Thursday, November 26, 2009

රැවුලත් නැත කැඳත් නැත. ප්‍රභාකරනුත් නැත

කිසි කෙනකුටත් මතක නැති ලෙස ප්‍රභාකරන්ගේ උපන් දිනය ඊයේ (26) නිකම්ම ගෙවී ගියේය. මෙයට වසර කිහිපයකට පෙර හෝ ඉකුත් වසරේදී නම් ප්‍රභාකරන්ගේ උපන් දිනයට දෙසතියකට පමණ පෙර ඒ සඳහා සූදානම් වනු දක්‌නා ලදී. ඒ කවරෙක්‌ද? කොටින්ව හඳුනන සියලු දෙනා ය. සටන් විරාම කාලයේදී නම් ප්‍රභාකරන් "ජාතිය" අමතා කළ මහ විරු කතාව ජාතික රූපවාහිනියෙන්ම පෙන්වන ලදී. කතාව පෙන්වීමට පෙර උතුරු නැගෙනහිර ජනයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් උත්සවයට සූදානම් කෙරිණ. කොළඹ සිටි කොටින්ට පක්‍ෂපාත ජනයා සහ ප්‍රභාකරන්ගේ පිහිටාධාරය බලාපොරොත්තු වූ අය සිය කැමැත්තෙන්ම උත්සවයට සූදානම් වූහ. ප්‍රභාකරන් පවත්වන මහ විරු කතාව කෙරෙහි සියලු දෙනා උනන්දු වූ අතර ඉදිරි කාලයේදී ප්‍රභාකරන් හැසිරීමට යන ආකාරය එම කතාවෙන් හෙළිදරව් විය. ප්‍රභාකරන් හැමදාමත් කීවේ එකම දෙයකි. ඒ වූ කලී සිංහල බෞද්ධ ආණ්‌ඩුව යටතේ තමන්ට තවත් ජීවත් වීමට වුවමනා නැති බවත් වෙනම රාජ්‍යයක්‌ අවශ්‍ය බවත්, ඒ සඳහා මිනී මරණ බවත්ය.

ඒ අතර ප්‍රභාකරන් සිය උපන් දිනයේදී මනුෂ්‍ය සංහාරයක්‌ කරවීමට පුරුදුව සිටි බැවින් ඔහුගේ උපන් දිනයට පෙර සතියේත්, පසු සතියේත් රටේ ආරක්‍ෂාව තර කරන ලදී. ඒ නිසා ඒ සති දෙකම අත්හල ප්‍රභාකරන් ඊළඟ සතියේදී මහා විනාශයක්‌ කළේය. එක්‌කෝ බස්‌ රියකට බෝම්බ තැබූ ඔහුගේ කාලකන්නි ගෝලයෝ එය පුපුරුවා පාසල් දරු දැරියන් විශාල සංඛ්‍යාවක්‌ ඝාතනය කළහ. නැතහොත් තර්ජිත ගම්මානයකට පහරදී අසරණ නිරායුධ ගම් වැසියන් එක පිට එක කැතිගා දැමූහ. ප්‍රභාකරන් මහවිරු කතාව කිරීමට සැදී පැහැදී සිටි ආකාරය සැලකිල්ලට ගත් ත්‍රස්‌තවාදය පිළිබඳ විචාරකයෝ විවිධ අනාවැකි පළ කළහ. සමහරුන් කීවේ ප්‍රභාකරන් තම සුපුරුදු උඩු රැවුල කපා දමා සිටියේ නම් ළඟදීම යුද්ධයක්‌ හට ගන්නා බවය. එහෙත් අන්තිමේදී රැවුලත් නැති ව, කැඳත් නැතිව, නන්දිකඩාල් කලපුවේ වැටී තිබූ ප්‍රභාකරන්ගේ මෘත දේහය හමුදාවට හමු විය.

ප්‍රභාකරන්ගේ උපන් දිනය ගැන කිසිදු සැමරුම් වගන්තියක්‌ කොටින්ට පක්‍ෂපාති වෙබ් අඩවිවල ඊයේ (26) පල වී තිබුණේ නැත. අපටත් කලින් ප්‍රභාකරන්ගේ ගෝලයන්ට ඔහු ගැන අමතකව තිබිණි. දැන් පිටරට සිටින ඩයස්‌පෝරාවට හෝ වෙබ් අඩවිවලට ප්‍රභාකරන්ගෙන් වැඩක්‌ නැත. ඔවුනට වැඩක්‌ ඇත්තේ ඊළඟ ප්‍රභාකරන් හා ඊළඟ රට කැඩීමේ වැඩපිළිවෙළ ගැනය. මෙය වූ කලී ව්‍යාපාරයකි. මේ ව්‍යාපාරයෙන් මේ රටේ සමහරුත් පිටරට සමහරුත් ජීවත් වූහ. ප්‍රභාකරන් මැරී සය මසක්‌ ගත වීමටත් පළමුව ඔහුගේ උපන් දිනය දෙමළ ඩයස්‌ පෝරාවට හා මෙරට සිටින කොටි හිතවාදීන්ට අමතක වීමෙන් ඒ බව පෙනී යයි. මේ සියලු කාරණා අතර ප්‍රභාකරන් නැතත් ඔහුගේ පරමාර්ථය වූ රට අස්‌ථාවර කිරීමේ කුමන්ත්‍රණය එසේම පවත්වාගෙන යැමට ඒ සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පිරිස රෑ දහවල් නොබලා වැඩ කරති.

මේ සඳහා වියදමට අනාගතයටත් එක්‌කම ප්‍රභාකරන්ගෙන් මුදල් ලබා ගැනීමට මේ පිරිස සමත් වූහ. එයින් කොටසක්‌ ගසා කන ලද අතර ඉතිරි කොටස දැන් වියදම් කරනු ලැබේ. මේ රට කැඩීමට නම් මේ ජනාධිපති එළවිය යුතුමය. ගෝඨාභය රාජපක්‍ෂ එල්ලුම් ගස්‌ යවා බැසිල් රාජපක්‍ෂ හිරේ යෑවිය යුතුමය. එවිට නිසි නායකත්වයක්‌ හා කාර්යශූරත්වයක්‌ නැති රට දෙකට නොව දහයකට වුව කැඩිය හැකිය. යුද්ධය නිමා කිරීමෙන් ජනාධිපති කළේ ස්‌වල්ප වරදක්‌ නොවේ. ඔහු විවිධ පුද්ගලයන් ආයුධවලින් කොමිස්‌ මුදල් ගැසීම නිමාවට පත් කළේය. සාමාන්‍යයෙන් එක වෙඩි උණ්‌ඩයකින් ඩොලර් ශත දෙකක හෙවත් රුපියල් 2.40 ක පමණ කොමිසක්‌ ලබාගත හැක. උණ්‌ඩ කෝටියක්‌ ගෙනාවොත් එතැන දෙකෝටි හතළිස්‌ ලක්‍ෂයක ආදායමක්‌ ආයුධ ජාවාරම්කාරයාට ලැබේ. ප්‍රභාකරන්ගේ උපන් දිනය ද ඔහු අමතක කර දැමීමෙන් ඔහුගේ අනුගාමිකයන් හා ඔහුගෙන් යෑපුණු අය මොන තරම් ආත්මාර්ථකාමීන්ද යන්න පෙනේ.

(දිවයින - 09/11/27)

ටිප්පණිය - කලකින් දක්නට ලැබුණු හොඳ කතුවැකියකි. එදා සහ විරු දින සැමරූ උන්ට දැන් වීරයා මතක නැත. එහෙත් වීරයා නම් කීවේ සිංහලයාට ඕනෑම දෙයක් දෙසතියෙන් අමතක වන බව ය. එහෙත් දැන් ඒ රෝගය ඇත්තේ ඔහුගේම හෙංචයියලාට බව පැහැදිළි ය. දිවයිනට සිහි වූ කුප්‍රකට උපන් දිනය කොටි හෙංචයියලාට වහා අමතක වූ සැටි!!!

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !