Thursday, December 2, 2010

අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන . . .

ජනපති මහින්ද රාජපක්ෂට අප බෙහෙවින් ගරු කරන අයෙකි. එහෙත් 1505 මෙරටට බටහිර ආක්‍රමණිකයා කඩාපාත් වී වසර සිය ගණනක් උන් මේ රට පාලනය කිරීම නිසා මේ රටේ බොහෝ දෙනා තුළ උපන් හීනමානයෙන් ඔහුට ද ගැළවීමක් නැති බව පෙනේ. සුද්දා අපට වඩා උසස් ය. සුද්දාගේ සරසවි අපේ සරසවිවලට වඩා උසස් ය යන හීනමානය ඔහුට ද තිබේ. ඔක්ස්ෆර්ඩ්වලින් ආරාධනයක් එත් ම සියලු වැඩ පසෙක දමා එහි දුවන්නට බලා සිටින්නේ ඒ නිසා ය. එය තමාට මහත් ගෞරවයක් යැයි ඔහු සිතයි. මේ රටේ බහුතරයක් ද සිතයි. නැති නම් මේ රටේ ඔහුට විසඳීඹට දහසකුත් එකක් ප්‍රශ්න තිබේ. එහෙත් මේ රටේ සරසවියක වැඩකට ජනපති තබා ඇමති කෙනෙකු ද ගෙන්වා ගැනීම ලෙහෙසි නැත. නිදසුනක් ලෙස කැලණි සරසවියේ රිසර්ච් සිම්පෝසියමේ ප්‍රධාන ආරාධිතයා වූ ජී. ඇල්. පීරිස් මහතා පිළිගත් ආරාධනය ද පසෙක තබා ජනපතිගේ සාටකේ එල්ලී එංගලන්තයට දිවීම දැක්විය හැකි ය.

ඔක්ස්ෆර්ඩ් කලෙක මහා දැනුම් සාගර ලෙස විරාජමාන වූ බව සැබෑ ය. එමෙන් ම ඊට බොහෝ කලකට පෙර ඉන්දියාවේ නාලන්දා වැනි විශ්වවිද්‍යාල තිබිණි. ඒවායේ කීර්තිය ද එසේ ම විය. දැන් ඒ ආලෝකය නිවී ගොස් ය. අනෙක් ඒවායේ ඉරණය ද එයම ය. අප කළ යුත්තේ අනුන්ගේ දේ සරණ යෑම නොව ඒවායේ යම් යම් යහගුණයක් ඇත්නම් අප සරසවි වෙත ඒ ගුණය ඇතුළත් කිරීම පමණි. එසේ නොමැතිව අප ඔක්ස්ෆර්ඩ්හි දේශන දෙකක් කළම්හයි බොරුවට උදම් ඇනීම නොවේ. එය සුදු අධිරාජ්‍ය සමයේ උන්ගේ ආණ්ඩුවට කත් ඇද නයිට් නාම හිඟා ගැනීමට වැඩි වැදගත්කමක් මට නම් නො පෙනේ.

අවසන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දා ගෙන කෑවෝ කෑවෝ කියා ගෙන ජනපතිට හිස් අතින් ම නැවත ලංකාවට ඒමට සිදුව තිබේ. එංගලන්ත ආණ්ඩුවට බැණ පලක් නැත. එය කොටි හිතවාදි බව අප දන්නෙමු. මේ රජය ද එය දනිතැයි සිතමු. එසේ තිබිය දී එහි යන්නේ කුමට ද? අප උද්ඝෝෂණ කළ යුත්තේ ඒ සියල්ල දැන ගෙන කොටි තිප්පළට ජනපති යාමට විරුද්ධව ය. මෙවන් කොටි තිප්පොළවල කරක් ගහන්නට පෙර ජනපතිතුමා සිතිය යුතු බොහෝ දේ තිබේ. ගංගොඩවිල සෝම හිමි ද රුසියාවට වැඩියේ මෙවන් ආරාධනයක් පිළිගෙන බව අපට මතක ය. එහෙත් උන් වහන්නේ නැවත මව්බිමට නො වැඩියේ ය. එහෙයින් ජාතියක් දවල් වැටුණු වලේ රෑ වැටිය යුතු නැත.

1 comment:

දේශපාලුවා said...

නාමල්, මේ ගමන ජනාධිපතිතුමාට පාඩුවක් කියන එක මමනම් පිලිගන්නේ නැහැ. ජනාධිපති ආවොත් අල්ලනවා, කියපු, LTTE කාරයොන්ටයි, බ්‍රිතාන්‍ය ආන්ඩුවටයි ඒ ගැන කියාගන්න දෙයක් නැතිවගියා.
මේකෙන් තවත් පෙනවා සිංහලයන්ගේ කතා කිරීමේ අයිතිය කොයිතර්ම් කප්පාදුවෙලා තියෙනවාද කියලා.
අනික් අතට මෙහෙම සාමාන්‍ය ජනජීවිතය අඩාල වන අන්දමේ වියරු උධ්ඝොෂන, සම්මන්ත්‍රන කඩා කප්පල් කිරීම් නිසා, බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැසියන්ගේ අප්‍රසාදය LTTE කාරයන්ට එල්ල වෙනවා.

දැනටමත් බිරිතාන්‍ය වැසියෝ විදේශිකයන් වැඩිවැඩියෙන් සංකර්මනයවීම ගැන පුදුම අප්‍රසාදයකින් ඉන්නේ, වැඩි කල් නොගොසින්, සාමාන්‍ය වැසියන්, දේශපාලකයන්ගෙන් ඉල්ලන්න ගනියි, LTTE වැඩ බිරිතාන්‍යයේ තහනම් කරන්න, LTTE සහයෝගය දක්වන්නන් ප්‍රසිද්දියේ හෙලා දකින්න කියලා.

මමනම් කියන්නේ ලංකාවේ දෙශපාලකයෝ වැඩිවැඩියෙන් බ්‍රිතාන්‍යට ගිහිල්ලා තවතවත් කලබල ඇතිකරලා සාමාන්‍ය වැසියන්ට කාරයෝ එපාකරවන්න ඕන

 
සිය රට දේ සිරි සැප දේ !