Wednesday, October 28, 2009

"රජයේ කොන්ත්‍රාත් රජයේ ආයතනවලට" ප්‍රතිපත්තියේ පිහිටා ඉහගෙන කෑම?

රජයේ කොන්ත්‍රාත්, රජයේ ආයතන වලටය. එම ප්‍රතිපත්තිය මත පිහිටා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය ප්‍රතිසංස්‌කරණය කිරීමේ කොන්ත්‍රාත්තුව රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවට පැවැරීමට කටයුතු යෙදිණි. ඒ අනුව වෙනදා වූ ටෙන්ඩර් පටිපාටිය ඉබේම අහෝසි වුණි. ලංසු විමසුවේ නැත. ඈවරයි, දැවරයි නොකියා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව විසින් ඉදිරිපත් කළ ඇස්‌තමේන්තුවට කෙළින්ම තුන් ඈවරයි කීමට යෙදෙන තත්ත්වයක්‌ උද්ගතවිය.

මේ පිළිසකර කටයුත්ත වෙනුවෙන් ඉංජිනේරු සංස්‌ථාවේ ඇස්‌තමේන්තුව රුපියල් මිලියන 256 ක්‌ වුණි. එය ලංකාවේ හැටියට "එවරස්‌ට්‌" මිලක්‌ විය. මෙවැනි අදහාගත නොහැකි තරම් ඉහළ ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවේචන සහ විරෝධතා එල්ල වීමේදී රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව එම වැය ඇස්‌තමේන්තුව ක්‌ෂණිකව රුපියල් මිලියන 96 කින් අඩු කොට මිලියන 160 ට සංශෝධිත ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කළේය.

සැබැවින්ම ජාතික මට්‌ටමේ ගනුදෙනුවකදී මෙවැනි දැ සිදුවේද? කොටුව මල්වත්ත පාර වැනි පෙදෙසකින් භාණ්‌ඩයක්‌ මිලදී ගැනීමේදී නම් මෙවැනි දැ සිදුවේ. මුල් වරට රුපියල් 1500 යි යෑයි වෙළෙන්දා පවසන මිල පාරිභෝගිකයා විසින් පළමුවරට ප්‍රතික්‍ෂේප වූ සැනින් එය රුපියල් 1000 ට බසී. එම මිලද ප්‍රතික්‍ෂේප වුවහොත් අවසානයේ විකුණුම් මිල රුපියල් 250 වීමටද බැරි නැත.

සුගතදාස කෘත්‍රිම ධාවන පථ වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සස්‌ථාවේ මිල ගණන් දැක්‌වීමද මල්වත්ත පාරේ සිදුවන ගනුදෙනුවක්‌ අතරද වෙනසක්‌ නැත. පළමුවර "මිල වැඩියි" කියූ සැණින් එය මිලියන 96 කින් අඩුවේ. මෙසේ සැලකීමේදී මල්වත්ත පාර සහ සුගතදාස කෘත්‍රිම ධාවන පථ ගනුදෙනු අතර වෙනසක්‌ ඇත්නම් එය ඉලකක්‌කම් ගණනේ වෙනසක්‌ පමණි.

ජාතක මට්‌ටමේ ගණුදෙනුවක්‌ මෙවැනි විකට ස්‌වරූපයකට පත්වද්දී, දෙවැනි වර ඉදිරිපත් වූ රුපියල් මිලියන 160 ක ඇස්‌තමේන්තුවද "කළු කඩ මිලක්‌" බවට විවේචන එල්ල විය.

මෙසේ මෙම ගනුදෙනුව පිළිබඳ කතා බහ උණුසුම් වෙද්දී මේ වෙනුවෙන් විවෘත ටෙන්ඩර් කැඳවන බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා රුපියල් මිලියන 50 කට මෙය ප්‍රතිසංස්‌කරණය කිරීමට හැකි අයකු වේ නම් පසුදින උදැසනම මුදල් දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.

සුගතදාස ගණුදෙනුව ගැන මෙසේ පුවත් උපදින අතරවාරයේ ටොරින්ටන් ධාවන පථයේ "කතාවත්" කරලියට පැමිණියේය.

කොඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයක්‌ එළීම පිණීස රුපියල් මිලියන 326 ක ඇස්‌තමේන්තුවක්‌ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව විසින් ඉදිරිපත් කර ඇති බවට "දිවයින" වාර්තා කළේය.

සුගතදාස ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණය පළමුව රුපියල් මිලියන 256 ක්‌ ඉල්ලූ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව ටොරින්ටන් ධාවන පථය එළීමට රුපියල් මිලියන 321 ක්‌ ඉල්ලා සිටීම අංක එකේ "ඉහගෙන කෑමක්‌" බවට විවේචන එල්ල වූයේ අදාළ මිලෙන් හයෙන් එකකටත් වඩා අඩුවෙන් මෙම වැඩය නිම කළ හැකි බවට දන්නෝ දන්නා නිසාය.

මෙම විවේචන සමගින් ධාවන පථ ගණුදෙනුවේ තවත් බලලෙක්‌ මල්ලෙන් එළියට පැන්නේය. ඒ මෙම ඇස්‌තමේන්තු ඉදිරිපත් කිරීම පිණිස යොදාගෙන තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ ලිපි වලට එහි නම සඳහන් බලධාරියා සිය අත්සන් යොදා නොමැති බව හෙළිවීමත් සමගිනි.

රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ඉදිකිරීම්) ජී. ඒ. එල්. නෝනිස්‌ මහත්මියගේ නම පමණක්‌ යොදා ගනිමින් ඉදිරිපත් කර තිබූ ටොරින්ටන් ධාවන පථයේ ඇස්‌තමේන්තුවට එතුමියගේ අත්සන යොදා නොමැති බව වාර්තා විය.

පසුව "දිවයින" කරන ලද විමසීමකදී, තමන් එවැනි ලිපියක්‌ ගැන කිසිවක්‌ නොදන්නා බවත් එවැනි ලිපියක්‌ නොදුටු බවත් නෝනිස්‌ මහත්මිය අවධාරණයෙන්ම පවසා සිටියාය.

මේ අතර ටොරින්ටන් ධාවන පථය එළීම සම්බන්ධයෙන් දින 8 ක්‌ තුළ රුපියල් මිලියන 25 කින් වෙනස්‌ ඇස්‌තුමේන්තු දෙකක්‌ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත යවා ඇති බව හෙළි විය.එම වෙනස සඳහා ඉංජිනේරු සංස්‌ථාවේ ස්‌ථාවරය වූයේ "කාපට්‌" නිෂ්පාදකයා විසින් වට්‌ටමක්‌ ලබාදීමය. ටෙන්ඩරය අනුමත කිරීමට පෙර එසේ වට්‌ටම් ලබාදීමේ සිරිතක්‌ නැතැයි අපි විශ්වාස කරමු.

1. QS 2009රැ1301862 යොමුවෙන් 2009-09-16 දාතමින් රුපියල් 346,362,632.00

2. QS 2009රැ130රැ1875 යොමුවෙන් 2009-09-24 දාතමින් රුපියල් 321,209,306.88

ඉහත ලිපි දෙකම සංශෝධිත පූර්ව ව්‍යාපෘති ඇස්‌තමේන්තු වශයෙන් නම් කර ඇති බැවින් මෙතෙක්‌ මාධ්‍යයට හෙළි නොවූ එයට ප්‍රථම ඉදිරිපත් කරන ලද තවත් ඇස්‌තමේන්තු තිබේ යෑයි විශ්වාස කළ හැක.

මෙලෙස මෙම ගනුදෙනු ගැන තොරතුරු එකින් එක හෙළි වෙද්දී රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථා සේවක සංගමයේ සභාපති නිශාන්ත ප්‍රනාන්දු මහතා 2009/10/23 දාතමින් "දිවයින"ට යොමු කර ඇති ලිපියට අනුව මෙය සංස්‌ථාවෙන් පරිභාහිර උප කොන්ත්‍රාක්‌කරුවකුගේ මුදල් පිල්ලි ගැසීමේ උත්සාහයක්‌ ලෙසින් හඳුන්වා දී තිබේ. එයින් සිදුවන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ කීර්ති නාමය කෙළසීමකැයිද ඔහු පවසයි.

මෙය අවධානය යොමු විය යුතු කරුණකි. රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව හරහා තෙවැනි පාර්ශ්වයක්‌ "වල ඉහගන්නා" බවට ඇතිවන සැකය සියයට සියයක්‌ පදනම් සහිතය. (යම් හෙයකින්) සත්‍ය තත්ත්වය එය නම් "රජයේ කොන්ත්‍රාත් - රජයේ ආයතන වලට" ප්‍රතිපත්තිය දඩමීමා කරගනිමින් රජයේ මුදල් කොපමණ පිල්ලි ගැසී ඇතිදැයි සොයා බැලීමටද කාලය පැමිණ තිබේ. වසර 40 ක ඉතිහාසයක්‌ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ කීර්තිනාමයට හානි වන සේ මෙවැනි දැ සිදුවේ නම් ඒ පිළිබඳව අමාත්‍යංශ මට්‌ටමෙන් පරීක්‍ෂණ කළ යුතුය.

නැතහොත් මෙවැනි ඇස්‌තමේන්තු ඉදිරිපත් කර "රජයේ කෝනත්‍රාත් - රජයේ ආයතනවලට" යන ප්‍රතිපත්තිය බිඳ දමා "කුට්‌ටිය පිටින්ම"" රජයේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සිදුවූ "මුදලාලි කුමන්ත්‍රණයක්‌" දැයි සොයා බැලිය යුතුය.

එපමණක්‌ නොවේ. මෙම ව්‍යාපෘති ඉංජිනේරු සංස්‌ථාවට භාරදීම පසෙකලා විවෘත ටෙන්ඩර් කැඳවන බවට ක්‍රීඩා අමාත්‍යවරයා කරනලද ප්‍රකාශය මේ ලියන මොහොත වන විටත් ක්‍රියාත්මක වී නැත්තේ ඉංජිනේරු සංස්‌ථාව හරහා "කළුකඩ මුදලාලි" රංගනයකට තවදුරටත් වරම් තිබෙන නිසාදැයි සැකයද පහව නැත.

මේ සියල්ලට පරිබාහිරව තවත් දෙයක්‌ සඳහන් කළ යුතුය. 2002 වසරේදී සුගතදාස ධාවන පථය පිළිසකර කළ රෙකොටාන් සමාගමේ නියෝජිත රේ සෝයි ඉන් වසර 2 කට පසු (2004 දී) කොළඹට පැමිණ අදාළ ධාවන පථය දැක 2004 ඔක්‌තෝබර් 24 දාතමින් සුගතදාස ක්‍රීඩාංගණ අධ්‍යක්‍ෂවරයාට එවන ලද ලිපිය ගැනද මෙහිදී අවධානය යොමු කළ යුතුය.

එහිදී ක්‍රිඩාංගණයේ නඩත්තු කටයුතු ගැන කිසිදු පැහැදීමකින් නොමැති වග සඳහන් කරන අදාළ නියෝජිතයා ක්‍රීඩා නොවන සංදර්ශන අංග වලට ක්‍රීඩාංගණය ලබාදීමෙන් ධාවන පථය විනාශ වී ඇතැයිද පවසා සිටියි.

ඒ අනුව සුගතදාස ධාවන පථයට නිසි රැකවරණය ලැබී නොමැති බව පැහැදිලිය. එහි ප්‍රතිඵලය ලෙසින් වසර 8 ක්‌ ප්‍රතිසංස්‌කරණයකින් තොරව භාවිත කළ හැකි ධාවන පථය වසර 2 කින් විනාශ මුඛයට වැටී තිබුණි. එයට ජාතික වස්‌තුවක්‌ ලෙසින් සැලකීම් නොකළ නිසාම එය අකාලයේ මිය ගියේය. දැන් එයට පණ දෙන්නට මහා පරිමාණයෙන් මුදල් වෙන් කිරීමට සිදුව තිබේ. එපමණක්‌ නොව සැබෑ වියදම මෙන් කිහිප ගුණයක්‌ මුදලාලිලා පොහොසත් කිරීම පිණිසද ගෙවිය යුතුව ඇති බවටද බරපතල සැකයකි. මේ සියලු වියදම් හොයාදීම පිණිස අපි බදුබර දැරිය යුතු වෙමු.

කෙතරම් බැරි අමාරුකමින් හෝ එය දරාගත්තද ප්‍රතිඵල නැත. සුගතදාස, ටොරින්ටන් පමණක්‌ නොව වැය ඇස්‌තමේන්තුව මිලියන 5000 ක්‌ වූ නුවරඑළිය ක්‍රීඩාංගණයද, හොකී පිටියේ කෘත්‍රිම තණතිල්ලද "පුරන්ව" ගොසිනි. ක්‍රීඩාවේ යටිතලය ගැන අපි කෙළෙස නම් සැනසෙමුද...?

ඉන්ද්‍රජිත් සුබසිංහ
(දිවයින - 09/10/29)

ටිප්පණිය - රාජ්‍ය අංශය නමැති සළුවට මුවාවී කළුකඩ මංකොල්ලකාරයින් සුපුරුදු රංගනය දිගට ම කරගෙන යන බව දැන් සක්සුදක් සේ පැහැදිළි ය. අප ත්‍රස්තවාදය අවසන් කළහයි පාරම්බාමින් සිටින ආණ්ඩුවේ ලොකු ලොක්කෝ මේ දූෂිතයින් ගැන සොයා බැලිය යුතු ය. ඒවාට එරෙහිව පියවර ගත යුතු ය. එසේ නොවේ නම් දකුණෙන් පහළට නැමුණු ආණ්ඩුවේ ඡන්ද ප්‍රස්තාරය නොබෝ දිනකින් ම බිම ඇනී කම්බස් වීම නැවැත්වීමට හඩ්සන් සමරසිංහලා සිය දහසකටවත් බැරි වනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !