Wednesday, November 4, 2009

රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහි නොවනු!

පෞද්ගලික සංචාරයක්‌ සඳහා ඇමරිකාවට ගිය ජනරාල් සරත් ෆොන්සේකා ඇමරිකානු රජයේ සාක්‍ෂිකරුවකු කරගෙන ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව චෝදනා පත්‍රයක්‌ සැකසීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය දැන් දියත්ව පවතී. ඒ අතර යුද්ධය ගැන දැනගැනීමට යමක්‌ වෙතොත් ඒ සඳහා නියෝග දුන් තමාගෙන් විමසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තම හමුදාපතිවරයා වෙනුවෙන් නිර්භයව හා ආදර්ශවත් ලෙස පෙනී සිටී. මේ රට ඒකීය රටක්‌ව තිබෙනු දැක්‌මට ප්‍රිය කරන්නේ ඉන්දියාව හා චීනය ඇතුළු ආසියාවත් රුසියාව ද ඇතුළු යුරෝපීය රටවල් ස්‌වල්පයකුත් පමණි. සෙසු සියලු අධිරාජ්‍යවාදීන්ගේ සහ කොම්ප්‍රදෝරු පන්තියේ (අධිරාජ්‍ය ගැති ධනපති පන්තිය) රටවල අවශ්‍යතාව වන්නේ එක්‌කෝ ශ්‍රී ලංකාව දෙකඩ වනු දැකීමය. නැතහොත් අඩුම ගණනේ ශ්‍රී ලංකාව මුලට ෆෙඩරල් රාජ්‍යයක්‌ කර පසුව කැබැලි වනු දැකීම ය. මේ උත්සාහය වළක්‌වාලීම සඳහා යුද ජයග්‍රහණය ලබාගන්නා ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය නමැති දෙපැත්ත කැපෙන, එහෙත් නිසි ලෙස පාවිච්චි කළොත් අවශ්‍ය දේ හරියටම කැපෙන ආයුධය යොදාගෙන බව මතක්‌ කර දෙමින් අද මේ වැකිය අරඹමු.

මේ මොහොතේදී මේ රටේ විපක්‍ෂය සතුව පවත්නා ලොකුම ඉල්ලීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්න ය. රටේ ප්‍රශ්න කොතෙකුත් ඇත. ජීවන වියදම පළමුවැන්නය. රට ගොඩනැගීම දෙවැන්නය. සාමාන්‍යයෙන් යුද්ධයකින් පසු ඉතිරි වන රාජ්‍යයක පළමුවන ප්‍රශ්නය විය යුත්තේ රට කෙසේ ගොඩනගමුද යන්න ය. එහෙත් ලංකාවේ දේශපාලනය බෙහෙවින් බඩගෝස්‌තරවාදී නිසා සාමාන්‍යයෙන් රට ගොඩනැංවීමට ලැබෙන්නේ දෙවැනි තැන ය. එහෙත් මෑතක සිට ඒ සියලු කරුණු පසෙකලා විධායක ජනාධිපති ක්‍රමය තුරන් කරමු යන සටන් පාඨය ඉදිරියට පැමිණ ඇත. මෙහිදී විධායක ජනාධිපති ක්‍රමයේ ඉතිහාසය ගෙන බලමු. ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයකු යටතේ පමණක්‌ මේ රට පාලනය කරනු සඳහා විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දෙන ලදී. එසේම, තම මන්ත්‍රීවරුන් තමන්ට අකීකරු වුවහොත් ඔවුන්ගේ අඬු කැඩීම සඳහා දින නැති ඉල්ලා අස්‌වීම් ලියුම් ද ඔහු විසින් ලබාගන්නා ලදී. එතුමා හිරේ සිටි ගෝනවල සුනිල් මහතා එම බලතල යොදවා නිදහස්‌ කරගෙන ඔහුට සාම විනිසුරු තනතුරක්‌ ද ප්‍රදානය කරන ලදී. මේ හැරෙන්නට එතුමා විධායක ජනාධිපති ක්‍රමය මගින් කළ වෙනත් වැදගත් යමක්‌ ගැන මේ මොහොතේදී අපට කල්පනා වන්නේ නැත. ප්‍රේමදාස ජනාධිපතිතුමාට තම වැඩ කර ගැනීම සඳහා විධායක ක්‍රමය උවමනා වූයේ නැති අතර ඒ සඳහා එතුමාට වෙනම විධි තිබිණ. ඒ ගැන අපට වඩා හොඳින් ජ.වි.පෙ. දනී. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු යන සටන් පාඨය යටතේ බලයට පැමිණි චන්ද්‍රිකා මැතිනිය පසුව ජ.වි.පෙ. සමඟ එකතු වූ බැවින් එම සටන් පාඨය යට ගියේය. ජ.වි.පෙ.ට එම පාඨය යළි මතක්‌ වූයේ දවසක්‌ උදේ පාන්දර ඇහැරී බලන විට තමන් තවදුරටත් පොදු පෙරමුණු ආණ්‌ඩුවේ නැති බව ප්‍රත්‍යක්‍ෂ වූ කල්හිය.

විධායක ජනාධිපති ක්‍රමය නිසි ලෙස පරිහරණය කළ එකම නායකයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. යුද ජයග්‍රහණයේ පසුබිමෙහි විධායක ජනාධිපති ක්‍රමයේ එතෙක්‌ ප්‍රයෝජනයට නොගත් කොටස්‌ ද විය. රට දෙකඩ කිරීම සඳහා රේඛාවක්‌ අඳිමින් ත්‍රස්‌තවාදියකු සමඟ අත්සන් කෙරුණු සටන් විරාම ගිවිසුම ඉරා විසිකරන ලද්දේ විධායක ජනාධිපති ධුරයේ බලතල එය දමා තිබූ පරණ පෙට්‌ටගමෙන් එළියට ගෙන පාවිච්චි කිරීමෙනි. යුද්ධයට විරුද්ධව ඔලුවෙන් හිටගත් එ.ජා.ප.ය සහ දෙමළ සන්ධානය නොතකා සේනාධිනායකයා ලෙස අණ දෙමින් ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙහෙයවීමට ජනාධිපතිතුමාට හැකි වූයේ විධායක බලතල හරිහැටි පාවිච්චි කිරීම තුළිනි.

යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් පිස්‌සන් ලෙස මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමටත් ආරක්‍ෂක ලේකම් කොටු කිරීමටත් කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය. මේ රට දේශපාලන මඩ ගොහොරුවකි. කුහකකම, බලලෝභය, පළිගැනීම යනාදිය මේ ගොහොරුව තුළ පැසවමින් බුබුලු දමයි. මේ ගොහොරුව සුවඳවත් පියුම් පිපෙන සුන්දර ජලාශයක්‌ කළ යුතුව තිබේ. එය කළ හැක්‌කේ අපට නිවහල් ඒකීය රටක්‌ ඇත්නම් පමණි.

(දිවයින - 09/11/04)

ටිප්පණිය - අප විවිධ මාධ්‍යවලින් ලද තොරතුරු අනුව හිටපු හමුදාපතිතුමා සහ රජය අතර යම් ගැටුමක් අති වී තිබේ. ඊට විවිධ හේතු බලපා ඇත. කෙසේ වුව ද මේ ගැටලුව සමතයකට පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමු. කෙසේ වුව ද සරත් ෆොන්සේකා මහතා ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. එසේ නොවී ආවේගාත්මක වී දේශද්‍රොහී බලවේගවල ගොදුරක් වීමෙන් රටට මෙන් ම එතුමාට ද පරාජයක් විනා ලැබෙන කිසිවක් නැත. එහෙත් රටට ආදරය කරන බලවේග දෙකට තුනට කඩා විනාශ කිරීමෙන් යළි රට අගාධයට දැමීමෙන් කුහක ආස්වාදයක් ලැබීමට තකතිරු රොත්තක් පුලපලා සිටිති.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !