Monday, October 26, 2009

නපුර නැති සාංකාව

දිනපතාම පාහේ ස්‌වකීය දිවනෙතින් ලෝකය දෙස බලා එහි සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව අසා දැන තම පඬුපුල් ආසනය රත්කර ගන්නා ඇමරිකා එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව "ශ්‍රී ලංකාවේ මෑතක වූ ගැටුම්වලට අදාළ සිදුවීම් සම්බන්ධයෙන්" ඇමරිකානු කොන්ග්‍රසයට වාර්තාවක්‌" ඉදිරිපත් කරන්නේය.

නිශ්චිත කිසිදු සාක්‍ෂියක්‌ නොමැති වූත් හුදු තොරතුරු සහ ඕපාදූප මත පදනම් වූත් එම වාර්තාව අවසානයේ ප්‍රකාශ කොට සිටින්නේ මේ පිළිබඳව ශ්‍රී ලංකා රජය නොපමාව විමර්ශනයක්‌ කළ යුතු බවය.

ප්‍රබන්ධය මායාව සමග එකට මිශ්‍රකොට ව්‍යාජයේ දුබල වියමනෙන් ගොතන ලද එම වාර්තාව සිදුවිය යුතු පරිද්දෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්‍ෂේප කරන්නේය.

නපුරට යටත්ව මහත් ජනතාවක්‌ ද සමග විනාශයට සහ අයසට පත්වීම වෙනුවට ඊට එරෙහිව සටන් කොට ජයගැනීමට ඇති අයිතිය වෙනුවෙන් ක්‍රියාත්මක වූ රාජ්‍යයකට තවත් රාජ්‍යයක්‌ විසින් ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ඒ ආකාරයටද?

ත්‍රස්‌තවාදය මානව ශිෂ්ටාචාරයට අභියෝග කරන වර්තමානයේ සිටින අංක එකේ සතුරානම්, ඒකාගේ මානව හිමිකම් සුරකින්නට යැමෙන් සමස්‌ත මානව ශිෂ්ටාචාරයකම මානව හිමිකම් උල්ලංඝනය වන බව නොදන්නා රාජ්‍යයනුත් තිබිය හැකිද?

ත්‍රස්‌තවාදීන්ගේ මානව හිමිකම් සුරැකීමට අදහස්‌ කරන රාජ්‍යයක්‌ ප්‍රථමයෙන්ම කළ යුත්තේ හෙළුවෙන් හිඳ ඔළුවෙන් හිටගැනීමය.

අනතුරුව ඔවුන් කළ යුත්තේ ශිෂ්ට සමාජයෙන් ත්‍රස්‌තවාදීනට සිදුවන "හිරිහැර කරදර"වලින් ඔවුන් ආරක්‍ෂා කිරීමට ශක්‌තිමත් පදනමක්‌ බිහි කිරීමය.

ඒ සඳහා ත්‍රස්‌තවාදයට හිතැති මාධ්‍ය ආවරණයන්ද, ත්‍රස්‌තවාදයට හිතැති සාහිත්‍ය කලා සම්ප්‍රදායක්‌ ද, "ඉතා දියුණු ත්‍රස්‌තවාදීන්" බිහිකරන විද්‍යා පීඨයක්‌ ද නිපදවා ගත යුතුය.

පුදුමයට කරුණ නම් විද්‍යාපීඨය හැර, ශ්‍රී ලංකාවේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය වෙනුවෙන් ඉහත කී සියල්ලම දේශීය සහ විදේශීය වශයෙන් කොහොමටත් ගොඩනැගෙමින් පැවැති බවය.

එල්. ටී. ටී. ඊ. ය ලෝකයේ අංක එකේ අති බිහිසුණුම ත්‍රස්‌තවාදය වූයේ එය සතුව තිබූ සන්නද්ධ බලය නිසා නොව ඉහත කී සුවිශේෂතම කරුණ නිසාය.

එය ශිෂ්ටාචාරය වනසන ගමන්ම ශිෂ්ටාචාරය රැවටූ සංවිධානයකි. ආයුධ වශයෙන් බෝම්බ, රොකට්‌, සබ්මැරීන්, කුරුම්බැට්‌ටි මැෂින්, මිනිස්‌ බෝම්බ මතුනොව අවශ්‍ය තැනෙහිදී සෙම්, සොටු, කඳුළු ද භාවිත කළ සංවිධානයකි. එය පරාජය කිරීමට ජෙනරල් මැක්‌ආතර් යුද උපක්‍රමවලින් හැකි යෑයි කල්පනා කිරීම විසිඑක්‌ වන සියවසේ සන්නද්ධ හමුදාවකට පහර දීමට ක්‍රිස්‌තු පූර්ව යුගයේ හමුදාවක්‌ යෙදවීමක්‌ වැනි වැඩකි.

ශ්‍රී ලංකාවේ වත්මන් සන්නද්ධ හමුදාවෝ සතුරා කවරෙක්‌ ද යන්න හඳුනාගෙන සිටියා පමණක්‌ නොව ඔහු කියන තරම් "කළු යකෙක්‌" නොවන බවද අත්දැකීමෙන්ම දැන සිටියහ. තව දුරටත් සෙම්, සොටු, කඳුළුවලට නොරැවටුණ දේශපාලන නායකත්වයක අනම්‍ය තීන්දු තීරණ අනුව කටයුතු කළ ඔවුහු ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ මුලිනුපුටාම දැමූහ.

දැන් ප්‍රශ්නය ත්‍රස්‌තවාදය නොවේ. ත්‍රස්‌තවාදය නැත්තටම නැති කිරීම පිළිබඳව ය.

ත්‍රස්‌තවාදියකු බේතකටවත් සොයාගත නොහැකි සමාජයක්‌ අපේක්‍ෂා කරන එක්‌සත් ජනපදයේ යුක්‌තිගරුක සාමාන්‍ය ජනතාවට ප්‍රභාකරන් සහ ඔහුගේ සගයන් මියගියේ ඉස්‌සරහින් වෙඩි වැදී ද නැතහොත් පසු පසින් වෙඩි වැදී දැයි ප්‍රශ්නයක්‌ නැත.

ත්‍රස්‌තවාදයක්‌ අවසන් කිරීමෙන් සැනසුම් සුසුම් හෙළන සමාජයක ආශ්වාදය සිංහල, දෙමළ සමාජයකට පමණක්‌ නොව ඇමරි - බ්‍රිතාන්‍ය, යුරෝපීය හෝ වෙනත් ඕනෑම සමාජයක හෝ උරුමය වෙයි.

ඊට එරෙහිව කෙණහිලි කිරීම සහ ආඩපාලි කීම විශිෂ්ට මිනිසුන්ගේ සිරිතක්‌ විය නොහැකිය.

(දිවයින - 09/10/27)

ටිප්පණිය - ශිෂ්ට සම්ප්‍රදායන් බලාපොරොත්තු විය යුත්තේ ශිෂ්ට මිනිසුන්ගෙනි. මේ කෙරුම්කාරයින් සියල්ල නිර්ණය කරන්නේ සිය ලාභය ගැන සිතා ය. ඉබ්බන්ගෙන් පිහාටු පතා පලක් නැත. එහෙයින් අප වහා අපේ මිතුරු රටවල් සමග දැඩි සබඳකම් ඇති කර ගත යුතු ය. යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙළ ගැසිය යුතු ය. චීනය රුසියාව ඉන්දියාව ආදී රටවල් සමග යුක්තියේ මිතුරු රාජ්‍ය ගොනු කරගෙන නව පෙරමුණක් තනා ගත යුතු ය. එය මඩේ හිට වු ඉන්නක් වන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට විකල්පයක් නොව ඊට එහා ගිය ආයතනයක් විය යුතු ය.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !