Wednesday, November 17, 2010

හඳුන්නෙත්තිගේ වාසනාව!

සුනිල් හඳුන්නෙත්ති මහතා යාපනේ යාමට පෙර කළ කතාවක් රූපවාහිනිය ඔස්සේ දුටිමි. එහි දී ඔහු කීවේ සමාජවාදය යනු පෞද්ගලික දේපල රජයට ගැනීම නොවන බව ය. ඉන් ඔහු විවේචනය කිරීමට උත්සාහ ගත්තේ රජය සෙල් ගෑස් සමාගම නැවත රජයට පවරා ගැනීම ය.

පහුගිය කාලයේ පැවති රජයන් රටේ දේපල කුණු කොල්ලයට විකුණන විට ඊට විරුද්ධව රට අවදි කළේ ජවිපෙ යැයි කීමට අපි මැලි නොවෙමු. ඒ ගෞරවය ඔවුන්ට පුදන අතර ම අද එම පක්ෂය පත්ව ඇති බංකොලොත් භාවය ද හෙළි කිරීම නොකළ යුත්තක් නොවේ යැයි අපි විශ්වාස කරමු.

සමාජවාදය යනු රටේ පෞද්ගලික දේපළ රජයට ගැනීම යැයි කිසිවෙකු කියා නැත. එහෙත් විවිධ බහුජාතික සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමූ රටේ සම්පත් නැවත වරක් රට අත්පත් කර ගැනීම පිළිබඳ වඩාත් සතුටු විය යුතුව තිබුණේ ජවිපෙ ය. මෙරට ජනතාව සතුව තිබූ සම්පත් එසේ නැවත අත්කර ගැනීම රටට හැම අතින් ම වාසිදායක ය. එම සමාගම් ලාභ ලෙස මෙරටින් පිටට පොම්ප කළ ‍ඩොලර් මිලියන ගණනක මුදල් මේ නිසා යළි රටට ඉතිරි වෙයි.

එහෙත් සිය ප්‍රතිපත්ති පාව දී කුහක දේශපාලනයක යෙදෙමින් මහත් වැර වෑයමෙන් පිරිහෙන ජවිපෙට එය නොපෙනේ. ආණ්ඩුව වැරදි ය. රටේ සම්පත් විකුණුවත් වැරදි ය. විකුණු දෑ යළි ගත්තත් වැරදි ය. හරි ජවිපෙ පමණි. මේවා අසන ජනතාව හඳුන්නෙත්තිලාට ඔලු නැතැයි සිතන්නට වූහ. එහෙත් ඔහු යාපනේට යාම නිසා හඳුන්නෙත්තිට ඔලුවක් ඇතැයි ජනතාව දැන ගත්තේ ය. එය ඔහුගේ වාසනාව ය.

4 comments:

දේශපාලුවා said...

JVP එක දේශපාලන වශයෙන් කොච්චර බංකොලොත් වෙලාද කියනවානම්, දැං උංගේ උද්ඝෝෂනවලටත පිටරවලින් මිනිස්සු ගෙන්නන්න වෙලා.
කිසිම රටක දේශපාලන කරුනුවලට ඇගිලි ගහන්න විදේශික සංචාරකයන්ට අයිතියක් නැහැ, ඒක ලොකේ සෑම රටකම නීතිවිරෝධීයි.
මේ ජෝඩුව ලෙබනන් රටෙන්ලු.
පුලුවන්නම් ලෙබනනේ ගිහිලා හදුන්හෙත්ති ඒ රජයට විරුද්ධව උද්ඝෝෂනය කරලා පෙන්නන්න, ආයේ ලංකාවට එන්න වෙන්නේ නැහැ, ඒල්ලුම් ගහ තමයි.

කැලුම් නිරංජන. said...

මෙය වසර 5ක් පමණ කාලයක සිට ජවිපෙ ගමන් ගන්නා දිශාව තීරනණ කර ගත හැකි තවත් අවස්ථාවකි.
ජාතිකත්වය තමාගේ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් යොද ගත් ජවිපෙට 2005 මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහනයත් සමග තව දුරටත් එම කාලකන්නි ක්‍රීඩාවේ නිරත වීමට නොහැකි විය.ඒ මහින්ද ජවිපෙ අබිභවා යමින් ජවිපෙ පෙනී සිටි ජාතික උවමනාවන් වෙනුවෙන් පෙනී සිට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම නිසාය.එයින් පසු ජවිපෙ ජාතිකත්වය වෙනුවෙන් ව්‍යාජව හෝ පෙනී සිටීම අත හැර දැම්මේය.

ඒ මතවාදය වෙනුවෙන් ක්‍රියා කිරීමට පක්ෂ ව්‍යුහයේ සකසා තිබූ සංවිධාන පවා අක්‍රිය කර ඒ වෙනුවෙන් පක්ෂය තුල පෙනී සිටි කොටස් කොන් කර දමන්නටත් තවත් කොටසක් පක්ෂය හැර යන තැනට කටයුතු කරන්නටත් සැලැස්වීය.

ඒ වෙනුවට හුදු රජපක්ෂ විරෝධී කල්ලියක් පමණක් වන තත්වයට පත් විය.
තමාගේ පක්ෂය දීර්ඝ කාලයක් මුලුල්ලේ රැකි ප්‍රතිපත්තීන් සහ පිළිගැනීම් වලට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලැබ්බෙන්නේ මෙම රාජපක්ෂ විරෝධයෙනි.සියලු තැන්හි දක්නට ඇත්තේ එයයි.

සමහර විට මහින්ද රාජපක්ෂ එලව ගන්නා තුරු පමණක් මෙම ක්‍රමය අනුගමනය කිරීමටත් ,එම අමාරු බාධකය පැන ගත් පසු තමන්ට සුපුරුදු කලින් ගමන් ගත් මාවතට නැවත්ත් පැමිණීමත් ජවිපෙ මේ මොහොතේ අනුගමනය කරනා 'දේශපාලන තේරීම ' වන්නට බැරි නැත.
එහෙත් එවිට පෙරහැර ගොස් හමාරය.............

නාමල් උඩලමත්ත said...

දේශපාලුවා, කැලුම්,
ඔබේ ප්‍රතිචාර මම පුදුමයට පත් කළා. මම ඇත්තට ම හිතා හිටියේ ජවිපෙ මේ ගෙන යන දෙබිඩි පිළිවෙත, උන්ගේ මිනී උන්ම උස්ස ගෙන කනත්තට යන ගමන තවම ජනතාව තේරුම් අරන් නෑ කියලා.බලන කොට එදා අපට පාර පෙන්නු ජවිපෙට වඩා ඉදිරියට ගිහින් ප්‍රශ්න දෙස බැලිය හැකි, ලෝකය අවබෝධ කර ගත හැකි පිරිසක් දැන් බිහි වෙලා. ඒක රටේ වාසනාව. මට හිතෙන්නේ ජවිපෙ දැන් ගයන්නේ හංස ගීතය. නැත්නම් මර ඇ‍ඳේ පණ අදින හඬ තමා දැන් ඔය මතු වෙන්නේ.

කැලුම් නිරංජන. said...

ජවිපෙ කඩරයකු නොවී ජවිපෙට ආදරය කල බොහෝ දෙනාගේ අද දවසේ පොදු අදහසත් මෙයම තමයි.ඔවුන් ජවිපෙට ලොබ බැන්දේ ජවිපෙ ගැන සිතා නොවෙයි ,ජවිපෙන් රටට සිදු වූ මෙහෙය ගැන සිතායි..
ඒ මෙහෙවරෙන් කර ඇරිදා සිට ජවිපෙ හැර දා යන්නට එදා රට ගැන සිතා ජවිපෙට පෙම් බැඳි උන්ට සිද්ධ උනා...

 
සිය රට දේ සිරි සැප දේ !