වෙනදා පාපැදිය පිටුපස පත්තර මිටිය බැඳගෙන එන පත්තර කොලුවා, ගේ ඉදිරියේ මෝටර් රථය නවතා පත්තරය ගේට්ටුවෙන් ඇතුළට විසි කර යන්න ගියේය. පත්තරය අහුලා ගන්නට ඉදිරියට ගිය මට හෝන් ගසමින් සිල්වා ද නවීන කාරයක නැඟී ඉගිළ ගියේය. මේ අයුරින්ම මාලු, එළවලු, පාන් වෙළෙන්දෝ සිය මෝටර් රථවල නැගී වෙළඳාම් පිණිස ගමන් කළේය.
හිමිදිරියේ මහා මාර්ගවල විශාල වාහන තදබදයක් දක්නට ලැබිණි. නවීන මෝටර් රථවලින් සියලු පාරවල් වැසී තිබිණි. වෙනදා තරම් පාරේ බස් දක්නට ලැබුණේ ද නැත. හැමදාම පොල් පටවා ගෙන මරු විකල්ලෙන් දුවන පෞද්ගලික බස් රථ, මෙදා මිනිසුන් එකා දෙන්නා පටවා ගෙන පාරේ ගෑටුවේය. පාර අතුගාන කම්කරුවෝ හිමිදිරියේ ම සිය මෝටර් රථවලින් පැමිණි, ඒවා මහ මග අයිනේ නවතා මාර්ග පිරිසිදු කළහ. වෙනදා බස්වල තෙරපෙමින් එන කාර්යාල සුළු සේවකයෝ පාන්දරින් කාර්යාලවලට පැමිණ සිය අලුත් වාහනවල හැඩරුව බලමින් සිටියහ.
සියලු කාර්යල ඉදිරියේ මෝටර් රථ ගාල් කිරීම නිසා ඒවාට පිවිසීම ද අපහසු විය. පමා වී කාර්යාල වෙත පැමිණෙන ඇතැම් නිළධාරීන්ට සිය වාහන සුපුරුදු තැන්වල ගාල් කළ නොහැකි වූයේ සුළු සේවකයා ද සිය නවීන මෝටර් රථයෙන් කාර්යලය වෙත පැමිණ සිටි හෙයිනි. වෙනදා කාර්වල මහේශාක්‍ය ලීලාවෙන් ඉගිළ ගිය ඇතැම්හු පුළුටු මුහුණින් කරබා ගෙන ගමන් කළේය. ගේ පීරා රුපියල් 12ක් අහුලා ගෙන පාළු බසයකට ගොඩ වූ මා වෙත පැමිණි කොන්දොස්තර කොලුවා "ඇයි සර් කාර් එකක් ගත්තේ නැද්ද? ගණන් හොඳටම බස්සලා. මමත් හවසට එකක් ගන්නවා" යැයි කීවේ වෙනදා නොමැති අභිමාණයෙනි.
"යුද්දේ ඉවර කළාට පස්සේ අපට තිබුණෙ එකම ප්‍රශ්නයයි. අපි හැමෝම ලක්ෂ 10ක් විතර අතේ තියා ගෙන බලා හිටියේ අපටම කියලා කාර් එකක් ගන්න. දැන් ඒකත් හරි. දැන් අපට කිසි ප්‍රශ්නයක් නෑ. මෙවාට බනින්නේ දුප්පත් අපි කාර්වල යනවා දකින කොට ඇස්වල කටු ඇනෙන ඊර්ෂ්‍යාකාරයෝ." රජයේ ප්‍රධානින්ගේ දෙමාපියන්ට පිං අනුමෝදන් කරමින් සිටි ජනතාව පැවසූ කතාවල සමස්ත අර්ථය එය විය.
No comments:
Post a Comment