Thursday, October 8, 2009

කැබිනෙට්‌ටුවේ කාවෝ ප්‍රවේශමෙන්!

පල්හොරුන්, මංකොල්ලකරුවන්, අපරාධකරුවන් මෙන්ම ත්‍රස්‌තවාදීහු ද පිසූ ආහාර අනුභව කරති. කෑමට පෙර අත් සේදීම් ආදිය ද කරති. එසේම ඇතැම් විටෙක යම් යම් සංස්‌කෘතික ක්‍රියාකාරකම්වල ද නිරත වෙති. එහෙත් ඔවුන් විශිෂ්ට සංස්‌කෘතික මිනිසුන් යෑයි ඉන් අදහස්‌ නො කෙරෙයි.

හොර තක්‌කඩියාගේ සාදය උගේ ඉදිරි තක්‌කඩි වැඩවල ප්‍රයෝජනය පිණිස ම යෙදවෙන්නකි. මංකොල්ලකරුවාගේ රාත්‍රි භෝජන සංග්‍රහය ඔහුට උදව් උපකාර කරන සියලුම වර්ගවල නපුරන්ගේ සතුට උදෙසා ය. අපරාධකරුවාගේ ප්‍රේමය ගොදුර ඔහු වෙත ළඟා වනතුරු පමණ ය. ත්‍රස්‌තවාදියාගේ සංස්‌කෘතික උළෙල ඔහුට අවශ්‍ය බෝම්බ ටික අටවා ගැනීමේ මුවාවක්‌ පමණකි.

පොංගුතමිල් යනු එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ගේ සංස්‌කෘතික උළෙල විය. අප කලින් පැහැදිලි කළා සේ පෙනුමෙන් එය සංස්‌කෘතික උළෙලක්‌ වුව ද, උපයෝගිතාවෙන් එය නිසැකවම ත්‍රස්‌තවාදීන්ගේ පපර බෑන්ඩ් පාටියක්‌ම විය. මේ සත්‍යය නො දන්නා බබාලා ඇමරිකා එක්‌සත් ජනපද බබාලන්තයේ, බ්‍රිතාන්‍ය නමැති බබා උක්‌කුංලන්තයේ හෝ නෝර්වේ නමැති අයියබබා - මල්ලිබබා ලන්තයේ හෝ සිටිය හැකි ය. එහෙත් එල්.ටී.ටී.ඊ.යේ කෙරුවාව දන්නා මේ රටේ සිටින මොනම දේශපාලන බබෙකුටවත් පොංගුතමිල් යනු කුමක්‌ ද යන්න අමුතුවෙන් වටහා දීම අවශ්‍ය නැත.

එහෙයින් එල්.ටී.ටී.ඊ.ය යනු බිහිසුණු දෙයක්‌ වුව ද, පොංගුතමිල් නම් හරිෂෝක්‌ යෑයි කීම, තමිල් සෙල්වම් භයානක මිනිසෙක්‌ වූවාට ඔහුගේ සිනාව නම් හරිම අහිංසකයි කීම වැනි ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දැක්‌වීමේ අරමුණින් පසුගිය වසරවලදී පැවැති පොංගුතමිල් උත්සවයන්ට රජයේ ඇතැම් කැබිනට්‌ අමාත්‍යවරුන් ද සහභාගිවී ඇතැයි දැන් හෙළි වී තිබේ.

ජාතිද්‍රෝහීන්ගේ සහ දේශද්‍රෝහීන්ගේ රංචු ගැසීමකට රෙදිත් ඇඳගෙන සහභාගි වීම මගින් මෙම කැබිනට්‌ අමාත්‍යවරු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කොට සිටිති.

පිළිගත් දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කොට ඇත්නම් ඒ පිළිබඳ විභාග කළ යුත්තේ ශ්‍රේෂඨාධිකරණය යෑයි කියනු ලැබේ.

ඒ කෙසේ වුවත් 2006 ජුනි මස 28 දා ජර්මනියේ පැවැති පොංගුතමිල් උත්සවයට එක්‌වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකුට එරෙහිව දැන් කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ තිබේ.

එහෙත්, මෙරට පැවැති පොංගුතමිල් උත්සව කීපයකටම සහභාගි වූ ශ්‍රී ලංකා රජයේ කැබිනට්‌ අමාත්‍යවරුන් කීපදෙනකුම ඇතත් ඒ කිසිවෙකුට විරුද්ධව චෝදනාවක්‌ ගොනුකරනු තබා ඔවුනට එරෙහිව පරීක්‍ෂණයක්‌ පැවැත්වෙන බවක්‌වත් දැන ගන්නට නැත.

මේ කරුණු අනාවරණය වූයේ පසුගිය 06 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී ය.

2002 දී එල්.ටී.ටී.ඊයත් ශ්‍රී ලංකා රජයත් (මෙහිදී රජය යනු එවකට සිටි ජනාධිපතිවරිය හැර ශ්‍රී ලංකා රජයය) අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ ඉහළ නිලධාරීන්ට අෙන්‍යාන්‍ය වශයෙන් අනෙක්‌ පාර්ශ්වයේ උත්සවවලට සහභාගි වීම අනිවාර්ය කොට තිබුණා දැයි අපි නො දනිමු.

බැරි වෙලාවත් එය එසේ වී තිබුණා නම් ඒ පැත්තේ හාදයෝ මේ පැත්තට ආවේ උත්සව මුවාවෙන් වේවා වෙන මොන මඟුල මුවාවෙන් වේවා මේ පැත්තට බෝම්බ අටවන්නට ය. නැතහොත් බෝම්බ අටවන උන් බස්‌සවා යන්නට ය.

අපේ අයියලා ඒ පැත්තේ උත්සවවලට ගියේ එක්‌කෝ තමන්ගේ දේශපාලන මුග්ධ භාවයට ය. නැතහොත් දේශපාලන ද්‍රෝහීකමට ය.

ඒ කුමක්‌ ද යන්න පහදා ස්‌වයං විවේචනයක යෙදී හෝ පාපොච්ඡාරණයක යෙදී මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටීම වරද කළ කැබිනට්‌ අමාත්‍යවරුන්ගේ යුතුකම ය.

නැත්නම් කැබිනට්‌ එක ගැන ප්‍රවේසම් වෙන්නැයි රජයට අනතුරු ඇඟවීමට අපට සිදුවේ.

(දිවයින - 09/10/09)

ටිප්පණිය - පොංගුතමිල් උළෙලට ගිය එකා කොටියෙකි. නැත්නම් කොටියාගේ ඉඳුල් කා තරවන හිවලෙකි. ඌ කැබිනට් ඇමති නොව ශක්‍රයා වුවත් පවතින නීතිය යටතේ නඩු අසා දඩුවම් කළ යුතු ය. එසේ නො කර ටීඑන්ඒ මන්ත්‍රීවරු පමණක් දඟගෙයි ලා පලක් නැත. එය නීතිය ද දූෂණය කිරීමකි. කැකිල්ලේ තීන්දුවකි. දකුණේ ඡන්දයේ දී සන්ධාන මැරයින් ජේවිපී සාමාජිකයින්ට පහර දුන්නැයි පැමිණිලි කරන්නට, පොලිසියට ගිය කල, පැමිණිල්ල විත්තිය කොට කූඩුවට දැමීමටත් වඩා තකතීරු කැකිල්ලේ තීන්දුවකි.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !