Wednesday, November 18, 2009

මියන්මාර් නායකයා වැරැදියි ඔබාමා හොඳයි!

කොටි ඝාතන සමාගම විසින් අරන්තලාවේදී භික්‍ෂූන් ඝාතනය කළ අවස්‌ථාවේදී හා අනුරාධපුර ශුද්ධ නගරයේ මිනිස්‌ ඝාතනයක්‌ මෙහෙයවීම ගැනද කොළඹදී කිසිම විරෝධතාවක්‌ නැඟුනේ නැත.

එහෙත් පසුගියදා මෙරටට සම්ප්‍රාප්ත වූ මියන්මාරයේ නායක ජනරාල් තාන් ස්‌ටේ මියන්මාරයේ භික්‍ෂූන් ඝාතනය කළේ යෑයි කියමින් සුළු පිරිසක්‌ විසින් විරෝධතාවයක්‌ දක්‌වනු ලැබිණි. එහෙත් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌තානයේ හා ඉරාකයේ සිවිල් වැසියන් බෝම්බ දමා ඝාතනය කරද්දී ශ්‍රී ලංකාවේ සුප්‍රකට විරෝධතා මෙහෙයවන්නන්ගේ කණ්‌ඩායම වෙතින් ඊට එරෙහිව විරෝධතාවක්‌ මතු වූයේ නැත.

තෙදිනක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි මියන්මාර නායකයාට එරෙහිව මෙලෙස විරෝධතාවක්‌ පැවැත්වූයේ කොටි ඝාතනයට එරෙහි ව දියත් වූ වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් කොළඹ එන්.ජී.ඕ. ක්‍රියාකාරී පිරිසයි.මේ සඳහා මෙරට සිටින මියන්මාර් භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ ද සහභාගි වී තිබේ.

මියන්මාරයේ දේශපාලනය තීරණය කරන්නේ එරට ජනතාව හා රජයයි. එසේ නැතිව නෝර්වේ අරමුදල් මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන ක්‍රියාකාරීහු නොවේ. මියන්මාරයේ හමුදා රජයට එරෙහිව නෝර්වේ රජය විසින් "ප්‍රී ධර්මා" නමැති ගුවන්විදුලි සේවාවක්‌ද පැවැත්වීමට ඉඩ දී ඇත. මෙය රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක්‌. කොටි ඝාතකයන් බෝම්බ තබා අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරද්දී ලොව කිසිම රටක්‌ බෝඩ් ලෑලි ඔසවාගෙන කොටි ඝාතන නවත්වනු කියා ඝෝෂා කළේ නෑ. මෙරට ජනාධිපතිවරයකු ඝාතනය කළ අවස්‌ථාවේ හා ජනාධිපතිනියක්‌ ඝාතනය කිරීමට උත්සාහ කළ විටකදිත්, එන්.ජීඕ ක්‍රියාකාරීහු කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවක්‌ පැවැත්වීමට ක්‍රියා කළේද?

ශ්‍රී ලංකාව හා මියන්මාරය (බුරුමය නිදහස ලැබුවේ 1945 දීය) 1949 ජුනි 7 වැනිදා බුරුමය හා ශ්‍රී ලංකාව අතර තානාපති සබඳතා ඇති විය.

ශ්‍රී ලංකා මියන්මාර තානාපති සබඳතා ඇති වී වසර හැටක්‌ සපිරෙන අවස්‌ථාවේ මියන්මාරයේ හමුදා නායකයාට මෙරටට ඒමට ඇරයුම් කළේ මන්ද යන්න මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් විසින් රජයෙන් ප්‍රශ්න කර ඇත.

මේ ප්‍රශ්නය මෙරට යුරෝපා තානාපතිවරයකු විසින්ද ජනාධිපතිවරයාගෙන් විමසා ඇතැයි වාර්තා වේ. මොවුන් ඊට නිදසුනක්‌ ලෙස දක්‌වන්නේ බුරුම රජා මානව හිමිකම් උල්ලංඝනය කරන බවයි.

එසේ නම් රුසියානු අගමැති වැලඩ්මිර් පුටින් චෙච්නියාවට එරෙහිව දියත් කළ මෙහෙයුමේදී සිවිල් වැසියන් මිය යැම නිසා ඔහුට ශ්‍රී ලංකාවට ඒමට ඇරයුම් නොකළ යුතුය.

ඊශ්‍රායලය පලස්‌තීන හා හමාස්‌ ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කර මානව හිමිකම් උල්ලංඝනය කරන නිසා ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලයෙන් කපීර් ප්‍රහාරක යානා සහ ඩොව්රා යාත්‍රා ද නියමුවන් රහිත යානා ද මිලයට ගැනීමෙන් වැලකී යුතුව තිබිණි. ඒ මන්ද ඉන් කොටි ඝාතකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන හෙයිනි.

මෙලෙස මියන්මාර් හමුදා නායකයාට මෙරටට ඇරයුම් කිරීම ගැන විරෝධතාවක්‌ දක්‌වන මේ විහිළුකාරයන් ඇමරිකානු හමුදාව ඉරාකයේ මෙහෙයුම් දියත්කරන සමයේ සිටි තානාපතිනි පැට්‌රීසියා බුවේනිය ශ්‍රී ලංකාවේ තානාපතිනිය ලෙස පත් නොකරන්නැයි නොඉල්ලුවේ මන්ද. මියන්මාරයේ මෙන්ම ඉන්දුනීසියාවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන්නේද හිටපු හමුදාපතිවරයකු වූ පුද්හොවන්ජි පකිස්‌තානයේ නායකයා ලෙස වසර ගණනාවක්‌ම කටයුතු කළේ ජනරාල් පර්වේස්‌ මුෂාරප්ය.

මුෂාරප් මෙරටට පැමිණි අවස්‌ථාවේ ඔහුට එරෙහිව මේ එන්. ජී. ඕ. කණ්‌ඩායම විරෝධතා දැක්‌වූයේද, මින් පැහැදිලි වන්නේ අරමුදල් සපයන විදේශ ස්‌වාමිවරුන්ගේ න්‍යාය පත්‍ර මත මේ විරෝධතාකරුවන් ක්‍රියා කරන බවයි.

මේ නිසා මියන්මාරයේ ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය ගැන තීරණයක්‌ ගත යුත්තේ මියන්මාර් ජනතාව මිස විදේශ අරමුදල් ලබන්නන් නොවේ.

මෙලෙස විරෝධතා මෙහෙයවන්නන් අතිරේක ඇමරිකානු බල ඇනියක්‌ ඇෆ්ගනිස්‌තානයට යෑවීම ගැන ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාට එරෙහිව හඬ නඟන්නේ නෑ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජනරාල් අවුන්සාන්ගේ පැසිස්‌ට්‌ විරෝධී නිදහස්‌ පෙරමුණ බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීම් කරමින් බුරුමයට පූර්ණ නිදහස හිමිවිය යුතු යෑයි කියා සිටියේය.

මෙයට ප්‍රතිචාර දැක්‌වූ බ්‍රිතාන්‍ය බලධාරීහු පැවසුවේ කඳුකරයේ සිටින ගෝත්‍රික ජනතාව බුරුම රාජ්‍යයට එකතුවීමට අකැමැති නිසා තොරතුරු විමසීමට කණ්‌ඩායමක්‌ එවන බවයි. එහෙත් ජනරාල් අවුන්සාන් එම කණ්‌ඩායම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. 1947 දී ජනරාල්වරයා ඝාතනය විය. ඊට බ්‍රිතාන්‍යයේ සම්බන්ධතාවයක්‌ ඇතැයි වාර්තා විය. මෙවන් වාතාවරණයක්‌ මැද වත්මන් ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ප්‍රකාශ කළේ මියන්මාර් හමුදා පාලනය සමග ඇමරිකානු රජය සෘජු සබඳතා පවත්වන බවයි.

මේ නිසා මියන්මාර් නායකයාව මෙරටට කැඳවීමට එරෙහි විරෝධතා මෙහෙයවූ එන්ජීඕ ව්‍යාපාරිකයෝ ඔබාමාට එරෙහිව විරෝධතාවක්‌ මෙහෙයවීමට ක්‍රියා නොකිරීම මවිතයට කරුණකි.

මෙයට වසර කීපයකට පෙර ත්‍රස්‌තවාදී ක්‍රියාදාමයකින් මියන්මාරයේ නායකයන් රැසක්‌ එකවර ඝාතනය විය. එහෙත් මේ ත්‍රස්‌ත ක්‍රියාව ගැන කොළඹ ලිප්ටන් වට රවුමේ විරෝධතා රැඟුම් දැක්‌වූයේ නැත. මෙවර රැඟුමේ මූලිකයා ප්‍රධානතම එන්.ජී.ඕ. ක්‍රියාකාරිකයෙකි. පුළුවන් නම් ප්‍රභාකරන්ගේ හිස ගේන්න කියා මා රජයට කියනවා යෑයි වරක්‌ ඔහු පුරසාරම් දෙඩීය.

එහෙත් ආරක්‍ෂක හමුදාව මළ ප්‍රභාකරන් ජනතාව හමුවට ඉදිරිපත් කළේය. මෙහිදී ඔහු නිහඬ විය.

මේ සෑම විරෝධතා ක්‍රියාදාමයක්‌ හමුවේම ඇත්තේ විදේශ අරමුදල්ය. ලෝකයේ ප්‍රධානතම යුද අපරාධකරු වන ඇමරිකාවට එරෙහිව විරෝධතා නොපවත්වන පිරිස මියන්මාර් රාජ්‍ය නායකයාට එරෙහිව විරෝධතා පැවැත්වීම පුදුමයක්‌ නොවන්නේද?

මියන්මාර් නායකයාට එරෙහිව කීපදෙනකුට පමණක්‌ සීමා වූ විරෝධතාවක්‌ පැවැත්වූ මේ එන්. ජී. ඕ. කණ්‌ඩායම ප්‍රභාකරන්ගේ විනාශකාරී ක්‍රියාවලින් සිවිල් ජනතාව මියයද්දී ඊට එරෙහිව විරෝධතාවක්‌ නොපැවැත්වූයේ ඇයි?

ඇමරිකානු රාජ්‍ය නිලධාරී රිචඩ් බවුචර් මෙරටට සම්ප්‍රාප්ත වූයේ කලකට පෙරය ඉරාක ඇෆ්ගනිස්‌තානයේ සිවිල් වැසියන් ඝාතනය වීම ගැන බවුචර්ට එරෙහිව හඬක්‌ නැඟුනේ නැත.

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් ද මෙරටට සම්ප්‍රාප්ත විය. ඇෆ්ගනිස්‌තානයට බ්‍රිතාන්‍ය හමුදාව යෑවීම ගැන ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයට කිසිවෙක්‌ එරෙහි වූයේද?

මේ අතර මියන්මාරයේ මානව හිමිකම් ගැන මෙරට එන්ජීඕ ක්‍රියාකාරීහු කිඹුල් කඳුළු සලද්දී උස්‌බෙකිස්‌තානයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති ක්‍රෙග් මරේ පසුගිය 4 වැනිදා ප්‍රකාශයක්‌ කරමින් ත්‍රස්‌තවාදී සැකකරුවන්ට වධහිංසා පැමිණ වීම සඳහා ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් උස්‌බෙකිස්‌තාන් වධ කඳවුරුවලට යෑවූ බව කියා සිටියේය. එහෙත් මේ ඇමරිකානු ක්‍රියාදාමයට එරෙහිව කොළඹ ලිප්ටන් වටරවුමේ රැඟුම් දැක්‌වූයේද?

කීර්ති වර්ණකුලසූරිය

(දිවයින -09/11/18)

ටිප්පණිය - මේ එන්ජීඕ රොත්ත කන්න හිතුණාම කබර ගොයාත් තලගොයා කරගන්නා වර්ගයේ අයියලා බව කිවයුතු නොවේ. ඒ බව මියන්මාර් නායකයා මෙරටට පැමිණි කල නැටූ නෙයියාඩමෙන් පැහැදිළි වෙයි. ලොව එකම හමුදා පාලනයක් ඇති රට මියන්මාරය නොවේ. තායිලන්තයේ ද ඇත්තේ හමුදා පාලනයකි.

එහෙත් බටහිර සහ ඇමරිකන් විරෝධි හමුදා පාලනයක් ඇත්තේ මියන්මාරයේ ය. එහෙයිනි මේ හිඟන රිළා නැටුම. මේ රිළවු නටන්නේ බටහිර සහ ඇමරිකන් හාම්පුතුන්ගේ පදයට බව අප අමතක නොකළ යුතු ය. අවුන්සාං සුකීගේ මානව හිමිකම් ගැන ඔවුනට මෙතරම් රුදාවක් ඇත්තේ ඇයිදැයි අප අවබෝධ කරගත යුතු ය. සුකී බලයට ගෙන ඒමට වළිකන උන් ඉරාන ජනාධිපති බලයෙන් පහ කරන්නට නොගන්නා උත්සාහයක් නැත. ඒ මන්දැයි සිතා බැලීම නුවණට හුරු ය.

3 comments:

කැලුම් නිරංජන. said...

මේ ද්‍රෝහී ඩොලර් පවුම් මත දිවි රැක ගන්නා පාදඩයන් ගැන ජනතාවට දැන් නිසි තක්සේරුවක් තිබේ.මේ NGO රොත්තේ සිටිනා එක් මහදැනමුත්තෙකුට පසු ගිය බස්නාහිර පළාත් සභා චන්දයේදී ජනතාව කනට ගසා එලවා දැමීමෙන්ම එය පැහැදිලි වේ.

නාමල් උඩලමත්ත said...

නිරංජන මට එකපාරට හිතා ගන්න අමාරුයි කවුද කියලා එයා. කාටත් දැනගන්න කියමුද නම?

Ravisha De Silva said...

මමත් දැනගන්න කැමතියි.

 
සිය රට දේ සිරි සැප දේ !