රුපියල් දශලක්‍ෂ 250 ක වියදමින් ඉදිකෙරුණු සීගිරි කෞතුකාගාරයේ පුරාවස්‌තු අනතුරට ලක්‌වීමේ අවදානමක් ගැන ඊයේ (29 දා) දිවයිනේ මුල් පිටුවේ පළ වී තිබේ. මේ අනතුරට හේතුව පුරාවස්‌තු තැන්පත් කළ කුටිය වායු සමීකරණය කෙරෙන යන්ත්‍රය ක්‍රියා විරහිත වීම බව දැන ගන්නට ලැබී ඇත. යන්ත්‍රය කැඩුනේ, සිසිලනය පිණිස එයට සැපයෙන කිවුල් ජලය පිරිසිදු කරන පෙරහන් අබලන් වීම නිසාලු එසේ නම් යන්ත්‍රයට හොඳ වතුර නොව කිවුල් වතුර සපයන්නේ මන්දැයි දනා ප්‍රශ්න කරනු ඇති. සීගිරිය පැත්තේ වැඩිපුරම ඇත්තේ කිවුල් ජලයයි.
එබැවින් කොළඹින් හොඳ වතුර ගෙනැවිත් වායුසමීකරණ යන්ත්‍රයට සැපයුවොත් මිස විකල්පයක් නැත. මෙහිදී පණ්‌ඩිතකම් කතා කිරීමට කැමැති දනා මෙසේත් ප්‍රශ්න කරනු ඇතත මෙතෙක් කල් මහ කැලෑ මැද වැස්‌සට තෙමෙමින්, අව්වට වේලෙමින්, පුස්‌කමින්, ස්‌වභාවික හේතූන් මත පුස් ඉවත් වෙමින්, පසට යටවෙමින්, අපූරුවට තිබූ පුරාවස්‌තු ඒ සී කාමරවල දැමුවේ කුමකටද? මෙය ලංකාතිලක පිළිම ගෙය ට වහලයක් ගැසුවේ මන්ද යන ප්‍රශ්නය හා සමානය. ලංකාතිලක පිළිම ගෙය පියස්‌සක් නැතිව වසර සිය ගණනක් තිස්‌සේ නිරුපද්‍රිතව තිබිණ. පුරාවිද්‍යා ප්‍රධානීහු පිළිම ගෙට වහලයක් ගැසී ය. අන්තිමට සූර්යාලෝකය නො ලැබීම නිසා පිළිමය පුස් කන්නට පටන් ගත්තේ ය.
ඒ කතාව සීගිරියේ කෞතුකාගාරය හා ගැලපෙන්නේ නැත. සීගිරියේ කෞතුකාගාරය යනු සංස්‌කෘතික අමාත්‍යාංශය විසින් කරන ලද ඉතාම හොඳ වැඩ දෙක තුනෙන් එකකි. සීගිරියේ පරිමාණයට අනුව කුඩා කරන ලද සීගිරි ගලෙහි අනුරුවක් මෙන්ම කැණීම්වලදී සොයා ගත් සීගිරිය හා සම්බන්ධ පුරාවස්‌තු රාශියක් මේ කෞතුකාගාරය තුළ තිබේ. කෞතුකාගාරය තුළ ඇත්තේ කෘත්‍රිම පරිසරයකි. ඒ නිසා පුරාවස්‌තුවලට වායු සමීකරණය අත්‍යවශ්‍ය ය.
සීගිරි කෞතුකාගාරය වැනි අනුරූ කෞතුකාගාර කිහිපයක් ලෝකයේ වෙනත් රටවල ද තිබේ. උදාහරණයක් ලෙස ප්‍රංශයේ ලස්‌කෝ ලෙන දැක්‌විය හැකි ය. ලස්‌කෝ ලෙන යනු ප්‍රංශයේ සුප්‍රකට හොෆ්මන්ඩිලාරෝෂ් නමැති බෙහෙත් කොම්පැනියේ ඉඩමක තිබූ ලෙනකි. මේ ලෙන තුළ ලෝකයේ පළමුවැනි චිත්‍ර ඇඳ තිබී ළමයින් කිහිපදෙනකු විසින් සොයා ගන්නා ලදී. පසුව රෝෂ් සමාගම මේ භූමිය සංරක්‍ෂණය කර ලස්‌තෝ ලෙන ජනතාවට විවෘත කළේ ය. එහෙත් දිගු කලක් තිස්‌සේ මිනිසුන් විසින් නැරඹීම නිසා ලෙන තුළ කාබන්ඩයොක්‌සයිඩ් ගොනු වී චිත්‍රවල පුස් බැඳෙන්නට පටන් ගත්තේ ය. මෙවිට ප්‍රංශ ආණ්‌ඩුව එම ලෙනෙහි අනුරුවක් එම බිමේ ඉදිකර ලෙන වසා දැමී ය. මේ නිසා ලස්‌කෝ ලෙන ද සුරැකුණු අතර එය නැරඹීමට කැමැති ජනයාට අනුරුව දැක සතුටු විය හැකි විය.
සීගිරි කෞතුකාගාරය ද මේ වර්ගයේ ඓතිහාසික කටයුත්තකි. කොළඹ සිටින වැඩකට නැති ලොක්‌කන්ගේ කාමරවල ඇති වායු සමීකරණ යන්ත්‍ර දෙක තුනක් ගලවාගෙන විත් හෝ මේ කෞතුකාගාරය වායු සමීකරණය කළ යුතු ය. වැඩකට නැති මනුෂ්‍යයන්ට වඩා වටිනාකමක් පැරැණි ගල්ගෙඩි සහ මැටි පුවරුවලට ඇත.
(දිවයින - 09/10/30)
ටිප්පණිය - සීගිරි කෞතුකාගාරයේ වටිණාකම පිළිබඳ කුකුසක් අපට නැත. එහෙයින් එය කළ යුතු දෙයක් බව මුලින් ම කියමි. එහෙත් ඒ කරන්නන් වාලේ නොවේ. සිදු වී ඇත්තේ අලියෙක් ගෙන හෙණ්ඩුවක් නොගැනීම වැනි මෝඩකමකි. ඉන් සිදු වන අනර්ථය පුනපනා කිව යුතු නැත. එහෙයින් බලධාරින් වහාම ඒ ගැන අවදානය යොමු කරනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ සඳහා ඡන්ද කාලයට රජ මැදුරේ පවත්වන එක් දන්සැලකට යන වියදමින් අඩක්වත් යතැයි අපට සිතෙන්නේ නැත. පාළු ගෙයි වළං බිඳ මහපාරේ රථ නළා හඬවා ලකුණු කපා ගන්නා විපක්ෂයට වුව මෙවන් කටයුත්තකයට සම්මාදම් වී ලකුණු දමා ගැනීමට බැරිකමක් නැත.
Thursday, October 29, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment