Wednesday, October 14, 2009

ඇල්ෆ්‍රඩ් නොබෙල් නැවතත් දුකින්!

මේ මොහොතේ අප ඉදිරිපිට ප්‍රවෘත්ති දෙකක්‌ තිබේ. ආසියාව කෙරේ කුහක ආකල්පයකින් පසුවන බටහිර ලෝකයේ ජනමාධ්‍ය කඩමාලු විසින් නිසි අගැයීමකට ලක්‌ නො කරන ලද, නිසි ප්‍රචාරයක්‌ ලබා නො දෙන ලද පළමු වැනි පුවත වූ කලී හඳේ වතුර ඇති බව ඉන්දියාව විසින් සොයා ගනු ලැබීම ය. මීට සති කිහිපයකට පෙර චJද්‍රයා ආසන්නයට ගමන් කළ චJද්‍රයාන් නමැති ඉන්දියානු අභ්‍යවකාශ යානය සඳේ ඇති පාෂාණ කොටස්‌ මිලියනයක්‌ තුළ ජලය කොටස්‌ 700 ක්‌ ඇති බව හෙළිකර ගත්තේ ය. මේ සොයා ගැනීම සඳහා යොදා ගත් විශේෂ කැමරාව 100% ක්‌ ම ඉන්දියානු නිෂ්පාදනයකි. අපගේ වැඩිමහලු සහෝදරයාගේ මෙම සොයා ගැනීම මේ මොහොතේ අප ඉදිරිපිට ඇති හොඳම ප්‍රවෘත්තිය බව නො බියව කියමු. අප ඉදිරිපිට ඇති අනෙක්‌ ප්‍රවෘත්තිය නොහොත් නරකම ප්‍රවෘත්තිය ඇමෙරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය දීම ය. කළු හමක්‌ ඇති ධෛර්ය සම්පන්න මනුෂ්‍යයකු වන බරක්‌ ඔබාමා කෙරෙහි කිසිදු විරෝධයක්‌ අප තුළ නැත. ඔහු ගතානුගතික ඇමෙරිකානු ව්‍යාප්තවාදී සුදු හමට පයින් ගැසූ නිර්භීත මනුෂ්‍යයෙකි. එහෙත් ඔහුට ලෝක සාම ත්‍යාගය ලබා දීමට තරම් ඔහු ලෝක සාමය වෙනුවෙන් කුමක්‌ කළේ ද යන ප්‍රශ්නය අප තුළ තිබේ. අද අප සාකච්ඡා කරන්නට යන්නේ එම කාරණය යි.

දිගින් දිගටම යදමින් බැඳී සිටින වහලා කාලයක්‌ ගත වන විට තම යදම්වලට පෙම් කරන්නට පටන් ගනී. එපරිද්දෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයත් ඇමෙරිකානු ව්‍යාප්තවාදයත්, යටතේ සිටි බටහිර ලෝකයේ සහ ස්‌කැන්ඩිනේවියානු රටවල මානසික වහල්ලු එකී පීඩනයන්ට සහ සූරාකෑම්වලට ආදරය කරන්නට පටන් ගනිති. නොබෙල් තෑගි කමිටුවේ සාමාජිකයන් ද මෙවැනිම පිරිසක්‌ බව අපට හැඟී ගොස්‌ තිබේ. ස්‌වීඩනයේදී රැස්‌වන මෙම කමිටුවට අවශ්‍යව තිබුණේ යටත් විජිතවාදයට සහ ව්‍යාප්තවාදයට ආදරය කරන ගමන් ජනාධිපති ඔබාමාට දේශපාලන හා මානසික අල්ලසක්‌ ලබා දීම ය. නොබෙල් කමිටුවේ සාම ත්‍යාගය සඳහා මෙවර නම් 205 ක්‌ නිර්දේශ වී තිබිණ. කමිටුව ත්‍යාගය දුන්නේ බලයට පැමිණ වසරක්‌වත් නැති, ලෝක සාමයට තබා තමන්ගේ රටේ සාමයටවත් යමක්‌ කර ගැනීමට කාල වේලාවක්‌ නො තිබූ ඔබාමාට ය. නිහතමානී මිනිසකු වූ ඔබාමා මේ ත්‍යාගය ලැබීමෙන් තමා තුළ හටගත් පුදුමය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට තරම් අවංක විය. ඒ අතර නොබෙල් සාම කමිටුව බරපතල අමාරුවක වැටුණේ ලොව දස දෙසින්ම විරෝධය ගලා එන්නට වූ නිසා ය. ඔබාමාගේ ඉදිරි සාම ක්‍රියාවලියට ධෛර්යය දීම සඳහා ඔහුට සාම ත්‍යාගය දුන් බව ඔවුහු එවිට කීය. එසේ නම් ගිය අවුරුද්දේ සාම ත්‍යාගය ප්‍රභාකරන්ට නුදුන්නේ ඇයි? මිනී නො මැරීමට ධෛර්යය දීම සඳහා ඔහුට එය දිය යුතුව තිබිණි. මේ අනුව පහත සඳහන් පුද්ගලයන් පහත සඳහන් උසස්‌ ත්‍යාග සහ සම්මාන සඳහා සුදුසු බව අපගේ වැටහීම ය.

* ඔසාමා බින් ලාදින්, අහිංසාව සඳහා වූ මහත්මා ගාන්ධි ත්‍යාගයට සුදුසු ය.

* ජෝර්- බුෂ් රැමෝන් මැග්සේසේ ත්‍යාගය සඳහා සුදුසු ය.

* නැසීගිය ඉඩි අමීන් පුලිට්‌සර් ත්‍යාගය සඳහා සුදුසු ය. (මෙය ඇමෙරිකානු පත්‍ර කලාවේදියකුගේ නමින් දෙන ප්‍රදානයකි. ඉඩි අමීන් සිය පාලන කාලය තුළ පත්‍රකලාවේදීන් සිය ගණනක්‌ මැරීය.)

* හිට්‌ලර්ගේ ප්‍රවෘත්ති හා ගුවන් විදුලි ඇමැති ලෙස කටයුතු කරමින් දෙවන ලෝක යුද සමයේදී බොරු වපුරුවා හළ ගොබෙල්ස්‌ට ගෝල්ඩන් පෙන් (රන් පෑන) සම්මානය දිය යුතු ය.

නොබෙල් ත්‍යාගය පවත්වාගෙන යන්නේ ඩයිනමයිට්‌ සොයාගත් ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉපැයූ මහා ධනස්‌කන්ධය බැංකුවක තැන්පත් කර එහි පොලියෙනි. තමා සොයාගත් පුපුරණ ද්‍රව්‍යය මනුෂ්‍යයන් සංහාරය කිරීමට යොදවන ආකාරය දුටු නොබෙල් පසු කාලයේදී තම සොයා ගැනීම ගැන දුක්‌ විය. දැනට ජීවතුන් අතර නැති මේ මහා විද්‍යාඥයා අද ජීවතුන් අතර වී නම් මෙවර දුක්‌වනු ඇත්තේ නොබෙල් තෑග්ගට ගිය කල දසාව ගැන ය. තමා නිවැරැදි අවංක මිනිසකු බව තවදුරටත් තහවුරු කිරීම සඳහා මේ ත්‍යාගය ලබා ගැනීමෙන් බරක්‌ ඔබාමා වැළකිය යුතු ය.
(දිවයින - 09/10/15)

ටිප්පණිය - ඔබාමා බලයට පත් වෙද්දී වෙනිසියුලියානු ජනාධිපති හියුගෝ චාවේස් කීවේ ඔබාමා හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ හමේ පාටින් පමණක් බව ය. එකල අපට සිතුණේ චාවේස් සර්ව අශුභවාදීයෙකු බව ය. එහෙත් ඔබාමා බලයට පත්ව වසරක් තුළ චාවේස් අනාගත වක්තෘ කෙනෙක් බව ඔප්පු කළේ ය. ඔහු බලයට පත් වූ පසු ඇමරිකන් හමුදාව ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ අහිංසක වැසියන් 4000ක් පමණ මරා දැමුවේ ය. අහිංසක මිනිසුන් 160ක් මරා දැමුවේ යයි සදාම් හුසේන්ට මරණ දඬුවම ලබා දුන් යුගයේ ම එවන් 20 ගුණයක් මරා දැමූ කෙනෙකුට ලෝක සාම ත්‍යාගය පුදා තිබේ. ඉන් කර තිබෙන හානිය සුළුපටු නැත. එක් අතකින් එය මෙතෙක් එම ත්‍යාගය ලද ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කරන ලද අපහසයකි. අනෙක් අතට නොබෙල් ත්‍යාගය බිහි කළ උතුම් අදහස ද කරන ලද නින්දාවකි.

1 comment:

Thejan said...

මේ ගැන මගේ බ්ලොග් එකෙත් අදහසක් පළ කළා. ඒකත් බලන්න

http://lankanthougts.blogspot.com

 
සිය රට දේ සිරි සැප දේ !