Saturday, September 4, 2010

බ්ලොග්කරුවෝ ආණ්ඩුව පෙරළති!

72 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ධර්මිෂ්ට සමාජයක් තැනීම උදෙසා ජන වරමක් ඉල්ලු ජේ.ආර්. උතුමාට ජනතාව 6/5ක බලයක් ලබා දුන්නේ ය. ඒ උතුමා ධර්මිෂ්ට සමාජය හැදීමේ ප්‍රථම පියවර ලෙස සිය මන්ත්‍රීවරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි රැගෙන සාක්කුවේ දමා ගත්තේ ය. (ඒ 72 අගමැතිගේ බලයේ තරම ය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි සද්දන්ත අලි ද සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්හ. )

අනතුරුව විධායක ජනාධිපති ධූරයක් සහිත 78 ව්‍යවස්ථාව තනා ජන මතය නොවිමසා ධර්මිෂ්ට සමාජ ජනවරමින් ජනාධිපති විය. එවකට 72 හැවිරිදි ඒ උතුමා තමාගේ නාඩි වැටෙන තුරු ධූරයේ සිටීමට හැකි වන පරිදි එනම් අවුරුදු 84ක් වන තුරු ජනාධිපති වීමට හැකි වන පරිදි ජනාධිපති ධූරය වසර 12ට සීමා කළේ ය. එහෙත් අන්තිම කාලය ළං වන විට තව කාලයක් ධූරයේ සිටීමට උතුමාට අවශ්‍ය වුව ද ප්‍රේමදාස ඒ වන විට පක්ෂයේ බලවත් වී සිටීම නිසා අදාළ සංශෝධනය කරගත නොහැකි විය. චන්ද්‍රිකාට ද ධූරයේ රැඳී සිටීමට සිතුණ ද ඒ වන විට ඇය ද අන්තයට පිරිහී ගොස් තිබිණි.

එහෙත් විධායක ජනාධිපති ධූරය දැරූ කිසිවෙකුට කළ නොහැකි වූ ත්‍රස්තවාදය කෙළවර කිරීමට මහින්දට හැකි විය. ඊට එරෙහිව නැගුණු ජාත්‍යන්තර බලපෑම් හමුවේ කෙළින් සිට දැඩි තීරණ ගත හැකි වූයේ විධායක ජනපතිකම නිසා ය. එතෙක් කල් වඳුරන් අත දැලි පිහියක් වූ විධායකය නියම සුදුස්සා අතට ගියේ මෙවර ය. එහෙයින් මෙතෙක් කල් දැලි පිහිය මොට කළ යුතු යැයි කී අප දැන් ඒ දැලි පිහිය සුදුස්සකු අතට පත් කළ යුතු යැයි කියමු. එහි ධූර කාල සීමා ඉවත් කිරීමට පක්ෂ වන්නෙමු. අනාගතයේ නැවත මේ ධූරය වඳුරකු අතට පත්වීමේ අවධානමක් ඇති හෙයින් මේ පාර්ලිමේන්තු කාලය අවසන් වීමට පෙර ජනපති ධූරයේ කාල සීමාව වසර 4ට සීමා කිරීමේ සංශෝධනයක් ද ගෙන ආ යුතු යැයි කියමු. එවිට තම නායකයා වසර 4න් 4 පරික්ෂා කිරීමට ජනතාවට හැකි වෙයි. එය වසර 12දී 3 වරක් කළ හැකි වෙයි.

කෙසේ වුව ද ජවිපෙ, එජාපය, රාමචන්ද්‍ර, පුලස්ති, DAMROX, Kandula (කණ්ඩුල), sapumal, බියොන්ඩ් ෆ්‍රේම්, බුමුතුරුණු වැනි මහා අදීන ජන මාධ්‍යවේදීන් සයිබර් අවකාශයේ පාවෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිවි හිමියෙන් කරන සටන නිසා ආණ්ඩුව පෙරලි යාමට ද ඉඩ තිබේ.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !