මේ රටේ දේශපාලන පක්‍ෂ රැසකම ලියාපදිංචිය අහෝසි වී ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බව ඊයේ (19) දිවයිනේ ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළවී තිබේ. මේ ගැන සාකච්ඡා කිරීමට පෙර මේ රටේ ජනයාගේ ජාතික ගතියක් ගැන ස්‌වල්පයක් කියමු. පුරුදු පුහුණු කරන ලද වඳුරකු මෙන් අන් අය කරන දේ එසේම කිරීමට මේ රටේ සමහරු කැමැත්තාහ. උදාහරණයක් වශයෙන් ගතහොත් හන්දියක බුලත් විට කඩයක් අලුතින් අරින ලද්දේද, ස්‌වල්ප කලකින් එය සරුසාර බුලත් විට කඩයක් බවට පත් වූයේද, අපේ මිනිහා කැමති වන්නේ එහා පැත්තෙන්ද බුලත් විට කඩයක්‌ම අටවා ගැනීමටය. ගමක එක මං සන්ධියකට බුලත් විට කඩ දෙකක් වැඩි නැතැයි සිතමු. එහෙත් අපේ මනුස්‌සයා එතැනින් නොනවතී. අන්තිමට මං සන්ධිය පුරා බුලත්විට කඩ ඇරේ. එහි ප්‍රතිඵලය වන්නේ සියලු බුලත් විට කඩ බංකොලොත් වී බුලත් විට ගැනීම සඳහා අල්ලපු ගමට යැමට ගැමියන්ට සිදුවීමය. මෙය ජාතික පුරුද්දකටත් වඩා සංසාරික පුරුද්දකි.
මේ සංසාරික පුරුද්ද දේශපාලනයටද පොදුය. තමන් දැනට සිටින දේශපාලන පක්‍ෂය සමග ආරවුලක් ඇතිකර ගන්නා ඕනෑම දේශපාලනඥයකු ගන්නා පියවර දෙකක් තිබේ. එයින් පළමුවැන්න වෙනත් පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගැනීමය. ඒ එම දේශපාලනඥයා පිළිගැනීමක් ඇති ජනප්‍රිය කෙනෙකු නම් පමණි. ඔහු දේශපාලන කබලකු නම් කිසිදු පක්‍ෂයක් විසින් ඔහු භාර ගන්නේ නැත. එවිට ඔහු අලුත් පක්‍ෂයක් පිහිටුවයි. කැත්ත, උදැල්ල, ගඩොල් කැටය, දෝලාව, භූමිතෙල් ගැලුම, ලාඩම හෝ අං තට්‌ටුව වැනි ඕනෑම ඡන්ද ලකුණකට ඔහු සූදානම්ය. එතැන් සිට ඔහු නව පක්‍ෂයට සාමාජිකයන් බඳවා ගනී. පක්‍ෂ අරමුදල සඳහා ධනය රැස් කරන්නට පටන් ගනී. ඊළඟ ඡන්දය වන විට ඔහු තවදුරටත් කබලකු නොවී ශක්‌තිමත් තත්ත්වයක සිටින්නේ නම් බලයේ පවතිනා පක්‍ෂයකට මුක්‌කුවක් ගසයි. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ ජාතික ලැයිස්‌තුවෙන් ඡන්දය ඉල්ලීමටය. ගම් දනව් පුරා පයින් ඇවිද ගොස් ගැමියන්ගේ දුක් සහගත ජීවිත ගැන සෙවීමට හෝ නාගරිකයේ මුඩුක්‌කු ජනයාගේ දුක බැලීමට ඔහුට වුවමනාවක් නැත.
මේ නිසා ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය පුරා දේශපාලන පක්‍ෂ විශාල ප්‍රමාණයක් හට ගත්තේය. තමා ශ්‍රීලනිපයෙන් කොටසක් බව දවසක්‌දා උදේ පාන්දර කල්පනා කළ මංගල සමරවීර ශ්‍රීලනිප මහජන පාර්ශ්වය ලෙස අලුතින්ම පක්‍ෂයක් පිහිටුවන බව කියමින් සවස් වන විට පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රීලනිපයට මහජන පාර්ශ්වයක් කුමටද? මෙතෙක් කලක් ශ්‍රීලනිපයේ තිබුණේ මහජනතාවගෙන් සමන්විත පාර්ශ්වයක් නොවන්නේද? ළඟකදී සිහල උරුමයෙන් කැඩී වෙන්වුණු කෙනකු නව සිහල උරුමය නමින් පක්‍ෂයක් පිහිටුවීය. මේ ආකාරයෙන් අව්වටත් වැස්‌සටත්, යලටත් මහටත්, සීතලටත්, උණුහුමටත් යනාදී වශයෙන් දේශපාලන පක්‍ෂ විශාල ප්‍රමාණයක් මේ රටේ පිහිටුවා තිබේ. මේ පක්‍ෂ වලින් වැඩිහරිය ඡන්ද ලකුණටත් එය ලියාපදිංචි කළ මහතාටත් සීමාවී ඇත. ඇතැම් පක්‍ෂයක ඇත්තේ සභාපති, ලේකම්, භාණ්‌ඩාගාරික යන මහත්වරුන් පමණි. මේ නයින් බලන කල දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය පිළිබඳ නිශ්චිත නිර්ණායකයන් හෝ සීමාවක් නො ගෙනාවොත් මේ රටේ සෑම පවුලකටම එක දේශපාලන පක්‍ෂය බැගින්ද, පසුව එක පුද්ගලයාට එක දේශපාලන පක්‍ෂය බැගින් බිහිවනු නියතය.
අපගේ වැටහීම නම් ප්‍රධාන පක්‍ෂ සහ සෙසු ජාතීන්ගේ පක්‍ෂ හැරුණ විට වෙනත් පක්‍ෂ පිහිටුවීමේදී මැතිවරණ කොමසාරිස්‌තුමා කල්පනාකාරීව කටයුතු කළ යුතු බවයි. එතුමා දැනටත් කල්පනාකාරීව සිටින බවද කිසිදු තර්කයක් නැත. පටු පරමාර්ථ තකා දේශපාලන පක්‍ෂ පිහිටුවීමට තැත් කළ කල්හි එම පක්‍ෂ සඳහාවූ අයදුම් පත් කුණු කූඩයට විසි කෙරුණු අවස්‌ථා ගැන පසුගියදා අපට දැන ගන්නට ලැබිණි. එතුමා එම ප්‍රතිපත්තියේ දිගටම සිටිය යුතු අතර නොවැදගත් වල් පැළ පාත්ති වැනි පක්‍ෂ අවලංගු කර මැතිවරණ වියදම් අවම කර ගැනීමට පියවර ගත යුතු බව අපගේ වැටහීමය.
(දිවයින - 09/11/20)
ටිප්පණිය - සීමාව ඉක්මවා ගිය කල ඕනෑම හොඳ දෙයක් නරක බවට හැරෙයි. නිදහස, අයිතිවාසිකම් ඈ ඕනෑම දේකට අත්වන ඉරණම එයයි. මගේ නිදහස අනෙකාගේ නිදහස ඇරඹෙන තැනින් කෙළවර වෙයි. අයිතීන් ද එසේ ය. ප්‍රජාතන්ත්‍රවාදයට ද ඒ නියාම දහම පොදු ය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඕන එකෙකුට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නොවේ. එහි වල්බූරු නිදහසක් නැත. එහෙයින් එහි සීමා අවබෝධ කරගැනීම වැදගත් ය. එහෙත් මෙරැටියන් සංකල්ප විනා එහි සීමා නොදනිති. එහෙයින් යහපත් සංකල්පවලට මුවා වී වල් වදිති.
ඉන් අදහස් කරන්නේ ආණ්ඩුව කියන කරන හැමදේම දේව වාක්‍ය සේ පිළිගෙන හිස නැමීම නොවේ. හැමදේම විවේචනය කිරීම ද නොවේ. හරි වැරැද්ද නිවහල් මනසින් දැකීම ය. වරදට බැණ හොඳ වැනීම ය.
Thursday, November 19, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment