Tuesday, December 1, 2009

දෘෂ්‍යමානය විනිවිද දකිමු (ආපසු හැරෙන්න බෑ)


ජනාධිපතිවරණය හා පොදු අපේක්‍ෂකයා අරභයා උද්ගතවූ දේශපාලන ආන්දෝලනයේ උණුසුම කෙමෙන් තුනී වෙමින් යයි. එහෙත් ඒ දේශපාලන නාටකයේ ප්‍රහසනාත්මක අංගවලට වඩා ශෝකාත්මක ලකුණු දකින අප තුළ කිසියම් සංවේගයක්‌ද මතුවේ. ඒ කිසියම් පෞද්ගලික අරමුණක්‌ නිසා නම් නොවේ. මේ රටත් රටේ අනාගතයත් පිළිබඳ කරුණු නිසාය.

ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට ඇතැම් බටහිරයන්ගේ ද නිල හා නොනිල අනුග්‍රහයන් මැද්දේ වැඩුණු ත්‍රස්‌තවාදය මුලිනුපුටා එහි මතුපිට හිස බවට පත්ව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් වනසා දමන්නට අපට හැකි විය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ ඓතිහාසික විජයග්‍රහණය රටට හිමිකර දුන් රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්‌ව සිටියි. කවුරුන් කෙසේ කීවත් ඒ විජයග්‍රහණය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඔඩොක්‌කුවට වැටුණු දෙයක්‌ නොවන බවද කිව යුතුය.

ඡේ. ආර්. ජයවර්ධන වැනි ප්‍රබල දේශපාලනඥයන් විසින් පවා ක්‍රියාත්මක කරන ලද ත්‍රස්‌තවාදයට එරෙහිවූ මෙහෙයුම් ආපසු හැරවූ විදේශ බලවතුන්ගේ බසට නොනැමුණු රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ මෙහෙයුම් අඛණ්‌ඩව සිදු කරවීමට තරම් පෞරුෂයකින් යුතු වීම අප කාගේත් භාග්‍යයක්‌ විය. එනිසා ඒ ඓතිහාසික ගෞරවයේ අභිමානය ඉතිහාසය ඔහුට පිරිනමන්නේ නිර්ලෝභිවය. එහෙත් අද ඒ යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිකාරත්වය මුළු රටටම පිරිනැමීමට තරම් ජනාධිපතිවරයා නිහතමානීව සිටියි.

ජයග්‍රහණයට පියවරු රැසක්‌ම වෙතියිද කියනු ලැබේ. එය වෙනම කතාවකි. එහෙත් අපට තිබෙන සංවේගය ඒ විජයග්‍රහණයේ තීරණාත්මක හා සාධනීය ඇතැම් බලවේග සමග එදා ඒ විජයග්‍රාහී ගමනට අවමන් කළ, සරදම් කළ දුෂ්ට බලවේග අද එකට පෑහෙමින් තිබීමය.

දේශපාලනය යනු සරදම් සහිත ගංගාවක්‌ බව නිසැකය. එහෙත් ඒ සරදම් රටේත් ජාතියේත් ඉරණම තීන්දු කරන තැනකට යන්නේ නම් අප විමසිලිමත් විය යුතුය. මතුපිටින් පෙනෙන දේ හෙවත් දෘෂ්‍යමානය දෙස බලා තීන්දු තීරණ ගැනීමේ විපාක නිදහසට පෙර සිටම මේ රටේ ජනතාව විඳින ලද්දකි.

අපට වඩාත්ම වැදගත් වන්නේ රටත් ඒ රටේ හෙට දවසත් පමණි. දේශපාලන වාද විවාදවලට මෙන්ම වෙනත් හැම දෙයකටම රටක්‌ තිබිය යුතුය. ඒ රට සුරැකිය හැකි දේශප්‍රේමී ජන මනසකින් පමණි. ඒ දේශප්‍රේමිත්වය යනු ක්‍ෂණික දෙයක්‌ නොවේ. ඒ වනාහි අභිමත විටෙක ඇඳ පැළඳ ගැනීමට හෝ අනභිමත විටෙක ඉහත දැමිය හැකි දෙයක්‌ද නොවේ. ස්‌වකීය මාතෘභූමියත් එහි ඓතිහාසික උරුමයන් හා බැඳුණු උදාර සිතිවිලි සමුදාය දේශප්‍රේමය ලෙස අපි හඳුන්වමු.

අද අප දකින්නේ මෙම දේශප්‍රේමය නොව තනතුරු ප්‍රේමයකි. බල ප්‍රේමයකි. වෛරයේ දේශපාලනයකි. එහි අනිටු විපාක ඉතා බරපතලය. එක්‌සත් වූ රටක්‌ එක්‌සත් වූ ජාතියක්‌ භේද භින්නවී යැම එහි ප්‍රබලම අනතුර ලෙස අපි දකිමු. ඒ භේදයේ ඊළඟ විපාකය වන්නේ යළිත් විවිධ විනාශකාරී බලවේග හා විෂබීජ මව්බිම විනාශ කිරීම සඳහා ක්‍රියාත්මක වීමයි.

නොබෝදා ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර මේ රටේ සුළු ජාතික පක්‍ෂවල නායකයන් සඳහා විශේෂ සමුළුවක්‌ පැවැත්විණි. ඒ සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව යෝජනා සම්මත කිරීමය. මේ රටේ අභ්‍යන්තර දේශපාලන ක්‍රියාදාමයන්ට අත පොවන ඊනියා බලවතුන්ට දොර හැර දෙන්නේද අපමය. මේ බටහිර බහිරවයන්ට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමටත් වාද භේද ඇවිලවීමටත්ය.

මෙම ඊනියා සූරිච් සමුළුවේදී ඉදිරිපත් වූ එක්‌ යෝජනාවක්‌ වී ඇත්තේ සුළු ජාතිකයන්ට 13 වන ව්‍යවස්‌ථාව සංශෝධනය ඉක්‌මවූ බලය බෙදීමක්‌ අවශ්‍ය බවයි. අපට මෙබඳු බලපෑමක්‌ කරන්නට කිසිවකුට හෝ අයිතියක්‌ ඇතැයි අපි නොසිතමු. මේ රටේ බලය හා එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව කතිකාවක්‌ අවශ්‍ය බව සත්‍යයකි. එහෙත් එයට බටහිරයන්ගේ හෝ වෙනත් බාහිර බලවතුන්ගේ හෝ බලපෑම්, මැදිහත්වීම් අවශ්‍ය නැත. ඒ අයිතිය පරයන්ට උදුරා ගැනීමට අප ඉඩදිය යුතු නැත.

බටහිරට හැමදාමත් අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව බෙදා පාලනය කිරීමයි. බටහිර ආධිපත්‍යයයේ අණසකට අප යටත් කර ගැනීමටත් අපගේ ජාතික උරුමයන් වනසා දැමීමටත් ඔව්හු අදත් මාන බලති. හැට වසරක නාමික නිදහස තුළම අපට හිස එසවීමට ඔව්හු ඉඩ නොදුන්හ. ඔවුන්ගේ අඬු වලට අප හිර කර තබා ගැනීමට හැකි හැම දෙයක්‌ම කළ බවද නොරහසකි.

බටහිරයන්ගේ බිහිසුණුම නිර්මාණය වේළුපිල්ලේ ප්‍රභාකරන් බව අපි බොහෝ විට පවසා ඇත්තෙමු. අල්කයිඩා හෝ ලොව ඕනෑම ත්‍රස්‌ත සංවිධානයකට අබමල් රේණුවක දයාවක්‌ නොදක්‌වන බටහිරයෝ ප්‍රභාකරන් බේරා ගන්නට හැම උත්සාහයක්‌ම දැරූහ. එහෙත් එය ව්‍යර්ථ කිරීමට නොහැකිවූයේ රටේ ජාතික බලවේග එක්‌ව නැගී සිටීම නිසාය. එහෙත් ඒ බලවේග බෙදා වෙන් කිරීමේ සියුම් සැලැසුමක්‌ දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ දෘෂ්‍යමානයට යටින් ඇත්තේ එයයි. අපි ආපසු හැරෙමුද? ඒ බලවේගවලට යට වෙමුද? අපගේ නිදහස, අපගේ උරුමය හා ජාතික සමගිය සුරකිමුද? අවස්‌ථාවාදී දේශපාලන උසිගැන්වීම්වලින් මත්ව ඔල්වරසන් නැගීමට පෙර අප කුමක්‌ කළ යුතුදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතුය. මේ දෘෂ්‍යමානය විනිවිද දකින ඔබට ඒ යථාර්ථය පැහැදිලි වනු ඇත.

(දිවයින ඉරිදා - 09/11/29)

ටිප්පණිය - අපි මෑත ඉතිහාසයේ මුහුණ දෙන වඩාත් උභතොකෝටික අවස්ථාවට දැන් මුහුණ දෙමු. ඒ මෙතෙක් අප හා එකට සිටි අයෙක් රටේ ප්‍රතිපක්ෂයේ සරණ යාම සහ ඒ සතුරන් ඔහුගේ සරණ යාම නිසා ය. මේ මොහොතේ හදවතට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය. පිරුවටයක ඔතා ව්‍යාජ දේශප්‍රේමි සළුපිලි ඇඳ සතුරා ඔබ හමුවට පැමිණ සිටියි. ඒ සළුවට බැණ අඬ ගසා පලක් නැත. සළුව මෑත් කර සතුරා හදුනා ගන්න. සතුරාට පහර දෙන්න. සතුරා බලාපොරොත්තුව අප ලවා අර සළුවට බැණ අඩ ගස්වා මහජන අනුකම්පාව නමැති හොර පාරේ රජ ගෙට රිංගීම බව වටහා ගන්න.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !