කට බෝක්කු කටක් හෝ වැසිකිළි කටක් බවට පත් කර ගන්නා අයද සිටිති. මේ දේශපාලන විකට රූප ජනතාවට විනෝදය සැපයීමට වඩා උඩ බලාගෙන කෙළ ගසන අය බවටද පත්ව සිටිති.
නොබෝදා මේ දේශපාලන නරාවළට තවත් දුෂ්ට අංගයක් එක් කර තිබේ. ඒ හෙණ ඉල්ලීමය. හෙණ ගහපන් ගණන් බලාපන් කීවා වගේ මේ හෙණ කතාව නිකම්ම අත හැරිය නොහැකිය. හේතුව ඒ හෙණ ඉල්ලන්නේද දේශපාලනයේ ඉහළම භූමිකාවකට අයත් වූවකු නිසාය. සාමාන්‍ය සුළු මුළාදෑනියෙක් හෙවත් "පොඩියන්" කෙනෙක් හෙණ ගහපන් කීවා නම් ඇතැම් විට නොතකා හැරීමට වුවද ඉඩ තිබිණි.
හෙණ ඉල්ලන්නේ විහිළුවට හෝ ආදරයටද නොවේ. ජාතියටම හෙණ ගැස්සවූ නරුමයාද අද නැත. හෙණ ගහන අපරාධ යෑයි කතාවට කියන නූගත් ගැමියාට වුවද හෙණ ගසනු බලා ප්‍රීති විය නොහැක. හෙණ ගෙඩි රටටම දුන් ප්රභාකරන්ට නම් හෙණ සන්නිපාතයක් දෙස වුවද බලා සතුටුවිය හැකිය.
දේශපාලන ප්‍රතිවාදීන් විනාශ කිරීම සඳහා භෙණ ඉල්ලන දුෂ්ට හා අධම දේශපාලන සංස්කෘතියක් අපට අවශ්‍ය නැත. එබඳු විනාශකාරී මානසිකත්වයක් සහිත අයගෙන්ද රටකට යහපතක් සිදුවිය හැකිද? හතුරකුටවත් හෙණ ගහනවා බලා ඉන්නට සිංහල බෞද්ධයකුට තබා කිසිදු මානව හිතවාදියකුටද නොහැකි බව අපගේ පිළිගැනීමය.
(දිවයින - 09/12/29)
ටිප්පණිය - කිසිදා තමාට බලය දීමට තරම් මේ රටේ ජනතාව මෝඩ නොවන බව වටහා ගෙන, ඉත්තෙකු මතින් ගොඩ යන්නට දඟලන පුද්ගලයෙකු මෙසේ ප්‍රකාශ කිරීමේ අරුමයක් නැත. ඔහු වචනවලින් රාජපක්ෂලාට හෙණ ගහපන් කියුව ද හදවතින් කියන්නේ මේ රටට හෙණ ගහපන් කියාය. ජනතාවට හෙණ ගහපන් කියාය. එසේ වුවහොත් ඒ ව්‍යසන මතින් හෝ තම බල තණ්හාව මුදුන් පමුනුවා ගැනීමට හැකි වෙතැයි ඔහු සිතනවා විය යුතුය. අනෙක් අතට සිංහ සමක් පොරවා ගත් පමණින් සිඟාලයෙක් සිංහයෙක් නොවෙන්නේ යම් සේ ද බෞද්ධ සළු පිළි පොරවා ගත් පමණින් බෞද්ධයෙකු වන්නේ ද නැත.
Wednesday, December 2, 2009
ඉංගිරිසියට පරිවර්තනය කර කියවීම පිණිසය......
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවලට පිටරටවල් දෙමින් තිබූ යුද පුහුණුව නතර කිරීම.
ජී.එස්.පී. සහනය ශ්‍රී ලංකාවට නොදෙන බවට තර්ජනය කිරීම.
ප්‍රහාරක යානාවල අමතර කොටස් ශ්‍රී ලංකාවට ලබාදීමෙන් වැළකී සිටීම.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව කොළඹදී පැවැත්වීම අත්හිටුවීම
(දිවයින - 09/12/03)
Tuesday, December 1, 2009
දෘෂ්‍යමානය විනිවිද දකිමු (ආපසු හැරෙන්න බෑ)
ජනාධිපතිවරණය හා පොදු අපේක්ෂකයා අරභයා උද්ගතවූ දේශපාලන ආන්දෝලනයේ උණුසුම කෙමෙන් තුනී වෙමින් යයි. එහෙත් ඒ දේශපාලන නාටකයේ ප්‍රහසනාත්මක අංගවලට වඩා ශෝකාත්මක ලකුණු දකින අප තුළ කිසියම් සංවේගයක්ද මතුවේ. ඒ කිසියම් පෞද්ගලික අරමුණක් නිසා නම් නොවේ. මේ රටත් රටේ අනාගතයත් පිළිබඳ කරුණු නිසාය.
ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට ඇතැම් බටහිරයන්ගේ ද නිල හා නොනිල අනුග්රහයන් මැද්දේ වැඩුණු ත්‍රස්තවාදය මුලිනුපුටා එහි මතුපිට හිස බවට පත්ව සිටි වේළුපිල්ලේ ප්රභාකරන් වනසා දමන්නට අපට හැකි විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ඓතිහාසික විජයග්‍රහණය රටට හිමිකර දුන් රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්ව සිටියි. කවුරුන් කෙසේ කීවත් ඒ විජයග්‍රහණය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඔඩොක්කුවට වැටුණු දෙයක් නොවන බවද කිව යුතුය.
ඡේ. ආර්. ජයවර්ධන වැනි ප්‍රබල දේශපාලනඥයන් විසින් පවා ක්‍රියාත්මක කරන ලද ත්රස්තවාදයට එරෙහිවූ මෙහෙයුම් ආපසු හැරවූ විදේශ බලවතුන්ගේ බසට නොනැමුණු රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරවීමට තරම් පෞරුෂයකින් යුතු වීම අප කාගේත් භාග්‍යයක් විය. එනිසා ඒ ඓතිහාසික ගෞරවයේ අභිමානය ඉතිහාසය ඔහුට පිරිනමන්නේ නිර්ලෝභිවය. එහෙත් අද ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිකාරත්වය මුළු රටටම පිරිනැමීමට තරම් ජනාධිපතිවරයා නිහතමානීව සිටියි.
ජයග්‍රහණයට පියවරු රැසක්ම වෙතියිද කියනු ලැබේ. එය වෙනම කතාවකි. එහෙත් අපට තිබෙන සංවේගය ඒ විජයග්‍රහණයේ තීරණාත්මක හා සාධනීය ඇතැම් බලවේග සමග එදා ඒ විජයග්‍රාහී ගමනට අවමන් කළ, සරදම් කළ දුෂ්ට බලවේග අද එකට පෑහෙමින් තිබීමය.
දේශපාලනය යනු සරදම් සහිත ගංගාවක් බව නිසැකය. එහෙත් ඒ සරදම් රටේත් ජාතියේත් ඉරණම තීන්දු කරන තැනකට යන්නේ නම් අප විමසිලිමත් විය යුතුය. මතුපිටින් පෙනෙන දේ හෙවත් දෘෂ්‍යමානය දෙස බලා තීන්දු තීරණ ගැනීමේ විපාක නිදහසට පෙර සිටම මේ රටේ ජනතාව විඳින ලද්දකි.
අපට වඩාත්ම වැදගත් වන්නේ රටත් ඒ රටේ හෙට දවසත් පමණි. දේශපාලන වාද විවාදවලට මෙන්ම වෙනත් හැම දෙයකටම රටක් තිබිය යුතුය. ඒ රට සුරැකිය හැකි දේශප්‍රේමී ජන මනසකින් පමණි. ඒ දේශප්‍රේමිත්වය යනු ක්ෂණික දෙයක් නොවේ. ඒ වනාහි අභිමත විටෙක ඇඳ පැළඳ ගැනීමට හෝ අනභිමත විටෙක ඉහත දැමිය හැකි දෙයක්ද නොවේ. ස්වකීය මාතෘභූමියත් එහි ඓතිහාසික උරුමයන් හා බැඳුණු උදාර සිතිවිලි සමුදාය දේශප්‍රේමය ලෙස අපි හඳුන්වමු.
අද අප දකින්නේ මෙම දේශප්‍රේමය නොව තනතුරු ප්‍රේමයකි. බල ප්‍රේමයකි. වෛරයේ දේශපාලනයකි. එහි අනිටු විපාක ඉතා බරපතලය. එක්සත් වූ රටක් එක්සත් වූ ජාතියක් භේද භින්නවී යැම එහි ප්‍රබලම අනතුර ලෙස අපි දකිමු. ඒ භේදයේ ඊළඟ විපාකය වන්නේ යළිත් විවිධ විනාශකාරී බලවේග හා විෂබීජ මව්බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමයි.
නොබෝදා ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර මේ රටේ සුළු ජාතික පක්ෂවල නායකයන් සඳහා විශේෂ සමුළුවක් පැවැත්විණි. ඒ සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව යෝජනා සම්මත කිරීමය. මේ රටේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාදාමයන්ට අත පොවන ඊනියා බලවතුන්ට දොර හැර දෙන්නේද අපමය. මේ බටහිර බහිරවයන්ට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටත් වාද භේද ඇවිලවීමටත්ය.
මෙම ඊනියා සූරිච් සමුළුවේදී ඉදිරිපත් වූ එක් යෝජනාවක් වී ඇත්තේ සුළු ජාතිකයන්ට 13 වන ව්‍යවස්ථාව සංශෝධනය ඉක්මවූ බලය බෙදීමක් අවශ්‍ය බවයි. අපට මෙබඳු බලපෑමක් කරන්නට කිසිවකුට හෝ අයිතියක් ඇතැයි අපි නොසිතමු. මේ රටේ බලය හා එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කතිකාවක් අවශ්‍ය බව සත්‍යයකි. එහෙත් එයට බටහිරයන්ගේ හෝ වෙනත් බාහිර බලවතුන්ගේ හෝ බලපෑම්, මැදිහත්වීම් අවශ්‍ය නැත. ඒ අයිතිය පරයන්ට උදුරා ගැනීමට අප ඉඩදිය යුතු නැත.
බටහිරට හැමදාමත් අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව බෙදා පාලනය කිරීමයි. බටහිර ආධිපත්‍යයයේ අණසකට අප යටත් කර ගැනීමටත් අපගේ ජාතික උරුමයන් වනසා දැමීමටත් ඔව්හු අදත් මාන බලති. හැට වසරක නාමික නිදහස තුළම අපට හිස එසවීමට ඔව්හු ඉඩ නොදුන්හ. ඔවුන්ගේ අඬු වලට අප හිර කර තබා ගැනීමට හැකි හැම දෙයක්ම කළ බවද නොරහසකි.
බටහිරයන්ගේ බිහිසුණුම නිර්මාණය වේළුපිල්ලේ ප්රභාකරන් බව අපි බොහෝ විට පවසා ඇත්තෙමු. අල්කයිඩා හෝ ලොව ඕනෑම ත්‍රස්ත සංවිධානයකට අබමල් රේණුවක දයාවක් නොදක්වන බටහිරයෝ ප්රභාකරන් බේරා ගන්නට හැම උත්සාහයක්ම දැරූහ. එහෙත් එය ව්‍යර්ථ කිරීමට නොහැකිවූයේ රටේ ජාතික බලවේග එක්ව නැගී සිටීම නිසාය. එහෙත් ඒ බලවේග බෙදා වෙන් කිරීමේ සියුම් සැලැසුමක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ දෘෂ්‍යමානයට යටින් ඇත්තේ එයයි. අපි ආපසු හැරෙමුද? ඒ බලවේගවලට යට වෙමුද? අපගේ නිදහස, අපගේ උරුමය හා ජාතික සමගිය සුරකිමුද? අවස්ථාවාදී දේශපාලන උසිගැන්වීම්වලින් මත්ව ඔල්වරසන් නැගීමට පෙර අප කුමක් කළ යුතුදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. මේ දෘෂ්‍යමානය විනිවිද දකින ඔබට ඒ යථාර්ථය පැහැදිලි වනු ඇත.
(දිවයින ඉරිදා - 09/11/29)
ටිප්පණිය - අපි මෑත ඉතිහාසයේ මුහුණ දෙන වඩාත් උභතොකෝටික අවස්ථාවට දැන් මුහුණ දෙමු. ඒ මෙතෙක් අප හා එකට සිටි අයෙක් රටේ ප්රතිපක්ෂයේ සරණ යාම සහ ඒ සතුරන් ඔහුගේ සරණ යාම නිසා ය. මේ මොහොතේ හදවතට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය. පිරුවටයක ඔතා ව්‍යාජ දේශප්‍රේමි සළුපිලි ඇඳ සතුරා ඔබ හමුවට පැමිණ සිටියි. ඒ සළුවට බැණ අඬ ගසා පලක් නැත. සළුව මෑත් කර සතුරා හදුනා ගන්න. සතුරාට පහර දෙන්න. සතුරා බලාපොරොත්තුව අප ලවා අර සළුවට බැණ අඩ ගස්වා මහජන අනුකම්පාව නමැති හොර පාරේ රජ ගෙට රිංගීම බව වටහා ගන්න.
Thursday, November 26, 2009
රැවුලත් නැත කැඳත් නැත. ප්‍රභාකරනුත් නැත
ඒ අතර ප්රභාකරන් සිය උපන් දිනයේදී මනුෂ්‍ය සංහාරයක් කරවීමට පුරුදුව සිටි බැවින් ඔහුගේ උපන් දිනයට පෙර සතියේත්, පසු සතියේත් රටේ ආරක්ෂාව තර කරන ලදී. ඒ නිසා ඒ සති දෙකම අත්හල ප්රභාකරන් ඊළඟ සතියේදී මහා විනාශයක් කළේය. එක්කෝ බස් රියකට බෝම්බ තැබූ ඔහුගේ කාලකන්නි ගෝලයෝ එය පුපුරුවා පාසල් දරු දැරියන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කළහ. නැතහොත් තර්ජිත ගම්මානයකට පහරදී අසරණ නිරායුධ ගම් වැසියන් එක පිට එක කැතිගා දැමූහ. ප්රභාකරන් මහවිරු කතාව කිරීමට සැදී පැහැදී සිටි ආකාරය සැලකිල්ලට ගත් ත්‍රස්තවාදය පිළිබඳ විචාරකයෝ විවිධ අනාවැකි පළ කළහ. සමහරුන් කීවේ ප්රභාකරන් තම සුපුරුදු උඩු රැවුල කපා දමා සිටියේ නම් ළඟදීම යුද්ධයක් හට ගන්නා බවය. එහෙත් අන්තිමේදී රැවුලත් නැති ව, කැඳත් නැතිව, නන්දිකඩාල් කලපුවේ වැටී තිබූ ප්රභාකරන්ගේ මෘත දේහය හමුදාවට හමු විය.
(දිවයින - 09/11/27)
Thursday, November 19, 2009
දේශපාලන වඳුරන්ගේ කතා වස්තුව
මේ සංසාරික පුරුද්ද දේශපාලනයටද පොදුය. තමන් දැනට සිටින දේශපාලන පක්ෂය සමග ආරවුලක් ඇතිකර ගන්නා ඕනෑම දේශපාලනඥයකු ගන්නා පියවර දෙකක් තිබේ. එයින් පළමුවැන්න වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමය. ඒ එම දේශපාලනඥයා පිළිගැනීමක් ඇති ජනප්‍රිය කෙනෙකු නම් පමණි. ඔහු දේශපාලන කබලකු නම් කිසිදු පක්ෂයක් විසින් ඔහු භාර ගන්නේ නැත. එවිට ඔහු අලුත් පක්ෂයක් පිහිටුවයි. කැත්ත, උදැල්ල, ගඩොල් කැටය, දෝලාව, භූමිතෙල් ගැලුම, ලාඩම හෝ අං තට්ටුව වැනි ඕනෑම ඡන්ද ලකුණකට ඔහු සූදානම්ය. එතැන් සිට ඔහු නව පක්ෂයට සාමාජිකයන් බඳවා ගනී. පක්ෂ අරමුදල සඳහා ධනය රැස් කරන්නට පටන් ගනී. ඊළඟ ඡන්දය වන විට ඔහු තවදුරටත් කබලකු නොවී ශක්තිමත් තත්ත්වයක සිටින්නේ නම් බලයේ පවතිනා පක්ෂයකට මුක්කුවක් ගසයි. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ජාතික ලැයිස්තුවෙන් ඡන්දය ඉල්ලීමටය. ගම් දනව් පුරා පයින් ඇවිද ගොස් ගැමියන්ගේ දුක් සහගත ජීවිත ගැන සෙවීමට හෝ නාගරිකයේ මුඩුක්කු ජනයාගේ දුක බැලීමට ඔහුට වුවමනාවක් නැත.
මේ නිසා ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් හට ගත්තේය. තමා ශ්‍රීලනිපයෙන් කොටසක් බව දවසක්දා උදේ පාන්දර කල්පනා කළ මංගල සමරවීර ශ්‍රීලනිප මහජන පාර්ශ්වය ලෙස අලුතින්ම පක්ෂයක් පිහිටුවන බව කියමින් සවස් වන විට පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රීලනිපයට මහජන පාර්ශ්වයක් කුමටද? මෙතෙක් කලක් ශ්‍රීලනිපයේ තිබුණේ මහජනතාවගෙන් සමන්විත පාර්ශ්වයක් නොවන්නේද? ළඟකදී සිහල උරුමයෙන් කැඩී වෙන්වුණු කෙනකු නව සිහල උරුමය නමින් පක්ෂයක් පිහිටුවීය. මේ ආකාරයෙන් අව්වටත් වැස්සටත්, යලටත් මහටත්, සීතලටත්, උණුහුමටත් යනාදී වශයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් මේ රටේ පිහිටුවා තිබේ. මේ පක්ෂ වලින් වැඩිහරිය ඡන්ද ලකුණටත් එය ලියාපදිංචි කළ මහතාටත් සීමාවී ඇත. ඇතැම් පක්ෂයක ඇත්තේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික යන මහත්වරුන් පමණි. මේ නයින් බලන කල දේශපාලන පක්ෂ ලියාපදිංචිය පිළිබඳ නිශ්චිත නිර්ණායකයන් හෝ සීමාවක් නො ගෙනාවොත් මේ රටේ සෑම පවුලකටම එක දේශපාලන පක්ෂය බැගින්ද, පසුව එක පුද්ගලයාට එක දේශපාලන පක්ෂය බැගින් බිහිවනු නියතය.
අපගේ වැටහීම නම් ප්‍රධාන පක්ෂ සහ සෙසු ජාතීන්ගේ පක්ෂ හැරුණ විට වෙනත් පක්ෂ පිහිටුවීමේදී මැතිවරණ කොමසාරිස්තුමා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි. එතුමා දැනටත් කල්පනාකාරීව සිටින බවද කිසිදු තර්කයක් නැත. පටු පරමාර්ථ තකා දේශපාලන පක්ෂ පිහිටුවීමට තැත් කළ කල්හි එම පක්ෂ සඳහාවූ අයදුම් පත් කුණු කූඩයට විසි කෙරුණු අවස්ථා ගැන පසුගියදා අපට දැන ගන්නට ලැබිණි. එතුමා එම ප්‍රතිපත්තියේ දිගටම සිටිය යුතු අතර නොවැදගත් වල් පැළ පාත්ති වැනි පක්ෂ අවලංගු කර මැතිවරණ වියදම් අවම කර ගැනීමට පියවර ගත යුතු බව අපගේ වැටහීමය.
(දිවයින - 09/11/20)
ටිප්පණිය - සීමාව ඉක්මවා ගිය කල ඕනෑම හොඳ දෙයක් නරක බවට හැරෙයි. නිදහස, අයිතිවාසිකම් ඈ ඕනෑම දේකට අත්වන ඉරණම එයයි. මගේ නිදහස අනෙකාගේ නිදහස ඇරඹෙන තැනින් කෙළවර වෙයි. අයිතීන් ද එසේ ය. ප්රජාතන්ත්රවාදයට ද ඒ නියාම දහම පොදු ය. ප්රජාතන්ත්රවාදය යනු ඕන එකෙකුට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නොවේ. එහි වල්බූරු නිදහසක් නැත. එහෙයින් එහි සීමා අවබෝධ කරගැනීම වැදගත් ය. එහෙත් මෙරැටියන් සංකල්ප විනා එහි සීමා නොදනිති. එහෙයින් යහපත් සංකල්පවලට මුවා වී වල් වදිති.
ඉන් අදහස් කරන්නේ ආණ්ඩුව කියන කරන හැමදේම දේව වාක්‍ය සේ පිළිගෙන හිස නැමීම නොවේ. හැමදේම විවේචනය කිරීම ද නොවේ. හරි වැරැද්ද නිවහල් මනසින් දැකීම ය. වරදට බැණ හොඳ වැනීම ය.
Wednesday, November 18, 2009
මියන්මාර් නායකයා වැරැදියි ඔබාමා හොඳයි!
එහෙත් පසුගියදා මෙරටට සම්ප්‍රාප්ත වූ මියන්මාරයේ නායක ජනරාල් තාන් ස්ටේ මියන්මාරයේ භික්ෂූන් ඝාතනය කළේ යෑයි කියමින් සුළු පිරිසක් විසින් විරෝධතාවයක් දක්වනු ලැබිණි. එහෙත් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ හා ඉරාකයේ සිවිල් වැසියන් බෝම්බ දමා ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවේ සුප්‍රකට විරෝධතා මෙහෙයවන්නන්ගේ කණ්ඩායම වෙතින් ඊට එරෙහිව විරෝධතාවක් මතු වූයේ නැත.
තෙදිනක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මියන්මාර නායකයාට එරෙහිව මෙලෙස විරෝධතාවක් පැවැත්වූයේ කොටි ඝාතනයට එරෙහි ව දියත් වූ වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරී පිරිසයි.මේ සඳහා මෙරට සිටින මියන්මාර් භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සහභාගි වී තිබේ.
මියන්මාරයේ දේශපාලනය තීරණය කරන්නේ එරට ජනතාව හා රජයයි. එසේ නැතිව නෝර්වේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු නොවේ. මියන්මාරයේ හමුදා රජයට එරෙහිව නෝර්වේ රජය විසින් "ප්‍රී ධර්මා" නමැති ගුවන්විදුලි සේවාවක්ද පැවැත්වීමට ඉඩ දී ඇත. මෙය රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්. කොටි ඝාතකයන් බෝම්බ තබා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරද්දී ලොව කිසිම රටක් බෝඩ් ලෑලි ඔසවාගෙන කොටි ඝාතන නවත්වනු කියා ඝෝෂා කළේ නෑ. මෙරට ජනාධිපතිවරයකු ඝාතනය කළ අවස්ථාවේ හා ජනාධිපතිනියක් ඝාතනය කිරීමට උත්සාහ කළ විටකදිත්, එන්.ජීඕ ක්‍රියාකාරීහු කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවක් පැවැත්වීමට ක්‍රියා කළේද?
ශ්‍රී ලංකාව හා මියන්මාරය (බුරුමය නිදහස ලැබුවේ 1945 දීය) 1949 ජුනි 7 වැනිදා බුරුමය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ඇති විය.
ශ්‍රී ලංකා මියන්මාර තානාපති සබඳතා ඇති වී වසර හැටක් සපිරෙන අවස්ථාවේ මියන්මාරයේ හමුදා නායකයාට මෙරටට ඒමට ඇරයුම් කළේ මන්ද යන්න මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් විසින් රජයෙන් ප්‍රශ්න කර ඇත.
මේ ප්රශ්නය මෙරට යුරෝපා තානාපතිවරයකු විසින්ද ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයි වාර්තා වේ. මොවුන් ඊට නිදසුනක් ලෙස දක්වන්නේ බුරුම රජා මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි.
එසේ නම් රුසියානු අගමැති වැලඩ්මිර් පුටින් චෙච්නියාවට එරෙහිව දියත් කළ මෙහෙයුමේදී සිවිල් වැසියන් මිය යැම නිසා ඔහුට ශ්‍රී ලංකාවට ඒමට ඇරයුම් නොකළ යුතුය.
ඊශ්‍රායලය පලස්තීන හා හමාස් ත්රස්තයන්ට ප්‍රහාර එල්ල කර මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලයෙන් කපීර් ප්‍රහාරක යානා සහ ඩොව්රා යාත්‍රා ද නියමුවන් රහිත යානා ද මිලයට ගැනීමෙන් වැලකී යුතුව තිබිණි. ඒ මන්ද ඉන් කොටි ඝාතකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන හෙයිනි.
මෙලෙස මියන්මාර් හමුදා නායකයාට මෙරටට ඇරයුම් කිරීම ගැන විරෝධතාවක් දක්වන මේ විහිළුකාරයන් ඇමරිකානු හමුදාව ඉරාකයේ මෙහෙයුම් දියත්කරන සමයේ සිටි තානාපතිනි පැට්‍රීසියා බුවේනිය ශ්‍රී ලංකාවේ තානාපතිනිය ලෙස පත් නොකරන්නැයි නොඉල්ලුවේ මන්ද. මියන්මාරයේ මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන්නේද හිටපු හමුදාපතිවරයකු වූ පුද්හොවන්ජි පකිස්තානයේ නායකයා ලෙස වසර ගණනාවක්ම කටයුතු කළේ ජනරාල් පර්වේස් මුෂාරප්ය.
මුෂාරප් මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුට එරෙහිව මේ එන්. ජී. ඕ. කණ්ඩායම විරෝධතා දැක්වූයේද, මින් පැහැදිලි වන්නේ අරමුදල් සපයන විදේශ ස්වාමිවරුන්ගේ න්‍යාය පත්‍ර මත මේ විරෝධතාකරුවන් ක්‍රියා කරන බවයි.
මේ නිසා මියන්මාරයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය ගැන තීරණයක් ගත යුත්තේ මියන්මාර් ජනතාව මිස විදේශ අරමුදල් ලබන්නන් නොවේ.
මෙලෙස විරෝධතා මෙහෙයවන්නන් අතිරේක ඇමරිකානු බල ඇනියක් ඇෆ්ගනිස්තානයට යෑවීම ගැන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාට එරෙහිව හඬ නඟන්නේ නෑ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජනරාල් අවුන්සාන්ගේ පැසිස්ට් විරෝධී නිදහස් පෙරමුණ බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් බුරුමයට පූර්ණ නිදහස හිමිවිය යුතු යෑයි කියා සිටියේය.
මෙයට ප්‍රතිචාර දැක්වූ බ්‍රිතාන්‍ය බලධාරීහු පැවසුවේ කඳුකරයේ සිටින ගෝත්‍රික ජනතාව බුරුම රාජ්‍යයට එකතුවීමට අකැමැති නිසා තොරතුරු විමසීමට කණ්ඩායමක් එවන බවයි. එහෙත් ජනරාල් අවුන්සාන් එම කණ්ඩායම ප්‍රතික්ෂේප කරනු ලැබීය. 1947 දී ජනරාල්වරයා ඝාතනය විය. ඊට බ්‍රිතාන්‍යයේ සම්බන්ධතාවයක් ඇතැයි වාර්තා විය. මෙවන් වාතාවරණයක් මැද වත්මන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කළේ මියන්මාර් හමුදා පාලනය සමග ඇමරිකානු රජය සෘජු සබඳතා පවත්වන බවයි.
මේ නිසා මියන්මාර් නායකයාව මෙරටට කැඳවීමට එරෙහි විරෝධතා මෙහෙයවූ එන්ජීඕ ව්‍යාපාරිකයෝ ඔබාමාට එරෙහිව විරෝධතාවක් මෙහෙයවීමට ක්‍රියා නොකිරීම මවිතයට කරුණකි.
මෙයට වසර කීපයකට පෙර ත්‍රස්තවාදී ක්රියාදාමයකින් මියන්මාරයේ නායකයන් රැසක් එකවර ඝාතනය විය. එහෙත් මේ ත්‍රස්ත ක්‍රියාව ගැන කොළඹ ලිප්ටන් වට රවුමේ විරෝධතා රැඟුම් දැක්වූයේ නැත. මෙවර රැඟුමේ මූලිකයා ප්‍රධානතම එන්.ජී.ඕ. ක්රියාකාරිකයෙකි. පුළුවන් නම් ප්රභාකරන්ගේ හිස ගේන්න කියා මා රජයට කියනවා යෑයි වරක් ඔහු පුරසාරම් දෙඩීය.
එහෙත් ආරක්ෂක හමුදාව මළ ප්රභාකරන් ජනතාව හමුවට ඉදිරිපත් කළේය. මෙහිදී ඔහු නිහඬ විය.
මේ සෑම විරෝධතා ක්‍රියාදාමයක් හමුවේම ඇත්තේ විදේශ අරමුදල්ය. ලෝකයේ ප්‍රධානතම යුද අපරාධකරු වන ඇමරිකාවට එරෙහිව විරෝධතා නොපවත්වන පිරිස මියන්මාර් රාජ්‍ය නායකයාට එරෙහිව විරෝධතා පැවැත්වීම පුදුමයක් නොවන්නේද?
මියන්මාර් නායකයාට එරෙහිව කීපදෙනකුට පමණක් සීමා වූ විරෝධතාවක් පැවැත්වූ මේ එන්. ජී. ඕ. කණ්ඩායම ප්රභාකරන්ගේ විනාශකාරී ක්‍රියාවලින් සිවිල් ජනතාව මියයද්දී ඊට එරෙහිව විරෝධතාවක් නොපැවැත්වූයේ ඇයි?
ඇමරිකානු රාජ්‍ය නිලධාරී රිචඩ් බවුචර් මෙරටට සම්ප්‍රාප්ත වූයේ කලකට පෙරය ඉරාක ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියන් ඝාතනය වීම ගැන බවුචර්ට එරෙහිව හඬක් නැඟුනේ නැත.
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් ද මෙරටට සම්ප්‍රාප්ත විය. ඇෆ්ගනිස්තානයට බ්‍රිතාන්‍ය හමුදාව යෑවීම ගැන ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට කිසිවෙක් එරෙහි වූයේද?
මේ අතර මියන්මාරයේ මානව හිමිකම් ගැන මෙරට එන්ජීඕ ක්‍රියාකාරීහු කිඹුල් කඳුළු සලද්දී උස්බෙකිස්තානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රෙග් මරේ පසුගිය 4 වැනිදා ප්‍රකාශයක් කරමින් ත්‍රස්තවාදී සැකකරුවන්ට වධහිංසා පැමිණ වීම සඳහා ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් උස්බෙකිස්තාන් වධ කඳවුරුවලට යෑවූ බව කියා සිටියේය. එහෙත් මේ ඇමරිකානු ක්‍රියාදාමයට එරෙහිව කොළඹ ලිප්ටන් වටරවුමේ රැඟුම් දැක්වූයේද?
කීර්ති වර්ණකුලසූරිය
(දිවයින -09/11/18)
ටිප්පණිය - මේ එන්ජීඕ රොත්ත කන්න හිතුණාම කබර ගොයාත් තලගොයා කරගන්නා වර්ගයේ අයියලා බව කිවයුතු නොවේ. ඒ බව මියන්මාර් නායකයා මෙරටට පැමිණි කල නැටූ නෙයියාඩමෙන් පැහැදිළි වෙයි. ලොව එකම හමුදා පාලනයක් ඇති රට මියන්මාරය නොවේ. තායිලන්තයේ ද ඇත්තේ හමුදා පාලනයකි.
එහෙත් බටහිර සහ ඇමරිකන් විරෝධි හමුදා පාලනයක් ඇත්තේ මියන්මාරයේ ය. එහෙයිනි මේ හිඟන රිළා නැටුම. මේ රිළවු නටන්නේ බටහිර සහ ඇමරිකන් හාම්පුතුන්ගේ පදයට බව අප අමතක නොකළ යුතු ය. අවුන්සාං සුකීගේ මානව හිමිකම් ගැන ඔවුනට මෙතරම් රුදාවක් ඇත්තේ ඇයිදැයි අප අවබෝධ කරගත යුතු ය. සුකී බලයට ගෙන ඒමට වළිකන උන් ඉරාන ජනාධිපති බලයෙන් පහ කරන්නට නොගන්නා උත්සාහයක් නැත. ඒ මන්දැයි සිතා බැලීම නුවණට හුරු ය.
Wednesday, November 11, 2009
තරහ අවසර. රාමචන්ද්රතුමනි,
මම කිසි තැනක එකී අකුරට වැඩ කිරීම හෙළා දැක නැති බවත් එහි හොඳ ම දැක ඇති බවත් විද්වත් පාඨකයාට අවබෝධ කරගැනීම අපහසු නැත. එහෙත් ආණ්ඩුවට කඩේ ගියා යැයි කියන්නේ ඇයිදැයි මට තේරුම් ගත නොහැකි ය.
මේ දූෂිත ඒකාධිපති රාජපක්ෂ පාලනයට මම විරුද්ධ වෙමි. ඔවුන් රාජ්‍ය මාධ්‍ය හරහා පට්ටපල් බොරු දෙසා බාමින් අකුරට වැඩ කිරීමේ ආදර්ශය රටට අනාවරණය කිරීමෙන් වළකති. මහින්ද අබේසුන්දර සහ හඩ්සන් සමරසිංහ ඒ කොන්ත්‍රාක්තුව කදිමට කරති.
ආණ්ඩුව පට්ටපල් බොරු කියන බව අද ආණ්ඩුවේ ප්‍රකාශයෙන් ද සනාථ වෙයි. ආණ්ඩුව කියන්නේ අකුරට වැඩ කිරීම අසාර්ථක බවත් ඒ ඒ ආයතනවල එදිනෙදා කටයුතු මැනවින් සිදු වු බවත් ය. වෙනදා විදිලිය බිල් ගෙවීමට විශාල පාරිභෝගික පෝලිම් තිබුණ ද ඊයේ එසේ නොවීම ඊට නිදසුනක් ලෙස ද දක්වති. මේ කතාවෙන් හෙළි වන්නේ ආණ්ඩුවේ මෝඩ තකතීරුකම ය. අනවබෝධයයි. අනෙක් පැත්තට අප ඊයේ පැවසු දේවල සත්‍යතාව ය.
සේවකියන් අකුරට වැඩ කරන කල්හි ආයතනවල පෝළිම් ඇති වන්නේ නැත. ජනතාව රස්තියානු වන්නේ ද නැත. එහි අලුත් පුවතක් නැත. අප පුදුම වන්නේ එසේ නොවුණා නම් ය. එහෙත් අර කතාවේ යම් සත්‍යයක් ඇත. එනම් වෙනදා පෝලිම් තිබුණු බවය. එනම් ඒ දිනවල මේ ආයතනවල අප ඊයේ පෙන්වා දුන් පරිදිම වැඩක් සිදු වී නැත. ඒ අකුරට වැඩ නොකළ නිසා ය. එහෙයින් මේ අකුරට වැඩ කිරීම හැකි නම් තව සතියක් ඉදිරියට කරගෙන යන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ අහිංසක ඉල්ලීම රටේ ජනතාව වෙනුවෙනි. එමෙන්ම මේ ආදර්ශය සිය නිවෙසට ගෙන යන මෙන් මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිමි. එසේ කළහොත් අපට සිංගප්පුරුවක් නොව සෝවියට් දේශයක් මේ රටේ ගොඩ නැගිය හැකි බවට මට වඩා හොඳට රාමචන්ද්රතුමා සාක්ෂි දරනු ඇත.

(ලක්බිම -09/11/12)
එමෙන් ම දිවයින පමණක් නොව ලක්බිම ආදී පුවත්පත් ආණ්ඩුවට කඩේ යන බව ද කිව යුතු ය. ඔවුන් මේ කිසිදු දේශපාලන සම්බන්ධයක් නැති වෘත්තීය සමිති පරම පිවිතුරු කම්කරු අයිතීන් දිනීමේ චේතනාවෙන් ම ගෙන යන අකුරට වැඩ කිරීමේ පුණ්‍ය කර්මයට එරෙහිව සිටිති. බුදුන්ට ද දෙව්දත්ලා සිටි හෙයින් යේසුට ජුදාස්ලා සිටි හෙයින් ඒ ගැන මේ වෘත්තීය සමිතිවල බෝසත්වරු කලබල විය යුත නැත. රාමචන්ද්‍ර සහෝදරතුමා ද මා වැනි කම්කරු සටනට සහය දෙන බ්ලොග්කාරයින් හා උරණ නොවිය යුතු ය.
Tuesday, November 10, 2009
වැඩ කරන හැම දිනක් ම අකුරට වැඩ කරන දිනක් වේවා!
ඇන්ටන් ජෝන් කලාකරුවා ගයන 'කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන' ගීතය සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුගේ කාර්යාලීය දින චරියාව මැනවින් විවරණය කරයි. ඔහු සාමාන්‍ය වැඩ ඇරඹෙන වේලාවට පැයකට එකහමාරකට පසු කාර්යාලයට එන විට තේ බොන වේලාව ළඟ ය. තේ බී මිතුරන් සමග මදක් පිළිසඳර කතාවේ නිමග්න වී සිටිත් ම නොදැනිම දිවා ආහාර විවේකය ගැනීමට සිදුවෙයි. පෙර කී පිළිසඳර කතාව කරගෙන යමින් ම දිවා ආහාරය ගෙන දවසේ පුවත්පත් කිහිපය උඩින් පල්ලෙන් පෙරලා අසල මාර්කට් එකෙන් නිවසට ගත යුතු බඩු කිහිපයක් මිල දී ගෙන එන කල කල හවස තේ සුදානම් යැයි පියන් කොලුවා මොර දෙයි. ඉතින් මේ සියලු කරදර අහවර කර දවසේ වැඩ අරඹන්නට සුදානම් වෙත් ම කාර්යාලයේ කවුළු පියන්පත්, විදුලි පංකා එක දෙක වැහෙමින් දැන් ගෙදර යන වේලාව ළංවී ඇති බව අඟවයි.
මේ දෙලොවට ම නැති කම්මැලි මුස්පේත්තු දින චරියාවට රාජ්‍ය සේවකයින් කොහෙත් ම කැමති නැත. ඔවුහු එදා සිට දිවි හිමියෙන් ඊට විරුද්ධව සටන් කළහ. ඊට වෛර කළහ. එහෙයින් ඔවුන් මෙසේ දින තුනක් හෝ අකුරට වැඩ කිරීමට තීරණය කිරීම හොඳ ආරම්භයක් බව ජනතාවගේ අදහසයි. හැකි නම් වසරේ සියලු වැඩ කරන දින අකුරට වැඩ කරන දින කරන ලෙස නියෝග කර සංගාඥාවක් පනවැන්නැයි ද සමහරු ඉල්ලා සිටියහ.
ජනතාව පවසන පරිදි ඔවුන් මේ දින තුනේ නියමිත වේලාවට වැඩට එනු ඇත. නියමිත වේලාව වැඩ කරනු ඇත. කෑම පැය විනාඩි හැටේ එකක් වනු ඇත. වෙනදා තිස් පැයේ ම පිරී ඉතිරි යන ආපනශාලාව තේ වේලාවට කෑම පැයට පමණක් කාර්යබහුල වනු ඇත. වැඩ ඇරී ගෙදර යන ගමන් මාර්කට් යනු ඇත. මහ දවල් කඩපිල්වල තදබදය අඩු වනු ඇත. එහෙයින් මේ ආයතනවලට යන ජනතාවට සිය වැඩකටයුතු ඉක්මණින් කරගත හැකි වනු ඇත. අවසාන වශයෙන් මේ දින තුනේ රටට පලදායි යමක් බිහිවනු ඇත.
එහෙයින් වැඩ කරන හැම දවසක් ම අකුරට වැඩ කරන දවසක් වේවායි! පස්වනක් ප්‍රීතියට පත් රටේ ජනතාව උදේ හවා මේ සේවක මහතුන්ගේ දෙමාපියන් ද සිහිකරමින් පතනු ඇත. වැඩ කරන ජනතාව දිනේවා! කම්කරු විප්ලවය දිනේවා!
Sunday, November 8, 2009
මෙවන් දසුන් යළි දෑසට පෙනෙනු එපා !
හදිසියේ නෙත ගැටුණු ඒ රූපාවලිය මගේ ආහාර රුචිය ද මොහොතකට නැතිවූ බව කීම අතිශයෝක්තියක් නොවේ. ගොඩබිමට ආසන්න මුහුදු තීරයක වැඳ වැටෙමින් අභය ඉල්ලා සිටින පුද්ගලයකුට පොලු මුගුරු ගත් පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දෙන ආකාරයත්, වරෙක ඔහු පියවර කිහිපයක් ඉදිරියට ඇවිදගෙන එන මොහොතෙහි, ඔහුගේ දකුණු පසින් වූ පුද්ගලයා අත වූ දිග මුගුරකින් පහර පිට පහර දුන් ආකාරයත් මුහුදු දිය පෙවි පෙවී දැත් එක් කරමින් වැඳ වැටෙමින් ජීවිතය ඉල්ලා සිටි පුද්ගලයාගේ අතෙහි මුගුරක් තබා ගල් කැටයක් හෝ නොවුණු ආකාරයත් දුටු කවරෙකුගේ වූව හදවත විස්තර කළ නොහැකි ශෝකයකින්, දුකකින් මෙන්ම ඒ අයුරින් පහරදුන්නා වූ තිරිසනුන් වන් පුද්ගලයන් කෙරෙහි දැඩි කෝපයකින් හා වෛරයකින් නොපිරුණා නම් පුදුමයකි. එවන් අමානුෂික, ම්ලේච්ඡ මිනිස් පහරදීමක් නැරඹීමෙන් පසු, කෙසේ නම් අහර ගන්නේද? ප්‍රවෘත්තියට අදාළ රූපාවලිය ඔවුන් සතු වූවක් නොවන බවත්, එය ටී. එන්. එල්. නාලිකාව විසින් රූගත කරන ලද්දක් බවත් සඳහන් විය. මෙම රූපාවලිය දුටු කල මගේ මතකය අතීත සිදුවීම් දෙකක් වෙත ඇදීගියේ නිතැතිනි.
පළමුවැන්න සුනාමි ඛේදවාචකය වූ දිනෙක ගාල්ල බස්නැවතුමේ දී තරුණියකගේ ගෙල බැඳි රන් දම කඩාගත් තිරිසනුන් දෙදෙනකු අතින් ඈ මියයැම පිළිබඳ අධිකරණය හමුවේ විකාශය වූ රූපාවලි වාර්තාවයි. දෙවැන්න මා පාසල් ගිය දරුවකුව සිටිය දී දෑසින් නොදුටු, එහෙත් මගේ අම්මා විසින් පැවැසූ කතාවකි. වර්ෂය 1958 තරම් වන්නට ඇතැයි මතකය. පුරුදු පරිදි එදින උදෑසනද මල්ලී හා මම ගන්දර සිට මාතරට පාසල් ගියෙමු. සාන්ත සර්වේෂස් විදුහලට යැම සඳහා සුපුරුදු පරිදි එලියට් පාර අසල බස් නැවැතුමෙන් බට මා දුටුවේ ඉදිරිපස ඇති සයිවර් හෝටලය කුඩු පට්ටම් කොට තිබූ අයුරුයි. හෝටලය තුළ මිනිසුන් රැසක් සිටිනු දිටිමි. සිංහල දෙමළ කෝලාහලයක් පිළිබඳ කතාබහ ඇසුණේ, පාසලට ගිය පසුය. පාලමෙන් එගොඩහ කොයිල්පිල්ලේගේ පරණ යකඩ සුන්බුන් කඩය කඩා වළලා තිබූ මුදල් පැහැරගෙන තිබූ බවක්ද ඇසිණ. පාසලේ කටයුතු වෙනදා මෙන් සිදුවනු වෙනුවට සෑම තැනකින්ම කිසියම් ඛේදවාචකයන් සිදුවී ඇත යන කතා බහ ඇසිණි. සුපුරුදු පරිදි විවේක කාලයේදී පාසලේ වසා තිබෙන ප්‍රධාන ගේට්ටුව වෙතට අප රොක්වන්නේ ගේට්ටුවෙන් පිටත සිට සීනිකූරු හා වඩේ විකුණන දෙමළ ආච්චි වෙතය. එදා දෙමළ ආච්චි පැමිණ නොසිටියාය. වඩේ හෝ සීනිකූරු කෑම සිහිනයක්ම වීය. පාසල කලින් වසා දැමිණ. මල්ලීත් මමත් වෙනදාට වඩා කලින් ගෙදර ආවෙමු. බසයෙන් බැස ගෙදර එන අප දෙදෙනා දුටුවේ ගන්දර කඩ පොළ අසල හන්දියේ මහා මාර්ගය හරස් කොට සවිකොට තිබූ මාර්ග බාධකයකි. එය ඉතා දිග ලීයක් වී යයි මතකය. රැස්ව සිටි මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් ඇසිණ. මාතර සිට තංගල්ල දෙසට යන වාහනත් මාතර දෙසට එන වාහනත් නවත්වා මගීන් හා කතාබහකරන හන්දියේ පුද්ගලයන් ද දිටිමි. දෑසින් දුටු සිද්ධිය එපමණකි.
නගරයේ ගමේ හන්දියේ හා පාසලේ තතු අම්මා සමඟ පැවසුවෙමි. අම්මාගේ කතාබහෙන් මා තේරුම්ගත්තේ සිංහල, දෙමළ දෙපිරිස අතර මහා කෝලාහලයක් ඇති වී ඇති බවත්, ඔවුනොවුන් එකිනෙකා මරාගන්නා බවත්, කඩ සාප්පු මංකොල්ල කන බවත්, කඩ ගිනි තබන බවත් වැනි ඊට පෙර කවදාවත් අසා නැති සිදුවීම් රට පුරා සිදුවන බවකි. එහෙත් ඒ කිසිවක් මා දැක නැත. අද උදේ දෙමළ මනුස්සයකුට හොඳටම ගහල, ගහල මූද මැදට ගෙනිහිල්ලා අත ඇරලා තියෙනවා හන්දියෙ කාර් හයර් කරන කට්ටිය. ගමේ මිනිස්සු එකතුවෙලා හන්දියෙ පාර හරහා පොල්ලක් දා ගෙන බස්වල යන එන දෙමළ මිනිස්සු හොය හොයා එළියට අරගෙන තියෙනවලු. නාකි දෙමළ මනුස්සයෙක් අල්ලලා හොඳටම ගහ ගහ වැල්ලට ගෙනැල්ලා පස්සේ ඔරුවක නැගල ගිහින් ඒ මිනිහා මූද මැද්දෙ ගිල්ලෙව්වලු. හන්දියෙ ඉඳල වැල්ලට ගේන කොට වැඳ වැඳ අනේ ෂාමි, අනේ ෂාමි මරන්න එපා, ගහන්න එපා කියල කිව්වලු." අම්මා පැවැසූ කතාව ඇසූ පසු බත් කෑමට වූ පිරිය සැඟවිණ. පොලු මුගුරුවලින් පහර කන මහලු මිනිසෙකු දෑත් එක්කොට වැඳ වැටෙමින්, ජීවිතය ඉල්ලා සිටි අන්දම සිත ඇඳිණ. එබඳු සිද්ධියක්ම නොවේද 29 බ්‍රහස්පතින්දා රාත්‍රියේ රූපවාහිනි තිරය මත සැබැවින්ම සිදුවූ ආකාරය නෙත ගැටුණේ ? පනස් ගණන්වල ඇසූ පුවතෙහිත් 2009 දී ඇසින් දුටු පුවතෙහිත් වෙනසක් වේද? එදා ගුවන් විදුලියෙන් නිශ්චිත දිනයක, වේලාවක පමණක් ඇසුණු බණ දහම්, පිරිත් දේශනා වෙනුවට දැන්, ගුවන් විදුලියට අමතරව රූපවාහිනි නාලිකා රාශියක් ඔස්සේ දවසේ පැය විසිහතර පුරාම ඇසෙන දකින ධර්මදේශනා කොතෙක් වේද? පිරිත් සඡ්ධායනා කොපමණක්ද? මේ නම් ආසියානු කලාපයේ පමණක් නොව, සමස්ත ලෝකයෙහිම අංක එක යෑයි නම් ලද ධර්ම රාජ්‍යයක්ම නොවන්නේද? දෙනෝදාහක් දෙනා මැජික් සංදර්ශනයක් බලා සිටින්නා සේ නෙත් අයාගෙන විස්මයෙන් බලා සිටිද්දී ජීවිතය ඉල්ලමින් වැඳ වැටී ආයාචනා කළ මිනිසෙකුට තවත් මිනිසුන් යෑයි කියා ගන්නා දෙදෙනකු විසින් පහරදී මරා දැමීමට බලපත්‍ර ලබාදී ඇත්තේ කිනම් ධර්ම රාජ්‍යයකද? ලක්ෂ සංඛ්‍යාත එන්නත් ආනයනය කරන කල්හි ඒ අතර වීදුරු කටු සහිත එන්නත් කුප්පියක් දෙකක් හමුවීම පුදුමයට කරුණක් නොවිය යුතු යෑයි පවසන බලධාරීන් මෙන් ඉඳහිට බම්බලපිටිය මුහුදු තීරයේ සිදු වූ ආකාරයේ සිදුවීමක් දෙකක් සිදුවීම, මිනිසෙකු මිය යැම සාමාන්‍ය සිද්ධියක් යෑයි නිලදරුවන්ට පවසා නිහඬව සිටිය හැකිද? මාස තුන හතරකට පෙර මේ මූදු තීරයේම තරමක එපිට අඟුලානේ දී තරුණ ජීවිත තුනක්ම බිල්ලට ගත් නීතිය රකින්නන් සිටි බව කෙසේ නම් අපට අමතක වේද? බාලවර්නන් සිවකුමාරන්, මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙක් වූවද නැතද මෙලෙස ඔහුගේ ජීවිතය විනාශ කිරීමට බලය දුන්නෝ කවරහුද?
තම ප්‍රේමය අහිමිවීම හේතු කොටගෙන මානසික ආබාධයකට ලක්වීමෙන් අනතුරුව කිහිපවතාවක්ම මුල්ලේරියාව මානසික රෝහලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව සනාථ කෙරෙන අහිංසක තරුණයෙකුගේ ජීවිතය විනාශ කළේ කවුරුන් වුව, ඔවුන් බුදු දහමේ පැවසෙන පරිදි, දුර්ලභ වූ මිනිසත් බව ලැබූ මිනිස් පුත්‍රයෙක් විය හැකිද? කොළඹ අපරාධ අංශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, රවීන්ද්‍ර කරවිට මහතා පවසා තිබුණේ, පළමුවෙන්ම මේ පුද්ගලයාට පහර දීම වෙනුවට, ඔහු වෙත කඔයක් වීසිකොට ඔහු වෙරළට ගෙන ඒමට කටයුතු කිරීමයි පොලිස් නිලධාරීන් විසින් කළ යුතුව තිබුණේ කියායි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. බම්බලපිටියේ මුහුදු තීරය බාලවර්නන් සිවකුමාරන්ගේ මරණය පිළිබඳ කම්පා නොවේ. බම්බලපිටිය පොලිසියේ හෝ දිවයිනේ කිසිම පොලීසියක නිලධාරියකුට ඒ පිළිබඳ කම්පා වෙමින් සිටින්නට කාලයක් නොමැත. ඔවුනගේ එදිනෙදා රාජකාරී ඉටුකරමින් රටෙහි නීතිය සාමය රකිමින්, සාධාරණත්වය ඉටු කිරීමට වෙහෙසවන්නට සිදු වේ. ඔවුහු නීතියෙන් ඒ සඳහා බැඳී සිටිති.
එහෙත් මනමේ නාටකය අවසන මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් තම ප්‍රේක්ෂකයන් වෙත ප්‍රශ්න සමුදායක් ඉතිරි කරයි. මනමෙ කුමරු වැදි රජුගේ අතින් මිය යැම කෙසේ සිදුවුණා දැයි නාට්‍යය නරඹා නිවෙස් කරා යන ප්රේක්ෂකයනට සිතන්නට සිදුවේ. "අනේ එවිපත සිදුවුණි නොදනිමි කාගෙ දොසා "යෑයි පොතේගුරු ලවා ගායනා කරවුවද ප්‍රේක්ෂක සිත්හි ඒ පිළිබඳ ප්‍රශ්න රැසකි. බිසව වැදි රජුට ප්‍රේමයෙන් ආසක්තව කඩුව දුන්නාද කුමරු බිසවගේ වචනයෙන් සිත සසල වූ කල වැදි රජු විසින් කඩුව උදුරාගෙන කුමරුට ඇන්නේද වැදි රජු තම ජීවිතාරක්ෂාව සඳහා කුමරු මරා දැම්මාද වැනි ප්රශ්නාවලියකට අදත් අපි පිළිතුරු සොයමු. බාලවර්නන් සිවකුමාරන්ගේ ඝාතනය පිළිබඳ පුවත ද එවැන්නක්ම නොවේද? ඔහු දියේ ගිලී මිය ගියාද, පහර කෑමෙන් මියගියාද? මානසික ආබාධයකින් පෙළුණ මුත් මහජනතාවට හිරිහැර වනසේ හැසිරීම අනුමත කළ හැකිද? දුම්රියකට බස්රියකට, ගල් ගැසීමේ වරදට දඬුවමට එසේ කරන්නාට තිරිසනෙකුට හෝ නොසලකන අයුරින් දෙනෝදාහක් දෙනා බලා සිටියදී පොදු මුගුරුවලින් ගසා මරා දැමීමටද මැරෙන්නට ඉඩ සැලැස්වීමද? ඔහුගේ සිරුරේ කොටස් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පරීක්ෂණවලින් පසු ඉදිරිපත් කෙරෙන වාර්තාවේ ප්‍රතිඵල කුමක් වූවත් ඉන් ඇති ඵලක්වේද? බාලවර්නන් සිවකුමාරන් මෙසේ ඝාතනය වන කල, සැලසුම් සහගත කුමන්ත්‍රණ මගින් අහිංසක ජීවිත විනාශ කරන සැබෑ මිනීමරුවන්ට ඔවුන්ට හිමි දඬුවම් ලැබෙන්නේද? බාලවර්නන් සිවකුමාරන් තරුණයා මරා දැමූ විලාසයේ ජීවිත විනාශ කිරීමේ රංගන, කෙතරම් සොම්නස් සිතකින් නරඹන්නට හැකි වූ ප්‍රේක්ෂකයන් සිටියත්, මනුෂ්‍යත්වය අගයන, මිනිස්කම හඳුනන කිසිවෙකුට පිළිකුලකින්, ක්‍රෝධයකින් තොරව එවැනි දසුනක් බලන්නට නොහැකි බව කිව යුතුයි. එවැනි දසුන් අප දැසට යළි නොපෙනේවා.
(දිවයින - 09/11/10)
ටිප්පණිය - මෙවන් අපරාධ කරන අලුගෝසුවන් එල්ලා මරා දැමිය යුතු බව මගේ අදහසයි. එහෙත් ඊට පරහට හිටින්නේ මානව හිමිකම් ය. තවෙකෙකුගේ ජීවිතය විනාශ කළ පාපතරයෙකුට තව දුරටත් ජීවත්වීමට ඇති අයිතිය කුමක් ද? නැවත එවන් අපරාධයක් සිදුනොවීමට ගතහැකි පියවර කුමක් ද? අපරාධකරු කළ වරද කෙතරම් බරපතළ වුව ද ඊට නිසි දඬුවම් දීමට හරහට සිටින්නේ මේ ඊනියා මානව හිමිකම් ය. මිනිමරුවා මාස හයක් හිරේ සිට සාක්ෂි නැති හෙයින් යහතින් ගෙදර එයි. සමාජයට මිනී මැරීම ඉතා ම සරළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.
කෙසේ වුව ද මේ ම්ලේච්ඡ ඝාතනය TNL නාළිකාව විසින් රූගත කළේ රටේ වාසනාවට ය. එසේ නොවුණා නම් හඩ්සන් සමරසිංහ සහ මහින්ද අබේසුන්දර මෙසේ පවසනු ඇත. අංගොඩ මානසික රෝහලින් පළා ආ පිස්සෙක් හෝ එසේ රඟපෑ පුද්ගලයෙක් බම්බලපිටියේ කිසියම් ප්‍රභූ ඝාතනයකට රැක සිට එය ව්‍යවර්ථ වූ කල දුම්රියට ගල් ගසා පොලිසියට ද පහර දී මුහුදට පැන සිය දිවි හානි කරගෙන තිබේ. සිරස රූගත කළා නම් එය 1983 ඉදිරි දිගුවක් බව මහගෙදර මෙන් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ඇත.
Wednesday, November 4, 2009
දෙවියනි ඔබ කොහිද?
විහාරමහා දේවි උද්‍යානයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු රෝගය උත්සන්න වීමෙන් ක්ලාන්තව ඇද වැටී රෝහල් ගත කළ විට මිය යැමේ පුවතක් ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය. රූපවාහිනී නාළිකා ඔස්සේද පෙන්වන ලද මේ සිද්ධියට නිසි ප්‍රචාරය දැනටමත් ලැබී තිබේ. මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්වත්ත ප්‍රදේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක් ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එයද 02 වැනිදා දිවයිනේ පළවිය.
ලෙඩ සුව කර ගැනීමට දොස්තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස් විවිධ දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්‍යාව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක් වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්‍ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්‍යයන් වූ අපට රෝගයක් වැළඳුනු විට බෙහෙත් අත්‍යවශ්‍යය. රටපුරා රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන සහ සායන දහස් ගණනක් ආණ්ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්‍රම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස් දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්‍රතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.
විද්‍යාවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක් කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්කම් පිළිබඳ අවදානමක් නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්වත්තේදී වූ මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය. දෙවියනි ඔබ කොහිද?
(දිවයින - 09/11/05)
ටිප්පණිය - ලංකාව පුරා මේ ආකාරයේ විවිධ ආගමික කල්ලි අහිංසක නූගත් මිනිසුන් ගොදුරු කර ගනිති. ඉන් බහුතරය බෞද්ධයින් බව නොකියා ම බැරි ය. රටේ අතිබහුතරය බෞද්ධයින් වුව ද නායකයින් බොහෝ දෙනා ජාතික ඇඳුම ඇඳ අතේ පිරිත් නූල් බැන්ද ද ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නැත. සිදුවන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ කරමතින් උන් සුරලොව ගොස් ඒ හිණි මගට පයින් ගැසීම පමණි. ජනතාව සිය සංස්කෘතිය ද ආගම ද පෞඪත්වය ද අහිමි කර ගනිමින් ඒ නරා වළේ ම පැසවති. ඔවුන් දෙවියන්ගේ බැල්ම වැටෙන මානයෙන් බොහෝ ඈත ය.
රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහි නොවනු!
මේ මොහොතේදී මේ රටේ විපක්ෂය සතුව පවත්නා ලොකුම ඉල්ලීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ය. රටේ ප්‍රශ්න කොතෙකුත් ඇත. ජීවන වියදම පළමුවැන්නය. රට ගොඩනැගීම දෙවැන්නය. සාමාන්‍යයෙන් යුද්ධයකින් පසු ඉතිරි වන රාජ්‍යයක පළමුවන ප්රශ්නය විය යුත්තේ රට කෙසේ ගොඩනගමුද යන්න ය. එහෙත් ලංකාවේ දේශපාලනය බෙහෙවින් බඩගෝස්තරවාදී නිසා සාමාන්‍යයෙන් රට ගොඩනැංවීමට ලැබෙන්නේ දෙවැනි තැන ය. එහෙත් මෑතක සිට ඒ සියලු කරුණු පසෙකලා විධායක ජනාධිපති ක්‍රමය තුරන් කරමු යන සටන් පාඨය ඉදිරියට පැමිණ ඇත. මෙහිදී විධායක ජනාධිපති ක්රමයේ ඉතිහාසය ගෙන බලමු. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයකු යටතේ පමණක් මේ රට පාලනය කරනු සඳහා විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. එසේම, තම මන්ත්‍රීවරුන් තමන්ට අකීකරු වුවහොත් ඔවුන්ගේ අඬු කැඩීම සඳහා දින නැති ඉල්ලා අස්වීම් ලියුම් ද ඔහු විසින් ලබාගන්නා ලදී. එතුමා හිරේ සිටි ගෝනවල සුනිල් මහතා එම බලතල යොදවා නිදහස් කරගෙන ඔහුට සාම විනිසුරු තනතුරක් ද ප්රදානය කරන ලදී. මේ හැරෙන්නට එතුමා විධායක ජනාධිපති ක්‍රමය මගින් කළ වෙනත් වැදගත් යමක් ගැන මේ මොහොතේදී අපට කල්පනා වන්නේ නැත. ප්‍රේමදාස ජනාධිපතිතුමාට තම වැඩ කර ගැනීම සඳහා විධායක ක්‍රමය උවමනා වූයේ නැති අතර ඒ සඳහා එතුමාට වෙනම විධි තිබිණ. ඒ ගැන අපට වඩා හොඳින් ජ.වි.පෙ. දනී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු යන සටන් පාඨය යටතේ බලයට පැමිණි චන්ද්‍රිකා මැතිනිය පසුව ජ.වි.පෙ. සමඟ එකතු වූ බැවින් එම සටන් පාඨය යට ගියේය. ජ.වි.පෙ.ට එම පාඨය යළි මතක් වූයේ දවසක් උදේ පාන්දර ඇහැරී බලන විට තමන් තවදුරටත් පොදු පෙරමුණු ආණ්ඩුවේ නැති බව ප්රත්යක්ෂ වූ කල්හිය.
විධායක ජනාධිපති ක්‍රමය නිසි ලෙස පරිහරණය කළ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂය. යුද ජයග්‍රහණයේ පසුබිමෙහි විධායක ජනාධිපති ක්රමයේ එතෙක් ප්‍රයෝජනයට නොගත් කොටස් ද විය. රට දෙකඩ කිරීම සඳහා රේඛාවක් අඳිමින් ත්‍රස්තවාදියකු සමඟ අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම ඉරා විසිකරන ලද්දේ විධායක ජනාධිපති ධුරයේ බලතල එය දමා තිබූ පරණ පෙට්ටගමෙන් එළියට ගෙන පාවිච්චි කිරීමෙනි. යුද්ධයට විරුද්ධව ඔලුවෙන් හිටගත් එ.ජා.ප.ය සහ දෙමළ සන්ධානය නොතකා සේනාධිනායකයා ලෙස අණ දෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහෙයවීමට ජනාධිපතිතුමාට හැකි වූයේ විධායක බලතල හරිහැටි පාවිච්චි කිරීම තුළිනි.
යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්සක් වැස පෑවූ සැනින් මිනිසුන් පිස්සන් ලෙස මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා ඔවුහු කුඩයක් ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක් හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක් තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමටත් ආරක්ෂක ලේකම් කොටු කිරීමටත් කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්කේ රටට ද්‍රෝහී වීමක් ලෙස ය. මේ රට දේශපාලන මඩ ගොහොරුවකි. කුහකකම, බලලෝභය, පළිගැනීම යනාදිය මේ ගොහොරුව තුළ පැසවමින් බුබුලු දමයි. මේ ගොහොරුව සුවඳවත් පියුම් පිපෙන සුන්දර ජලාශයක් කළ යුතුව තිබේ. එය කළ හැක්කේ අපට නිවහල් ඒකීය රටක් ඇත්නම් පමණි.
(දිවයින - 09/11/04)
ටිප්පණිය - අප විවිධ මාධ්‍යවලින් ලද තොරතුරු අනුව හිටපු හමුදාපතිතුමා සහ රජය අතර යම් ගැටුමක් අති වී තිබේ. ඊට විවිධ හේතු බලපා ඇත. කෙසේ වුව ද මේ ගැටලුව සමතයකට පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමු. කෙසේ වුව ද සරත් ෆොන්සේකා මහතා ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. එසේ නොවී ආවේගාත්මක වී දේශද්‍රොහී බලවේගවල ගොදුරක් වීමෙන් රටට මෙන් ම එතුමාට ද පරාජයක් විනා ලැබෙන කිසිවක් නැත. එහෙත් රටට ආදරය කරන බලවේග දෙකට තුනට කඩා විනාශ කිරීමෙන් යළි රට අගාධයට දැමීමෙන් කුහක ආස්වාදයක් ලැබීමට තකතිරු රොත්තක් පුලපලා සිටිති.
Thursday, October 29, 2009
සීගිරි කෞතුකාගාරය බේරා ගැනීම
එබැවින් කොළඹින් හොඳ වතුර ගෙනැවිත් වායුසමීකරණ යන්ත්‍රයට සැපයුවොත් මිස විකල්පයක් නැත. මෙහිදී පණ්ඩිතකම් කතා කිරීමට කැමැති දනා මෙසේත් ප්‍රශ්න කරනු ඇතත මෙතෙක් කල් මහ කැලෑ මැද වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින්, පුස්කමින්, ස්වභාවික හේතූන් මත පුස් ඉවත් වෙමින්, පසට යටවෙමින්, අපූරුවට තිබූ පුරාවස්තු ඒ සී කාමරවල දැමුවේ කුමකටද? මෙය ලංකාතිලක පිළිම ගෙය ට වහලයක් ගැසුවේ මන්ද යන ප්රශ්නය හා සමානය. ලංකාතිලක පිළිම ගෙය පියස්සක් නැතිව වසර සිය ගණනක් තිස්සේ නිරුපද්‍රිතව තිබිණ. පුරාවිද්‍යා ප්‍රධානීහු පිළිම ගෙට වහලයක් ගැසී ය. අන්තිමට සූර්යාලෝකය නො ලැබීම නිසා පිළිමය පුස් කන්නට පටන් ගත්තේ ය.
ඒ කතාව සීගිරියේ කෞතුකාගාරය හා ගැලපෙන්නේ නැත. සීගිරියේ කෞතුකාගාරය යනු සංස්කෘතික අමාත්‍යාංශය විසින් කරන ලද ඉතාම හොඳ වැඩ දෙක තුනෙන් එකකි. සීගිරියේ පරිමාණයට අනුව කුඩා කරන ලද සීගිරි ගලෙහි අනුරුවක් මෙන්ම කැණීම්වලදී සොයා ගත් සීගිරිය හා සම්බන්ධ පුරාවස්තු රාශියක් මේ කෞතුකාගාරය තුළ තිබේ. කෞතුකාගාරය තුළ ඇත්තේ කෘත්‍රිම පරිසරයකි. ඒ නිසා පුරාවස්තුවලට වායු සමීකරණය අත්‍යවශ්‍ය ය.
සීගිරි කෞතුකාගාරය වැනි අනුරූ කෞතුකාගාර කිහිපයක් ලෝකයේ වෙනත් රටවල ද තිබේ. උදාහරණයක් ලෙස ප්‍රංශයේ ලස්කෝ ලෙන දැක්විය හැකි ය. ලස්කෝ ලෙන යනු ප්‍රංශයේ සුප්‍රකට හොෆ්මන්ඩිලාරෝෂ් නමැති බෙහෙත් කොම්පැනියේ ඉඩමක තිබූ ලෙනකි. මේ ලෙන තුළ ලෝකයේ පළමුවැනි චිත්‍ර ඇඳ තිබී ළමයින් කිහිපදෙනකු විසින් සොයා ගන්නා ලදී. පසුව රෝෂ් සමාගම මේ භූමිය සංරක්ෂණය කර ලස්තෝ ලෙන ජනතාවට විවෘත කළේ ය. එහෙත් දිගු කලක් තිස්සේ මිනිසුන් විසින් නැරඹීම නිසා ලෙන තුළ කාබන්ඩයොක්සයිඩ් ගොනු වී චිත්රවල පුස් බැඳෙන්නට පටන් ගත්තේ ය. මෙවිට ප්‍රංශ ආණ්ඩුව එම ලෙනෙහි අනුරුවක් එම බිමේ ඉදිකර ලෙන වසා දැමී ය. මේ නිසා ලස්කෝ ලෙන ද සුරැකුණු අතර එය නැරඹීමට කැමැති ජනයාට අනුරුව දැක සතුටු විය හැකි විය.
සීගිරි කෞතුකාගාරය ද මේ වර්ගයේ ඓතිහාසික කටයුත්තකි. කොළඹ සිටින වැඩකට නැති ලොක්කන්ගේ කාමරවල ඇති වායු සමීකරණ යන්ත්‍ර දෙක තුනක් ගලවාගෙන විත් හෝ මේ කෞතුකාගාරය වායු සමීකරණය කළ යුතු ය. වැඩකට නැති මනුෂ්‍යයන්ට වඩා වටිනාකමක් පැරැණි ගල්ගෙඩි සහ මැටි පුවරුවලට ඇත.
(දිවයින - 09/10/30)
ටිප්පණිය - සීගිරි කෞතුකාගාරයේ වටිණාකම පිළිබඳ කුකුසක් අපට නැත. එහෙයින් එය කළ යුතු දෙයක් බව මුලින් ම කියමි. එහෙත් ඒ කරන්නන් වාලේ නොවේ. සිදු වී ඇත්තේ අලියෙක් ගෙන හෙණ්ඩුවක් නොගැනීම වැනි මෝඩකමකි. ඉන් සිදු වන අනර්ථය පුනපනා කිව යුතු නැත. එහෙයින් බලධාරින් වහාම ඒ ගැන අවදානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ඡන්ද කාලයට රජ මැදුරේ පවත්වන එක් දන්සැලකට යන වියදමින් අඩක්වත් යතැයි අපට සිතෙන්නේ නැත. පාළු ගෙයි වළං බිඳ මහපාරේ රථ නළා හඬවා ලකුණු කපා ගන්නා විපක්ෂයට වුව මෙවන් කටයුත්තකයට සම්මාදම් වී ලකුණු දමා ගැනීමට බැරිකමක් නැත.
Wednesday, October 28, 2009
"රජයේ කොන්ත්‍රාත් රජයේ ආයතනවලට" ප්‍රතිපත්තියේ පිහිටා ඉහගෙන කෑම?
මේ පිළිසකර කටයුත්ත වෙනුවෙන් ඉංජිනේරු සංස්ථාවේ ඇස්තමේන්තුව රුපියල් මිලියන 256 ක් වුණි. එය ලංකාවේ හැටියට "එවරස්ට්" මිලක් විය. මෙවැනි අදහාගත නොහැකි තරම් ඉහළ ඇස්තමේන්තුවක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවේචන සහ විරෝධතා එල්ල වීමේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එම වැය ඇස්තමේන්තුව ක්ෂණිකව රුපියල් මිලියන 96 කින් අඩු කොට මිලියන 160 ට සංශෝධිත ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේය.
සැබැවින්ම ජාතික මට්ටමේ ගනුදෙනුවකදී මෙවැනි දැ සිදුවේද? කොටුව මල්වත්ත පාර වැනි පෙදෙසකින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී නම් මෙවැනි දැ සිදුවේ. මුල් වරට රුපියල් 1500 යි යෑයි වෙළෙන්දා පවසන මිල පාරිභෝගිකයා විසින් පළමුවරට ප්‍රතික්ෂේප වූ සැනින් එය රුපියල් 1000 ට බසී. එම මිලද ප්‍රතික්ෂේප වුවහොත් අවසානයේ විකුණුම් මිල රුපියල් 250 වීමටද බැරි නැත.
සුගතදාස කෘත්‍රිම ධාවන පථ වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සස්ථාවේ මිල ගණන් දැක්වීමද මල්වත්ත පාරේ සිදුවන ගනුදෙනුවක් අතරද වෙනසක් නැත. පළමුවර "මිල වැඩියි" කියූ සැණින් එය මිලියන 96 කින් අඩුවේ. මෙසේ සැලකීමේදී මල්වත්ත පාර සහ සුගතදාස කෘත්‍රිම ධාවන පථ ගනුදෙනු අතර වෙනසක් ඇත්නම් එය ඉලකක්කම් ගණනේ වෙනසක් පමණි.
ජාතක මට්ටමේ ගණුදෙනුවක් මෙවැනි විකට ස්වරූපයකට පත්වද්දී, දෙවැනි වර ඉදිරිපත් වූ රුපියල් මිලියන 160 ක ඇස්තමේන්තුවද "කළු කඩ මිලක්" බවට විවේචන එල්ල විය.
මෙසේ මෙම ගනුදෙනුව පිළිබඳ කතා බහ උණුසුම් වෙද්දී මේ වෙනුවෙන් විවෘත ටෙන්ඩර් කැඳවන බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා රුපියල් මිලියන 50 කට මෙය ප්‍රතිසංස්කරණය කිරීමට හැකි අයකු වේ නම් පසුදින උදැසනම මුදල් දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
සුගතදාස ගණුදෙනුව ගැන මෙසේ පුවත් උපදින අතරවාරයේ ටොරින්ටන් ධාවන පථයේ "කතාවත්" කරලියට පැමිණියේය.
කොඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයක් එළීම පිණීස රුපියල් මිලියන 326 ක ඇස්තමේන්තුවක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ඉදිරිපත් කර ඇති බවට "දිවයින" වාර්තා කළේය.
සුගතදාස ධාවන පථයේ ප්‍රතිසංස්කරණය පළමුව රුපියල් මිලියන 256 ක් ඉල්ලූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ටොරින්ටන් ධාවන පථය එළීමට රුපියල් මිලියන 321 ක් ඉල්ලා සිටීම අංක එකේ "ඉහගෙන කෑමක්" බවට විවේචන එල්ල වූයේ අදාළ මිලෙන් හයෙන් එකකටත් වඩා අඩුවෙන් මෙම වැඩය නිම කළ හැකි බවට දන්නෝ දන්නා නිසාය.
මෙම විවේචන සමගින් ධාවන පථ ගණුදෙනුවේ තවත් බලලෙක් මල්ලෙන් එළියට පැන්නේය. ඒ මෙම ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම පිණිස යොදාගෙන තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ලිපි වලට එහි නම සඳහන් බලධාරියා සිය අත්සන් යොදා නොමැති බව හෙළිවීමත් සමගිනි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්) ජී. ඒ. එල්. නෝනිස් මහත්මියගේ නම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කර තිබූ ටොරින්ටන් ධාවන පථයේ ඇස්තමේන්තුවට එතුමියගේ අත්සන යොදා නොමැති බව වාර්තා විය.
පසුව "දිවයින" කරන ලද විමසීමකදී, තමන් එවැනි ලිපියක් ගැන කිසිවක් නොදන්නා බවත් එවැනි ලිපියක් නොදුටු බවත් නෝනිස් මහත්මිය අවධාරණයෙන්ම පවසා සිටියාය.
මේ අතර ටොරින්ටන් ධාවන පථය එළීම සම්බන්ධයෙන් දින 8 ක් තුළ රුපියල් මිලියන 25 කින් වෙනස් ඇස්තුමේන්තු දෙකක් ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් වෙත යවා ඇති බව හෙළි විය.එම වෙනස සඳහා ඉංජිනේරු සංස්ථාවේ ස්ථාවරය වූයේ "කාපට්" නිෂ්පාදකයා විසින් වට්ටමක් ලබාදීමය. ටෙන්ඩරය අනුමත කිරීමට පෙර එසේ වට්ටම් ලබාදීමේ සිරිතක් නැතැයි අපි විශ්වාස කරමු.
1. QS 2009රැ1301862 යොමුවෙන් 2009-09-16 දාතමින් රුපියල් 346,362,632.00
2. QS 2009රැ130රැ1875 යොමුවෙන් 2009-09-24 දාතමින් රුපියල් 321,209,306.88
ඉහත ලිපි දෙකම සංශෝධිත පූර්ව ව්‍යාපෘති ඇස්තමේන්තු වශයෙන් නම් කර ඇති බැවින් මෙතෙක් මාධ්‍යයට හෙළි නොවූ එයට ප්‍රථම ඉදිරිපත් කරන ලද තවත් ඇස්තමේන්තු තිබේ යෑයි විශ්වාස කළ හැක.
මෙලෙස මෙම ගනුදෙනු ගැන තොරතුරු එකින් එක හෙළි වෙද්දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවක සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතා 2009/10/23 දාතමින් "දිවයින"ට යොමු කර ඇති ලිපියට අනුව මෙය සංස්ථාවෙන් පරිභාහිර උප කොන්ත්රාක්කරුවකුගේ මුදල් පිල්ලි ගැසීමේ උත්සාහයක් ලෙසින් හඳුන්වා දී තිබේ. එයින් සිදුවන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කීර්ති නාමය කෙළසීමකැයිද ඔහු පවසයි.
මෙය අවධානය යොමු විය යුතු කරුණකි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හරහා තෙවැනි පාර්ශ්වයක් "වල ඉහගන්නා" බවට ඇතිවන සැකය සියයට සියයක් පදනම් සහිතය. (යම් හෙයකින්) සත්‍ය තත්ත්වය එය නම් "රජයේ කොන්ත්‍රාත් - රජයේ ආයතන වලට" ප්‍රතිපත්තිය දඩමීමා කරගනිමින් රජයේ මුදල් කොපමණ පිල්ලි ගැසී ඇතිදැයි සොයා බැලීමටද කාලය පැමිණ තිබේ. වසර 40 ක ඉතිහාසයක් ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කීර්තිනාමයට හානි වන සේ මෙවැනි දැ සිදුවේ නම් ඒ පිළිබඳව අමාත්‍යංශ මට්ටමෙන් පරීක්ෂණ කළ යුතුය.
නැතහොත් මෙවැනි ඇස්තමේන්තු ඉදිරිපත් කර "රජයේ කෝනත්‍රාත් - රජයේ ආයතනවලට" යන ප්‍රතිපත්තිය බිඳ දමා "කුට්ටිය පිටින්ම"" රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සිදුවූ "මුදලාලි කුමන්ත්‍රණයක්" දැයි සොයා බැලිය යුතුය.
එපමණක් නොවේ. මෙම ව්‍යාපෘති ඉංජිනේරු සංස්ථාවට භාරදීම පසෙකලා විවෘත ටෙන්ඩර් කැඳවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා කරනලද ප්‍රකාශය මේ ලියන මොහොත වන විටත් ක්‍රියාත්මක වී නැත්තේ ඉංජිනේරු සංස්ථාව හරහා "කළුකඩ මුදලාලි" රංගනයකට තවදුරටත් වරම් තිබෙන නිසාදැයි සැකයද පහව නැත.
මේ සියල්ලට පරිබාහිරව තවත් දෙයක් සඳහන් කළ යුතුය. 2002 වසරේදී සුගතදාස ධාවන පථය පිළිසකර කළ රෙකොටාන් සමාගමේ නියෝජිත රේ සෝයි ඉන් වසර 2 කට පසු (2004 දී) කොළඹට පැමිණ අදාළ ධාවන පථය දැක 2004 ඔක්තෝබර් 24 දාතමින් සුගතදාස ක්‍රීඩාංගණ අධ්යක්ෂවරයාට එවන ලද ලිපිය ගැනද මෙහිදී අවධානය යොමු කළ යුතුය.
එහිදී ක්‍රිඩාංගණයේ නඩත්තු කටයුතු ගැන කිසිදු පැහැදීමකින් නොමැති වග සඳහන් කරන අදාළ නියෝජිතයා ක්‍රීඩා නොවන සංදර්ශන අංග වලට ක්‍රීඩාංගණය ලබාදීමෙන් ධාවන පථය විනාශ වී ඇතැයිද පවසා සිටියි.
ඒ අනුව සුගතදාස ධාවන පථයට නිසි රැකවරණය ලැබී නොමැති බව පැහැදිලිය. එහි ප්‍රතිඵලය ලෙසින් වසර 8 ක් ප්රතිසංස්කරණයකින් තොරව භාවිත කළ හැකි ධාවන පථය වසර 2 කින් විනාශ මුඛයට වැටී තිබුණි. එයට ජාතික වස්තුවක් ලෙසින් සැලකීම් නොකළ නිසාම එය අකාලයේ මිය ගියේය. දැන් එයට පණ දෙන්නට මහා පරිමාණයෙන් මුදල් වෙන් කිරීමට සිදුව තිබේ. එපමණක් නොව සැබෑ වියදම මෙන් කිහිප ගුණයක් මුදලාලිලා පොහොසත් කිරීම පිණිසද ගෙවිය යුතුව ඇති බවටද බරපතල සැකයකි. මේ සියලු වියදම් හොයාදීම පිණිස අපි බදුබර දැරිය යුතු වෙමු.
කෙතරම් බැරි අමාරුකමින් හෝ එය දරාගත්තද ප්‍රතිඵල නැත. සුගතදාස, ටොරින්ටන් පමණක් නොව වැය ඇස්තමේන්තුව මිලියන 5000 ක් වූ නුවරඑළිය ක්‍රීඩාංගණයද, හොකී පිටියේ කෘත්‍රිම තණතිල්ලද "පුරන්ව" ගොසිනි. ක්‍රීඩාවේ යටිතලය ගැන අපි කෙළෙස නම් සැනසෙමුද...?
ඉන්ද්‍රජිත් සුබසිංහ
(දිවයින - 09/10/29)
ටිප්පණිය - රාජ්‍ය අංශය නමැති සළුවට මුවාවී කළුකඩ මංකොල්ලකාරයින් සුපුරුදු රංගනය දිගට ම කරගෙන යන බව දැන් සක්සුදක් සේ පැහැදිළි ය. අප ත්‍රස්තවාදය අවසන් කළහයි පාරම්බාමින් සිටින ආණ්ඩුවේ ලොකු ලොක්කෝ මේ දූෂිතයින් ගැන සොයා බැලිය යුතු ය. ඒවාට එරෙහිව පියවර ගත යුතු ය. එසේ නොවේ නම් දකුණෙන් පහළට නැමුණු ආණ්ඩුවේ ඡන්ද ප්‍රස්තාරය නොබෝ දිනකින් ම බිම ඇනී කම්බස් වීම නැවැත්වීමට හඩ්සන් සමරසිංහලා සිය දහසකටවත් බැරි වනු ඇත.
Tuesday, October 27, 2009
පොදු අපේක්ෂක හා කුමන්ත්‍රණය
එජා පක්ෂයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඒ මහතා ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා බවට පත්කරගෙන ජයග්‍රහණය කළ නොහැකි බව ඒ පක්ෂයේ බොහෝ දෙනෙකුට තේරෙන කරුණකි. ඒ බව නොතේරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හා පක්ෂයේ තවත් කිහිප දෙනකුට පමණක් විය හැකිය. අනෙක් පිරිසගෙන් යම් ප්‍රමාණයක් ඇතැම් විට පක්ෂයේ වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වනවා විය හැකිය. එහෙත් එජා පක්ෂයේ කිසිවකුට පක්ෂයෙන් තරග කර මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට නොහැකි බව දන්නා අයද පක්ෂයේ වෙති. ඊනියා පොදු අපේක්ෂකයා එවැන්නන්ගේ දෙසවනට දිව මතුරකි. ඒ අතර පොදු අපේක්ෂකයාට තල්ලුව දෙන තවත් අයද වෙති. ඔවුන් අතර විදේශීය බලවේග හා දෙමළ ජාතිවාදී සංවිධාන හා සිංහල බෞද්ධ විරෝධී රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව ඇතැම් ආගමික නායකයෝද වෙති. අද එක් සභාවක නායකත්වය දරන්නේ රෝමයේදී කොටි සංවිධානය වෙනුවෙන් යාඥ පැවැත්වූ පූජකවරයෙකි. අද ඔහු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බොරුවට යාඥ කරනු දැකිය හැකිය. දෙවියන් වහන්සේට යාඥ කරනු වෙනුවට ඔහු යුරෝපීය රාජ්‍ය නායකයන්ට යාඥ කරන්නේ අනෙක් අතින් ඒ නායකයන්ට වෙනත් පණිවුඩ යවමින් බවට සැකයක් නැත.
පොදු අපේක්ෂකයා ගැන දොඩවන සියලු දෙනාටම පොදු අපේක්ෂාවක් ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී පරාජය කිරීමය. එමගින් සිංහලත්වය දියකර දැමීමය. සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමිවිය යුතු එහෙත් තවමත් හිමි නොවුණු තැන කිසි දිනෙක ලබා නොදීමට කටයුතු කිරීමය. පොදු අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහු ඉදිරිපත් කෙරෙන්නේ ඉහත සඳහන් අවශ්‍යතා ඉටුකර ගැනීමේ පරම පවිටු ෙච්තනාවෙනි. පොදු අපේක්ෂකයා බවට ඉදිරිපත් වීමට තීරණය කරන්නා දැන හෝ නොදැන හෝ ඒ කරුණු සඳහා පෙනී සිටියි. මේ උදාවී ඇත්තේ දෙවැනි පනස්හයකි. තවත් අවුරුදු පනහකින් පමණ තවත් පනස්හයක් උදාවනු ඇත. ඒ අතර කාලයෙහිදී විවිධ දැ මෙරට හා ලෝකයේ සිදුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පනස්නවය වන විට පනස්හය ආපසු හැරවීමට විජාතික බලවේග ක්‍රියා කළ අන්දමට මේ දිනවල දෙවැනි පනස්හය ආපසු හැරවීමටද ඒ බලවේග ක්‍රියාත්මක වෙමින් පවතියි. මූඑ පෙරමුණ ආණ්ඩුවෙන් පිලිප් ගුණවර්ධන මහතාට ඉවත් වීමට සැලැස්වීම පනස්හයට විරුද්ධව ගත් ප්‍රධාන පියවරක් විය. වැඩිකල් නොගොස් බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරිණි. විජාතික බලවේගවල අද සැලැස්ම මේ ආණ්ඩුව අප කීර්තියට පත්කර අස්ථාවර කර මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමය.
මේ ආණ්ඩුව කරන කියන ඇතැම් දෙයක් ගැන අපට එකඟ විය නොහැකිය. අද ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජනාධිපතිතුමාට ස්ත්‍රොaත්ර ගයන වන්දිභට්ටයන් නොවේ. මේ වන්දිභට්ටයෝ බොහෝ දෙනෙක් විජාතික බලවේගවල නියෝජිතවරියක වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද ස්තෝත්ර ගැයූහ. ඇතැම්හු ප්‍රේමදාස මහතාට ද ස්තෝත්ර ගැයුවෝ වෙති. ආණ්ඩුවට අද අවශ්‍ය වන්නේ වෙනත් කාහටත් වඩා ජාතිකත්ව මතවාදයක සිට නිර්මාණාත්මක විවේචනයෙහි යෙදෙන්න වුන්ය. ජනාධිපති උපදේශකයන්ගේ වගකීම් අතර ජනාධිපති විවේචනයද විය යුතුය. අද නොයෙකුත් සංවර්ධන කටයුතු කෙරෙන බව සැබෑය. එහෙත් මේ සංවර්ධනයේ කතා නොකෙරෙන දෙපැත්තක් වෙයි. එකක් ඒ හා සම්බන්ධ නාස්තිය හා දූෂණයය. දෙවැන්න මේ සංවර්ධනය ජාතික සංවර්ධනයක්ද නැත්නම් විජාතික සංවර්ධනයක්ද යන්නය. කාලයක් තිස්සේ බොහෝ දෙනාට පුරුදු කෙරී ඇත්තේ ඇමරිකාව මෙන් බැරිනම් අඩු තරමින් සිංගප්පූරුව මෙන් දියුණු විය යුතු බවය. සිංගප්පූරුවේ අහස උසට ගොඩනැඟුණු කුකුල් කූඩු මහල් නිවෙස්වල සිරවුණු ජීවිත දියුණුවේ ලක්ෂණයක් නම් දියුණු නොවී සිටීම එයට වඩා අගනේය. ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන එකඟ නොවන අතර ආණ්ඩුව පැරැදවීමට ද අපට එකඟ විය නොහැකිය. ආණ්ඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා වටාය. ආණ්ඩුව මැතිවරණ දිනන්නේ අර ඇමැතිවරයා මේ ඇමැතිවරයා රටට කළ සේවයක් නිසා නොව රාජපක්ෂ මහතාගේ නායකත්වය නිසාය. මීළඟ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට කළ හැකි කාර්යයක් වෙයි. මන්ත්රීධුරාපේක්ෂකයන් තෝරන විට දූෂිතයන්, හොරුන්, තක්කඩින් ආදීන් ප්‍රතික්ෂේප කිරීමට ඒ මහතා ක්‍රියා කරන්නේ නම් එය මේ රටේ යහපතට හේතුවනු ඇත. හොරුන් දූෂිතයන් නැතිව ජාතික සංවර්ධන මාවතක් දිගේ අවුරුදු පහක් රට ගෙන යැමට හැකි නම් අපට ජයග්‍රහණ රාශියක් අත්කර ගැනුමට හැකිවනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව තවදුරටත් ජාතියේ නාඩි වැටෙන ආකාරය තේරුම්ගෙන ක්‍රියා කළ යුතුය.
ආණ්ඩුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට දෙන ලද උසස්වීම් මත භේදයට තුඩු දෙන්නකි. උසස්වීම ඔස්සේ ඒ මහතා හමුදාපති ධුරයෙන් ඉවත් කෙරුණු බව පෙනෙන්නට ඇත. සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම, දයාන් ජයතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනිවා නුවර ලංකා නියෝජිත තනතුරින් ඉවත් කිරීමට වඩා වෙනස්ය. දයාන් ජයතිලක ඒ තනතුරට සුදුස්සෙක් නොවීය. මෙරට ඉංගිරිසි කතා කරන ඇතැම් බක පණ්ඩිතයන්ට ඔහු ප්රාඥයකු විය හැකි වුවද ඔහු මෙරට සංස්කෘතික මත පා ගහගත් පුද්ගලයෙක් නොවේ. බටහිර මතිමතාන්තර හැරෙන්නට ඔහු දන්න දෙයක් නැත. එහෙත් සරත් ෆොන්සේකා මහතා එසේ නොවේ. මෙරට ඉතිහාසය දත් අපේ සංස්කෘතිය ගැන වැටහීමක් ඇති ඒ මහතා හමුදාපති ධුරයට පත්වී තිබුණේ සුදුසුම අවස්ථාවේය. මහින්ද රාජපක්ෂ මහතා ද ඔහුගේ අගය දැනගෙන සිටි බවට සැකයක් නැත. ඔහුගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් මතු නොවූයේද එබැවිනි. කවුරු කෙසේ කීවත් කොටි පරාජය කිරීමේ ප්‍රධාන ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතුය. විජාතික බලවේගවලට දණ නොනමා දෙන ලද දේශපාලන නායකත්වය නොවන්නට ජයග්‍රහණය අත්කර ගැනීමට නොහැකිය. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාද එහිදී ඉතා විශිෂ්ට සේවයක් කළේය. ඔහු පැරැණි ලංකාවේ නම් අසිග්ගාහක වෙයි. ගැමුණු රජ සමයෙහි එවැනි පදවියක් තිබී නැතැයි සිතමි. ඒ ගෞරවය ඒ මහත්වරුන්ට එසේ පිරිනමද්දී සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු ගෞරවය අබමල් රේණුවකින්වත් අඩු නොකිරීමට අප වග බලාගත යුතුය. ගැමුණු රජු එළාර පරාජය කළ වීරයා වන අතර අප කිසිවකුට අවුරුදු දහස් ගණනකට පසුවද නන්දිමිත්ර නාමය අමතක නොවේ. සරත් ෆොන්සේකා මහතා අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙස පත් කිරීම ඒ මහතාට කරන ගෞරවයක් නොවේ. සරත් ෆොන්සේකා මහතාගේ නාමය ද අවුරුදු දහස් ගණනකට පසුවද ජාතියේ මතකයෙන් ඉවත්විය යුතු නොවේ. හමුදාවෙන් විශ්‍රාම යැමෙන් පසු ඒ මහතාට සුදුසු එකම නිලය ජනාධිපති තනතුරය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඒ තනතුරට වඩා සුදුසුය.
අද පොදු අපේක්ෂකයා ලෙස සරත්ලා දෙදෙනකු ගැන කියෑවෙයි. හිටපු අගනිවිනිසුරු සරත් සිල්වා මහතා එක් අයකු වන අතර අනෙක් තැනැත්තා සරත් ෆොන්සේකා මහතාය. පොදු අපේක්ෂකයා කවුරුවන් වුවද ඔහුට අත්වන්නේ පරාජයක් පමණකි. සරත් සිල්වා මහතා පරාජය වීම අපට ප්‍රශ්නයක් නොවේ. උතුර හා නැගෙනහිර වෙන් කිරීමේ තීන්දුව ඓතිහාසික වුවත් නොදී බැරි තීන්දුවකි. එහෙත් ඒ අතර ඒ මහතා අධිකරණ බලතල බෙදීමටද කටයුතු කළේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යමින් බව ඇතැම් නීතිඥයන්ගේ අදහස වෙයි. සරත් සිල්වා මහතා කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතා පරාජය වනු දැකීමට අපි නොකැමැත්තෙමු. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව ඒ මහතාට ඡන්දය දීමටද අපට නොහැකිය. එදා සරත් ෆොන්සේකා මහතා ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු යෑයි කීවෝ අද ඒ මහතාට දිරච්ච ලණු දෙති. ඔවුහු ෆොන්සේකා මහතාට පරාජය අත්කර අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබන විශිෂ්ට ජය අඩු කිරීමට කටයුතු කරමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා දැමීමට උත්සාහ කරති. අප ඒ උත්සාහය පරාජය කළ යුතුය.
මහාචාර්ය නලින් ද සිල්වා
(ඉරිදා දිවයින 09/10/25)
ටිප්පණිය - මේ දිනවල මාධ්‍යවල වඩාත් උණුසුම් පුවත් මවන්නා පොදු අපේක්ෂකයා ය. එහදී ආණ්ඩුවේ මාධ්‍ය දිගින් දිගට ම රජතුමා උත්කර්ෂයට නංවමින් සරත්ලාට ටොකු අනින අතර විපක්ෂයට බර මාධ්‍ය පොදු අපේක්ෂකයාගේ ගුණ වයනු පෙනේ. මේ වන්දිභට්ටකම් ජනතාව යම් යම් මිත්‍යාවන්හි ගිල්වා තබන නිදි බෙහෙත් ය.
විශේෂයෙන්, සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නොවේවා!යි මම සිය දහස් වරක් පතමි. එසේ වුවහොත් දෙකට කැඩෙන්නේ දේශප්‍රෙමී පෙරමුණ ය. එහෙත් එසේ නොවන්නට වග බලාගත යුත්තේ ආණ්ඩුව ය. එහෙත් ආණ්ඩුව කරන්නේ එහි අනිත් පැත්ත ය. රජ ගෙදර මුර බල්ලන් සහ රාජ්‍ය මාධ්‍යවල එහෙයියන් සරත්ට එරෙහිව උසි ගැන්වීම ය. මේ අවස්ථාවේ ආණ්ඩුවේ නැති ගුණ වැයීම සහ එහි වැරදි යටගැසීම තරම් මේ ආණ්ඩුවට කළ හැකි තවත් හානියක් නැත. කළ යුත්තේ වැරැද්ද විවේචනය කිරීම ය. හොඳ දේ ඇගයීම ය.
එසේ නොකරන උන්ගෙනි, ආණ්ඩුව පරිස්සම් විය යුත්තේ. තමාට හිතැති වඳුරා නිසා අකාලයේ මියෙන්නට සිදු වූ රජතුමා පිළිබඳ කතාව ජනාධිපතිතුමා යළි යළිත් සිහිපත් කළ යුතු ය. තමා වටකරගෙන ප්රශස්ති ගයන මාර සේනාවෙන් පරිස්සම් විය යුතු ය.
Monday, October 26, 2009
නපුර නැති සාංකාව
නිශ්චිත කිසිදු සාක්ෂියක් නොමැති වූත් හුදු තොරතුරු සහ ඕපාදූප මත පදනම් වූත් එම වාර්තාව අවසානයේ ප්‍රකාශ කොට සිටින්නේ මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය නොපමාව විමර්ශනයක් කළ යුතු බවය.
ප්‍රබන්ධය මායාව සමග එකට මිශ්‍රකොට ව්‍යාජයේ දුබල වියමනෙන් ගොතන ලද එම වාර්තාව සිදුවිය යුතු පරිද්දෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන්නේය.
නපුරට යටත්ව මහත් ජනතාවක් ද සමග විනාශයට සහ අයසට පත්වීම වෙනුවට ඊට එරෙහිව සටන් කොට ජයගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ රාජ්‍යයකට තවත් රාජ්‍යයක් විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ ඒ ආකාරයටද?
ත්‍රස්තවාදය මානව ශිෂ්ටාචාරයට අභියෝග කරන වර්තමානයේ සිටින අංක එකේ සතුරානම්, ඒකාගේ මානව හිමිකම් සුරකින්නට යැමෙන් සමස්ත මානව ශිෂ්ටාචාරයකම මානව හිමිකම් උල්ලංඝනය වන බව නොදන්නා රාජ්‍යයනුත් තිබිය හැකිද?
ත්රස්තවාදීන්ගේ මානව හිමිකම් සුරැකීමට අදහස් කරන රාජ්‍යයක් ප්‍රථමයෙන්ම කළ යුත්තේ හෙළුවෙන් හිඳ ඔළුවෙන් හිටගැනීමය.
අනතුරුව ඔවුන් කළ යුත්තේ ශිෂ්ට සමාජයෙන් ත්රස්තවාදීනට සිදුවන "හිරිහැර කරදර"වලින් ඔවුන් ආරක්ෂා කිරීමට ශක්තිමත් පදනමක් බිහි කිරීමය.
ඒ සඳහා ත්රස්තවාදයට හිතැති මාධ්‍ය ආවරණයන්ද, ත්රස්තවාදයට හිතැති සාහිත්‍ය කලා සම්ප්රදායක් ද, "ඉතා දියුණු ත්රස්තවාදීන්" බිහිකරන විද්‍යා පීඨයක් ද නිපදවා ගත යුතුය.
පුදුමයට කරුණ නම් විද්‍යාපීඨය හැර, ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය වෙනුවෙන් ඉහත කී සියල්ලම දේශීය සහ විදේශීය වශයෙන් කොහොමටත් ගොඩනැගෙමින් පැවැති බවය.
එල්. ටී. ටී. ඊ. ය ලෝකයේ අංක එකේ අති බිහිසුණුම ත්‍රස්තවාදය වූයේ එය සතුව තිබූ සන්නද්ධ බලය නිසා නොව ඉහත කී සුවිශේෂතම කරුණ නිසාය.
එය ශිෂ්ටාචාරය වනසන ගමන්ම ශිෂ්ටාචාරය රැවටූ සංවිධානයකි. ආයුධ වශයෙන් බෝම්බ, රොකට්, සබ්මැරීන්, කුරුම්බැට්ටි මැෂින්, මිනිස් බෝම්බ මතුනොව අවශ්‍ය තැනෙහිදී සෙම්, සොටු, කඳුළු ද භාවිත කළ සංවිධානයකි. එය පරාජය කිරීමට ජෙනරල් මැක්ආතර් යුද උපක්‍රමවලින් හැකි යෑයි කල්පනා කිරීම විසිඑක් වන සියවසේ සන්නද්ධ හමුදාවකට පහර දීමට ක්‍රිස්තු පූර්ව යුගයේ හමුදාවක් යෙදවීමක් වැනි වැඩකි.
ශ්‍රී ලංකාවේ වත්මන් සන්නද්ධ හමුදාවෝ සතුරා කවරෙක් ද යන්න හඳුනාගෙන සිටියා පමණක් නොව ඔහු කියන තරම් "කළු යකෙක්" නොවන බවද අත්දැකීමෙන්ම දැන සිටියහ. තව දුරටත් සෙම්, සොටු, කඳුළුවලට නොරැවටුණ දේශපාලන නායකත්වයක අනම්‍ය තීන්දු තීරණ අනුව කටයුතු කළ ඔවුහු ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්තවාදී සංවිධානයක් මුලිනුපුටාම දැමූහ.
දැන් ප්රශ්නය ත්‍රස්තවාදය නොවේ. ත්‍රස්තවාදය නැත්තටම නැති කිරීම පිළිබඳව ය.
ත්‍රස්තවාදියකු බේතකටවත් සොයාගත නොහැකි සමාජයක් අපේක්ෂා කරන එක්සත් ජනපදයේ යුක්තිගරුක සාමාන්‍ය ජනතාවට ප්රභාකරන් සහ ඔහුගේ සගයන් මියගියේ ඉස්සරහින් වෙඩි වැදී ද නැතහොත් පසු පසින් වෙඩි වැදී දැයි ප්‍රශ්නයක් නැත.
ත්රස්තවාදයක් අවසන් කිරීමෙන් සැනසුම් සුසුම් හෙළන සමාජයක ආශ්වාදය සිංහල, දෙමළ සමාජයකට පමණක් නොව ඇමරි - බ්‍රිතාන්‍ය, යුරෝපීය හෝ වෙනත් ඕනෑම සමාජයක හෝ උරුමය වෙයි.
ඊට එරෙහිව කෙණහිලි කිරීම සහ ආඩපාලි කීම විශිෂ්ට මිනිසුන්ගේ සිරිතක් විය නොහැකිය.
(දිවයින - 09/10/27)
ටිප්පණිය - ශිෂ්ට සම්ප්‍රදායන් බලාපොරොත්තු විය යුත්තේ ශිෂ්ට මිනිසුන්ගෙනි. මේ කෙරුම්කාරයින් සියල්ල නිර්ණය කරන්නේ සිය ලාභය ගැන සිතා ය. ඉබ්බන්ගෙන් පිහාටු පතා පලක් නැත. එහෙයින් අප වහා අපේ මිතුරු රටවල් සමග දැඩි සබඳකම් ඇති කර ගත යුතු ය. යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙළ ගැසිය යුතු ය. චීනය රුසියාව ඉන්දියාව ආදී රටවල් සමග යුක්තියේ මිතුරු රාජ්‍ය ගොනු කරගෙන නව පෙරමුණක් තනා ගත යුතු ය. එය මඩේ හිට වු ඉන්නක් වන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විකල්පයක් නොව ඊට එහා ගිය ආයතනයක් විය යුතු ය.
Wednesday, October 14, 2009
ඇල්ෆ්‍රඩ් නොබෙල් නැවතත් දුකින්!
දිගින් දිගටම යදමින් බැඳී සිටින වහලා කාලයක් ගත වන විට තම යදම්වලට පෙම් කරන්නට පටන් ගනී. එපරිද්දෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයත් ඇමෙරිකානු ව්‍යාප්තවාදයත්, යටතේ සිටි බටහිර ලෝකයේ සහ ස්කැන්ඩිනේවියානු රටවල මානසික වහල්ලු එකී පීඩනයන්ට සහ සූරාකෑම්වලට ආදරය කරන්නට පටන් ගනිති. නොබෙල් තෑගි කමිටුවේ සාමාජිකයන් ද මෙවැනිම පිරිසක් බව අපට හැඟී ගොස් තිබේ. ස්වීඩනයේදී රැස්වන මෙම කමිටුවට අවශ්‍යව තිබුණේ යටත් විජිතවාදයට සහ ව්‍යාප්තවාදයට ආදරය කරන ගමන් ජනාධිපති ඔබාමාට දේශපාලන හා මානසික අල්ලසක් ලබා දීම ය. නොබෙල් කමිටුවේ සාම ත්‍යාගය සඳහා මෙවර නම් 205 ක් නිර්දේශ වී තිබිණ. කමිටුව ත්‍යාගය දුන්නේ බලයට පැමිණ වසරක්වත් නැති, ලෝක සාමයට තබා තමන්ගේ රටේ සාමයටවත් යමක් කර ගැනීමට කාල වේලාවක් නො තිබූ ඔබාමාට ය. නිහතමානී මිනිසකු වූ ඔබාමා මේ ත්‍යාගය ලැබීමෙන් තමා තුළ හටගත් පුදුමය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් අවංක විය. ඒ අතර නොබෙල් සාම කමිටුව බරපතල අමාරුවක වැටුණේ ලොව දස දෙසින්ම විරෝධය ගලා එන්නට වූ නිසා ය. ඔබාමාගේ ඉදිරි සාම ක්‍රියාවලියට ධෛර්යය දීම සඳහා ඔහුට සාම ත්‍යාගය දුන් බව ඔවුහු එවිට කීය. එසේ නම් ගිය අවුරුද්දේ සාම ත්‍යාගය ප්රභාකරන්ට නුදුන්නේ ඇයි? මිනී නො මැරීමට ධෛර්යය දීම සඳහා ඔහුට එය දිය යුතුව තිබිණි. මේ අනුව පහත සඳහන් පුද්ගලයන් පහත සඳහන් උසස් ත්‍යාග සහ සම්මාන සඳහා සුදුසු බව අපගේ වැටහීම ය.
* ඔසාමා බින් ලාදින්, අහිංසාව සඳහා වූ මහත්මා ගාන්ධි ත්‍යාගයට සුදුසු ය.
* ජෝර්- බුෂ් රැමෝන් මැග්සේසේ ත්‍යාගය සඳහා සුදුසු ය.
* නැසීගිය ඉඩි අමීන් පුලිට්සර් ත්‍යාගය සඳහා සුදුසු ය. (මෙය ඇමෙරිකානු පත්‍ර කලාවේදියකුගේ නමින් දෙන ප්‍රදානයකි. ඉඩි අමීන් සිය පාලන කාලය තුළ පත්රකලාවේදීන් සිය ගණනක් මැරීය.)
* හිට්ලර්ගේ ප්රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ලෙස කටයුතු කරමින් දෙවන ලෝක යුද සමයේදී බොරු වපුරුවා හළ ගොබෙල්ස්ට ගෝල්ඩන් පෙන් (රන් පෑන) සම්මානය දිය යුතු ය.
නොබෙල් ත්‍යාගය පවත්වාගෙන යන්නේ ඩයිනමයිට් සොයාගත් ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉපැයූ මහා ධනස්කන්ධය බැංකුවක තැන්පත් කර එහි පොලියෙනි. තමා සොයාගත් පුපුරණ ද්‍රව්‍යය මනුෂ්‍යයන් සංහාරය කිරීමට යොදවන ආකාරය දුටු නොබෙල් පසු කාලයේදී තම සොයා ගැනීම ගැන දුක් විය. දැනට ජීවතුන් අතර නැති මේ මහා විද්‍යාඥයා අද ජීවතුන් අතර වී නම් මෙවර දුක්වනු ඇත්තේ නොබෙල් තෑග්ගට ගිය කල දසාව ගැන ය. තමා නිවැරැදි අවංක මිනිසකු බව තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ ත්‍යාගය ලබා ගැනීමෙන් බරක් ඔබාමා වැළකිය යුතු ය.
(දිවයින - 09/10/15)
ටිප්පණිය - ඔබාමා බලයට පත් වෙද්දී වෙනිසියුලියානු ජනාධිපති හියුගෝ චාවේස් කීවේ ඔබාමා හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ හමේ පාටින් පමණක් බව ය. එකල අපට සිතුණේ චාවේස් සර්ව අශුභවාදීයෙකු බව ය. එහෙත් ඔබාමා බලයට පත්ව වසරක් තුළ චාවේස් අනාගත වක්තෘ කෙනෙක් බව ඔප්පු කළේ ය. ඔහු බලයට පත් වූ පසු ඇමරිකන් හමුදාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ අහිංසක වැසියන් 4000ක් පමණ මරා දැමුවේ ය. අහිංසක මිනිසුන් 160ක් මරා දැමුවේ යයි සදාම් හුසේන්ට මරණ දඬුවම ලබා දුන් යුගයේ ම එවන් 20 ගුණයක් මරා දැමූ කෙනෙකුට ලෝක සාම ත්‍යාගය පුදා තිබේ. ඉන් කර තිබෙන හානිය සුළුපටු නැත. එක් අතකින් එය මෙතෙක් එම ත්‍යාගය ලද ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කරන ලද අපහසයකි. අනෙක් අතට නොබෙල් ත්‍යාගය බිහි කළ උතුම් අදහස ද කරන ලද නින්දාවකි.
Monday, October 12, 2009
ප්‍රේමචන්ද්‍රගේ එදා වේල
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සාමාජිකත්ත්වය දරන දෙමළ ජාතික සන්ධානය වූ කලී ප්රභාකරන්ගේ සහ කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස කටයුතු කළ දේශපාලන පක්ෂයයි. ප්රභාකරන් වන්නියට වී මිනී මරණ විට කොළඹ සිටි දෙමළ ජාතික සන්ධානය කළේ එම සංහාර සහ මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කිරීම ය. රට කැඩීම සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයේ තබාගත් දෙමළ ජාතික සන්ධානය සිය අරමුණ ඉටුකර ගැනීම සඳහා ස්වදේශික මෙන්ම විදේශික මට්ටමින් ද ක්‍රයාත්මක විය. වන්නිය යනු එදා සිටම සිංහල බෞද්ධයන් පදිංචිව සිටි, එකී සිංහල බෞද්ධයන්ට වන්දනාමාන කිරීම සඳහා වෙහෙර විහාර සහ ස්ථූප පිහිටුවා තිබූ ප්රදේශයකි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ වීමත් සමඟ වන්නියේ සිංහල ජනයා සංහාරය කිරීම ඇරඹිණ. ඊළඟට වන්නියේ සිටි සිංහලයෝ පණ බේරාගැනීම සඳහා වන්නිය අත්හැර දමා ආරක්ෂිත ප්‍රදේශවලට පැන එන්නට පටන් ගත්හ. මෙසේ පැමිණීමේදී ගෙවල් සහ විහාරස්ථාන කරතබාගෙන පැමිණීමට නොහැකි බැවින් ඒවා අත්හැර දමා එන ලදී.
ත්රස්තවාදීහු මේ වෙහෙර විහාර පොළවට සමතලා කළහ. වන්නියේ නැවත සිංහලයන් පදිංචි කරනවා නම් එය ස්ථිර වශයෙන්ම කළ යුතු දෙයක් වන්නේ ඒ භූමියට ඇති අයිතිය සිංහලයන් සතුව තවමත් ඇති නිසා ය. බිමට සමතලා කෙරුණ වෙහෙර විහාර ද නැවත ඉදි කළ යුතුම ය. ඒවා ඉදිකිරීමට හෝ සිංහලයන් තම මුල් බිම්වල පදිංචි කිරීමට හෝ විරුද්ධ වීමට කාටවත් නොහැකි බව තරයේ කියමු. එසේම දෙමළ ජනයා ද එහි පදිංචි කළ යුතුය. කොළඹ, නුවර හා මාතර සිටින දෙමළ ජනයා මෙන් නිදහස් ජීවිත ගතකිරීමට වන්නියේ සිටින දෙමළ ජනයාට ද හැකිවිය යුතු ය. ඒ අතර ඒ අයිතිය රටේ හැම තැනකම සිංහලයන්ටත්, මුස්ලිම් හා බර්ගර් ජාතිකයන්ටත් තිබිය යුතුය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ සූදානම් වන්නේ කේළාම් කියා නැති කරදර ඇති කිරීමටයි. කොටි සංවිධානයේ බළල් අතක් වන ඔහු නැවතත් මේ රට තුළ බෙදුම්වාදය ඉස්මතු වනු දැක්මේ ආශාවෙන් පෙළෙන බව පැහැදිලි ය. කොටි සංවිධානය විනාශ වීමෙන් බොහෝ දෙනකුට ආදායම් මාර්ග අහිමි විය. එසේ ආදායම් අහිමි වූ අය ඒ ආදායම් නැවත උපදවා ගැනීමට තැත් කරති. ප්‍රේමචන්ද්‍රන් තමිල්නාඩු මන්ත්‍රීවරුන්ට කියූ කතාව ගැන අපට කීමට ඇත්තේ එපමණ ය. මිනිසුන් එදා වේල සඳහා මෙපමණ බොරු කිව යුතු නැත.
(දිවයින - 09/10/13)
ටිප්පණිය - සුරේශ් ප්‍රේමචන්ද්‍ර කියු කතාවෙහි වරදක් මට නම් නොපෙනෙ. එදා සිට ම කොටියා සමග එක්ව බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ඔහු මෙන් ම බොහෝ ඊලාම්වාදීන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බව ය. එහෙත් සැබෑව නම් මේ සියලු ඊලාම්වාදීන් අසල්වැසි 'දෙමළ රාජ්‍යය' හෙවත් තමිල්නාඩුවෙන් ලංකාවට පැමිණි අය බව ය. එය ශත වර්ෂ ගණනක් තිස්සේ සිදු වූවකි. අප කියන්නේ ඔවුන්ට උතුරු නැගෙනහිර ජීවත්වීමට අයිතියක් නැති බව නම් නොවේ. එහෙත් මේ කොටසේ අපේ පමණ යයි කීමට බිම් අඟලක් මේ රටේ ඔවුන්ට නැත. කොටියා විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පළවා හැරි සිංහල මුස්ලිම් දෙමළ ආදී සියලු වැසියන් සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතු ය. එවිට එම ජනතාව සුපුරුදු ලෙස සමගියෙන් ජීවත් වනු ඇත.
Sunday, October 11, 2009
පුරවැසියාගේ යුතුකම, එ.ජා.ප.ය සහ ජ.වි.පෙ.
දකුණු පළාත් සභා ඡන්දය මේ අයුරින් නිමාවට පත්වීම වාසනාවකි. පූර්ව මැතිවරණ සමයේ පැවැති ගැටුම්, පහත් ලෙස වචන හුවමාරු කර ගැනීම් සහ වෙනත් ගිණි කෙළි සංදර්ශන ගැන සලකා බැලූ බොහෝ දෙනා සිතුවේ මැතිවරණ දිනය විශාල සංග්‍රාමික මෙහෙයුමක් වනු ඇති බවය. එහෙත් සාමාන්‍ය සිදුවීම් කිහිපයක් හැර ප්‍රධාන පෙළේ ප්රචණ්ඩ ක්‍රියා එහිදී සිදුවූයේ නැත. මේ ලෝකයේ සිදුවිය නොහැකි කිසිම දෙයක් නැත. ලෝක සාමය වෙනුවෙන් කිසිවක් කළ බවට කිසිදු ආරංචියක් නැති බරක් ඔබාමාත් නොබෙල් ත්‍යාගය ලද්දේනම් හෙට උදාවන දවසේදී ඔසාමා බින් ලාදින්ට හෝ ප්රභාකරන්ට අහිංසාව පිළිබඳ ගාන්ධි සම්මානය ලැබුණත් අප පුදුම විය යුතු නැත. ඒ අනුව ගිය සුමානයේ ගහ මරාගත් නිශාන්ත මුතුහෙට්ටිගම, තම ප්රමුඛ සතුරු තරුණිය වන අනර්කලී ආකාර්ශා සමග සමගි සම්පන්නව පළාත් සභාවේ අසුන් ගන්නවා ඇත. දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති තමා බව ප්‍රකාශ කළ සියලු අපේක්ෂකයන් තමන් නොවන මහ ඇමැති කෙනකු යටතේ සේවය කරනු ඇත.

(ලක්බිම -09/10/12)
අපගේ ප්‍රධානතම ගැටලුව වන්නේ මේ රටේ විපක්ෂයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ජ.වි.පෙ. සහ එ.ජා.ප.ය ක්‍රමයෙන් මූලෝත්පාටනය වන ලකුණ පෙන්වීමය. එ.ජා.ප.ය කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ දේශපාලනයේ ක්‍රියාකාරීව පැවැතිය යුතු පක්ෂයකි. දකුණ වූ කලී ඔවුන්ගේ නිජ බිමය. දකුණින් ඔවුන් ඉවත් කරනු ලැබ ඇත්නම් මීළඟ මහ මැතිවරණයේදී ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසනවලට කවර ඉරණමක් අත්විය හැකිද යන්න ගැන අපට සිතා ගැනීමටත් නොහැක. කිසිදු අපහසුවකින් සහ වංචාවකින් තොර තරුණයන් විසින් සද්භාවයෙන් පිහිටුවන ලදුව දෙවරක් මර්දනය කිරීමෙන් පසු යළිත් හිස එසවූ ජ.වි.පෙ. මීළඟට මර්දනය වනු ඇත්තේ ජනතාව අතින්ම නම් එය ඉතා භයානක තත්ත්වයකි. එජාපයට සහ එහි නායකයන්ට මැතිවරණ ජයග්‍රහණය ඉමහත් කම්මැලි ක්‍රියාවක් වී ඇති නිසා ඔවුන් දිගින් දිගටම පරදිනවා යයි සිතමු. එහෙත් ජ.වි.පෙ.ත් එසේ විය යුතුද?
(දිවයින -09/10/12)
ටිප්පණිය - තවත් මැතිවරණයක් නිමා විය. සති ගණනාවක් මැතිවරණ උෂ්ණය අනුභව කරමින් තම දෛනික කටයුතු අතපසු කරමින් සිය අපේක්ෂකයා පලාත් සභාවට යැවීමට දත කෑ අය නැවත සිය පවුල දරුවන් වෙනුවෙන් ජීවිකාව සොයන්නට යති. මන්ද පලාත් සභාවට කවුරු පත් වුව ද ජනතාවට ඉන් ලැබෙන දෙයක් නැත.
මෙහිදී මා ලැබූ විශාල ම භාග්‍ය සන්ධාන එජාප ජවිපෙ ඇතැම් මිනිසුන්ගේ කුහක අධ්‍යාත්මය හඳුනා ගත හැකි වීමයි. මේ අශික්ෂිත වානරයින් මැතිවරණ ව්‍යාපාරය තුළ වේදිකා මත නැග සිය හෙළුව කිසිදු විළියකින් තොරව ප්‍රදර්ශනය කළේ ය. ඒ අනර්කලි ආකර්ෂාට නොහොබිනා කුණු හරුපවලින් බැණ වැදීමෙනි. ඒ සියලු තකතීරුකම්වලින් ඔවුන් සුසන්තා චන්ද්‍රමාලි මෙන් කැපී යන්නට සිටි අනර්කලීට මන්ත්‍රි අසුනක් ලබා දුන්නේ ය. මේ කිසිදු තක්කඩියෙකු රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ ළඳුනේ ගීතය අසා තිබුණා නම් මෙවන් තුප්පහි කතා නොකියනු ඇත.
Thursday, October 8, 2009
කැබිනෙට්ටුවේ කාවෝ ප්‍රවේශමෙන්!
හොර තක්කඩියාගේ සාදය උගේ ඉදිරි තක්කඩි වැඩවල ප්‍රයෝජනය පිණිස ම යෙදවෙන්නකි. මංකොල්ලකරුවාගේ රාත්‍රි භෝජන සංග්‍රහය ඔහුට උදව් උපකාර කරන සියලුම වර්ගවල නපුරන්ගේ සතුට උදෙසා ය. අපරාධකරුවාගේ ප්‍රේමය ගොදුර ඔහු වෙත ළඟා වනතුරු පමණ ය. ත්‍රස්තවාදියාගේ සංස්කෘතික උළෙල ඔහුට අවශ්‍ය බෝම්බ ටික අටවා ගැනීමේ මුවාවක් පමණකි.
පොංගුතමිල් යනු එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ සංස්කෘතික උළෙල විය. අප කලින් පැහැදිලි කළා සේ පෙනුමෙන් එය සංස්කෘතික උළෙලක් වුව ද, උපයෝගිතාවෙන් එය නිසැකවම ත්රස්තවාදීන්ගේ පපර බෑන්ඩ් පාටියක්ම විය. මේ සත්‍යය නො දන්නා බබාලා ඇමරිකා එක්සත් ජනපද බබාලන්තයේ, බ්‍රිතාන්‍ය නමැති බබා උක්කුංලන්තයේ හෝ නෝර්වේ නමැති අයියබබා - මල්ලිබබා ලන්තයේ හෝ සිටිය හැකි ය. එහෙත් එල්.ටී.ටී.ඊ.යේ කෙරුවාව දන්නා මේ රටේ සිටින මොනම දේශපාලන බබෙකුටවත් පොංගුතමිල් යනු කුමක් ද යන්න අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැත.
එහෙයින් එල්.ටී.ටී.ඊ.ය යනු බිහිසුණු දෙයක් වුව ද, පොංගුතමිල් නම් හරිෂෝක් යෑයි කීම, තමිල් සෙල්වම් භයානක මිනිසෙක් වූවාට ඔහුගේ සිනාව නම් හරිම අහිංසකයි කීම වැනි ය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්වීමේ අරමුණින් පසුගිය වසරවලදී පැවැති පොංගුතමිල් උත්සවයන්ට රජයේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් ද සහභාගිවී ඇතැයි දැන් හෙළි වී තිබේ.
ජාතිද්‍රෝහීන්ගේ සහ දේශද්‍රෝහීන්ගේ රංචු ගැසීමකට රෙදිත් ඇඳගෙන සහභාගි වීම මගින් මෙම කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට සිටිති.
පිළිගත් දේශපාලන පක්ෂයක සාමාජිකයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත්නම් ඒ පිළිබඳ විභාග කළ යුත්තේ ශ්‍රේෂඨාධිකරණය යෑයි කියනු ලැබේ.
ඒ කෙසේ වුවත් 2006 ජුනි මස 28 දා ජර්මනියේ පැවැති පොංගුතමිල් උත්සවයට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකුට එරෙහිව දැන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබේ.
එහෙත්, මෙරට පැවැති පොංගුතමිල් උත්සව කීපයකටම සහභාගි වූ ශ්‍රී ලංකා රජයේ කැබිනට් අමාත්‍යවරුන් කීපදෙනකුම ඇතත් ඒ කිසිවෙකුට විරුද්ධව චෝදනාවක් ගොනුකරනු තබා ඔවුනට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බවක්වත් දැන ගන්නට නැත.
මේ කරුණු අනාවරණය වූයේ පසුගිය 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ය.
2002 දී එල්.ටී.ටී.ඊයත් ශ්‍රී ලංකා රජයත් (මෙහිදී රජය යනු එවකට සිටි ජනාධිපතිවරිය හැර ශ්‍රී ලංකා රජයය) අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීන්ට අෙන්‍යාන්‍ය වශයෙන් අනෙක් පාර්ශ්වයේ උත්සවවලට සහභාගි වීම අනිවාර්ය කොට තිබුණා දැයි අපි නො දනිමු.
බැරි වෙලාවත් එය එසේ වී තිබුණා නම් ඒ පැත්තේ හාදයෝ මේ පැත්තට ආවේ උත්සව මුවාවෙන් වේවා වෙන මොන මඟුල මුවාවෙන් වේවා මේ පැත්තට බෝම්බ අටවන්නට ය. නැතහොත් බෝම්බ අටවන උන් බස්සවා යන්නට ය.
අපේ අයියලා ඒ පැත්තේ උත්සවවලට ගියේ එක්කෝ තමන්ගේ දේශපාලන මුග්ධ භාවයට ය. නැතහොත් දේශපාලන ද්‍රෝහීකමට ය.
ඒ කුමක් ද යන්න පහදා ස්වයං විවේචනයක යෙදී හෝ පාපොච්ඡාරණයක යෙදී මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීම වරද කළ කැබිනට් අමාත්‍යවරුන්ගේ යුතුකම ය.
නැත්නම් කැබිනට් එක ගැන ප්‍රවේසම් වෙන්නැයි රජයට අනතුරු ඇඟවීමට අපට සිදුවේ.
(දිවයින - 09/10/09)
ටිප්පණිය - පොංගුතමිල් උළෙලට ගිය එකා කොටියෙකි. නැත්නම් කොටියාගේ ඉඳුල් කා තරවන හිවලෙකි. ඌ කැබිනට් ඇමති නොව ශක්‍රයා වුවත් පවතින නීතිය යටතේ නඩු අසා දඩුවම් කළ යුතු ය. එසේ නො කර ටීඑන්ඒ මන්ත්‍රීවරු පමණක් දඟගෙයි ලා පලක් නැත. එය නීතිය ද දූෂණය කිරීමකි. කැකිල්ලේ තීන්දුවකි. දකුණේ ඡන්දයේ දී සන්ධාන මැරයින් ජේවිපී සාමාජිකයින්ට පහර දුන්නැයි පැමිණිලි කරන්නට, පොලිසියට ගිය කල, පැමිණිල්ල විත්තිය කොට කූඩුවට දැමීමටත් වඩා තකතීරු කැකිල්ලේ තීන්දුවකි.
Tuesday, October 6, 2009
සේනක බිබිලේට එය මහත් සතුටක් වනු ඇත
අප විසින් මෙහි පෙර ද සඳහන් කරන ලද පරිදි ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මූලික කටයුත්ත වන්නේ අඩු මිලට, ජනතාවට ඖෂධ ලබා දීම ය. ඒ සඳහා වෛද්‍යවරුන් විසින් බෙහෙත් වට්ටෝරු නියම කරන විට අදාළ ඖෂධවල වෙළෙඳ නාමය නොව, ඖෂධීය නාමය සඳහන් කළ යුතු ය. ඖෂධීය නාමයෙන් එන බෙහෙත් ඉතා ලාභදායක ය. උදාහරණයක් වශයෙන් පැරසිටමෝල් වේදනා නාශකය දැක්විය හැකි ය. මෙය එහි ඖෂධීය නාමය වන පැරසිටමෝල් නමින් එන විට එක බෙහෙත් පෙත්තක් ශත 10 කට පමණ මිලට ගත හැකි ය. එහෙත් ඒ පෙත්තම කදිමට මුද්‍රණය කළ දවටන තුළ බහා විශාල ප්‍රචාරයක් දී වෙළෙඳපොළට එන විට එක පෙත්තක් රුපියල් දෙකක් පමණ වෙයි. ඇමොක්සිසිලිස් නමැති ප්‍රතිජීවක ඖෂධය අසාත්මිකතාව සඳහා නියම කරන ඖෂධ යනාදී වශයෙන් වූ සකල විධ ඖෂධ ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් එන විට ඒවා මිලට ගෙන රෝගීන්ට දීම සඳහා ගේ දොර පවා උකස් තැබීමට සිදුවෙයි. මේ විපතින් ජනයා ගලවා ගැනීමට ජාතික ඖෂධ ප්රතිපත්තියකට පුළුවන.
ලෝකයේ වැඩිම ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ යුද අවි ව්‍යාපාරයයි. ඊළඟට ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ අවි ජාවාරමයි. ඖෂධ ව්‍යාපාරය යනු ලෝකය වෙලාගත් විශාල ජාවාරමකි. විවිධ ඖෂධ සමාගම් දහස් ගණනක් මගින් මෙලොව රෝගාබාධ, රෝග නිධාන සහ වෛද්‍යවරුන් පාලනය කරනු ලැබේ. ආණ්ඩුවේ දොස්තර පවා ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් ඖෂධ නිකුත් කරයි. අපගේ වැටහීම නම් මේ දොස්තරවරුන් බටහිර වෛද්‍ය සමාගම්වල ඉත්තන් බවත්, ඒ ඒ සමාගම් මගින් ඔවුනට මුදල් සහ පිටරට ගමන් සපයා දෙන බවත් ය. ඒ නිසා සත දහයේ පැරසිටමෝල් පෙත්ත රුපියල් 2 ට රෝගියා අතට යැම ගැන දොස්තර දුක්වන්නේ නැත.
කොහේ හෝ මුල්ලක සඟවා තබා පෙබරවාරි 4 වැනිදාට එළියට ගෙන වැට ඉන්නක ගසා වහලයට ඔබන සිංහ කොඩිය මෙන් සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ද කාලයෙන් කාලයට පිටතට ගෙන ආපසු අකුලා තැබිය යුතු ය යන මතය වෙනස් කිරීම ගැන නිතර බැණුම් අසන සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට අපි ස්තුතිවන්ත වෙමු. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ විට ඔහු මේ රටේ සෞඛ්‍ය සේවයට ඉහළම සේවය ඉටුකළ සෞඛ්‍ය ඇමැතිවරයා බවට පත්වන්නේ ය.
(දිවයින - 09/10/07)
ටිප්පණිය - සේනක බිබිලේ සමරුවට හමස් පෙට්ටියෙන් ඇද මකුළු දැල් කඩා සතර අතට වනන ඖෂධ ප්‍රතිපත්තිය, මෙතෙක් කල් කටින් බතල සිටුවීමට සීමා විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වුව ද ලංකාවේ ඩෙංගු මදුරුවාටත් පරාජය වූ ඇමතිතුමා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාවක් බවට පත් කොට සිය නම ඉතිහාසයේ රන් අකුරින් ලියා ගනු ඇතැයි අපි සිතමු. එය උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ වර්ගයේ මහා පුණ්‍ය කර්මයක් බව ද එතුමාට සිහිපත් කර සිටිමු.
Monday, October 5, 2009
හිලරි ක්ලින්ටන්ගේ වැරදීම හා රටට වූ අවමානය!
සෙනෙට් සභික හිලරි ක්ලින්ටන් හා ඇගේ සැමියා වූ බිල් ක්ලින්ටන් කළ ප්‍රකාශ නිවැරදි නැහැ. - බරක් ඔබාමා (2008 ජනවාරි 1දා)
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටන් පසුගියදා ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ප්‍රකාශයක් කරමින් ද්‍රවිඩ කාන්තාවන්ට ලිංගික හිංසා සිදු කළ බවට චෝදනා කරනු ලැබීය. මේ චෝදනාව සනාථ කරන්නැයි ආරක්ෂක බලධාරීන් පැවසූ විට ඇයගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ අත්වැරැද්දක් සිදුවූ බවයි. ප්රභාකරන් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඩොලර් කෝටි 100 ක පගාවක් දීමට උත්සාහ කළ බව මෙයට කලකට පෙර වාර්තා විය.
මේ නිසා පැහැදිලි වන්නේ ඇමරිකාවේ කොටි හිතවාදීන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ඇතුළු වී ඇති බවයි. ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හිලරි ක්ලින්ටන් මෙකී අභූත චෝදනාව නැඟුවේ ජර්මනියේ ජේ.ඩී.එස්. නමැති කොටි හිතවාදීන් සහ ඔවුන්ගේ සහයකයා වූ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් හා එක්ව චැනල් ෆෝ සාවද්‍ය වීඩියෝ පටය බෙදාහැරීමේ ක්‍රියාදාමයෙන් සති තුනකට පසු වය.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිවේ. මෙයට පෙර 2008 ජනවාරි 01 වැනිදා ජනාධිපති අපේක්ෂක බරක් ඔබාමාට එරෙහිව බිල් ක්ලින්ටන් හා හිලරි ක්ලින්ටන් බොරු චෝදනා නැඟීය. මේ චෝදනා ඔප්පු කරන්නැයි ඔබාමා එම යුවළට අභියෝග කරනු ලැබීය. එහෙත් ඔවුන්ට ඔබාමාට එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි විය. එහෙත් අද ඔබාමා රජයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස ලජ්ජා නැතිව ක්‍රියා කරන්නේ හිලරි ක්ලින්ටන්ය. හිලරි ක්ලින්ටන් මේ ප්‍රකාශය කිරීමට පෙර තම සැමියා වූ බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි අතර පැවැති සබඳතාව ගැන කිසිදු ප්‍රකාශයක් කළේ නැත. බිල් ක්ලින්ටන් අති විශාල මුදලක් ගෙවා මොනිකා සමග පැවැති අයථා සබඳතාව වසන් කරගත් බව වාර්තා විය. ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී කාන්තාවන්ට ලිංගික හිංසනය කිරීමට ආයුධයක් ලෙස යොදාගත් බවට කෙරුණු චෝදනාවත් සමගම හිලරි ක්ලින්ටන්ව බේරාගැනීමට ඉදිරිපත් වූයේ මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‍රිෂියා බුටේනිස්ය. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය සිය ප්රකාශයේදී කිසිම පාර්ශ්වයක් නම් කළේ නැතැයි ඇය මාධ්‍ය අමතමින් පවසා ඇත. හිලරි ක්ලින්ටන් කිසිම පාර්ශ්වයක් නම් නොකළේ නම් ඇය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව ගැන සඳහන් කළේ මන්ද?
දෙවැනි ලෝක මහා සංග්රාමයෙන් පසු ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවක් රැසක් ඇමරිකානු සෙබළුන්ගේ අතවරවලට ගොදුරු විය. මේ වධ කඳවුරුවල සිටි කාන්තාවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින එක් කාන්තාවක් අපට ස්විට්සර්ලන්තයේ ප්රිඩර්න් නගරයේදී හමුවිය.
"මිත්‍ර ජාති" හමුදා ජර්මන් වධ කඳවුරුවල සිටි කාන්තාවන් බේරාගත් බව පැවසුවත් එම හමුදාවලින් කාන්තා සිරකාරියන්ව බේරාගැනීමට නොහැකි වුණා යෑයි ඇය හෙළි කළාය.
ඇමරිකානු හමුදා වියට්නාමයේදීත්, ජපානයේ ඔකිනාවා දූපතේදීත් කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී තිබිණි.
ඇමරිකානු හමුදා භටයන් ගුවන්තනාමෝ බේ සිරකඳවුරේ සිටි පිරිමි සිරකරුවන් පවා ලිංගික හිංසනයට ලක් කිරීමේ සිද්ධින් සාක්ෂි සහිතව මුළු ලොවටම හෙළිවෙද්දී හිලරි ක්ලින්ටන් නිහඬ විය. 2008 පෙබරවාරි 6 වැනිදා ඇමරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවා ප්‍රධානියකු වූ ජනරාල් මයිකල් හෙන්ස් පැවසුවේ අල්කයිදා සිරකරුවන් තිදෙනකුගෙන් තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන්ව ජලයේ බස්සවා වධහිංසා කළ බවයි.
රොබට් ජේ. ලිලී නමැති ඇමරිකානු විමර්ශකයා හෙළි කරන අන්දමට දෙවැනි ජගත් සංග්රාමයෙන් පසු එංගලන්තය ජර්මනිය සහ ප්‍රංශය යන රටවල කාන්තාවන් 14000 කට අධික සංඛ්‍යාවක් ඇමරිකානු හමුදා භටයන්ගේ අතවරවලට ලක්වී ඇති බවය.
මෙම පසුබිම යටතේ හිලරි ක්ලින්ටන් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව සාවද්‍ය චෝදනා නැඟීම පුදුමයක් නොවේ. ඇය මෙකී ප්‍රකාශය කිරීමට සති දෙකකට පෙර ටැමිල්ස් ෆෝ ඔබාමා නමැති නමැති කොටි සංවිධානය එකී චෝදනාව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මේ නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සාවද්‍ය තොරතුරු යොමු කරන්නේ කවුද යන්න සනාථවේ. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය මෙකී ප්‍රකාශය කිරීමටර පෙර ඇය ඒ ගැන මෙරට රජයෙන් විමසුවේද? හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් ද මේ අන්දමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉරාකය විනාශකාරී අවි ආයුධ සඟවාගෙන ඇතැයි කියා සිටියේය.
එහෙත් ඇමරිකානු හමුදාවලට ඉරාකයේ එවන් අවි ගැන සොයා ගැනීමට නොහැකි විය.
මින් සනාථ වූයේ කොලින් පවල් සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කර මුළු ආරක්ෂක මණ්ඩලයම නොමඟ යෑවූ බවයි.
මෙහිදී ඉතාමත්ම හාස්‍යජනක සිද්ධිය නම් හිලරි ක්ලින්ටන්ගේ එකී චෝදනාව ශ්‍රී ලංකා හමුදාවට හෝ කොටි සංවිධානයට එරෙහිව කියා නොසිටි බවයි. එසේනම් ඇය සිය චෝදනාව නැඟුවේ අවතාරවලටද? වසර 26 ක් තිස්සේ යුද්ධය පැවතියේ ශ්‍රී ලංකා හමුදාව හා කොටි සංවිධානය අතරය. මේ නිසා ඇගේ මෙකී සාවද්‍ය ප්‍රකාශය යුරෝපා ප්‍රජාව අතර ව්‍යාප්ත වී ඇත. කොටි වෙබ් අඩවි කීපයක්ම හිලරි ක්ලින්ටන්ගේ ප්‍රකාශයට මුල් තැන දීමෙන් සනාථ වන්නේ ඇගේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක හමුදාව වෙත බවයි.
ඇය මේ ප්‍රකාශය කිරීමට පෙර ඇමරිකාවේ වසරකට කාන්තාවන් කීදෙනෙක් ලිංගික හිංසනයට ලක්වන්නේ ද යන්න ගැන සොයා නොබැලුවේද?.
මෑතකදී එක් හමුදා නිලධාරියෙක්ට එල්ලවූ බරපතල චෝදනා නිසා ඔහුම ඉල්ලා අස්විය. එහෙත් ඇමරිකානු පුවත්පත් එකී සිද්ධිය යට ගැසීය.
හිලරි ක්ලින්ටන්ට පෙර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මෙරට හමුදාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා වාර්තාවක් සකස් කළේය.
මේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම කල්දමා තිබේ. කොටි සංවිධානය පරාජයවීම නිසා සන්තාපයට පත්ව සිටින ඇමරිකානු බලධාරීහු ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් ප්‍රකාශ කිරීම පුදුමයක් නොවේ.
එහෙත් යුද මහාචාර්යවරයකු යැයි හඳුන්වා ගන්නා අයෙක් දැන් සිංගප්පූරුවේ ඇමරිකාවට සුදුහුණු ගෑමට ඉදිරිපත් වී ඇත. කොටි ජාත්‍යන්තර අවි ජාලය බිඳ දැමුවේ ඇමරිකාව යෑයි මේ තැනැත්තා පවසා තිබේ.
එහෙත් කොටින්ගේ ජාත්‍යන්තර අවි ජාලයට අයත් නැව් විනාශ කර එකී ආයුධ ජාලය විනාශ කළේ නාවික හමුදාවයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ප්‍රකාශයක් කළ හිලරි ක්ලින්ටන් ඇමරිකානු හමුදා සිදු කළ අපරාධ ගැන වචනයක්වත් නොකියන්නේ මන්ද? ඒ ඇමරිකානු සෙබළුන්ව රකින දේශප්‍රේමී පනත නිසාය. මේ පනත යටතේ ඕනෑම වරදක් කළ ඇමරිකානු සෙබළුන්ට කිසිම රටකදී දඬුවම් කිරීම තහනම්ය.
(දිවයින - 09/10/06)
ටිප්පණිය - තම ඇහේ ඇති පොල් පරාල හිලරිටට නොපෙනේ. අන් ඇස්වල පොල් කෙඳි ම පෙනේ. බීල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවින්ස්කි අතර පැවති පළහිලව්ව ගැන මුණිවත රැකි හිලරිට ඇමරිකා හමුදා සිදු කළ ස්ත්‍රී දූෂණ ගැන කතා කළ නො හැකි ය. එසේ කතා කළොත් උඹ අපි හදන්න එන්නේ උඹේ මිනිහා හදා ගනින්කෝ යැයි ඔවුන් අතර සිටින මුඛරියකු කීමට බැරි නැත. අපේ හමුදාවට චෝදනා කරන හිලරිට මට කීමට ඇත්තේ ද එපමණකි. ශ්‍රී ලංකා හමුදාවේ කිසි දිනක බීල් ක්ලින්ටන්ලා කුලී හේවායන් ලෙස වැඩ නො කළ නිසා අපේ හමුදා අතින් එවන් දේ සිදු විණැයි සිතිය නොහැකි ය.