Tuesday, October 6, 2009

සේනක බිබිලේට එය මහත් සතුටක්‌ වනු ඇත

අවුරුද්දකට වතාවක්‌ ලෝක ළමා දිනයක්‌ එන්නේ යම් සේ ද, අවුරුද්දකට වතාවක්‌ සත්ත්ව හිංසන විරෝධී දිනයක්‌ එන්නේ යම් සේ ද, හැම අවුරුද්දකම වතාවකම ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ ගැන කතා කිරීමේ පුරුද්ද මේ රටේ ආණ්‌ඩුවලට තිබේ. මේ රටට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය බව මුල්වරට යෝජනා කරන ලද්දේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ සභාපති මහාචාර්ය සේනක බිබිලේ විසිනි. එම යෝජනාවෙන් සති කිහිපයකට පසු පිටරටකදී පැවැති සාදයකට සහභාගි වූ බිබිලේ මහතා අබිරහස්‌ ලෙස මළේ ය. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක මූලික කටයුත්ත වන්නේ රෝගීන්ට අඩු මිලට බෙහෙත් ලබා දීම ය. මේ කාරණය සාක්‍ෂාත් කර ගැනීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළ මහාචාර්ය බිබිලේට පෙර කී සාදයේදී වස දුන් බවට ද කට කතාවක්‌ ඇත. බිබිලේ මහතාගේ මරණයෙන් පසු ජාතික ඖෂධ ප්‍රතිපත්ති කතාව යට ගියේ ය. වෙළෙඳපොළේ ඉතා අධික මිලකට ඖෂධ විකිණීම දිගටම සිදු විය. එසේ වුව ද බිබිලේ මහතාගේ මරණ සංවත්සරය ළඟ එන විට ඖෂධ ප්‍රතිපත්තිය එළියට අදින හැම ආණ්‌ඩුවක්‌ම නත්තලට රතිCඳ්C¹ පත්තු කරන්නාක්‌ මෙන් ද, අවුරුද්ද පුරාම සතුන් සංහාර කොට එක දවසකදී පමණක්‌ සත්ත්ව සංහාර දිනය ලෙස ප්‍රකාශයට පත් කර හෘද සාක්‍ෂියෙන් ගැලවෙන්නාක්‌ මෙන් ද සේනක බිබිලේ පිළිබඳ මතකයෙන් ගැලවී ගත්හ. එහෙත් බිබිලේ මහතාගේ මරණයෙන් දශක තුනකට කිට්‌ටු කාලයකට පසු ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හෙට (08 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අප විසින් මෙහි පෙර ද සඳහන් කරන ලද පරිදි ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මූලික කටයුත්ත වන්නේ අඩු මිලට, ජනතාවට ඖෂධ ලබා දීම ය. ඒ සඳහා වෛද්‍යවරුන් විසින් බෙහෙත් වට්‌ටෝරු නියම කරන විට අදාළ ඖෂධවල වෙළෙඳ නාමය නොව, ඖෂධීය නාමය සඳහන් කළ යුතු ය. ඖෂධීය නාමයෙන් එන බෙහෙත් ඉතා ලාභදායක ය. උදාහරණයක්‌ වශයෙන් පැරසිටමෝල් වේදනා නාශකය දැක්‌විය හැකි ය. මෙය එහි ඖෂධීය නාමය වන පැරසිටමෝල් නමින් එන විට එක බෙහෙත් පෙත්තක්‌ ශත 10 කට පමණ මිලට ගත හැකි ය. එහෙත් ඒ පෙත්තම කදිමට මුද්‍රණය කළ දවටන තුළ බහා විශාල ප්‍රචාරයක්‌ දී වෙළෙඳපොළට එන විට එක පෙත්තක්‌ රුපියල් දෙකක්‌ පමණ වෙයි. ඇමොක්‌සිසිලිස්‌ නමැති ප්‍රතිජීවක ඖෂධය අසාත්මිකතාව සඳහා නියම කරන ඖෂධ යනාදී වශයෙන් වූ සකල විධ ඖෂධ ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් එන විට ඒවා මිලට ගෙන රෝගීන්ට දීම සඳහා ගේ දොර පවා උකස්‌ තැබීමට සිදුවෙයි. මේ විපතින් ජනයා ගලවා ගැනීමට ජාතික ඖෂධ ප්‍රතිපත්තියකට පුළුවන.

ලෝකයේ වැඩිම ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ යුද අවි ව්‍යාපාරයයි. ඊළඟට ලාභ ගෙන දෙන ව්‍යාපාරය වන්නේ අවි ජාවාරමයි. ඖෂධ ව්‍යාපාරය යනු ලෝකය වෙලාගත් විශාල ජාවාරමකි. විවිධ ඖෂධ සමාගම් දහස්‌ ගණනක්‌ මගින් මෙලොව රෝගාබාධ, රෝග නිධාන සහ වෛද්‍යවරුන් පාලනය කරනු ලැබේ. ආණ්‌ඩුවේ දොස්‌තර පවා ඖෂධීය නාමයෙන් නොව, වෙළෙඳ නාමයෙන් ඖෂධ නිකුත් කරයි. අපගේ වැටහීම නම් මේ දොස්‌තරවරුන් බටහිර වෛද්‍ය සමාගම්වල ඉත්තන් බවත්, ඒ ඒ සමාගම් මගින් ඔවුනට මුදල් සහ පිටරට ගමන් සපයා දෙන බවත් ය. ඒ නිසා සත දහයේ පැරසිටමෝල් පෙත්ත රුපියල් 2 ට රෝගියා අතට යැම ගැන දොස්‌තර දුක්‌වන්නේ නැත.

කොහේ හෝ මුල්ලක සඟවා තබා පෙබරවාරි 4 වැනිදාට එළියට ගෙන වැට ඉන්නක ගසා වහලයට ඔබන සිංහ කොඩිය මෙන් සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය ද කාලයෙන් කාලයට පිටතට ගෙන ආපසු අකුලා තැබිය යුතු ය යන මතය වෙනස්‌ කිරීම ගැන නිතර බැණුම් අසන සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට අපි ස්‌තුතිවන්ත වෙමු. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ විට ඔහු මේ රටේ සෞඛ්‍ය සේවයට ඉහළම සේවය ඉටුකළ සෞඛ්‍ය ඇමැතිවරයා බවට පත්වන්නේ ය.

(දිවයින - 09/10/07)

ටිප්පණිය - සේනක බිබිලේ සමරුවට හමස් පෙට්ටියෙන් ඇද මකුළු දැල් කඩා සතර අතට වනන ඖෂධ ප්‍රතිපත්තිය, මෙතෙක් කල් කටින් බතල සිටුවීමට සීමා විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වුව ද ලංකාවේ ඩෙංගු මදුරුවාටත් පරාජය වූ ඇමතිතුමා ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යථාවක් බවට පත් කොට සිය නම ඉතිහාසයේ රන් අකුරින් ලියා ගනු ඇතැයි අපි සිතමු. එය උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ වර්ගයේ මහා පුණ්‍ය කර්මයක් බව ද එතුමාට සිහිපත් කර සිටිමු.

3 comments:

Thejan said...

මහාචාර්ය සේනක බිබිලේගේ ප්රsතිපත්ති ක්‍රියාත්මක කිරීම රටට ඉතාම වැදගත්. මේ ප්ර්තිපත්ති වලින් හුඟක් ‍ලෝක සෞඛ්ය සංවිධානයේ අරමුණු වලට පවා ඇතුලත්ව තියෙනවා. මමත් මේ ගැන සටහනක් දැම්මා. පුලුවන්නම් බලන්න.

http://lankanthoughts.blogspot.com/2009/10/blog-post_06.html

තේජාන් රත්නායක

Narada said...

මහාචාර්්‍ය සේනක බිබිලේ යනු එදත් අදත් මා දැඩිසේ ප්‍රිය කළ පුද්ගලයෙකි. ඔහුගේ ඇතැම් ප්‍රකාශ දැනටමත් ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවල් ත්‍රියාත්මක කරන අතර මෙවැන්නක් අකුරටම නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නම් ඉතා අගනේය.

මීට පෙර කොන්දක් නැති කතා හා විසිළු සැපයු සෙෘඛ්‍ය ඇමතිගේ කොන්දක් ඇත්දැයි පර්ක්ෂා කිරිමට අගනා පරික්ෂාවක් ලෙස සලකමු.

නාමල් උඩලමත්ත said...

මේ ඔයාලා දන්නව ද මන්දා? එයා හරි කැමතියි තමන් සේනක බිබිලේ වගේ කියන්න. දවසක් කීවා සේනක බිබිලේ වගේ තමාවත් මරලා දාන්න කුමන්ත්‍රණ තියෙනවා කියලා. එයා කීවේ නම් ඒ කුමන්ත්‍රණ කරන්නේ ඖෂධ ජාවාරම්කාරයෝ කියලා. මට නිකමට හිතුණා ඒ කුමන්ත්‍රණකාරයෝ ලංකාවේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ගන්න ගිය අසරණ රෝගියෙක් වෙන්න බැරිද කියලා ආයුබොවන්!

 
සිය රට දේ සිරි සැප දේ !