Thursday, October 14, 2010

රාජපක්ෂලා හිනි මගට පයින් ගසති!

නොබෝදා බැසිල් රාජපක්ෂ පහුගිය මැතිවරණවලදී ආණ්ඩුවට සහාය වූ ගම්පහ නීතිඥ පිරිස් හමු වී තිබේ. එහි දී නීතිඥවරුන්ට භෝජන සංග්‍රහයක් පවත්වා ඇති අතර නීතිඥවරු සිය ඉල්ලීම් ලෙස ඉදිරිපත් කර ඇති කරුණු කිහිපයකි.

* සිය දරුවන් පාසැල්වලට ඇතුල් කර ගැනීමට සහාය වීම (පිළිගත් ක්‍රමවේදයට පිටින් දේශපාලන බලය යොදා ඔවුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුල් කිරීම)

* නීතිඥවරුන්ට ආණ්ඩුවේ තනතුරු, අඩු තරමේ රාජ්‍ය සංස්ථාවක අධ්‍යක්ෂ මණ්ඩලයටවත් පත් කිරීම (එනම් රජයේ ආයතනවල ආණ්ඩුවට පක්ෂපාති වූ නිසා ම පත් කිරීම)

* ඇමතිතුමා පෞද්ගලිකව හමුවීමට අවස්ථාව දීම (එනම් මහජන දිනයේ නොව වෙන දිනවල සිය පෞද්ගලික කටයුතුවලට)

මේ සියල්ල අසා සිටි බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ තමන්ට දරුවන් පාසැල්වලට දැමීමට බලපෑම් කළ නොහැකි බවත් එවන් ඉල්ලීම් නොකරන ලෙසත් ය. එමෙන් ම මහජන දිනයේ තමා හමුවන ලෙසත් පොදු ඉල්ලීම් මිස කිසිදු පෞද්ගලික ඉල්ලීමක් තමන්ගෙන් නො ඉල්ලන ලෙසත් ය.

මේ පුවත වාර්තා කළේ රජයේ මාධ්‍යයක් හෝ රජයට හෝ රටට හෝ හිතවත් මාධ්‍යයක් වූවා නම් මෙය තවත් දේශපාලන නාටකයක් යැයි අපට සැක කළ හැතිව තිබිණි. එහෙත් මෙය වාර්තා කර ඇත්තේ ලංකා ඊ නිව්ස් නම් වෙබ් අඩවියයි. මේ බැසිල්ගේ ප්‍රකාශයෙන් සාමාන්‍ය රට වැසියන් ලෙස අප සතුටු විය යුතු වුවත් සිය පාක්ෂිකයින්ට විශේෂ කොට සැලකීමේ ජරා දේශපාලනයෙන් මිදීමට ගත් වෑයමක් ලෙස ප්‍රශංසා කල යුතු වුවත් ලංකා ඊ නිව්ස් පවසන පරිදි මේ මහා අපරාධයකි. හිණි මගට පයින් ගැසීමකි.

එසේ නම් ඔවුන්ට බැසිල් කළ යුත්තේ සිය හෙංචයියලාගේ දරුවන් හොඳ පාසැල්වලට දමා ඒ හෙංචයියලාට සංස්ථා මණ්ඩල භාර දී ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කිරීම ය. එහෙත් අපට හිතෙන්නේ ඡන්දය අවසන් වූ පසු පක්ෂ විපක්ෂ සියලු දෙනා එක ලෙස සැලකීම යහපත් බව ය. එය ලංකා ඊ නිව්ස් අනුව නම් මහා පාපයකි. මුල අමතක කිරීමකි. මා නම් හිතන්නේ මෙය හිනි මගට පයින් ගැසීමක් නම් එසේ පයින් ගැසීම ශ්‍රේෂ්ටතම ක්‍රියාවක් බව ය.

ඒ ගැන ඔබට කීමට ඇත්තේ කුමක් ද?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !