Sunday, November 8, 2009

මෙවන් දසුන් යළි දෑසට පෙනෙනු එපා !

ඉකුත් ඔක්‌තෝබර 29 වැනි බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ආහාර ගැනීමට පෙර පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්‌ ඔස්‌සේ විකාශය වූ ප්‍රවෘත්ති බලද්දී හදිසියේ නෙත ගැටුණු පුවතකින් මම මහත් සේ කම්පනයට පත්වීමි.

හදිසියේ නෙත ගැටුණු ඒ රූපාවලිය මගේ ආහාර රුචිය ද මොහොතකට නැතිවූ බව කීම අතිශයෝක්‌තියක්‌ නොවේ. ගොඩබිමට ආසන්න මුහුදු තීරයක වැඳ වැටෙමින් අභය ඉල්ලා සිටින පුද්ගලයකුට පොලු මුගුරු ගත් පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දෙන ආකාරයත්, වරෙක ඔහු පියවර කිහිපයක්‌ ඉදිරියට ඇවිදගෙන එන මොහොතෙහි, ඔහුගේ දකුණු පසින් වූ පුද්ගලයා අත වූ දිග මුගුරකින් පහර පිට පහර දුන් ආකාරයත් මුහුදු දිය පෙවි පෙවී දැත් එක්‌ කරමින් වැඳ වැටෙමින් ජීවිතය ඉල්ලා සිටි පුද්ගලයාගේ අතෙහි මුගුරක්‌ තබා ගල් කැටයක්‌ හෝ නොවුණු ආකාරයත් දුටු කවරෙකුගේ වූව හදවත විස්‌තර කළ නොහැකි ශෝකයකින්, දුකකින් මෙන්ම ඒ අයුරින් පහරදුන්නා වූ තිරිසනුන් වන් පුද්ගලයන් කෙරෙහි දැඩි කෝපයකින් හා වෛරයකින් නොපිරුණා නම් පුදුමයකි. එවන් අමානුෂික, ම්ලේච්ඡ මිනිස්‌ පහරදීමක්‌ නැරඹීමෙන් පසු, කෙසේ නම් අහර ගන්නේද? ප්‍රවෘත්තියට අදාළ රූපාවලිය ඔවුන් සතු වූවක්‌ නොවන බවත්, එය ටී. එන්. එල්. නාලිකාව විසින් රූගත කරන ලද්දක්‌ බවත් සඳහන් විය. මෙම රූපාවලිය දුටු කල මගේ මතකය අතීත සිදුවීම් දෙකක්‌ වෙත ඇදීගියේ නිතැතිනි.

පළමුවැන්න සුනාමි ඛේදවාචකය වූ දිනෙක ගාල්ල බස්‌නැවතුමේ දී තරුණියකගේ ගෙල බැඳි රන් දම කඩාගත් තිරිසනුන් දෙදෙනකු අතින් ඈ මියයැම පිළිබඳ අධිකරණය හමුවේ විකාශය වූ රූපාවලි වාර්තාවයි. දෙවැන්න මා පාසල් ගිය දරුවකුව සිටිය දී දෑසින් නොදුටු, එහෙත් මගේ අම්මා විසින් පැවැසූ කතාවකි. වර්ෂය 1958 තරම් වන්නට ඇතැයි මතකය. පුරුදු පරිදි එදින උදෑසනද මල්ලී හා මම ගන්දර සිට මාතරට පාසල් ගියෙමු. සාන්ත සර්වේෂස්‌ විදුහලට යැම සඳහා සුපුරුදු පරිදි එලියට්‌ පාර අසල බස්‌ නැවැතුමෙන් බට මා දුටුවේ ඉදිරිපස ඇති සයිවර් හෝටලය කුඩු පට්‌ටම් කොට තිබූ අයුරුයි. හෝටලය තුළ මිනිසුන් රැසක්‌ සිටිනු දිටිමි. සිංහල දෙමළ කෝලාහලයක්‌ පිළිබඳ කතාබහ ඇසුණේ, පාසලට ගිය පසුය. පාලමෙන් එගොඩහ කොයිල්පිල්ලේගේ පරණ යකඩ සුන්බුන් කඩය කඩා වළලා තිබූ මුදල් පැහැරගෙන තිබූ බවක්‌ද ඇසිණ. පාසලේ කටයුතු වෙනදා මෙන් සිදුවනු වෙනුවට සෑම තැනකින්ම කිසියම් ඛේදවාචකයන් සිදුවී ඇත යන කතා බහ ඇසිණි. සුපුරුදු පරිදි විවේක කාලයේදී පාසලේ වසා තිබෙන ප්‍රධාන ගේට්‌ටුව වෙතට අප රොක්‌වන්නේ ගේට්‌ටුවෙන් පිටත සිට සීනිකූරු හා වඩේ විකුණන දෙමළ ආච්චි වෙතය. එදා දෙමළ ආච්චි පැමිණ නොසිටියාය. වඩේ හෝ සීනිකූරු කෑම සිහිනයක්‌ම වීය. පාසල කලින් වසා දැමිණ. මල්ලීත් මමත් වෙනදාට වඩා කලින් ගෙදර ආවෙමු. බසයෙන් බැස ගෙදර එන අප දෙදෙනා දුටුවේ ගන්දර කඩ පොළ අසල හන්දියේ මහා මාර්ගය හරස්‌ කොට සවිකොට තිබූ මාර්ග බාධකයකි. එය ඉතා දිග ලීයක්‌ වී යයි මතකය. රැස්‌ව සිටි මිනිසුන්ගේ කෑ කෝ ගැසීම් ඇසිණ. මාතර සිට තංගල්ල දෙසට යන වාහනත් මාතර දෙසට එන වාහනත් නවත්වා මගීන් හා කතාබහකරන හන්දියේ පුද්ගලයන් ද දිටිමි. දෑසින් දුටු සිද්ධිය එපමණකි.

නගරයේ ගමේ හන්දියේ හා පාසලේ තතු අම්මා සමඟ පැවසුවෙමි. අම්මාගේ කතාබහෙන් මා තේරුම්ගත්තේ සිංහල, දෙමළ දෙපිරිස අතර මහා කෝලාහලයක්‌ ඇති වී ඇති බවත්, ඔවුනොවුන් එකිනෙකා මරාගන්නා බවත්, කඩ සාප්පු මංකොල්ල කන බවත්, කඩ ගිනි තබන බවත් වැනි ඊට පෙර කවදාවත් අසා නැති සිදුවීම් රට පුරා සිදුවන බවකි. එහෙත් ඒ කිසිවක්‌ මා දැක නැත. අද උදේ දෙමළ මනුස්‌සයකුට හොඳටම ගහල, ගහල මූද මැදට ගෙනිහිල්ලා අත ඇරලා තියෙනවා හන්දියෙ කාර් හයර් කරන කට්‌ටිය. ගමේ මිනිස්‌සු එකතුවෙලා හන්දියෙ පාර හරහා පොල්ලක්‌ දා ගෙන බස්‌වල යන එන දෙමළ මිනිස්‌සු හොය හොයා එළියට අරගෙන තියෙනවලු. නාකි දෙමළ මනුස්‌සයෙක්‌ අල්ලලා හොඳටම ගහ ගහ වැල්ලට ගෙනැල්ලා පස්‌සේ ඔරුවක නැගල ගිහින් ඒ මිනිහා මූද මැද්දෙ ගිල්ලෙව්වලු. හන්දියෙ ඉ‍‍ඳල වැල්ලට ගේන කොට වැඳ වැඳ අනේ ෂාමි, අනේ ෂාමි මරන්න එපා, ගහන්න එපා කියල කිව්වලු." අම්මා පැවැසූ කතාව ඇසූ පසු බත් කෑමට වූ පිරිය සැඟවිණ. පොලු මුගුරුවලින් පහර කන මහලු මිනිසෙකු දෑත් එක්‌කොට වැඳ වැටෙමින්, ජීවිතය ඉල්ලා සිටි අන්දම සිත ඇඳිණ. එබඳු සිද්ධියක්‌ම නොවේද 29 බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ රූපවාහිනි තිරය මත සැබැවින්ම සිදුවූ ආකාරය නෙත ගැටුණේ ? පනස්‌ ගණන්වල ඇසූ පුවතෙහිත් 2009 දී ඇසින් දුටු පුවතෙහිත් වෙනසක්‌ වේද? එදා ගුවන් විදුලියෙන් නිශ්චිත දිනයක, වේලාවක පමණක්‌ ඇසුණු බණ දහම්, පිරිත් දේශනා වෙනුවට දැන්, ගුවන් විදුලියට අමතරව රූපවාහිනි නාලිකා රාශියක්‌ ඔස්‌සේ දවසේ පැය විසිහතර පුරාම ඇසෙන දකින ධර්මදේශනා කොතෙක්‌ වේද? පිරිත් සඡ්ධායනා කොපමණක්‌ද? මේ නම් ආසියානු කලාපයේ පමණක්‌ නොව, සමස්‌ත ලෝකයෙහිම අංක එක යෑයි නම් ලද ධර්ම රාජ්‍යයක්‌ම නොවන්නේද? දෙනෝදාහක්‌ දෙනා මැජික්‌ සංදර්ශනයක්‌ බලා සිටින්නා සේ නෙත් අයාගෙන විස්‌මයෙන් බලා සිටිද්දී ජීවිතය ඉල්ලමින් වැඳ වැටී ආයාචනා කළ මිනිසෙකුට තවත් මිනිසුන් යෑයි කියා ගන්නා දෙදෙනකු විසින් පහරදී මරා දැමීමට බලපත්‍ර ලබාදී ඇත්තේ කිනම් ධර්ම රාජ්‍යයකද? ලක්‍ෂ සංඛ්‍යාත එන්නත් ආනයනය කරන කල්හි ඒ අතර වීදුරු කටු සහිත එන්නත් කුප්පියක්‌ දෙකක්‌ හමුවීම පුදුමයට කරුණක්‌ නොවිය යුතු යෑයි පවසන බලධාරීන් මෙන් ඉඳහිට බම්බලපිටිය මුහුදු තීරයේ සිදු වූ ආකාරයේ සිදුවීමක්‌ දෙකක්‌ සිදුවීම, මිනිසෙකු මිය යැම සාමාන්‍ය සිද්ධියක්‌ යෑයි නිලදරුවන්ට පවසා නිහඬව සිටිය හැකිද? මාස තුන හතරකට පෙර මේ මූදු තීරයේම තරමක එපිට අඟුලානේ දී තරුණ ජීවිත තුනක්‌ම බිල්ලට ගත් නීතිය රකින්නන් සිටි බව කෙසේ නම් අපට අමතක වේද? බාලවර්නන් සිවකුමාරන්, මානසික ආබාධයකින් පෙළුණු තරුණයෙක්‌ වූවද නැතද මෙලෙස ඔහුගේ ජීවිතය විනාශ කිරීමට බලය දුන්නෝ කවරහුද?

තම ප්‍රේමය අහිමිවීම හේතු කොටගෙන මානසික ආබාධයකට ලක්‌වීමෙන් අනතුරුව කිහිපවතාවක්‌ම මුල්ලේරියාව මානසික රෝහලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බව සනාථ කෙරෙන අහිංසක තරුණයෙකුගේ ජීවිතය විනාශ කළේ කවුරුන් වුව, ඔවුන් බුදු දහමේ පැවසෙන පරිදි, දුර්ලභ වූ මිනිසත් බව ලැබූ මිනිස්‌ පුත්‍රයෙක්‌ විය හැකිද? කොළඹ අපරාධ අංශයේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී, රවීන්ද්‍ර කරවිට මහතා පවසා තිබුණේ, පළමුවෙන්ම මේ පුද්ගලයාට පහර දීම වෙනුවට, ඔහු වෙත කඔයක්‌ වීසිකොට ඔහු වෙරළට ගෙන ඒමට කටයුතු කිරීමයි පොලිස්‌ නිලධාරීන් විසින් කළ යුතුව තිබුණේ කියායි. එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. බම්බලපිටියේ මුහුදු තීරය බාලවර්නන් සිවකුමාරන්ගේ මරණය පිළිබඳ කම්පා නොවේ. බම්බලපිටිය පොලිසියේ හෝ දිවයිනේ කිසිම පොලීසියක නිලධාරියකුට ඒ පිළිබඳ කම්පා වෙමින් සිටින්නට කාලයක්‌ නොමැත. ඔවුනගේ එදිනෙදා රාජකාරී ඉටුකරමින් රටෙහි නීතිය සාමය රකිමින්, සාධාරණත්වය ඉටු කිරීමට වෙහෙසවන්නට සිදු වේ. ඔවුහු නීතියෙන් ඒ සඳහා බැඳී සිටිති.

එහෙත් මනමේ නාටකය අවසන මහාචාර්ය සරච්චන්ද්‍ර විසින් තම ප්‍රේක්‍ෂකයන් වෙත ප්‍රශ්න සමුදායක්‌ ඉතිරි කරයි. මනමෙ කුමරු වැදි රජුගේ අතින් මිය යැම කෙසේ සිදුවුණා දැයි නාට්‍යය නරඹා නිවෙස්‌ කරා යන ප්‍රේක්‍ෂකයනට සිතන්නට සිදුවේ. "අනේ එවිපත සිදුවුණි නොදනිමි කාගෙ දොසා "යෑයි පොතේගුරු ලවා ගායනා කරවුවද ප්‍රේක්‍ෂක සිත්හි ඒ පිළිබඳ ප්‍රශ්න රැසකි. බිසව වැදි රජුට ප්‍රේමයෙන් ආසක්‌තව කඩුව දුන්නාද කුමරු බිසවගේ වචනයෙන් සිත සසල වූ කල වැදි රජු විසින් කඩුව උදුරාගෙන කුමරුට ඇන්නේද වැදි රජු තම ජීවිතාරක්‍ෂාව සඳහා කුමරු මරා දැම්මාද වැනි ප්‍රශ්නාවලියකට අදත් අපි පිළිතුරු සොයමු. බාලවර්නන් සිවකුමාරන්ගේ ඝාතනය පිළිබඳ පුවත ද එවැන්නක්‌ම නොවේද? ඔහු දියේ ගිලී මිය ගියාද, පහර කෑමෙන් මියගියාද? මානසික ආබාධයකින් පෙළුණ මුත් මහජනතාවට හිරිහැර වනසේ හැසිරීම අනුමත කළ හැකිද? දුම්රියකට බස්‌රියකට, ගල් ගැසීමේ වරදට දඬුවමට එසේ කරන්නාට තිරිසනෙකුට හෝ නොසලකන අයුරින් දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදී පොදු මුගුරුවලින් ගසා මරා දැමීමටද මැරෙන්නට ඉඩ සැලැස්‌වීමද? ඔහුගේ සිරුරේ කොටස්‌ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ පරීක්‍ෂණවලින් පසු ඉදිරිපත් කෙරෙන වාර්තාවේ ප්‍රතිඵල කුමක්‌ වූවත් ඉන් ඇති ඵලක්‌වේද? බාලවර්නන් සිවකුමාරන් මෙසේ ඝාතනය වන කල, සැලසුම් සහගත කුමන්ත්‍රණ මගින් අහිංසක ජීවිත විනාශ කරන සැබෑ මිනීමරුවන්ට ඔවුන්ට හිමි දඬුවම් ලැබෙන්නේද? බාලවර්නන් සිවකුමාරන් තරුණයා මරා දැමූ විලාසයේ ජීවිත විනාශ කිරීමේ රංගන, කෙතරම් සොම්නස්‌ සිතකින් නරඹන්නට හැකි වූ ප්‍රේක්‍ෂකයන් සිටියත්, මනුෂ්‍යත්වය අගයන, මිනිස්‌කම හඳුනන කිසිවෙකුට පිළිකුලකින්, ක්‍රෝධයකින් තොරව එවැනි දසුනක්‌ බලන්නට නොහැකි බව කිව යුතුයි. එවැනි දසුන් අප දැසට යළි නොපෙනේවා.
(දිවයින - 09/11/10)
ටිප්පණිය - මෙවන් අපරාධ කරන අලුගෝසුවන් එල්ලා මරා දැමිය යුතු බව මගේ අදහසයි. එහෙත් ඊට පරහට හිටින්නේ මානව හිමිකම් ය. තවෙකෙකුගේ ජීවිතය විනාශ කළ පාපතරයෙකුට තව දුරටත් ජීවත්වීමට ඇති අයිතිය කුමක් ද? නැවත එවන් අපරාධයක් සිදුනොවීමට ගතහැකි පියවර කුමක් ද? අපරාධකරු කළ වරද කෙතරම් බරපතළ වුව ද ඊට නිසි දඬුවම් දීමට හරහට සිටින්නේ මේ ඊනියා මානව හිමිකම් ය. මිනිමරුවා මාස හයක් හිරේ සිට සාක්ෂි නැති හෙයින් යහතින් ගෙදර එයි. සමාජයට මිනී මැරීම ඉතා ම සරළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.

කෙසේ වුව ද මේ ම්ලේච්ඡ ඝාතනය TNL නාළිකාව විසින් රූගත කළේ රටේ වාසනාවට ය. එසේ නොවුණා නම් හඩ්සන් සමරසිංහ සහ මහින්ද අබේසුන්දර මෙසේ පවසනු ඇත. අංගොඩ මානසික රෝහලින් පළා ආ පිස්සෙක් හෝ එසේ රඟපෑ පුද්ගලයෙක් බම්බලපිටියේ කිසියම් ප්‍රභූ ඝාතනයකට රැක සිට එය ව්‍යවර්ථ වූ කල දුම්රියට ගල් ගසා පොලිසියට ද පහර දී මුහුදට පැන සිය දිවි හානි කරගෙන තිබේ. සිරස රූගත කළා නම් එය 1983 ඉදිරි දිගුවක් බව මහගෙදර මෙන් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනු ඇත.

2 comments:

prageeth sudusinghe said...

mahinda abesundara epamanak kiya nawathinne natha. ranil wikramasinghe da kese ho patalawaganu atha.......

නාමල් උඩලමත්ත said...

ඔව් ඔව් මිනිහා කියයි. මේ කුමන්ත්‍රණය පසුපස විපක්ෂ නායකයා ඉන්නවා කියලා;

 
සිය රට දේ සිරි සැප දේ !